Main Logo

Sunday 5 August 2012

ඉසෙඩ් ලකුණ හා පඬියෝ - 2

පසුගිය සතියේ පළ වූ ලිපියෙහි දෝෂයක් ඇති බැවින් පළුමුවෙන් ම ඒ ගැන කණගාටුව පළකර එය නිවැරදි කළ යුතු ය. එහි පහත සඳහන් ඡෙදය සඳහන් ව තිබිණි. “ඒ ඒ විෂයයෙන් පළමුව ඉසෙඩ් ලකුණු ගණනය කිරීමෙන් පසු ඒ ඉසෙඩ් ලකුණුවලට භාරයක් හෝ පරිවර්තන අගයන් යොදාගත නො හැකි ය. එයට හේතුව ඉසෙඩ් ලකුණු ව්‍යාප්තියක මධ්‍යන්‍යය ශූන්‍යය වීම හා සම්මත අපගමනය එක වීම ය. ඒ ඉසෙඩ් ලකුණු කිනම් භාරයකින් වැඩිකර එක ලැයිස්තුවකට ගත්ත ද භාරය වෙනස් වුවත් ලැබෙන්නේ එකම ලැයිස්තුවකි. ඒ ලැයිස්තුව අන් කිසිවක් නොව ඉසෙඩ් ලකුණු තුල්‍ය ලෙස ගැනීමෙන් සකස් කෙරෙන ලැයිස්තුවම ය. මහාචාර්ය තටිල් මහතා හෝ විද්වත් කමිටුව හෝ මේ පිළිබඳව සිතා බැලි දැයි නො දනිමි. ඒ කෙසේ වෙතත් මහාචාර්ය තටිල් මහතා හඳුන්වා දී ඇති ක්‍රමය අනුව නව නිර්දේෂයේ හා පැරණි නිර්දේශයේ ඒ ඒ විෂයයෙන් ලබාගන්නා ඉසෙඩ් ලකුණු තුල්‍ය ලෙස සැලකෙයි. මෙය මුළුමනින් ම සංකල්පීය හා ෙසෙද්ධාන්තික වශයෙන් ගත්කල දෝෂ සහිත ය.”

ඉසෙඩ් ලකුණු ගණනය කෙරෙන්නේ ම ඒ ලකුණුවල ව්‍යාප්තියෙහි මධ්‍යන්‍ය ශූන්‍ය වන අයුරෙන් හා සම්මත අපගමනය එක වන අයුරෙනි. වෙනත් ආකාරයකින් කියන්නේ නම් ඉසෙඩ් ලකුණු ව්‍යාප්තිය ප්‍රමත ව්‍යාප්තියකි. දෙන ලද මුල් (අමු) ලකුණු ව්‍යාප්තියකින් ඉසෙඩ් ලකුණු ව්‍යාප්තියක් ලබාගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රමයක් වෙයි. එනම් මුල් ව්‍යාප්තියෙහි මධ්‍යන්‍යය ශිෂ්‍යයාගේ මුල් ලකුණෙන් අඩුකර ඒ ලැබෙන ප්‍රතිඵලය මුල් ව්‍යාප්තියෙහි සම්මත අපගමනයෙන් බෙදීමෙනි. මුල් ව්‍යාප්තියෙහි මධ්‍යන්‍යය μ සහ සම්මත අපගමනය σ නම් යම් විෂයයකින් මුල් (අමු) ලකුණු x ගත් සිසුවකුගේ ඉසෙඩ් ලකුණ වූ z පහත සඳහන් සුත්‍රයෙන් ලැබෙයි. z = (x - μ) /σ . මෙය අනන්‍ය සූත්‍රයකි. එනම් ශිෂ්‍යයාගේ මුල් ලකුණ හෙවත් x දුන් කල අනන්‍ය වූ z අගයක් ලැබෙයි.

