Main Logo

Saturday 11 August 2012

අධ්‍යාපන අර්බුදය

නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා කෙරෙන අරගල වසර තිහක පමණ කාලයක් තිස්සේ තවමත් ඇවිලෙමින් පවතී. මේ අරගල විශේෂයෙන්ම විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ අරගල විය. ඒ අරගල ජාතික තලයට ගෙන ගියා නම් එය කලේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් මිස ජාතික මට්ටමින් මතුවූ දේශපාලණ ප්‍රවාහයන් මඟින් නොවේ. එදා සිට අද දක්වා මේ අරගල වල නායකත්වය දැරුවේද විශ්ව විද්‍යාල තුල ක්‍රියාත්මකවූ ආණ්ඩු විරෝධී දේශපාලණ පක්‍ෂවල අනුගාමික ශිෂ්‍ය කන්ඩායම් බව සැලකිය යුතු කරුණකි. මේ නිසාම ඇතැම් විට මේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගල වල නිදහස් අධ්‍යාපනය රැක ගැනීමේ උවමනාව පරයා ආන්ඩු විරෝධී වීමේ උවමනාවක් දක්නට තිබිනි නම් ඒ අහම්බයෙන් ඇති වූවක් නොවේ. එදා නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා කෙරුන විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගල සියලු අධ්‍යාපන ක්‍ෂේත්‍රයන්ට පොදු වූවත් අද ඒ අරගල පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටු වීමට එරෙහිව කෙරෙන සටනක් බවට සීමා වීමද සැලකිය යුතු කරුණකි. එයද අහම්බයෙන් සිදුවූවක් නොවේ. අනිකුත් වෘතීන්ට සාපේක්‍ෂව වෛද්‍ය වෘතියට ඇති අති මහත් දේශපාලණ බලයත්, විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගල මෙහෙය වන්නන් ගේ ආණ්ඩු විරෝධී බවත් අතර ඇති සබැඳියාව අද ඒ සටන සීමිත අභිමතාර්ථ උදෙසා කෙරෙන බල අරගලයක් වීමට හේතු වී ඇති බව පැහැදිලිය. මේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය අරගලයට ජීවය සපයන්නේ ඊනියා පංති භේදයක් පෙන්වා සිසුන් තුල වෛරය වඩවන මෙරටට ආගන්තුකවූ කැම්පස් සංස්කෘතියය. මේ කැම්පස් සංස්කෘතිය මඟින් නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා පැවති රජයනට යම් බලපෑමක් කිරීමට හැකි විනි. නමුත් අසූව දශකය අවසානයේ සරසවි සිසුන් ගණනාවක් මිය ගියේ ජවිපෙ විසින් රජ්‍ය බලය අල්ලා ගැනීමට කල සන්නද්ධ අරගලය පැවැති යූඑන්පී ආන්ඩුව විසින් කෲර ලෙස මර්ධනය කරද්දී මිස ඊනියා නිදහස් අධ්‍යාපනය රැක ගැනීම සඳහා කෙරුනු සටනකදී නොවන බව සඳහන් කල යුතුය. කෙසේ නමුත් මේ වනතුරු කිසිම රජයක් නොමිලේ ලබා දෙන අධ්‍යාපන සේවාව නතර නොකලේ ශිෂ්‍ය සටන් නිසාම දැයි නිශ්චිතව කිව නොහැක්කේ එවැනි සටන් නොමැතිවත් ඊට නොදෙවෙනි වියදමකින් නොමිලේ පවත්වාගෙන යන සෞඛ්‍ය සේවාව නතර කිරීමටද කිසිම රජයක් ඉදිරිපත් වී නොමැති බැවිනි. අවාසනාවට මේ අරගල විශ්ව විද්‍යාල කේන්ද්‍ර කරගෙන කෙරෙන නිසා අධ්‍යාපන ක්‍ෂේත්‍රය පුරාම පැතිර ඇති අර්බුදයක් විශ්ව විද්‍යාල ප්‍රශ්ණයක් ලෙස ලඝු කොට තැකීමට ජන මාධ්‍යත් දේශපාලකයනුත් පෙළඹී ඇත. එහි ප්‍රතිඵලය සරසවි ප්‍රශ්ණ විසඳීමට පමණක් පාලකයනුත් ඇබ්බැහි වීමය. නමුත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රශ්ණයෙනුත් ඔබ්බට ගිය අර්බුදයක් රටේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය පුරාම ඇති බව පැහැදිලිය. මේ අර්බුදය නිවැරදිව අවබෝධ කර ගැනීමට නම් කැම්පස් සංස්කෘතියෙන් එපිට ගොස් රටේ බලපවත්වන ආර්ථික දේශපාලනික සහ සංස්කෘතික බලවේග වලට සාපේක්‍ෂව ඒ දෙස සමස්ථ ශිෂ්‍ය පරම්පරාව සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ ඇසින් විමසා බැලිය යුතුය.

