Main Logo

Sunday 25 August 2013

පිටිකිරි, රතුපස්වල, ආසනික් හා බටහිර විද්‍යාව - 2

හෙට අනිද්දා දකුණු අප්‍රිකාවේ නැටෝල් ප්‍රදේශයෙහි උපත ලැබූ නවනීදන් පිල්ලෙයි මහත්මිය ලංකාවට පැමිණීමට නියමිත ය. ලන්දේසීන් අද දකුණු ඉන්දියාව යැයි හැඳින්වෙන ප්‍රදේශයෙන් ගෙන යන ලද කෘෂිකාර්මික කම්කරුවන් වූ වෙල්ලාලයන් යාපන අර්ධද්වීපයේ හැරෙන්නට පදිංචි කළේ නැටෝල් ප්‍රදේශයෙහි ය. පිල්ලෙයි වෙල්ලාල ලියක දැයි නො දනිමි. ඇය එන්නේ මානුෂික මෙහෙයුම්වල අවසාන සතියේ දෙමළ ජනයාගේ මානව අයිතිවාසිකම් නැති වී දැයි සොයා බැලීමට ය. එහෙත් අවුරුදු තිහක් පමණ හෙවත් සති 1500ක් පමණ කොටි ත්‍රස්තවාදීන් අතින් නැති වූ සිංහලයන්ගේ අයිතිවාසිකම් ගැන ඇය සොයා නොබලනු ඇත. එයටත් වඩා ලන්දේසීන් හා පසුව ඉංගිරිසින් දෙමළ ජනයා මෙරටට ගෙන්වීමෙන් ජනගහන රටා වෙනස්කර සිංහලයන්ගේ ඓතිහාසික, සංස්කෘතික, දේශපාලන හා ආර්ථික අයිතිවාසිකම් නැතිකිරීම ගැන ඇය සොයා නොබලනු ඇත. බටහිරයන්ගේ පිල්ලියක් වූ පිල්ලෙයි බටහිරයන් වෙනස් කළ ජනවාර්ගික රටා නිවැරදි කර උතුරු හා නැගෙනහිර පළාත්වල සිංහලයන් පදිංචි කිරීම ගැන කුමක් කියන්නේ දැයි නො දනිමු. පෘතුගීසීන්ගේ අතවරවලට ලක් වූ මුස්ලිමුන් වත්මන් නැගෙනහිර පළාතේ පදිංචි කිරීමට සිංහල රජවරුන්ට හැකිනම් වත්මන් රජයට ඉඩම් නොමැති සිංහලයන් නැගෙනහිර පළාතේ පදිංචි කිරීමට නොහැක්කේ ඇයි? බටහිර බලපෑම් නොවන්නට මෙරට ප්‍රශ්න බොහෝමයක් මේ වන විට විසඳා ගැනීමට අපට හැකිවීමට තිබිණි. එහෙත් එහි දී බටහිරයන්ගෙන් යැපෙන ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල දාසයන්ට නම් රැකියා අහිමි වී ජීවන ප්‍රශ්න ඇතිවීමට තිබිණි. කෙසේ වෙතත් පිල්ලෙයි ගැන කතාකිරීම අපි පසුවට කල්තබමු. අපි නැවතත් පිටිකිරි, රතුපස්වල හා ආසනික් වෙතට යමු. 

