Main Logo

Monday 1 August 2011

විද්‍යාභිවර්ධන සංගමයේ ප්‍රකාශයට පිළිතුරු - II

අප සාකච්ඡා කරමින් සිටියේ ඊනියා පර්යේෂණවල ප්‍රතිඵල සාම්‍ය සමාලෝචනවලට භාජනය කෙරෙන සඟරාවල පළකිරීම අපේක්‍ෂා කරනු ලැබේ යැයි විද්‍යාභිවර්ධන සංගමයේ නිවේදනයෙහි දැක්වෙන අදහස ය. මේ බැරූරුම් විද්‍යාඥයන් (serious scientists) අපෙන් ඉල්ලා සිටින්නේ අපේ ඊනියා විධික්‍රමය, නියැදි එකතුකරගත් ආකාරය ආදී වශයෙන් සඳහන් ලිපියක් හැකි ඉක්මනින් සාම්‍ය සමාලෝචනය සඳහා ඉදිරිපත් කරන ලෙස ය. අප අපේ ඊනියා පර්යේෂණ ප්‍රතිඵල ප්‍රකාශ කළ යුත්තේ කුමක් සඳහා ද? පළමුවෙන් ම ඒ පිළිබඳ උනන්දුවක් දක්වන අය අතුරෙන් ඉතා වැඩි ප්‍රමාණයකට ඒ බව දැන්වීමට ය. දෙවනුව ඒ පිළිබඳ අනෙක් අයට තම තමන්ගේ මත ඉදිරිපත්කිරීමට අවස්ථාව ලබාදීමට ය. සාම්‍ය සමාලෝචනය (peer review) එහි අනිවාර්ය අංගයක් නො වේ. නේචර් සහ සයන්ස් යන ජාත්‍යන්තර වශයෙන් ඉහළින් ම සැලකෙන සඟරාවල පළවූ සාම්‍ය සමාලෝචනයට භාජනය කෙරුණු පත්‍රිකාවලින් සියයට තිහක පමණ අඩංගු කරුණු ද වැරදි බවට අවුරුදු කිහිපයකින් හෙළිදරවු වන බව අමතක නොකළ යුතු ය.

අප කියා සිටින්නේ ඊනියා පර්යේෂණවල ප්‍රතිඵල අඩංගු ලිපි (පත්‍රිකා) පුවත්පත්වල, වෙබ් අඩවිවල හා පුළුල් වශයෙන් මහජනතාවට කියවිය හැකි තැන්වල පළවිය යුතු බව ය. එවැනි ලිපිවලින් සියයට කීයක් වැරදි ද යන්න මෙහි දී ප්‍රශ්නයක් නො වේ. ඒ තීරණය කරනු ඇත්තේ බොහෝ දෙනාගේ මැදිහත්වීමෙනි. සාම්‍ය සමාලෝචනයේ අරමුණ ඊනියා පර්යේෂණය නිසි පරිදි කෙරී ඇත්දැයි සොයා බැලීමත් ප්‍රතිඵල පිළිබඳ සෑහීමකට පත්වීමට හැකි දැයි තීරණය කිරීම ය. එබැවින් සාම්‍ය සමාලෝචනවලට භාජනය කෙරෙන පත්‍රිකාවලින් නම් කිනම් ප්‍රතිශතයක් වැරදි ද යන්න දැනගැනීම වැදගත් වෙයි.

රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් යැයි අප පවසන අදහස ඊනියා සාම්‍ය සමාලෝචනයට භාජනය කෙරිණි නම් තවමත් ඒ පත්‍රිකා සමාලෝචකවරුන්ගේ මේසය මත තිබෙනු නිසැක ය. අපට අවශ්‍ය වූයේ ඊනියා ‘ක්‍ෂණික ප්‍රසිද්ධියක් නො චේ. අපට අවශ්‍ය වූයේ හැකි ඉක්මණින් මෙරට ගොවි ජනතාව කෘෂි රසායනික ගොවිතැනෙන් මුදා ගැනීමත්, අඩුම තරමෙන් බෞද්ධ විරෝධී කෘමිනාශක මෙරටට ගෙන්වීම ඉක්මණින් නතර කිරීමත් ය. වස විස වෙළඳාම බහුජාතික හා වෙනත් ධනකුවේර සමාගම්වලට ධනය ගෙන දෙන්නක් වන නමුදු බෞද්ධ සම්මා ආජීවයට විරුද්ධ ය. ඒ බව ජනාධිපතිතුමා ද දන්නා බව අපට විශ්වාස ය.

අපේ ප්‍රතිඵල ජනතාව අතරට යෑම හේතුවෙන් මේ වන විටත් පලිබෝධ නාශක වර්ග නවයක් තහනම් කිරීමට පියවර ගැනීමට පලිබෝධ නාශක රෙජිස්ට්‍රාර්වරයාට සිදු වී ඇත. එමෙන් ම කෘමිනාශක අඩංගු බහලුම් දහසයක් පමණ වරායේ ර’ඳවා ගැනීමට ශ්‍රී ලංකා රේගුව කටයුතු කර ඇත. එදා නැතැයි කී ආසනික් සති කිහිපයක් ඇවෑමෙන් යම් ප්‍රමාණයකට වුව ද තිබෙන බව පිළිගැනීමට අද බොහෝ විද්‍යාඥයන් යැයි කියාගන්නා අයට සිදු වී ඇත. එමෙන් ම ශ්‍රී ලංකා විද්‍යභිවර්ධන සංගමය මහා ඉහළින් වරණනා කරන කාර්මික තාක්‍ෂණ ආයතනයට අද රේගුවේ ඉල්ලීම මත කැලණිය විශ්වවිිද්‍යාලයීය කණ්ඩායම සමග සම්බන්ධ වී තම පර්යේෂණ කටයුතුවල නිරතවීමට සිදු වී ඇත. මෙය ද අපේ ජයග්‍රහණ්‍රයක් නො වේ ද? කාර්මික තාක්‍ෂණ ආයතනය වරක් අපේ නියැදි පර්යේෂණවලට භාජනය කිරීම ද ප්‍රතික්‍ෂෙප කළ බව මෙහි දී අවධාරණය කළ යුතු ය.

අවශ්‍ය නම් කෘෂි රසායනවලින් වස විස අඩංගු කෘමිනාශක ගෙන්වීම පමණක් තහනම් කෙරීමට අංඩුවට පියවර ගත හැකි ය. ආංඩුව තීරණය ගත යුත්තේ ජනතාවට සහනයක් ගෙන දෙන අයුරින් ය. ආණ්ඩුව යනු මහජනයා විසින් පත්කරනු ලැබූ දේශපාලනඥයන්ගෙන් හා උපකරණවලින් සමන්විත වුවකි. ආණ්ඩුව ගන්නා තීරණය කුමක් වුවත් එය මහජනතාව විසින් සාකචඡා කිරීම වැදගත් ය. මහජනතාව බටහිර රසායන විද්‍යාව දන්නේ ද නැද්ද යන්න මෙහි දී වැදගත් නො වේ. යම්කිසි අයුරකින් මේ ප්‍රශ්න සම්බන්ධයෙන් උසාවියේ නඩුවක් පැවරුවහොත් එය විභාග කරන විනිසූරුතුමා රසායන විද්‍යාව දැන සිටිය යුතු බවට නියමයක් නැත. බටහිර රසායන විද්‍යාවෙන් පටන් ගත්ත ද මෙවැනි ප්‍රශ්න කෙළවර වන්නේ නීතියේ දී නැත්නම් දේශපාලනයෙහි දී ය. එබැවින් මෙවැනි ප්‍රශ්න සම්බන්ධයෙන් ඉදිරිපත්වන ලිපි හැකි ඉක්මණින් මහජනතාවගේ සාකච්ඡාවට බඳුන්වීම සුදුසු ය. ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ මහා මණ්ඩලයේ සාමාජිකයන් සිංහලෙන් ලියැවෙන වෙබ් අඩවිවලට ඇතුල්වන්නේ නම් අද ප්‍රශ්නය සාකච්ඡා කෙරෙන අන්දම අත්දැකගත හැකි ය.