මෙරටුන් බටහිර අධ්‍යාපනය ලබන්නට පටන් ගත්දා සිටම අධ්‍යාපනයට සැලකුවේ බටහිර සංස්කෘතිය විසින් මෙරට නිර්මාණය කරන ලද සමාජ ධූරාවලියේ ඉහලට යා හැකි හිනි මඟක් ලෙසින් යැයි කිව හොත් එය අතිශෝක්තියක් නොවේ. සුළුතරයකට හිමිව තිබූ මේ හිනි මඟ නිදහස් අධ්‍යාපනය විසින් පොදු ජනතාවට අයිති කර දිනි. එමඟින් බටහිරුන් විසින් මෙරට බිහි කරන ලද සමාජ විශමතාව යම් දුරකට සමනය වුනු බව සත්‍යය. කොටින්ම බටහිර සමාජ ක්‍රමය විසින් නැති බැරි යැයි හැඳින්වුනු අයට එම ක්‍රමය තුලම ඇති හැකි අය බවට පත් වීමට බටහිර අධ්‍යාපනය හරහා හැකියාවක් ලැබිනි. අඩු තරමින් බටහිර අධ්‍යාපනය හරහා එසේ වන බව විශ්වාසයක් පොදු ජනයා අතර ගොඩ නැගී තිබිනි. නමුත් අද මේ ක්‍රියාවළිය ක්‍රමයෙන් උඩු යටි කුරු වෙමින් පවතී. අද බටහිර අධ්‍යාපනයෙන් ඇති හැකි අයට වඩාත් ඇති හැකි අය බවට පත්විය හැකි නමුත් නැති බැරි අයට අධ්‍යාපනය ලැබීමෙන් පමණක් ඔවුන් හා ඇති හැකි අය අතර ඇති පරතරය අඩු කර ගැනීමට ඇති ඉඩ කඩ සීමිතය. වර්තමාන බටහිර අධ්‍යාපනය තුලින්ම සමාජ විශමතාවක් ඇති කරවයි. ඒ නිසා අධ්‍යාපනය තුලින් පොදු ජනතාව අපේක්‍ෂා කරණ සාධරණය ඉටු නොවේ. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඇති අර්බුදය මෙයයි. නමුත් මෙය අධ්‍යාපන ක්‍ෂේත්‍රයට අවේනිකවූ අර්බුදයක් යැයි කිව නොහැකි. එයද රටේ විවිධ ක්‍ෂේත්‍රයන්හි බල පවත්වන ආර්ථික දේශපාලනික සහ සංස්කෘතික බලවේග වල එක් පැති කඩක් පමණි. අධ්‍යාපන අර්බුදයට පිළියම් සෙවීමේ දී මේ බලවේග සැලකිල්ලට නොගැන සිටිය නොහැකිය.

ආර්ථික විද්‍යාඥයන් කුමක් කීවත් පොදු වේ ගත් විට සමාජ විශමතා වර්ධනය වීම විවෘත ධනවාදී ආර්ථික ක්‍රමයේ ලක්‍ෂණයක් බව මේ වෙන විට අපි අත්දැකීමෙන්ම දන්නෙමු. මේ විශමතාවත් සමඟම එය ජය ගැනීමට කෙරෙන තරඟයක් ද වේ. මිනිසුන් අතර සිදුවෙන මේ තරඟය අද එදාට වඩා තියුනුය. තරඟය සදාචාරාත්මකද නොවේ. තරඟයක් මත පදනම්ව ඊනියා මානව විකාශයක් සිදුවේ යැයි විශ්වාස කරන බටහිර සංස්කෘතියට තරඟයෙන් තොර පැවැත්මක් නැත. අපි බටහිර සංස්කෘතික ආධිපත්‍ය බිඳ දමන දින මේ තරඟය අප සමාජයෙන් දුරු වනු ඇත. එතෙක් අපට කළ හැක්කේ පොදු සමාජයටම සාධාරණව තරඟ කල හැකි වාතාවරණයක් සකස් කිරීම පමණය, එනම් ප්‍රශ්ණය කළමණා කිරීම පමණය. මේ බටහිර ආර්ථික ක්‍රමය තුල අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විශමතාවක් ඇතිවීමද වැලැක්විය නොහැකිය. එහිද කල හැක්කේ ප්‍රශ්ණය කළමණා කිරීම පමණය. තරඟයක් සාධාරණය කල හැකි ක්‍රම දෙකකි. පළමුව සැමටම තරඟයට සහභාගී වීම සඳහා අවස්ථාව සලසා දිය යුතුය. දෙවනුව එහි නීති රීති සැමටම පොදු කල යුතුය.

අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුල සැමටම අවස්ථාවක් සැලසීම විවිධාකාරයට කල හැකිය. නිදහස් අධ්‍යාපනය එසේත් නැත්නම් රජයේ වියදමින් නොමිලේ අධ්‍යාපනය ලබා දීම මේ ඊනියා තරඟයට සහභාගී වීම සඳහා ඇති අවස්ථාවන් පුළුල් කල හැකි ප්‍රධානම මාර්ගයය. මේ නිසා නිදහස් අධ්‍යාපනය රැක ගැනීම අනිවාර්ය වේ. රටේ නොයෙක් ප්‍රදේශවල විවිධ ගණයේ අධ්‍යාපන ආයතන, එනම් පෙර පාසල්, පාසල්, වෘතීය පුහුණු මධ්‍යස්ථාන, විශ්ව විද්‍යාල පිහිටුවා සියලු ප්‍රදේශවල දරුවන්ට එක සේ අධ්‍යාපන පහසුකම් සැලසීමද සිදු විය යුතුය. මීට අමතරව සිසුන්ට ශිෂ්‍යත්ව, බැංකු ණය ආදිය ලබා දීමද කල හැකිය. නමුත් සියලු පෞද්ගලික අධ්‍යාපණ ආයතන මඟින් සිදු වන්නේද අධ්‍යාපනය ලැබීමට ඇති අවස්ථා පුළුල් වීම බව අප අමතක නොකල යුතුය. මේවායේ අධ්‍යාපනය මුදලට විකිනෙන බව සත්‍යය. නමුත් පෞද්ගලික උපකාරක පංති, ඊනියා ජාත්‍යාන්තර පාසල්, විවිධ ඩිප්ලෝමා සහතික සඳහා පාඨමාලා පවත්වන පෞද්ගලික ආයතන, පෞද්ගලික විශ්ව විද්‍යාල යනාදී මුදල් අය කර අධ්‍යාපනය ලබා දෙන සියලු ආයතන මඟින් අති විශාල සිසුන් පිරිසකට අධ්‍යාපනය සඳහා අවස්ථාවක් ලබා දෙන බව අප පිළිගත යුතුය. බොහෝ විට ඔවුන්ට මේ අවස්ථාව වෙන ආකාරයකින් නොලැබෙනවාද විය හැකිය. මුදල් අය කලත් නොකලත් පොදුවේ අධ්‍යාපනය ලබා දෙන ආයතන වැඩි වීමෙන් සිදු වන්නේ අධ්‍යාපනය ලබා ගැනීමට ඇති අවස්ථා වැඩි වීමය. සමාජ විශමතාවක් පවතින තාක් කල් සහ අධ්‍යාපනය තුලින් ඒ විශමතාව ජය ගන්නට පොදු ජනතාව අපේක්‍ෂා කරන තාක් කල් අධ්‍යාපනය ලැබීමට තිබෙන අවස්ථා වැඩි කිරීමෙන් මිස ඒවා අඩු කිරීමෙන් සමාජ සාධාරණයක් ඉටු කළ නොහැකිය. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි වීම වැලකිය නොහැක්කේ මේ නිසාය. කෙසේ වෙතත් මේ සියලු ගණයේ අධ්‍යාපන ආයතන යම් ප්‍රමිතියකට ලක් කිරීම රජයේ වගකීම වේ. එක වසරේ සිට දොළහ වසර දක්වා පාසල් අධ්‍යාපනය ලබාදෙන සියලු ආයතන වෙනමත් විශ්ව විද්‍යාල උපාධි පිරිනමන ආයතන වෙනමත් අනිකුත් විවිධ ඩිප්ලෝමා සහතික පිරිනමන ආයතන වෙනමත් ඊට සුදුසු විද්වත් සභා මඟින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්‍ෂණය යටතේ ප්‍රමිතියකට ලක් කල යුතුය. එවිට එවැනි සභාවකින් පිළිනොගැන ආයතන පවත්වාගෙන යෑමට අවසර නොලැබෙන පරිදි නීති සකස් කර ගත හැකි වනු ඇත.