ප්‍රමිතිකරණය යනු කුමක් දැයි නොදැන ප්‍රමිතිකරණය ගැන කතාකළ ජඩමාධ්‍යවේදියකු පසුගිය සතියේ ආසනික් ගැන කතාකර තිබිණි. තවත් පඬියකු අප යොදගත් ඊනියා මිථ්‍යා විධික්‍රමයක් ගැන නොදන්නා දෙමළයක් කතාකර තිබිණි. මෙරට හා බටහිර කසිකබල් බටහිර විද්‍යාඥයන්ට අද වනතුරුත් කෘෂිරසායනික වකුගඩු රෝගයට හේතුව කුමක් දැයි දැනගැනීමට නොහැකි වී ඇත. රතුපස්වල මිනිසුන්ගේ රෝගී තත්ත්වයට හේතුව කුමක් දැයි මේ කසිකබලුන්ට කිව නො හැකි ය. අද මිනිසුන් පරිභෝජනයට ගන්නා පිටිකිරිවල අඩංගු රසායනික සංඝටක ගැන නිශ්චිත ව කීමට මෙරට ඇතැයි කියන බටහිර විද්‍යාඥයන්ට නොහැකි ය. අඩංගු සංඝටක නොදැන පිටිකිරි වස දැයි කියන්නේ කෙසේ ද? බටහිර විද්‍යාඥයන් යැයි කියාගන්නා තාක්‍ෂණවේදීන් (කිසිම සංකල්පයක් ප්‍රවාදයක් නිර්මාණය කර නොමැති මොවුන් දන්නේ සූපශාස්ත්‍ර බටහිර විද්‍යා පරීක්‍ෂණ කිරීමට පමණකි) වකුගඩු රෝගයට හේතුව දැනගන්නා තෙක් ඒ රෝගීන් මිය යා යුතු ද? එයට එක් වැදගත් හේතුවක් වන්නේ කිවුල් ජලය ය. ඒ ආසනික් සමහ ක්‍රියාකිරීමෙන් මැග්නීසියම් හා කැල්සියම් ආසනේට් නිර්මාණය වෙයි. වකුගඩු රෝගයට හේතුව මේ ජලය බීමෙන් එහි ඇති ආසනේට් වකුගඩුවලට ගොස් එහි තැන්පත්වීම ය. එහෙත් මෙරට ද බටහිර ද ඉන්නා ලාංකික යැයි කියාගන්නා බටහිර කසිකබල් විද්‍යාඥයෝ ජලයේ කිසිදු වරදක් නො දකිති. අපි මේ ගැන තවදුරටත් පසුව කතාකරමු. අවුරුදු පනස්පහ පැන ඇති මේ අයට ආසනික් මිශ්‍ර කිවුල් ජලය දී වකුගඩු රෝගය වැළඳේ දැයි දැනගැනීමට හැකියාවක් තිබුණත් ඉන් වැඩක් නොවන්නේ වකුගඩු රෝගය වැළඳීමට පෙර ඔවුන් මිය යන බැවිනි.  දිගුකාලීන ව පිටිකිරි බීමෙන් අපට ඇතිවන ප්‍රශ්න කවරේ දැයි බටහිර විද්‍යාවට කිවහැක්කේ අප මිය යෑමෙන් පසුව ද? මේ සියල්ලෙන් පෙනී යන්නේ මහේශාඛ්‍ය වේශයෙන් පෙනී සිටින බටහිර විද්‍යාවේ මන්ද පෝෂණය ය. බටහිර විද්‍යාවට පිිටිකිරි දී එය පෝෂණය කරගත හැකි දැයි මෙරට කසිකබල් විද්‍යාඥයන් සොයා බලන්නේ ද? පිටිකිරි නොව එළකිරි ද අපට අවශ්‍ය නැත. වහුපැටියන් ද කලක් ගත වීමෙන් පසු නොබොන එළකිරි බීමට අප යොමුවන්නේ අපේ ළදරු වියෙන් පසු අපට දෙවැනි වසු වියක් අත්වන බැවින් ද? අප වෛදිකයන් නො වේ. අප ගව ඝාතනයට මෙන් ම ගව වන්දනාවට ද යොමු නොවිය යුතු ය. වසු පැටියන් හා කිරිබීම  අවුරුදු ගණනාවකට පෙර කතාකළ  වතුපිටිවල රෝහලේ බටහිර වෛද්‍යවරයකු ලෙස සේවය කරන සමන් ජයකොඩි මහතාට තවමත් ජනමාධ්‍යයෙහි ඉඩක් නැත. ඉරිදා දිවයින පුවත්පත පමණක් ඒ මහතා සමග කළ සාකච්ඡාවක් පළකර තිබිණි.  එළකිරි වෙනුවට කොළ කැඳ බීමට ජනතාව යොමු කිරීමට රජය මැදිහත් විය යුතු ය. සුද්දෝ අප කැඳ බීමෙන් ඉවත්කිරීම සඳහා  කැඳවලට අපහාස කිරීමට අද කැඳ බීල ද ආවේ වැනි ප්‍රශ්න ඇසූහ. අද අප කළ යුත්තේ අද කිරි බීල ද ආවේ යැයි සෝමාරි අලස පුද්ගලයන්ගෙන් ඇසීම ය.