අනෙක් අතට ඊනියා විද්‍යාත්මක පරීක්‍ෂණ පර්යේෂණ සඟරාවල පළවිය යුතු යැයි නීතියක් නැත. කෙසේ වෙතත් අපේ ප්‍රතිඵල හා ක්‍රම ඊනියා විද්වතුන්ට ඉදිරිපත් කෙරී නොමැතිය යන්න අසත්‍යයකි. ඊනියා විද්වත් සම්මේලන පහක දී ඒ ප්‍රතිඵල හා ක්‍රම ඉදිරිපත් කෙරී ඇත. ඉන් එකක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙහෙයවීමෙන් පවත්වන ලද සම්මන්ත්‍රනයකි. තවත් එකක් කෘෂිකර්ම ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. රජරට විශ්වවිද්‍යාලයේ එක් සම්මන්ත්‍රණයක් පැවැත්වුණු අතර එක් සම්මන්ත්‍රණයක් පැවැත්වුණේ කාර්මික හා තාක්‍ෂණ අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙනි. අවසාන සම්මන්ත්‍රණය අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි. මේ සම්මන්ත්‍රණවලදී අපේ ප්‍රතිඵල හා ක්‍රම ඉදිරිපත් කෙරුණු අතර ඒවාට විවිධ පර්යේෂණ ආයතනවල ඊනියා විද්‍යාඥයෝ සහභාගිවූහ. එහි දී මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුමගෙන් හා මහාචාර්ය උපාලි සමරජීවගෙන් හැරුණු විට විරුද්ධ යැයි කිවහැකි අදහසක් ඉදිරිපත් නො කෙරිණි.

ඉලේපෙරුම මහතා සැමදාමත් කියන ෆ්ලුවොරයිඩ් හා ඇලුමීනියම් කතාව හැරන්නට කීවේ කැල්සියම් ආසනේට් ජලයේ දිය නොවන බවත් හම්බන්තොට ආදී වෙනත් කිවුල් ජලය ඇති පෙදෙස්වල නිදන්ගත වකුගඩු රෝගය දක්නට නොලැබෙන බවත් ය. (කිවුල හා කැල්සියම් ආසනේට් ද්‍රාවණය පිළිබඳ ව පසුගිය විසිවැනි දා විිදුසර පත්‍රයෙහි ආචාර්ය මෙත්තිකා විතානගේ නම් මහත්මියක් ද සඳහන් කර ඇත) ෆ්ලුවොරයිඩ් කතාවට බොහෝ කලකට පෙර ඉන්දීය කණ්ඩායමක් පිළිතුරු දී තිබුනේ ඉන්දියාවේ ෆ්ලුවොරයිඩ් ව්‍යාප්තිය හා ඇලුමීනියම් භාජන පාවිච්චිය අනුව එහි රජරට දක්නට ලැබෙන නිදන්ගත වකුගඩු රෝගය බෙහෙවින් පැතිරී තිබිය යුතු ය යනුවෙන් බව ඒ මහතාට සම්මන්ත්‍රණයෙහි දී මතක් කර දෙන ලදී. ඒ පිළිතුර ලංකාවේ ෆ්ලුවොරයිඩ් ව්‍යාප්තිය සැලකීමේ දී මෙරටට ද අදාළ වෙයි.