නමුත් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අද ඇතිවී තිබෙන අර්බුදයට සෘජු හේතුව පෞද්ගලික අධ්‍යාපන ආයතන බිහිවීමම නොවේ. ඊට හේතුව පොදුවේ ආධ්‍යාපනය ලබාදෙන සියලු ආයතන මඟින් දෙනු ලබන අධ්‍යාපන වලට විවිධ වටිනාකම් සමාජ සම්මත වීමය. මේ සම්මුතියට අනුව සමාන හැකියාවන් ඇති දරුවන් දෙදෙනෙකු ආයතන දෙකකින් එකම දුරකට උගෙනුම ලැබුවත් ලබන අධ්‍යාපනයේ වටිනාකම වෙනස්ය. බොහෝ විට වඩා වටිනාකමක් ඇති අධ්‍යාපන වල එක්කෝ මිල අධිකය නැත්නම් එය ලබා ගැනීමට සමාජ-දේශපාලණ හයි හත්තියක් අවශ්‍යය. මේ නිසා බොහෝ විට නැති බැරි අය ඊනියා වටිනාකමින් අඩු අධ්‍යාපනයකුත් ඇති හැකි අය ඊනියා වටිනාකමින් වැඩි අධ්‍යාපනයකුත් ලබති. අධ්‍යාපනය තුලින් සමාජ විශමතාවක් ඇති වන්නේ මෙආකාරයෙනි. අර්බුදය මේ විශමතාව සමනය කිරීමට අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුල ක්‍රම වේදයක් නැති වීමය.
අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ විශමතාවන්ට දෙමව්පියන් ප්‍රථමයෙන් මුහුණ දෙන්නේ තම දරුවන් පාසල් වලට ඇතුලත් කර ගැනීමේදීය. එහි දී ඇති හැකි අයට වැඩි වටිනාකමක් ඇති අධ්‍යාපනයක් සැපයේ යැයි පිළිගැනෙන පාසල් වලට තම දරුවන් ඇතුලත් කර ගත හැකි වන අතර නැති බැරි උදවියට හිමි වන්නේ ඊට වඩා අඩු වටිනා කමක් ඇතැයි පිළිගැනෙන පාසල්ය. මේ විවිධ වූ පාසල් වලින් දරුවන් ලබා ගන්නේත් එකම වටිනාකමකින් යුත් දැනුමක් නොවේ. සමහරු දේශීය විභාග වලට මුහුණ දෙන අතර තවත් සමහරු විදේශීය විභාග වලට මුහුණ දෙති. මේවායේද සමාජගත වටිනා කම් වෙනස්ය. මේ විභාග සඳහා වන උපකාරක පංතිද විවිධ මිල ගණන් වලට ඇති අතර ඒ පුහුණුව දරුවන්ට ලැබෙන්නේද දෙමව්පියන්ට ඇති හැටියෙනි. පාසල් අධ්‍යාපනය නිම කරන දරුවෝ රැකියාවක් බලාපොරොත්තුවෙන් විවිධ පාඨමාලා වලට යොමු වෙති. මේ පාඨමාලා වලටද ඇත්තේ විවිධ වටිනාකම්ය. දරුවන් මේ පාඨමාලා තෝරා ගන්නේ තම දෙමව්පියන්ට ඇති හැටියෙනි. මේ අතර සුලු කොටසක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබති. මෙතැනදී ද ඇති හැකි දෙමව්පියන් සුලු පිරිසක් තම දරුවන් විදේශ විශ්ව විද්‍යාල වලට ඇතුලත් කර ගන්නා අතර සෙස්සන්ට හිමි වන්නේ අඩු වටිනාකමක් ඇතැයි සැලකෙන රජයේ විශ්ව විද්‍යාලය. රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වන තරුණයන්ද තම ඇති හැටියෙන් අමතර පාඨමාලා වලට කාලය සහ මුදල් වැය කරන්නේ උපාධියේ වටිනාකම වැඩි කර ගැනීමටය. මේ කිසි දෙයක් කර ගැනීමට නොහැකි වත්කමක් නැති අති විශාල බහුතරයක් තම ප්‍රාර්ථනා කඩ කරගනිමින් සමාජයේ මුල්ලකට තල්ලු වෙති. පොදු සමාජය තුල ඇති විශමතාව එලෙසම අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුලද බල පවත්වන්නේ මේ අයුරිනි.

නමුත් මේ ඊනියා වටිනා කම් අතර ඇති වෙනසෙහි අතිමහත් බව හුදු මවා පෑමක් පමණි. විවිධ මිළ ගනන් වලට විකුනුනත් උසස් හෝ පහත් යැයි සැලැකන ආයතන වලින් ලබා ගත්තත් මේ ලැබෙන විවිධ අධ්‍යාපනයන්හි ගුණාත්මක බවෙහි එතරම් වෙනසක් නැත. නමුත් වටිනාකම් අතර වෙනසක් පමණක් අප රට තුල මවාගෙන ඇත. උදාහරණයක් වශයෙන් ජාත්‍යන්තර පාසල් වලට ඊනියා වටිනාකමක් ලැබෙන්නේ එහි ඉංග්‍රීසියෙන් ඉගැන්වෙන නිසාත් ඊට සමාන්තරව ඉන් බටහිර සංස්කෘතික අභාෂයක් ලැබෙන නිසාත්ය. සමහර ජාත්‍යන්තර පාසල් තම වටිනාකම වැඩි කරගෙන ඇත්තේ හුදෙක්ම වැඩි ගාස්තුවක් අය කර ගනිමිනි. තවත් සමහර පාසල් තම උසස් බව කියා පෑමට සුදු ජාතික ගුරවරු යොදා ගනිති (නමුත් මෑතකදී එංගලන්තයේ හොඳම භෞතික විද්‍යා ගුරුවරයා ලෙස පිදුම් ලද්දේ ශ්‍රී ලාංකික උපාධිධාරයෙකි) අඩු තරමින් සුදු ජාතිකයකු පාසලේ උත්සවයකට ප්‍රධාන අමුත්තා ලෙසවත් ගෙන්වා ගනිති. තවත් පාසල් බටහිර සංස්කෘතියේ උසස් යැයි සැලකෙන නම් වලින් හඳුනා ගනිති, අඩුම තරමින් පාසල් නිල ඇඳුමින් හෝ රජයේ පාසල්වලින් වෙනස් වීමට බලති.