නැවත නැවතත් කිවයුතු කරුණක් වනුයේ මහාචාර්ය තටිල් මහතා මෙම සූත්‍රය පළමුවෙන් ව්‍යුත්පන්න කළ තැනැත්තා නොවන බව ය. ඔහු කර ඇත්තේ ඒ සූත්‍රය 2001 වසරේ දී නව හා පැරණි නිර්දේශ දෙකක් තිබූ අවස්ථාවෙහි එම ඉසෙඩ් ලකුණු ක්‍රමය ලංකා විභාග දෙපාර්තමේන්තුවට, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට හා වෙනත් අදාළ අයට හඳුන්වාදීම පමණකි. ඔහු එහි දී මෙරට උගතුන්ගෙන් අති මහත් බහුතරයෙන් වෙනස් නො වෙයි. මෙරට උගත්තු නිර්මාණශීලීව අළුත් සංකල්පයක්, ප්‍රවාදයක් ඉදිරිපත් කිරීමට අසමත් වෙති.

2001 දී මෙන් ම 2011 දී ද සිසුහු නව නිර්දේශයක් හෝ පැරණි නිර්දේශයක් හෝ යටතේ උසස් පෙළ පරීක්‍ෂණයට පෙනී සිටියහ. එහෙත් 2001 දී සිසුන් නව නිරදේශය යටතේ පෙනී සිටි ඇතැම් විෂයයන් පැරණි නිර්දේශය යටතේ නො වී ය. එමෙන් ම පැරණි නිර්දේශය යටතේ තිබූ ඇතැම් වි’ෂය නව නිර්දේශය යටතේ නො වී ය. එබැවින් ඇතැම් විෂයයන් යටතේ නව නිරදේෂයේ හා පැරණි නිර්දේශයේ ලකුණු ඒකරාශි කර එක් සංචිතයකට ගෙන ඒමක් ගැන කතාකිරීමටවත් නොහැකි විය. එබැවින් 2001 දී මහාචාර්ය තටිල් මහතා සහ අනෙක් අය නිර්දේශ කළ ක්‍රමයට විකල්ප ක්‍රමයක් නොතිබුණා විය හැකි ය.

එහෙත් 2011 දී සිසුන් පැරණි නිර්දේශයෙන් පෙනී සිටියත් නව නිර්දේශයෙන් පෙනී සිටියත් එසේ කළේ එකම විෂයයන්ට ය. එබැවින් 2001 දී නොතිබු අවස්ථාවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට මෙන් ම විභාග දෙපාර්තමේන්තුවටත් උදාවිය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සිසුන් සරසවිවලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට විද්වත් කමිටුවක් පත්කළේ ඒ අරමුණින් ද යැයි සිතිය හැකි ය. අප නිතර ම කියා ඇති පරිදි කිනම් ආකාරයකට සිසුන් විභාගයට පෙනී සිටියත් උසස් පෙළ පරීක්‍ෂණයෙන් සමත්වන සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගත හැක්කේ එක් ලැයිස්තුවකින් පමණ ය.

ඒ ලැයිස්තුව යම් පිළිගත හැකි හේතු මත පදනම් වී සකස් කෙරෙන අනන්‍ය ලැයිස්තුවක් විය යුතු ය. යම් ක්‍රමවේදයකට අනුව ලැයිස්තු ගණනාවක් පිළියෙළ කරගත හැකි නම් ඒ ක්‍රමවේදය පිළිගත හැකි එකක් නො වේ. 2011 දී විද්වත් කමිටුව නිර්දේශ ලර ඇත්තේ යම් ස්‍රත්‍රයකට අනුව පැරණි හා නව නිරදේශ දෙකේ ලකුණු ඒකරාශී කර එක් සංචිතයකට ගෙන පසුව ඉසෙඩ් ලකුණු ගණනය කිරීමට ය. ඒ ස්‍රත්‍රය යෙදීමෙන් පසු ඉසෙඩ් ලකුණු ගණනය කිරීමෙන් ලැබෙන්නේ එක් ලැයිස්තුවක් පමණ ය. එය අනන්‍ය වූ ලැයිස්තුවකි. එහෙත් ප්‍රශ්නය ඇත්තේ යොදාගත් ස්‍රත්‍රය සම්බන්ධයෙනි. ඒ සූත්‍රය නිවැරදි නො වේ.