කැල්සියම් ආසනේට් ජලයේ ද්‍රාවණය වන්නේ ආම්ලිකතාව හා උෂ්ණත්වය අනුව ය. ඒ බව සඳහන් පර්යේෂණ පත්‍රිකා වෙයි. අපට අදාළ ජලයේ කැල්සියම් ආසනේට් ද්‍රාවණය වෙයි. හම්බන්තොට ආදී ප්‍රදේශවල රෝගය දක්නට නොමැත්තේ කිවුල හා ආසනික් තිබුණ ද ආසනික් රඳවාගත හැකි පසක් එහි නොතිබීම ය. වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් (ආසනේට්) වුව ද අදාළ පස හා කිවුල නොමැතිව රෝගය නො වැළදෙයි. ඒ බව අප කියා ඇත්තේ වරක් දෙවරක් නො වේ. මහාචාර්ය සමරජීව මහතා නම් තම නොදැනීම ප්‍රකාශකිරීම හැරෙන්නට වෙනත් දෙයක් නො කළේ ය. ඔහු ආහාර හා පෝෂණය පිළිබඳ මහාචාර්යවරයකු ව සිටියේ කෙසේ ද යන ප්‍රශ්නය නම් පැනනගී. මෙහි දී විතානගේ මහත්මියගේ දැනගැනීමට තවත් කරුණක් කිව යුතු ය. රජරට වකුගඩු රෝගය ද පිළිකා රෝග විශේෂයෙක් බව අපේ කණ්ඩායමේ වෛද්‍යවරුන් කිහිප වරක් ම ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය අවසාන වශයෙන් කරන්නේ තර්ජනයකි. අපේ කණ්ඩායමේ නායකයා වන මා බටහිර විද්‍යාවට විවෘතව ම ගර්හාකරන්නකු බව ද මා “තොරතුරු සැපයීමේ පමණක් නොව ක්‍රමවේද ද සැපයීමේ මූලාශ්‍රය සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන් බව” ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බව ද පවසා අද්භූත ඇදහිලිවලට විද්‍යාව තුළ ඉඩක් නොමැති බව සංගමය තරයේ කියයි. අපේ කණ්ඩායමේ අනෙක් අය සැබෑ (ඉංගිරිසි ප්‍රකාශනයෙහි සීරියස්) විද්‍යාඥයන් ලෙස පීිළිගැනීමට ලක්වීමට නම් මගේ අසම්මත ප්‍රකාශවලින් බැහැරවීමට වගබලාගත යුතු යැයි ද අදාළ නිවේදනයෙහි සඳහන් වෙයි. විද්‍යා පීඨයක පීඨාධිපතිවරයාගේ අරමුණ විද්‍යාව පහළට ඇද හෙළීම සහ එයට නිහ්‍රහ කිරීම වීම අතිශයින් ම අවාසනාවන්ත තත්වයක් ලෙස විද්‍යාභිවර්ධන සංගමය සලකන බව ද නිවේදනයෙහි සඳහන් වෙයි.

තොරතුර හා ක්‍රමවේද කාගෙන් ලැබුණ ද අපේ කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් අවශ්‍ය පරිදි බටහිර විද්‍යාවේ සම්මත ක්‍රම අනුව පරික්‍ෂණ පවත්වා කෘමිනාශකවල හා අදාළ ප්‍රදේශවල ජලයේ (විශේෂයෙන් ලිංවල) ආසනික් ඇති බව පෙන්වා දී ඇත. ඉදිරි කාලයෙහි දී අවස්ථාව ලැබුණහොත් අනෙක් කණ්ඩායම් ඉදිරියෙහි දී ද ඒ බව පෙන්වනු ඇත. රාමනුජන් නම් සුප්‍රසිද්ධ ඉන්දීය ගණිතඥයා තම අනන්ත ශ්‍රේණි පිළිබඳ සූත්‍ර ලීවේ කාලි අම්මාට පූජා පැවැත්වීමෙන් පසුව ය. ඒවා සාධනය කරන්නේ කෙසේ දැයි එතුමා නොදැන සිටියේ ය. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ලෝක ප්‍රසිද්ධ හාඩි නම් විශිෂ්ටතම ගණිතඥයා ඇතුළු ගණිතඥයෝ ඒවා සාධනය කළහ. ඔවුන් රාමනුජන් මහතාට අදහස් ලැබුණේ කාගෙන් දැයි නොවිමසුවා පමණක් නොව ඒ මහතාට ලන්ඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක් (FRS) ද පිරිනැමූහ. සුද්දන්ටත් වඩා පර (විජාතික - අප නොවන අරුතින්) සුද්දන් වූ, හුදු තාෂණික ශිල්පීන් පමණක් වූ මෙරට පුහු විද්‍යාඥයෝ අපට තොරතුරු ලැබුණේ කෙසේ දැයි ප්‍රශ්න කරති. මොවුහු කෙතරම් දීනයෝ වෙත් ද?