නමුත් මේ ඉංග්‍රීසියෙන් ඉගෙන ගැනීමෙහි ඇත්තේ පුහු වටිනාකමකි. නිදසුනක් ලෙස රජයේ පාසලින් සිංහලෙන් ඉගෙනගෙන රජයේ සිංහල උසස් පෙළ විභාගය සමත් වී රජයේ විශ්ව විද්‍යාලයේ සිංහලෙන් උපාධිය හදාරා බටහිර රටවලට ගොස් ඊනියා වැඩි වටිනාකම් ඇතැයි සැලැකෙන රැකියා කරන අය එමට සිටිති. මොවුන්ට ලංකාවේදී ඉංග්‍රීසියෙන් ඉගෙන නොගැනීම වත් ජාත්‍යන්තර පාසල් වල ඇති බටහිර සංස්කෘතික ආභාශය නොලැබීම වත් ප්‍රශ්ණයක් වී නැත. මෙයින් පෙනෙන්නේ මේ ජාත්‍යන්තර පාසල් වල වැඩි වටිනාකමක් ලබා දෙන අධ්‍යාපනයට ජාත්‍යන්තරව එතරම් වටිනාකමක් නැති බව නොවේද? මොවුන්ට බටහිර රටක තම උපාධියට සරිලන රැකියාවක නිරත විය හැකි නම් කොළඹ පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක එවැනිම රැකියාවක් ලබාගත නොහැකි වීමට හේතුවක් තිබිය හැකිද? පෞද්ගලික ව්‍යාපාරික ආයතන වල රජයේ උපාධියට අද අඩු වටිනාකමක් දෙන්නේ ඒ උපාධිධාරීන්ගේ උගත් කමේ අඩුවක් නිසා නොව ඔවුන්ට එවැනි බොහෝ ආයතනවල පවත්වාගෙන යන බටහිර සංස්කෘතික පරිසරයට අනුගත විය නොහැකිය යන පදනම මත බව රහසක් නොවේ. ඇතමෙක් රජයේ විශ්ව විද්‍යාලවල තත්වය උසස් කරන්නට යොජනා කරන්නේද අවසානයේ ගත් කල බටහිර සංස්කෘතික පරිසරයට අනුගත විය හැකි පුහුණුවක් උපාධි අපේක්‍ෂකයන්ට ලබා දීම මඟිනි. මෙවැනි පුහුණුවකින් උපාධි අධ්‍යාපනයේ වටිනාකම වැඩිවේ යැයි අප පිළිගත යුතුද?

මූලිකවම මේ ඊනියා වටිනාකම් දෙන්නේ අධ්‍යාපන විකුණන ආයතන මඟින්ය. නමුත් මේ විශමතාවට වැඩිම දායකත්වයක් ලබා දෙන්නේ අප රටේ දෙමව්පියන්ය. ඔවුන් බහුතරයක් පවතින සමාජ සම්මතයට අනුව ක්‍රියා කරමින් හැකි පමණින් උසස් යැයි සැලකෙන අධ්‍යාපනයක් තම දරුවන්ට ලබා දෙනවා මිස අසම්මත වූ තීරණ තම දරුවන් ගේ අධ්‍යාපනය වෙනුවෙන් ගන්නේ නැත. එහි වරදක් කිව නොහැක. පෙර පාසලේ සිට විශ්ව විද්‍යාල දක්වා අධ්‍යාපනය අද රටේ හොඳ ජාවාරමක් වී ඇත්තේ මේ නිසාය. කෙසේ වෙතත් දෙමව්පියන්ගේ මේ ආකල්ප අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඇති විශමතාව තවත් වර්ධනය වීමට සෘජුවම බලපාන බව කිව යුතුය. මේ ඊනියා වටිනාකම් ලබා ගැනීමට අති මහත් මුදලක් වැය කරමින් දෙමව්පියනුත් දරුවනුත් පීඩා විඳිති. එපමණක් නොවේ මේ ආයතන වලින් ලබා දෙන සංස්කෘතික ආභාෂය නිසා දෙමව්පියන් සහ දරුවන් අතර ඇති වන පරතරයද සුළුකොට තැකිය යුතු නොවේ.
අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ අර්බුදයක් හටගෙන ඇත්තේ මේ විශමතාවන් සමනය කිරීමට එම ක්‍ෂේත්‍රය තුල ක්‍රියාදාමයක් නොමැති වීමය. මීට ගත හැකි එක් ක්‍රියා මර්ගයක් නම් අධ්‍යාපන ගමණේ තීරණාත්මක අවස්ථාවල රටේ සියලු සිසුන් එකම විභාගයට වලට මුහුණ දීමට සැලැස්වා ප්‍රමිති කරණයට ලක් කිරීමය. මෙවැනි අවස්ථා දෙකක් හඳුනා ගත හැකිය. එකක් පාසල් අධ්‍යාපනයෙන් පසු විශ්ව විද්‍යාලයට ඇතුල් වන අවස්ථාවය. අනික උසස් අධ්‍යාපනය නිම වී රැකියාවකට අයදුම් කරන අවස්ථාවය.

