Main Logo

Sunday 5 August 2012

මෙරට දෙමළ සංස්කෘතිය නැති කිරීම

අවුරුදු පනස්දෙකකට පමණ පසුව පසුගිය සතියේ යාපනය, කිලිනොච්චිය මුලතිව් ප්‍රදේශවල සංචාරයක යෙදීමේ අවස්ථාව මට ලැබිණි. ඒ ප්‍රදේශවල දී දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමේ ගෞරවය එයට දේශපපාලන නායකත්වය දුන් ජනාධිපතිතුමාටත් එයට අවශ්‍ය සියළු කටයුතු ඉදිරි දැක්මකින් යුක්තව කලමණාකරණය කළ ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාටත් හිමිවෙයි. එහෙත් රණවිරුවන්ගේ කැපකිරීම, දක්‍ෂතාව, ජාති වාත්සල්‍යය ආදී ගුණ නොමැතිව එය කිසිසේත්ම ඉටු නොවනු ඇත. අප කලින් සිතා සිටියේ මේ ජයග්‍රහණයට අපෙන් ද යම්කිසි දායකත්වයක් වූ බව ය. එහෙත් රණවිරුවන් හමුවේ අප හිරු දුටු කදෝපැණියන් බව මා අත්දුටුවේ ඒ ප්‍රදේශවල කරන ලද සංචාරයෙන් පසුව ය. අපේ ඊනියා කාර්යභාරයක් ගැන කතාකිරීමට පවා අප පෙළඹීම ගැන මම දැන් ලජ්ජා වෙමි. ඒ ප්‍රදේශ දෙමළ ත්‍රස්තවාදයෙන් මුදාගෙන දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ රණවිරුවන්ගේ අසළකටවත් පැමිණීමට විශ්වවවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය විසින් ඊනියා විශේෂිත පුද්ගලයන් ලෙස මහා උජාරුවෙන් අගය කෙරෙන ආචාර්ය මහාචාර්යවරුන්ට නො හැකි ය. මෙරට විශේෂිත පුද්ගලයෝ අන් කවරකුවත් නොව රණවිරුවෝ ය. රණවිරුවන් විසින් කර ඇති සේවය (එය සේවයක් නො වේ. ඒ උදාර කාර්යය විස්තර කිරීම සඳහා මට වචනයක් නැත) හමුවේ උදාර නොව උදර සේවයෙහි යෙදෙන ආචාර්යවරුන්ගේ ඉගැන්වීම් හා ඊනියා පර්යේෂණ තඹ දොයිතුවක්වත් නො වටී. රණවිරුවන්ගෙන් අති මහත් බහුතරය විශ්වවිද්‍යාලයකට පය ගසාවත් නැත. නිලධාරි මට්ටමේ බොහෝ දෙනා ද (නිලයන්) විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනයක් නොලැබුවෝ වෙති. ඒ මානව සම්පත පුහුණු කෙරුණේ සම්මත අධ්‍යාපන ක්‍රමයෙන් පිටත ය. විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගෙන් දෙමළ ත්‍රස්තවාදය හා ඊනියා ජාතික ප්‍රශ්නය ගැන ලියූ අය අතරෙන් ආචාර්ය නිර්මාල් දේවසිරි ඇතුළු බහුතරය කියා සිටියේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ නොහැකි බව ය. ඔවුහු සිංහල බෞද්ධ සංස්කෘතියේ ඊනියා ආධිපත්‍යයක් ගැන ලිවූහ. විශ්වවිද්‍යාලවලින් පුහුණු කෙරෙන ඊනියා මානව සම්පත් මගින් පසුගිය අවුරුදු හැත්තෑවක කාලය තුළ (ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි ආයතනය ද ගතහොත් අවුරුදු අනූවක පමණ කාලයක්) රටට