Main Logo

Sunday 18 August 2013

පිටිකිරි, රතුපස්වල, ආසනික් හා බටහිර විද්‍යාව

මුස්ලිම් ප්‍රශ්නය ගැන ද කතාකළ යුතුව ඇත. එහෙත් සතියකට වතාවක් ලිවීමට ලැබෙන තීරුවකින් ඒ සියල්ල ගැන කතාකළ හැකි නො වේ. ඉඩක් ලදහොත් පසුව ඒ ගැන කතා කරමු. අද තීරුව ආහාරවල වස විසට වෙන් කරමු.  පිටිකිරි වෙනුවට කිරිබීමට බටහිර වෛද්‍යවරු අපට දැන් කියති. ඔවුහු රූපවාහිනී නාලිකාවල අපට පිටිකිරිවල ආදීනව හා එහි ඇති වෙනත් සංඝටක ගැන කියති. ඒ පිළිබඳ ව අපේ ස්තුතිය ඔවුන්ට හිමිවෙයි. එහෙත් මේ සාකච්ඡාවල දී මෙරට පාරම්පරික වෙදමහතුන් කියන්නේ කුමක් දැයි දැනගැනීමට අපට නො හැකි විය. වෙදමහත්වරු පිටිකිරිවලට පක්‍ෂ ද? රූපවාහිනී නාලිකා ඔවුන්ගේ මතය නොවිමසන්නේ ඔවුන් වේ ප්‍රෝටීන් ගැන නොදන්නා නිසා ද? එසේත් නැත්නම් කියන විට දිව උලුක්වන බැක්ටීරියා සංඝටක ගැන ඔවුන් අසා නැති නිසා ද? ඔවුන් බටහිර රසායන විද්‍යාව හදාරා නොමැති නිසා ද? ඒ එසේ නම් විශ්වවිද්‍යාල ප්‍රවේශයේ දී ද විශ්වවිද්‍යාලයේ පළමු පරීක්‍ෂණයේ දී ද රසායන විද්‍යාව අසමත් මට ද පිටිකිරි ගැන කතාකිරීමට සුදුසුකම් නැත. කම් නැති. අපි ඒ ගැන කතාකරමු. පිටිකිරි අපට පුරුදු කිරීමේ දී බටහිර වෛද්‍යවරුන් කිනම් කාර්යභාරයක් එකල ඉටුකළේ ද? අද කුමක් කීවත් එදා ළදරුවන් මවුකිරෙන් ඉවත්කර පිටිකිරිවලට යොමු කිරීමේ දී ඔවුන්ගේ සේවය පිටිකිරි සමාගම්වලට අවශ්‍ය විය. අපට පිටිකිරි නොව එළකිරි වුව ද අවශ්‍ය ද? වසුපැටවා තරමක් වයස්ගත වූ පසු කිරිබීම අත්හරියි. එහෙත් අපි මැරෙනතුරු එළකිරි බොමු. අද තරුණයන්ගේ භාෂාවේ එළකිරි (එළ) යනුවෙන් ප්‍රකාශනයක් ද ඇතිවීමෙන් එහි ඇති වැදගත්කම කියැවෙයි. 