තටිල් මහතා යෝජනා කර පසුව ක්‍රියාත්මක කළ ක්‍රමය අනුව පළමුව ඉසෙඩ් ලකුණු වෙන වෙන ම ගණනය කර පසුව ඒ ඒ විෂයයෙන් සංචිත ඉසෙඩ් ලකුණු ව්‍යාප්ති ලබා ගැනෙයි. එහෙත් එසේ ඉසෙඩ් ලකුණු ව්‍යාප්ති ලබාගැනීමේ අනන්‍ය ක්‍රමයක් නැත. නව නිර්දේශයේ හා පැරණි නිර්දේශයේ ලකුණු ව්‍යාප්ති යම් භාරවලින් වැඩිකර ඉන්පසු ඒ ඉසෙඩ් ලකුණු ඒකරාශි කර සංචිතයක් නිර්මාණය කළේ යැයි සිතමු. නව නිර්දේශයේ ඉසෙඩ් ලකුණුවලට a1 භාරයක් හා පැරණි නිර්දේශයේ ඉසෙඩ් ලකුණුවලට a2 භාරයක් දුන්නේ යැයි සිතමු. එවිට සංචිතයේ ව්‍යාප්තිය a1z1 + a2 z2 මගින් දෙනු ලැබේ. පසුගිය සතියෙහි ලිපියෙහි සඳහන් වූයේ මේ භාර කුමක් වුවත් එකම ලැයිස්තුවක් ලැබෙන බව ය. එය නිවැරදි නො වේ. භාර වෙනස් වන විට අපට වෙනස් සංචිත හා ඒ අනුව වෙනස් ලැයිස්තු ලැබෙයි.

a1z1 + a2 z2 ව්‍යාප්තියෙහි ද සාමාන්‍යය ශූන්‍ය වෙයි. එහෙත් එහි සම්මත අපගමනය එකට සමාන නො වෙයි. සම්මත අපගමනය a1 හා a2 භාර මත පරායත්ත වෙයි. එපමණක් නො වේ. සම්මත අපගමනය එක වන ව්‍යාප්ති ද අනන්තයක් වෙයි. මහාචාර්ය තටිල් මහතාගේ නිර්දේශයෙන් ද සම්මත අපගමනය එකට සමාන වෙයි. එහෙත් එහි දී අ1 හා අ2 භාර සමාන වන බව උපකල්පනය කෙරෙයි. එවිට a1 = a2 =1 වන බව පෙන්විය හැකි ය. එසේ වන්නේ නව නිර්දේශයේ හා පැරණි නිර්දේශයේ ඉසෙඩ් ලකුණු තුල්‍ය නම් පමණකි. මහාචාර්ය තටිල් මහතාවත් විද්වත් කමිටුවවත් ඒ ගැන කල්පනා කළ බවක් දනෙගන්නට නැත. මහාචාර්ය තටිල් මහතාට ප්‍රශංසා කරන ජනමාධ්‍යවේදීන් මේ ගැන කිසිසේත්ම කල්පනා නොකරන්නට ඇත. ඒ මහතා ගැන බොහෝ උද්‍යෝගයෙන් කතාකරන බොහෝ දෙනා ඉසෙඩ් ලකුණ ගණනය කරන්නේ කෙසේද යන්නවත් නො දනිති.

වෙනත් වතාවල බටහිර වෛද්‍ය පීඨවලට ඇතුළත් වූ සිසුන්ගෙන් 58%ක් පමණ නැවත පෙනී සිටි සිසුන් බවත් එහෙත් 2011 ප්‍රතිඵල අනුව බටහිර වෛද්‍ය පීඨවලට ඇතුළත් වන නැවත පෙනී සිටි සිසුන් සංඛ්‍යාව 26% ක් පමණක් බවත් විවෘත විශ්වවිිද්‍යාලයේ ආචාර්ය ගුණතිලක මහතා පෙන්වා දී ඇත. දැන් ප්‍රශ්නය ඇති වී තිබෙන්නේ මේ කරුණ මුල් කරගෙන ය. එහෙත් එක්තරා දේශපාලන පක්‍ෂයකට හිතවත් ජනමාධ්‍යවේදීන් ප්‍රචාරය කරන්නේ විද්වත් කමිටුවේ නිර්දේශ මත ඉසෙඩ් ලකුණු කලින් නිකුත්කිරීම හේතුවෙන් අනවශ්‍ය ප්‍රශ්නයක් ඇතිකර තිබෙන බව ය.