බටහිර විද්‍යාවට ඉන්ද්‍රිය ගෝචර හෙවත් ආනුභවික යැයි කියන කිසිම සංසිද්ධියකට නිශ්චිත ආනුභවික හෝ ආනුභවික නොවන හෝ හේතුවක් දිය නො හැකි ය. එයට හේතුව බටහිර විද්‍යාවේ ප්‍රත්‍යක්‍ෂ නො වීම ය. බටහිර විද්‍යාවට කිසිම සංසිද්ධියක් පිළිබඳ ව ගහණයක් සම්බන්ධයෙන් සියළු පරීක්‍ෂණ කළ නො හැකි ය. යම් ගහණයක යම් ගුණයක් අධ්‍යයන කිරීමට අවශ්‍ය වූ විට බටහිර විද්‍යාවේ සමස්තය නො සැලකෙයි. සමස්තය දැකගැනීමට අවශ්‍ය ආධ්‍යාත්මික ශක්තියක් සහිත අන්තර්ඥානය බටහිර විද්‍යාවට නැත. එනම් බටහිර ඉපිද ඇති දැඩිවූ බටහිර විද්‍යාඥයන්ට නැත. මෙරට කසිකබල් බටහිර විද්‍යාඥයන්ට අන්තරඥානයක් ඇත්තේ ම නැති බව අවුරුදු පනහක් ඔවුන් සමග කටයුතු කර ඇති මම හොඳාකාරව ම දනිමි. සංස්ලේෂණයක් නැතිව විශ්ලේෂණය මත පමණක් යැපෙන බටහිර විද්‍යාව (මගේ ලෝකය කියවන්න. ඇතැමුන් මගේ ලෝකය හා වෙනත් ලිපි කියවා එහි ඇති අදහස් තමන්ගේ අදහස් මෙන් වෙනත් පුවත්පත්වල දැක්වීම කණගාටුදායක ය) ගහණය සමස්තයක් ලෙස නොහදාරා (එසේ හැදැරීමට බටහිර විද්‍යාවට නො හැකි ය) එහි ඊනියා නියැදි තෝරාගනියි. ඉන්පසු ඒ නියැදිවල අදාළ ගුණය ගහණයට ම සාධාරණ (පොදු) යැයි කියයි. එසේ කීමේ දී නියැදි තෝරා ගැනීම පිලිබඳ ව ඊනියා ශිල්පීය ක්‍රම යොද ගන්නේ යැයි පම්පෝරි කතා කියයි. මොවුන්ගේ මේ ක්‍රම පිළිබඳ බොහෝ දේ කීමට ඇති නමුත් මෙහි දී සඳහන් කිරීමට සිදුවන්නේ ඉතා කෙටියෙනි. වැඩි විස්තර සඳහා මගේ ලෝකය, විද්‍යා කතන්දර, අපේ ප්‍රවාද 1 2 3, බටහිර විද්‍යාව ආසනික් හා දෙවියෝ කෘති හා විදුසර පුවත්පතෙහි පළවන අපේ ප්‍රවාද ලිපි පෙළ කියවන්න. 

අපට අපේ ම වූ විධික්‍රම ඇත. අපි බොහෝ දේ නාථ දෙවියන්ගෙන් හා විපස්සක දෙවියන්ගෙන් (එනම් මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙන්) දැනගත්තෙමු. එයට පෙර ද මෙරට බොහෝ දෙනා කසිකබල් බටහිර විද්‍යාවේ ගැරහුම් මැද දෙවියන්ගෙන් භූතයන්ගෙන් දැනගත්හ. අපෙන් පසු දෙවියන් භූතයන් නොමැතිව ආධ්‍යාත්මික ශක්තියෙන් තොරව මෙරටට ගැලපෙන දැනුමක් ලබාගත නොහැකි ය. එහෙත් අප වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව කසිකබල් විද්‍යාඥයන්ට කීවේ නාථ දෙවියන් හා විපස්සක දෙවියන් මත පදනම් වීමෙන් නො වේ. කසිකබලුන්ගේ දැනගැනීම සඳහා අපි ඔවුන්ගේ විද්‍යාවට අනුව ඊනියා පරීක්‍ෂණ කළෙමු. ජඩමාධ්‍යවේදියෝ, පැරණි ඉංගිරිසි ගුරුවරු, හතරමංහන්දිවල කොලු ගැටයෝ ඒ බව නො දනිති. 
(මතු සම්බන්ධයි)           

නලින් ද සිල්වා

2013-08-25