කලකට පෙර වතුපිටිවල රෝහලේ සේවය කළ බටහිර වෛද්‍යවරයකු වූ ජයකොඩි මහතා (මගේ මතකය නිවැරදි නම්) මේ වසුපැටියා හා කිරි පිළිබඳ ප්‍රශ්නය නැගී ය. ඔහු අද කොහේ සේවය කරන්නේ දැයි නො දනිමි. රූපවාහිනී නාලිකා සමහරවිට ඒ මහතා ගැන නොදන්නවා විය හැකි ය. රූපවාහිනී නාලිකාවල ඉඳහිට අපට ද තැනක් ලැබුණ ද බොහෝ විට ඉන් කෙරෙන්නේ සමාජයේ අධිපති මතවාද පට්ටාගැසීම ය. ජනමාධ්‍යවේදීන් ද සාධාරණත්වය ගැන කෙතරම් කතාකළ ද ඔවුන්ගෙන් බටහිර නොවන මතවාදවලට කෙරෙන සාධාරණත්වයක් නැත. බෞද්ධ උගතුන් යැයි කියාගන්නන් ද බටහිර මතවාද තුළ බුදුදහම කොටුකරමින් එහි ඇති ඊනියා යථාර්ථයක්, ආනුභවික දැනුමක් ආදිය ගැන කියවන කල ජනමාධ්‍යවේදීන් ගැන අප කලබල විය යුතු නො වේ. කෙසේ වෙතත් ජනමාධ්‍ය අමාත්‍යංශයෙහි සේවය කරන ආචාර්ය මහාචාර්යවරු ද ඒ ගැන අවධානයක් යොමු නො කරති. ඒ පසුබිමෙහි මේ තීරුව පළකරන ඉරිදා දිවයින පුවත්පතට විශේෂ ගෞරවයක් හිමි වෙයි.   අද සමාජයේ අධිපති මතවාද බටහිර දැනුම ය. බටහිර දැනුම වෙනස් වෙයි. ඒ බටහිර විද්‍යාව එක් පට්ටපල් බොරුවක් වෙනුවට වෙනත් පට්ටපල් බොරුවක් ආදේශ කරන බැවිනි. අද වන විට බටහිර විශ්වවේදයෙහි විශ්වය මහා පිපිරුමෙන් පටන්ගෙන ප්‍රසාරණය වන්නේ ය යන්න වෙනුවට විශ්වය ස්ථිතික ව පවතිමින් අංශුවල ස්කන්ධය වැඩිවන්නේ ය යන ප්‍රවාදය ආදේශ කිරීමේ වෑයමක් වෙයි. තවත් බටහිර විශ්වවිද්‍යාලයක් පමණක් වූ ලංකා විශ්වවිද්‍යාලයේ දී රසායන විද්‍යාව අසමත් වුවත් එංගලන්තයේ විශ්වවිද්‍යාලයකින් බටහිර විශ්වවේදය සඳහා ලැබුණුු පශ්චාත් උපාධියක් මට වෙයි. ඒ නැතත් මහා පිපිරුම මෙන් ම ස්කන්ධය වැඩිවීම ද පට්ටපල් බොරු බව මම කිසිම පැකිළීමකින් තොරව ප්‍රකාශ කරමි. කෙසේ වෙතත් ඉඳහිට වුව ද මට රූපවාහිනී නාලිකාවල තැනක් ලැබෙන්නේත් කථිකාචාර්යවරයකුට සාමාන්‍යයෙන් හිමිවන අවුරුදු 42ක සේවයෙන් අවුරුදු 28ක්වත් හිමිවූයේත් මගේ බටහිර උපාධි නිසා බව මම දනිමි.

අපේ මුතුන් මිත්තන් අප මෙන් එළකිරි බීවේ ද යන්න ගැන මට නිශ්චිත සාක්‍ෂි නැත. අපි කිරි කෑවෙමු. දැනුදු කමු. තරුණ හරකුන් එළකිරි නොබොන නිසා මහළු මිනිසුන් ද ඒ නොබී සිටිය යුතු යැයි මම නො කියමි. එහෙත් අප එදා එළකිරි මෙන් ම මීකිරි ද ආහාරයට ගත්තේ කිනම් ආකාරවලට දැයි සොයා බැලිය යුතු ය. අප එහි දියරබව අඩු කළේ ද?  බටහිර වෛද්‍ය විද්‍යාව පිටිකිරි බීමට කී විට එසේ කිරීමත් එළකිරි බීමට යැයි කී විට එසේ කිරීමත් අප බටහිර දැනුම් ආධිපත්‍යයට යටවීමක් මිස වෙනත් දෙයක් නො වේ. බටහිරයන් (නවසීලන්තය ද භූගෝලීය වශයෙන් නොවුණ ද සංස්කෘතික වභයෙන් බටහිර රටකි) විවිධ පර්යේෂණ සඳහා අප වැනි රටවල වැසියන් පර්යේෂණාගාර මීයන් මෙන් යොදාගන්නා බව අපි දනිමු. අප ඔවුන්ට හසු නොවිය යුතු ය. ඇතැම් පිටිකිරිවල අර මොකක්දෝ බැක්ටීරියාව ඇතැයි මෙරට ප්‍රධාන පරයේෂණ ආයතනයක් ප්‍රකාශ කර ඇත. ආණ්ඩුව තමන්ට එහි වාර්තාව පමණක් සෑහේ යැයි පවසා ඇත. එය පිළිගත් රසායනාගාරයක් වෙයි. ඒ ආයතනය ඒ පිළිබඳ ව කැලණිය විශ්වවිද්‍යාලයේ වාර්තා පිළිගැනීමට සූදානම් ද? එසේත් නැත්නම් කැලණිය විශ්වවිද්‍යාලයෙහි ඊනියා ලොව පිළිගත් රසායනාගාර නැතැයි කියමින් ඒ ප්‍රතික්‍ෂෙප කරන්නේ ද? ආසනික් පිළිබඳ ව කැලණිය විශ්වවිද්‍යාලයේ වාර්තා ප්‍රතික්‍ෂෙප කෙරෙන්නේ කුමක් නිසා ද? ඒ වාර්තාවලින් කියැවෙන ඇතැම් කරුණු ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගත් විට අපේ නැතත් තමන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇති ලෝක සෞඛ්‍ය සංවිධානයේ වර්තාව ද පිළිගත නොහැකි යැයි කිසි දිනෙක බටහිර විද්‍යාවේ නව සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ ඉදිරිපත් කර නැති  මෙරට ඊනියා විද්‍යාඥයෝ කියා සිටියහ.  