සිදු කර ඇති සේවය කුමක් ද? මේ ඊනියා මානව සම්පත අද රටේ දුෂණවලට හා අකර්මණ්‍යයට දේශපාලනඥයන්ට ද වඩා වගකිව යුතු ය. ඒ ඊනියා සම්පත නොවන්නට රටට යම් භාග්‍යයක් උදාවීමට ඉඩ තිබිණි. විශ්වවිද්‍යාලයීය ඇදුරන්ට තරම් මුළු වැටුප් වැඩිවීමක් රාජ්‍ය අංශයේ කිසිම ක්‍ෂෙත්‍රයක සිදු වී නැත. ඔවුන්ට සත පහක වැටුප් හෝ දිමනා වැඩිවීමක් නොකළ යුතු ය. ආණ්ඩුවට වැඩිපුර මුදල් ඇත්නම් කළ යුත්තේ රණ විරුවන්ගේ සුභ සාධනයට ප්‍රතිපාදන වෙන් කිරීම මිස දළ ජාතික නිෂ්පාදිතය ගැන හෝ දළ ගෘහස්ථ (දේශීය) නිෂ්පාදිතය ගැන හෝ හයක් හතරක් නොදත් කිසිම නිර්මාණශීලීත්වයක් නොමැති අනුකාරක සරසවි ඇදුරන්ට තව තවත් දීමනා ගෙවීම නො වේ. ඔළුව ඉදිමී ඇති මොවුන්ට මොවුන් විසින් එතරම් උගතකු ලෙස නොසැලකෙන ඇමති එස් බී දිසානයක මහතා පසුගිය දා දළ ගෘහස්ථ නිෂ්පාදනය ගැන මූලික පාඩමක් ඉගැන්වී ය. අනුකාරකයන් බටහිරයන්ගේ මතිමතාන්තර දෙසාබාද්දී රණවිරුවෝ තම නිර්මාණශීලීත්වය විදහා පාමින් ත්‍රස්තවාදය පරාජය කළහ. ඔවුහු බටහිරයන්ගේ ආධාරයෙන් අවසානයේ දී නන්දිකඩාල් කලපුව ඔස්සේ මුලතිව් වෙරළින් පැන යෑමට සැලසුම් කළ ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුවේ දී අවසාන සටනේ දී අපායට යැවූහ.

කිලිනොච්චි ප්‍රදේශය වත්මන් සංවර්ධන ආකෘතියෙහි ගමන් අරඹා ඇත. පුදුකුඩුඉරිප්පු හා අවට ප්‍රදේශවලට චෙල්වනායගම්ලා ප්‍රභාකරන්ලා කර ඇති විනාශය වෙනුවට වත්මන් සංවර්ධනයක් ඇතිකිරීමට තරමක කාලයක් ගතවනු ඇත. බටහිරයන්ගේ ආධාර අනුග්‍රහ ලැබූ ප්‍රභාකරන්ලාගේ කෙරුවාව එතරම් ම දරුණු ය. යාපනය නගරය හා අවට තවමත් ඇත්තේ හැත්තෑවේ් දශකයේ මුල යැයි කිව හැකි ය. මේ ප්‍රදේශවල කළ යුතු කාර්යයන් බොහෝමයක් වෙයි. එහෙත් බටහිර සංවර්ධනයක් ඔස්සේ මේ ජනතාව දිනගත හැකි යැයි මම නො සිතමි. ආණ්ඩුවට වෙනත් සංවර්ධන ආකෘතියක් දැනට නොමැති බැවින් බටහිර සංවර්ධන ආකෘතිය පසුපස යෑම වරදක් නො වේ. එහෙත් චෙල්වනායගම් ඉදිරියට පැමිණියේත් ප්‍රභාකරන්ට මග පෑදුවේත් ජී ජී පොන්නම්බලම්ගේ කර්මාන්ත ප්‍රතිපත්තිය යටතේ කන්කසන්තුරේ සිමෙන්ති කම්හල, පරන්තන් රසායනික කම්හල, නැගෙනහිර පළාතේ විවිධ කම්හල් ඇතිකිරීම මධ්‍යයේ බව අමතක නොකළ යුතු ය. දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ ආණ්ඩුවට හා රණවිරුවන්ට අද දෙමළ ජාතිවාදය පරාජය කිරීම සඳහා බුද්ධිමත් ව කටයුතු කිරීමට සිදු වී ඇත. ගැමුණු රජු එළාර රජු පරාජය කර තම සතුරා වෙනුවෙන් ස්මාරකයක් ඉදි කළේ ය. එළාර රජු