අද රජයේ අ.පො.ස උසස් පෙල විභාගය සිසුන් විශ්ව විද්‍යාලයට තෝරා ගැනීම සඳහා යොදා ගත්තත් ඉන් සාධාරණයක් ඉටු වේ යැයි කිව නොහැකිය. ඊට හේතුව විවිධ වටිනාකම් ඇති පාසල් අධ්‍යාපනය සපයන ආයතනත් විවිධ වටිනාකම් ඇති විශ්ව විද්‍යාලත් තිබීමය. සමහර පාසල් රජයේ අ.පො.ස උසස් පෙල විශය නිර්දේශය අනුගමනය කරන අතර සමහරක් විදේශීය (ලංඩනයේ) විශය නිර්දේශය අනුගමනය කරති. මේ නිසා විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීමේදී පෞද්ගලික හා රජයේ විශ්ව විද්‍යාල අනුගමණය කරන්නේද එකම ප්‍රතිපත්ථියක් නොවේ.

මේ විශමතාවට එක් පිළියමක් නම් සියලු විශ්ව විද්‍යල සඳහා එක් ප්‍රවේශ විභාගයක් පැවැත්වීමය. අද ලංකාවේ සහ එංගලන්තයේ විශ්ව විද්‍යාලවලට ඇතුලත් කරගැනීම සඳහා අ.පො.ස උසස් පෙල විභාගය උපයෝගී කර ගත්තත් ලෝකයේ බොහෝ රටවල භාවිතා වන්නේ ද්වීතියික පාසල් අවසානයේ පැවැත්වෙන විභාගය නොව ඊට අමතරව පැවැත්වෙන විශ්ව විද්‍යල ප්‍රවේශ විභාගයක් බව කිව යුතුය. ඒ අනුව දොලොස් වසර දක්වා සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තත් දේශීය හෝ විදේශීය විශය නිර්දේශය අනුගමනය කලත් සියලු රජයේ සහ පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා සිසුන් තෝරා ගත යුත්තේ උසස් පෙල විභාගයට අමතරව පැවැත්වෙන පොදු විශ්ව විද්‍යල ප්‍රවේශ විභාගයක ප්‍රථිපල පදනම් කරගෙනය. මේ ප්‍රවේශ විභාග සෘජුවම විශ්ව විද්‍යාල පාඨමාලා වලට අනුකූලව සකස් කර ගත හැකිය. ඒ අනුව වෛද්‍ය විද්‍යා අංශයට ඇතුලත් වීමට එක් විභාගයකුත් කළමනාකරණ අංශයට ඇතුලත් වීමට එක් විභාගයකුත් ආදී වශයෙන් යොදා ගත හැකිය. අද පවතින ක්‍රමයට අනුව දහය වසරේ සිට විශ්ව විද්‍යාල අවසානය දක්වා යම් සිසුවකු ඉගෙන ගන්නේ ඉතා සීමිත විශයන් ගණනකි. නමුත් විශ්ව විද්‍යල ප්‍රවේශ විභාග ක්‍රමය නිසා අ.පො.ස උසස් පෙල අධ්‍යාපනයේ ඇති තරඟකාරිත්වය නැතිවී එහි විශය පථයද පුළුල් කර ගැනීමට අවස්ථාවක් ලැබෙනු ඇත. ඊට අනුකූලව සිසුවෙකුට අයැදුම් කල හැකි විකල්ප විශ්ව විද්‍යාල පාඨමාලා වලටද විවිධත්වයක් ලැබෙනු ඇත. ප්‍රවේශ විභාග සෘජුවම විශ්ව විද්‍යාල පාඨමාලා වලට අනුකූල නිසා අද මෙන් උසස් පෙල විවිධ විශයන්ට පෙනී සිටි සිසුන් ගේ ලකුණු සමබර කිරීමේ අවශ්‍යතාවක් පැන නඟින්නේ නැත. රටේ ඕනෑම විශ්ව විද්‍යාලයකට ඇතුලත් වීමට එකම විශ්ව විද්‍යල ප්‍රවේශ විභාගයක් යොදා ගන්නා නිසා රජයේ සහ පෞද්ගලික විශ්ව විද්‍යාල අතර ඇති විශමතාවද තරමක් සංසිඳෙනු ඇත. උදාහරණයක් වශයෙන් රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් කර ගැනීමේදී භාවිතාවන දිස්ත්‍රික්ක පදනම සියලුම විශ්ව විද්‍යාල වලටද අදාල කල හැකිය.