යම්කිසි ප්‍රපංචයකට හේතුව කුමක් දැයි නිශ්චිතව කීමට බටහිර විද්‍යාවට නො හැකි ය. එයට හේතුව බටහිර විද්‍යාව හුදු උද්ගමන හා පට්ටපල් බොරු පමණක් වීම ය. නිගමන ගැන කෙතරම් කයිවාරු කතා කීව ද බටහිර විද්‍යාවේ හෝ බටහිර ගණිතයේ හෝ නිගමන නැත. ඇත්තේ උද්ගමන පමණ ය. ඒ =බී හා බි =සී නම් ඒ =සී බව නිගමනය (අපෝහනය) කළ හැකි අයෙක් වෙත් ද? එය හුදු උද්ගමනයක් පමණකි. උද්ගමන යුක්තියුක්ත කිරීම සඳහා බටහිර විද්‍යාව තම යටහත් සේවිකාවක් වූ සංඛ්‍යානය යොදාගනියි. පිටිකිරිවල ඇති අර බැක්ටීරියාව නිසා ඇතිවන රෝග ගැන නිශ්චිත යමක් කීමට නොහැකි වුවත් ඇතැම් රෝගවලට හේතුව ඒ බැක්ටීරියාව යැයි ඇතැම් බටහිර විද්‍යාඥයෝ දිවි හිමියෙන් ශපථ කරති. එය එසේ ම වනවා විය හැකි ය. ඒ පිළිබඳ මට ගැටළුවක් නැත. එහෙත් රතුපස්වල කම්හලෙන් නිකුත් කෙරෙන අපද්‍රව්‍ය නිසා ඒ ප්‍රදේශයෙහි හා අවට පෙදෙස්වල පසෙහි ආම්ලිකතාව වැඩි වී ඇත් ද යන්න ගැන නිශ්චිත ව යමක් කීමට බටහිර විද්‍යාඥයෝ පැකිළෙති. අනෙක් අතට කෘෂිරසායනික නිදන්ගත වකුගඩු රෝගය ලෙස මා විසින් හැඳින්වෙන රෝගයට ආසනික් ප්‍රධාන හේතුව (එකම හේතුව නො වේ) යැයි කී විට මෙරට කසිකබල් විද්‍යාඥයෝ බියුරට්ටු පිපට්ටු ආදී අවි අමෝරා ගෙන අප සමග සටනට පැමිණියහ. මා මේ සියල්ලෙන් කියන්නේ පිටිකිරි බීම හොඳ බව නො වේ. පට්ටපල් බොරු වූ බංකොළොත් බටහිර විද්‍යාව මත පදනම් ව අප ඊනියා නිගමනවලට නොඑළඹිය යුතු බව ය. (මතු සම්බන්ධයි)

නලින් ද සිල්වා

2013-08-18