ද්‍රවිඩ වී යැයි මම නො සිතමි. ඒ කෙසේ වෙතත් ඔහු ධාර්මිෂ්ඨ වී යැයි මහාවංසයේ සඳහන් වෙයි. ඔහුගේ ඊනියා ධර්මිෂ්ඨ බව, ගැමුණුගේ ඊනියා දුෂ්ට බව මහරජ ගැමුණු කෘතියෙහි සඳහන් ආකාරයට ඔහුගේ පුරෝහිතයාගේ සටකපට ප්‍රචාරාත්මක ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් විය හැකි ය. එහෙත් එළාර රජු පිටුපස විදේශිකයෝ නො වුහ. එමෙන් ම ගැමුණු රජු බෝධිසත්වයකු වේ යැයි කියැවේ. ප්‍රභාකරන් වෙනුවෙන් ස්මාරකයක් ඇති කළ යුතු යැයි විශ්වවවිද්‍යාලයේ හෝ ඊනියා රාජ්‍ය නොවන ආයතනයක පඬියකු යෝජනා කළහොත් අප ඒ ගැන පුදුම විය යුතු නැත. මේ පුස්සන් දන්නා එකම දෙය බලය බෙදීම හා බලය බෙදීම පමණ ය. එහෙත් මේ ඊනියා බලය බෙදෙන්නේ වෙල්ලාලයන්ට බවත් එය අවසානයේ දී ඊළමක් සඳහා ම යොමු වන බවත් ජනතාවට ලැබෙන බලයක් නොමැති බවත් පුහු පඬියෝ නො කියති. හැරත් ප්‍රභාකරන් පැරදවීමට නොහැකි යැයි කී පඬියන් පුනරුච්චාරණය කරන බටහිර පඬිවදන් බටහිර අසත්‍ය ප්‍රවාද මත පදනම් වී ඇති බව අප අමතක නොකළ යුතු ය.

අද පඬියන්ගේ ඊනියා කතිකාවත යුද්ධය දිනීමට හැකි වූ ආණ්ඩුවට ඊනියා සාමය දිනාගත හැක්කේ නොහැකි මන්ද යන්න ය. සාමය දිනාගෙන ඇත. එහෙත් සාමය පවත්වාගෙන යෑමට බටහිරයෝ ද පඬියෝ ද ඉඩ නො දෙති. ඒ සඳහා බටහිර රටවල විසිරුණු දෙමළ ජනයා ද සම්බන්ධන් ඇතුළු දෙමළ ජාතිවාදී නායකයෝ ද යොදා ගැනෙතිි. යාපනයේ හා අනෙක් ප්‍රදේශවල සංචාරය කරද්දී මට පෙනී ගිය කරුණ වූයේ පොන්නම්බලම් රාමනාදන්, අරුණාශලම්, ජී ජී පොන්නම්බලම්, චෙල්වනායගම්, අමිර්තලිංගම් ප්‍රභාකරන් ආදීන් දෙමළ ජනයාගේ අභිමානය මරා දමා ඇති බව ය. සිංහලයන්ගේ සංස්කෘතිය, අදීනත්වය හා අභිමානය මරා දැමීමට දෙමළ ජාතිවාදය බිහිකර ත්‍රස්තවාදයක් බිහිකළ බටහිරයන් අවසානයේ දී කර ඇත්තේ දෙමළ ජනතාව විනාශ කිරීම ය. අද සම්බන්ධන් දෙමළ ජනයාගේ සංස්කෘතියත් මරා දැමීමට සැරසෙයි. ඔහු නූතන චෙල්වනායගම් කෙනෙකි. ඔහු දෙමළ ජනතාවගේ ඊනියා අයිතීන් දිනාගැනීම සඳහා යැයි කියමින් විසුරුණු දෙමළ ජනයා හා වෙල්ලාලයන් වෙනුවෙන් තවත් දෙමළ තරුණ තරුණියන් පිරිසක් බිලි දීමට අහිංසා සටන් කිරීමට සැරසෙයි. ජනයා සහභාගි කරගනිමින් කරන ඊනියා අහිංසා සටන් නැත. අහිංසාව ආයුධයට විරුද්ධ නිරායුධ උපක්‍රමයක් බවට පත්වන්නේ තනි පුද්ගලයකු අතින් ඒ කෙරෙන්නක් නම් පමණකි. එවැන්නකු ගැන කිවහැක්කේ බුදුන් වහන්සේ සම්බන්ධයෙන් පමණකි. මහාත්මා ගාන්ධි ද ඊනියා අහිංසාව මගින් සිදු කළේ ජනතාව හිංසාවට පෙළඹවීම ය. චෙල්වනායගම් ද එසේම