මීට අමතරව උපාධිධාරීන් රැකියා වලට බඳවා ගැනීමේදීද තෝරා ගත් විවිධ ක්‍ෂේත්‍රයන්හි ප්‍රමිතිකරණ විභාග යොදා ගත හැකිය. උදාහරණයක් වශයෙන් ආධුනිකත්ව පුහුණුව සඳහා තෝරා ගැනීමේදී සියලු වෛද්‍ය උපාධිධාරීන් එකම විභාගයකට මුහුණ දීමට සැලැස්ස වීමෙන් පෞද්ගලික හා රජයේ වෛද්‍ය විද්‍යා පීඨ වල ඇතැයි සැලැකෙන විශමතාවන් අවම කර ගැනීමට අවස්ථාවක් සැලසෙනු ඇත. පරිගණක ක්‍ෂේත්‍රයේද මෙවැනි ප්‍රමිතිගත විභාග පැවැත්විය හැකි නම් විවිධ පරිගණක පාඨමාලා අතර යම් සමානතාවක් ලබා ගත හැකි වනු ඇත. රටේ විවිධ ක්‍ෂේත්‍රවල ආධුනික කළමනාකරුවන් බඳවා ගැනීමේදීද මෙවැනි ප්‍රමිතිගත විභාගයක් යොදා ගත හැකිය.

ද්වීතියික අධ්‍යාපනය අවසානයේත් උසස් අධ්‍යාපනය අවසානයේත් පැවැත්විය හැකි ප්‍රමිතිකරණ විභාග මඟින් විවිධ ආයතන වලින් ලබාදෙන අධ්‍යාපන වලට සමාජයේ සම්මත වී ඇති විවිධ වටිනාකම් යම් පමණකට සමනය කර ගැනීමට හැකියාවක් ලැබෙනු ඇත. විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාග ඇති කිරීමෙන් අපොස උසස් පෙල විභාගයේ ඇති තරඟකාරිත්වය නැතිවනු ඇත. මේ හේතුව නිසා දොලොස් වසර දක්වා උගන්වන විශයන් ගණන වැඩි කර ගැනීමට ඉඩ ලැබෙන අතර ඉන් මතු අධ්‍යාපනයෙන් සමුගන්නා සිසුන්ට ඒ දක්වා ලබන අධ්‍යාපනයෙන් ප්‍රයෝජනයක් ලැබෙන පරිදි විශය පථ පුළුල් කර ගත හැකි වනු ඇත. පශ්චාත් උපාධි ප්‍රමිතිකරණ විභාග පැවැත්වීම නිසා විශ්ව විද්‍යාල සිසුන්ට තමන්ගේ උපාධියේ වටිනාකම වැඩි කර ගැනීම සඳහා අමතර ඩිප්ලෝමා සහතික ලබා ගැනීම අනිවාර්ය නොවනු ඇත. සිදුවිය යුත්තේ මේ විභාග සඳහා පුහුණුවක් විශ්ව විද්‍යාල තුලින්ම ලබා ගත හැකි පරිදි දැනට පවතින දෘඪ අධ්‍යාපන ධාරා ලිහිල් කොට විශය විකල්පයන් ඇති කිරීමය. මේ ආකාරයට රටේ පෞද්ගලික ව්‍යාපාර වලින් ඉල්ලුම් කරන දැනුමටත් එහා දැනුමක් ඇති උපාධිධාරීන් බිහි කිරීමට දැනටමත් මෙරට රජයේ විශ්ව විද්‍යාල වලට කිසිදු නොහැකියාවක් හෝ බාධාවක් නැත.