බටහිර විද්‍යාවට නොව ගර්හා කළයුතු ඕනෑම දෙයකට ගර්හාකිරීමට මම බිය නො වෙමි. මම තවමත් ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ යාවජීව සාමාජිකයෙක්මි. මා ඒ බව පවසන්නේ උදම් ඇනීමට නොව හැකිනම් මගේ සාමාජිකත්වය අහෝසි කරන ලෙසට සංගමයට අභියෝග කිරීමට ය. බටහිර විද්‍යාවට මෙරට හිමි වී ඇති තැනින් එය ඇද හෙළිය යුතු අන්කිසිවක් නිසා නොව අද බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදීන් අප පාලනය කිරීමේ දී යොදාගන්නා ප්‍රධාන මෙවළම වීම නිසා ය. මා ජීවතුන් අතර සිටින තාක් මම ඒ කිරීමට උත්සාහ ගනිමි.

ශ්‍රි ලංකා විද්‍යභිවර්ධන සංගමය අපේ කණ්ඩායමේ අනෙක් අයට තර්ජනය කරන්නේ ඔවුන් මගේ ඊනියා අසම්මත අදහස්වලින් වෙන් නොවුනහොත් ඔවුන් සැබෑ විද්‍යාඥයන් ලෙස නොසලකන බවට ව්‍යංගයෙන් නමුත් තර්ජනය කමිනි. ඔවුන් මගේ අදහස් සමග එකඟ ද නැද්ද යන වග විද්‍යාභිවර්ධන සංගමය නොදැන, මේ කරන්නේ ඔවුන් ලවා මගේ අදහස් සමග එකඟ නොවන බවට ප්‍රකාශයක් කරවා ගැනීමට ය. ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයට එවැනි දෙයක් තම සාමාජිකයන් ලවා අනියමින්වත් කරවාගැනීමට එහි ව්‍යවස්ථාවෙන් හෝ රටේ ව්‍යවස්ථාවෙන් ලැබී ඇති අයිතිය කුමක් ද? අනෙක් අය තමන් දරණ අදහස් කුමක් විය යුතු දැයි තීරණය කිරීමට විද්‍යාඥයන් යැයි කියාගන්නා අයට ඇති අයිතිය කුමක් ද? මෙරට සිටින අඟුටුමිටි විද්‍යාඥයන්ට පල්ලියේ විවිධ වර්ණවල ලෝගු පොරවාගෙන යාර පනහට අඩු පෙරහැරවල කවටයන් මෙන් ගමන්කර සාමාන්‍ය මිනිසුන් ඉදිරියේ මහේශාඛ්‍යයන් ලෙස පෙනී සිටීමේ වරම බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදීන් ලබාදී ඇත්තේ බෞද්ධ සම්මා ආජීවයට විරුද්ධවීමට හා මතු බුදුවන නාථ දෙවියන් ඇතුළු සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන් අපේ විද්‍යාවෙන් ඉවත්කිරීමට ද?