එය කිසිසේත් ම සත්‍යයක් නො වේ. විද්වත් කමිටුවේ නිර්දේශය මත පදනම් වී ඉසෙඩ් ලකුණු නිකුත් කිරීම නිසා ඒ ලකුණු අනුව විශ්වවිද්‍යාලවලට ඇතුලත් වීමට සිටි බොහෝ අයට තටිල් ක්‍රමයට ගණනය කිරීමෙන් පසු නිකුත්කළ ඉසෙඩ් ලකුණු මත පදනම් වී සරසවිවලට ඇතුළත් වීමට නොහැකි බව හෙළි වී ඇති බව පැහැදිලි ය. එහෙත් ඒ නැතත් විද්වත් කමිටුවක් පත්නොකර මුල දී ම තටිල් ක්‍රමයට ඉසෙඩ් ලකුණු ගණනය කර ඒ මත පදනම් වී ශිෂ්‍යයන් විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යයන් ඇතුළත් කර ගත්තත් මේ ප්‍රශ්නය ඇතිවීම වැළැක්විය හැකි නො වේ. එයට හේතුව ඒ ක්‍රමය මත විශ්වවිද්‍යාලවලට ඇතුලත් කරගන්නා නැවත පෙනී සිටි ශිෂ්‍යයන් සංඛ්‍යාව අඩුවීම ය. ඒ ශිෂ්‍යය සංඛ්‍යාව 58% සිට 26% දක්වා අඩුවීම තේරුම් ගැනීමට එතරම් කාලයක් ගත නො වේ. උසස් ශ්‍රේණි ලබාගත් නැවත පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට තේරී පත් වී නැති බව තේරුම් ගැනීමට එතරම් දක්‍ෂකමක් අවශ්‍ය නොවන බව තේරුම් ගත නොහැක්කේ අදක්‍ෂ ජනමාධ්‍යවේදියකුට විය හැකි ය.

මේ අවුලට සම්පුර්ණයෙන් වගකිවයුත්තේ ඇතැම් දේශපාලන පක්‍ෂවලට හිතවත්කම් දක්වන ගුරු සංගම් නිලධාරීන්, ජනමාධ්‍යවේදීන් හා තමන් නිර්දේශ කළ ක්‍රමය පමණක් නිවැරදි යැයි කී මහාචාර්ය තටිල් මහතා ආදී පිරිස් ය. ඒ ඒ විෂයයෙහි ඒ නිර්දේශයෙහි ඉසෙඩ් ලකුණු පළමුව වෙන වෙන ම ගණනය කර අනන්‍ය ප්‍රමත ඉසෙඩ් ලකුණු ව්‍යාප්තියක් ලබාගත නො හැකි ය. තටිල් මහතා කරන වරද නම් ඒ ඒ විෂයයට නව නිර්දේඃයෙන් පෙනී සිටි සිසුන්ගේ ඉසෙඩ් ලකුණු හා පැරණි නිර්දේශයෙන් පෙනී සිටි සිසුන්ගේ ඉසෙඩ් ලකුණු තුල්‍ය බව උපකල්පනය කීිරීම ය. එය වැරදි උපකල්පනයකි.

ඒ වැරදි උපකල්පනයක් බව අපි මුලදීම පෙන්වා සිටියෙමු. එසේම විද්වත් කමිටුව විසින් නිර්දේශිත ක්‍රමය, එනම් පළමුව ඒ ඒ විෂයයෙන් පෙනී සිටි සිසුන් එක් සංචිතයකට ඒකරාශි කර පසුව ඉසෙඩ් ලකුණු ගනනය කිරීම නිවැරදි වුවත් ඔවුන් විසින් නිර්දේශ කරනු ලැබූ සූත්‍රය දෝෂ සහිත බව අපි කියා සිටියෙමු. එහෙත් එය ඊනියා ජනතාවාදී ආණ්ඩු විරෝධී ප්‍රකාශයක් නොවූ හෙයින් ආණ්ඩු විරෝධී ජනතාවාදී වීරයෝ එය නොසළකා සිටියහ. එමෙන් ම බලධාරීහු ද ඔවුන්ට ම විශේෂිත වූ යම් හේතුවක් නිසා එය ප්‍රතික්‍ෂෙප කළහ.