ය. සම්බන්ධන් ද එසේම වනු ඇත. මේ අයගේ සිංහල බෞද්ධ විරෝධය තවමත් සංසිඳී නැත. බටහිරයෝ ද, විසුරුණු දෙමළ ජනයා ද, සම්බන්ධන් වැනි දෙමළ ජාතිවාදී නායකයෝ ද සාමාන්‍ය දෙමළ ජනයා සිංහලයන්ට විරුද්ධව මෙහෙයවීමට උත්සාහ කරති. මොවුන්ට අවශ්‍ය තවත් ඊනියා යුද්ධයක් ද? එමගින් මහින්ද රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ මහතුන් දංගෙඩියට යවා සිංහලයන්ට ආර්ථික තහංචි පමුණුවා සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කීිම ද? මොවුහු සිංහල බෞද්ධයන්ගේ යුද හැකියාව තවමත් නො දනිත් ද? අසවේදෝලාගේ සිට ටොරිංටන්ලා දක්වා නූගත් පාඩම හිලරි ක්ලින්ටන්ලා, කැමරන්ලා ඉගෙන ගනීවි යැයි සිතිය හැකි ද? සම්බන්ධන්ලා බටහිරයන්ගේ අනුග්‍රහයෙන් සූදානම් වන්නේ දෙමළ සංස්කෘතිය විනාශ කිරීමට ය. උතුරු හා නැගෙනහිර පළාත්වලින් හමුදා කඳවුරු ඉවත් කරන ලෙස ඉල්ලා චෙල්වනායගම් අනුගමනය කරමින් ඊනියා අහිංසා සටන්වල යෙදීමට මේ දෙමළ ජාතිවාදී නායකයෝ බලාපොරොත්තු වෙති. ඒ අතර වවුනියා හිර කඳවුරේ ද්‍රස්තවාදී හිරකරුවෝ කැරළි ගසති. සම්බන්ධන් කියන්නේ කොටි ත්‍රස්තවාදී සිරකරුවන් නිදහස් කරන ලෙස ය. ගොනා හැරෙන්නේ කුමකටදැයි යන්න පිළිබඳ ව සිංහලයෝ දනිති.

මෙරට හමුදා කඳවුරු තිබිය යුත්තේ කොතැනක දැයි තීරණය කරන්නේ ජනාධිපතිතුමා, ආරක්‍ෂක අමාත්‍යාංශය හා හමුදාව ය. අද අනුරාධපුරයේත් වෙනත් ප්‍රදේශවලත් හමුදා කඳවුරු වෙයි. ඒවා ඉවත්කිරීමට උද්ගෝෂණ නැත. අද උතුරු හා නැගෙනහිර පළාත්වල හමුදාව නොවන්නට ඉතිරි වී සිටින කොටි ත්‍රස්තවාදීන්, කොටි සිරකරුවන් ද සමගින් නටන්නට යන නැටුමේ පසුබිම් වාදනය එංගලන්තය ප්‍රමුඛ බටහිරයන්ගෙනි. හමුදා භටයන්ට උතුරු පළාතේ හා නැගෙනහිර පළාතේ තවත් බොහෝ කාර්යයන් සිදු කිරීමට ඉතිරි වී ඇත. බිම් බෝම්බ ඉවත් නොකෙරුණු ප්‍රදේශ එමට ය. එසේ බිම් බෝම්බ ඉවත් කෙරෙන්නේ ඉතා සෙමින් ය. ඒ කුමක් වුවත් දෙමළ ජාතිවාදය නැති කරනතුරු හමුදාව ඒ පළාත්වල තබාගත යුතු ය. දෙමළ ජාතිවාදය තිබෙනතාක් සාමයක් නැත. සාමය පවත්වාගෙන යෑමට ඉඩ නොදෙන්නේ දෙමළ ජාතිවාදීන් ය. බටහිරයෝ දෙමළ ජාතිවාදය පවත්වාගෙන යති. ඒ කෙරෙන්නේ මූලික වශයෙන් ම විසුරුණු දෙමළ ජනයා හා සම්බන්ධන්ලා යොදා ගෙන ය. සම්බන්ධන්ලාගේ දෙමළ ජාතිවාදය පරාජය කරන තෙක් හමුදාව උතුරේ හා නැගෙනහිර පවත්්වාගෙන යා යුතු ය. එසේ නොමැති වුවහොත් සම්බන්ධලා දෙමළ තරුණ තරුණියන් පිරිසක් බිල්ලට දී ඉහත කී ප්‍රදේශ ලේ විලක් බවට පත්කර මෙරට දෙමළ සංස්කෘතිය නැති කරනු ඇත.