ප්‍රමිතිකරණ විභාග හරහා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඇති විශමතාවන් යම් දුරකට සමනය වනු ඇත. නමුත් එය ප්‍රශ්ණ විසඳීමක් නොව කළමණාකරණයකි. ඉන් කෙරෙන්නේ තරඟයට සහභාගී වන සියලු දෙනා පොදු නීති රීති පද්ධතියකට යට කිරීම මිස තරඟය නතර කිරීම නොවේ. අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඇති තරඟයට තුඩු දෙන විවිධ අධ්‍යාපන ආයතන අතර ඇති මහා වෙනස හුදු මවා පෑමක් බව මුලින් සඳහන් විනි. මේ මවා පෑම කරනු ලබන්නේ මූලික වශයෙන් ඊනියා ජාත්‍යාන්තර පාසල් සහ බටහිර රටවල විශ්ව විද්‍යාල සමඟ සම්බන්ධ පෞද්ගලික විශ්ව විද්‍යාල මඟින් සහ සුළු වශයෙන් විවිධ පාඨමාලා උගන්වන ආයතන මඟින්ය. මේ ආයතන මඟින් ලබා දෙන අධ්‍යාපන වලට ඊනියා වැඩි වටිනාකමක් මවාගෙන ඇත්තේ ඒවායේ ඉංග්‍රීසියෙන් ඉගැන්වෙන නිසාත් ඉන් බටහිර සංස්කෘතික ආභාශයක් ලැබෙන නිසාත් මිස ගුණාත්මක බවක් නිසා නොවේ. මේ මවා පෑම නිසා වැඩියෙන්ම පීඩාවට ලක් වන්නේ ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යපනය ලබන දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන්ය. මේ මවා ගත් වෙනස නැති කල හැක්කේ රටේ ආකල්ප වෙනස් කිරීමෙන් පමණි. නිර්දිශ්ටවම ප්‍රාථමික හා ද්විතීයික පාසල්වල ඉංග්‍රීසියෙන් අධ්‍යාපනය ලැබීමේත් ඊට සමාන්තරව බටහිර සංස්කෘතික අනුකරණයේත් අධ්‍යාපනික වටිනාකමක් නැති බව සමාජයට ඒත්තු ගැන්විය යුතුය. මෙය දේශ පාලනඥයින්ට කල නොහැකිය. ඔවුන් බොහෝ දෙනෙකුට කළ හැක්කේ වැඩිම වශයෙන් හොඳ කළමනාකරුවන් වීමට මිස ජනතාවට නායකත්වයක් දීමට නොවේ. එය ඔවුන්ගේ වරදක් නොව බටහිර දේශපාලන ආයතනවලම ස්වභාවයය. නමුත් රජයට ඒ වෙනුවෙන් කල හැකි දෙයක් ඇත. එනම් දැනටමත් යෝජනා වී ඇති පරිදි ජාත්‍යාන්තර පාසල් සමඟ තරඟ කල හැකි ප්‍රාථමික හා ද්විතීයික පාසල් රට පුරා පිහිටුවීමය.

තවම අප රටේ පාසල් අධ්‍යාපනය අප සංස්කෘතියෙන් සම්පූර්ණයෙන්ම ගිලිහී නැත. කැම්පස් සංස්කෘතියේ මෙන් නොව එහි ගුරුවරු දරුවන් යහ මඟ යැවීම තම වගකීම ලෙස සලකති. දරුවෝද ගුරුවරුන්ට ගෞරව පූර්වක වෙති. පාසලේ පරිසරය පංසලේ පරිසරයෙන් වඩා ඈත් නොවේ. මේ නිසා බොහෝ ප්‍රාථමික හා ද්විතීයික පාසල් තවමත් ඇත්තේ රටේ හදවතට කිට්ටුවෙන්ය. නව පාසල් ඇති කල යුත්තේද මේ පාසල් සංස්කෘතිය එලෙසම හෝ ඊටත් වඩා හොඳින් සිංහල බෞද්ධ සංස්කෘතියට අනුගත වෙන ආකාරයටය. ඒ පාසල් ජාත්‍යාන්තර පාසල් සමඟ තරඟ කල යුත්තේ ඉංග්‍රීසියෙන් ඉගැන්වීමෙන් වත් බටහිර සංස්කෘතික ආභාශයක් ලබාදීමෙන්වත් නොවේ. නමුත් ඒවාට ජාත්‍යාන්තර පාසල් වලට වඩා රටේ පිළිගැනීමක් ලබා දිය යුතුය. එය කලහැකි නොයෙක් ආකාර වේ. ප්‍රථමයෙන් ඒ පාසල් වලට නවීන පහසුකම් ලබා දිය යතුය. කැප වීමකින් වැඩ කරන ගුරු මණ්ඩලයක් සහ නායකත්වයක් ලබා දිය හැකි දක්‍ෂ විදුහල්පති වරයෙක් ලබා දිය යුතුය. ඔවුන්ට හොඳ වැටුපක් ගෙවිය යුතුය. එහි අධ්‍යාපනය පෝෂණය කිරීම සඳහා රටේ අනිකුත් විද්වතුන්ගේ ස්වේච්ඡා සහය ලබා ගත යුතුය. අවසානයේ විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාග වලින් විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගත යුතුය. මෙවැනි සුපිරි පාසල් කිහිපයක් දැනටමත් ප්‍රධාන නගරවල ඇත. කල යුත්තේ එවැනි පාසල් ගණනින් වැඩි කිරීමය. සුපිරි වීමේ බලාපොරොත්තුවෙන් එහි ඉංග්‍රීසියෙන් ඉගැන්වීමට වත් ආයාසයෙන් බටහිර සංස්කෘතික ආභාශයක් ලබාදීමට වත් නොයා යුතුය. කල යුත්තේ සිංහල බෞද්ධ සංස්කෘතික පරිසරයක හිඳිමින් වැඩි වටිනාකමක් ඇතැයි සමාජයේ පිළිගැනෙන අධ්‍යාපනයක් දීම පමණි.

ජානක වංශපුර