එහෙත් මේ පඬියන් විවිධ හේතු නිසා තම තමන්ට ආවේණික අන්දමට ක්‍රියා කිරමෙන් අද අමාරුවට පත් වී ඇත්තේ සිසුන් හා ආණ්ඩුව ය. ඊනියා ජනතාවාදී ආණ්ඩු විරෝධීන් නිසා අද අසාධාරණයට ලක් වී ඇති සිසුන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කිරීම ආණ්ඩුවේ වගකිම වී ඇත. අද ආණ්ඩු විරෝධීහු සුපුරුදු ආකාරයට තම අවස්ථාවාදය හෙළිදරවු කරමින් අසාධාරණයට පත් වූ සිසුන් වෙනුවෙන් සාධාරණය ඉටුකරන්න යැයි ආණ්ඩුවට බලකර ඒ සම්බන්ධයෙන් ද දේශපාලන වාසි ලබාගැනීමට සූදානම් වෙති. එහෙත් සිසුන් අසාධාරණයට ලක්කරනු ලැබුයේ තමන් විසින් බව මේ විරයන්ට නො තේරෙයි.

ආණ්ඩුවට අද සිදු වී ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයට හෝ අඩුපාඩුකම් සහිත විශ්වවිද්‍යාලයකට හෝ ඇතැම් සිසුන් ඇතුළත් කිරීම ය. එය කළ නොහැකි නම් තවත් අඩුපාඩුකම් සහිත විශ්වවිද්‍යාලයක් ඇති කිරීම ය. ඒ කුමක් කළත් ඊනියා ජනතාවාදී වීරයන් නැවතත් කළ එළි බසිනු ඇත. ඔවුන්ට උද්ඝෝෂණ පැවැත්වීමට වර්ජන ඇති කිරීමට එමගින් මාතෘකා සැපයෙනු ඇත. තම දේශපාලන පක්‍ෂවලට වාසි ලබාගැනීමට සිසුන් දඩමීමා කර ගැනීම ඉතා ඛෙජදනක කරුණක් බව අමුතුවෙන් කිවයුතු නො වේ.

විද්වත් කමිටුව විසින් නිර්දේශිත ස්‍රතය වැරදි වුවත් ඒ අනුව ගණනය කිරීමේ දී විශ්වවිද්‍යාලවලට ඇතුලත් කරගන්නා සිසුන්ගෙන් 55% ක් පමණ පැරණි නිර්දේශයෙන් පෙනී සිටියවුන්ගෙන් සමන්විත වීමට තිබිණි. එසේ වී නම් පැරණි නිර්දේශයෙන් පෙනී සිටි සිසුන්ට අසාධාරණයක් නොවීමට තිබිණි. මෙය සාධාරණය ඉටුකිරීමේ ප්‍රශ්නයක් නොව ඊනියා දක්‍ෂයන් විශ්වවිද්‍යාලවට තෝරා ගැනීමේ ප්‍රශ්නයක් බව කියන පුහු ජනමාධ්‍යවේදීන්ට හා අනෙක් අයට කිවයුත්තේ 2011 වසරේ හදිසියේ නව නිර්දේෂයට පෙනී සිටියවුන් අතරෙන් මෙතරම් දක්‍ෂයන් පිරිසක් තේරීමට විශේෂ හේතුවක් නැති බව පමණ ය. වෙනත් වසරවල විශ්වවිද්‍යාලවලට තෝරා ගැනෙන සිසුන්ගෙන් පළමු වතාවට පෙනී සිටි සිසුහු 42%ක් පමණ වෙති. 2011 දී එය 74% දක්වා වැඩි වූයේ කෙසේ ද යන්න මහාචාර්ය තටිල් මහතාට හෝ ඔහු නිවැරදි යැයි කියන ගුරු සංගම් නිලධාරීන්ට හෝ ජනමාධ්‍යවේදීන්ට හෝ තේරුම් කර දිය හැකි ද?