Main Logo

Sunday 1 September 2013

සිංහල බෞද්ධයා දඬුකඳේ ගැහීම

බටහිර පිල්ලියක් වූ නවනීදන් පිල්ලෙයි පැමිණියේ සිංහල බෞද්ධයා දඬුකඳේ ගැහීමට ය; රාජපක්‍ෂ ආණ්ඩුව වැට්ටවීමට ය; ජනාධිපතිතුමා හා ආරක්‍ෂක ලේකම්තුමා දංගෙඩියට යැවීමට ය; රණවිරුවන්ට ගැරහීමට ය. ඇගේ වාර්තාවේ තිබෙනු ඇත්තේ බටහිර ආකෘතිය අනුව මුලින් කරන ව්‍යාජ ප්‍රසංශා හා දෙවනුව නගන අභූත චෝදනා ය. ඇය යම් යෝජනා ද ඉදිරිපත්කරනු ඇත. ඇයටවත් ඊනියා ජාත්‍යන්තරයටවත් කළහැකි ඉටිගෙඩියක් නැත. ඇගේ චෝදනා මෙන් ම යෝජනා ද අපි ප්‍රතික්‍ෂෙප කරමු. පොන්තනෝනාගේ මොකක්දෝ එක පොන්තනෝනාට ඕනෑ විධියට වුවත් ඇගේ මොකක්දෝ එක අනෙක් අයට බලයෙන් දිය හැකි නො වේ. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ඉතා හොඳින් ක්‍රියාත්මක වන බවට හොඳම සාධකය ඇයට ලංකාවේ ඕනෑම තැනකට ගොස් ඕනෑම අයකු මුණගැසීමට තිබූ නිදහස යැයි ඇය සිහිනෙන්වත් නොකියනු ඇත. ඒ යාපනය හැරෙන්නට ලන්දේසීන් විසින් දෙමළ වෙල්ලාලයන් ගෙන යනු ලැබූ අනෙක් ප්‍රදේශය වූ දකුණු අප්‍රිකාවේ නැටෝල්හි උපත ලැබූ ඇගේ මනස බටහිරයන් විසින් සකස්කෙරී ඇති බැවිනි. ඇය පැමිණියේ සකස් කරන ලද න්‍යාය පත්‍රයක් ඇතිව ය. ත්‍රිකුණාමලයේ දී රාජ්‍ය නොවන සංවිධානයක කතෝලික පූජකවරයකු (පූජකවරුන්) සමග රහසේ කළ සාකච්ඡාව ද රජයට නොදන්වා ම කලින් සංවිධානය කෙරුණකි. පිල්ලෙයි සිංහල බෞද්ධ නියෝජිතයන් සමග සාකච්ඡා නො කළා ය.  

ලංකාව, බයිලෝරුස් වැනි රටවල්වලට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කවුන්සිලය යොදවන බව මහින්ද රාජපක්‍ෂ මහතා පසුගියදා ප්‍රකාශ කළේ ය. එය සංස්කෘතික වශයෙන් බටහිර නොවන රටක රාජ්‍ය නායකයකු විසින් වෙනත් එවැනි රටක දී කරන ලද වැදගත් ප්‍රකාශයක් විය.  එහෙත් මෙරට බොහෝ ජනමාධ්‍යවලට එහි වැදගත්කමක් නැත.  එක්සත් ජාතීන් හා පිල්ලෙයි ගැන දැනගත හැක්කේ පසුගිය අවුරුදු පන්සියයක පමණ කාලයක සිදු වූ දේ අවබෝධ කරගැනීමෙනි. එහෙත් අප එය දකින්නේ සිංහල බෞද්ධ චින්තනයට අනුව මිස ඊනියා යථාර්ථය දක්වන්නේ යැයි කියැවෙන බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට අනුව නො වේ. බටහිරයන්ට අනුව භික්‍ෂූන් වහන්සේ දේශපාලනය කරති; එහෙත් කතෝලික සභාවේ දේශපාලනයක් නැත. උද්ඝෝෂණ නොකෙරූ පමණින් දේශපාලනය නැති නො වේ. කතෝලික සභාව නිවේදනයක් මගින් දහතුන සංශෝධනය නොකරන්නැයි ඉල්ලන විට ඒ දේශපාලනය මිස අනෙකක් නො වේ. ඔවුන් යම් යම් දේ දිනාගැනීමට රාජ්‍ය උත්සව වර්ජනය කරන බවට තර්ජනය කරන්නේ දේශපාලනයෙන් තොරව නො වේ. කතෝලික හා ක්‍රිස්තියානි පූජකයෝ කොටින්ට ආධාර කළහ. දැනුදු එසේ කරති. අර පූජකවරයා පිල්ලෙයි සමග කළේ දේශපාලනය නොවේ නම් වෙන කුමක් ද?  

පහළොස්වැනි සියවස අවසන බටහිර යුරෝපයේ කතෝලික චින්තනය අභිබවා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මෝදු විය. යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය ද, මාටින් ලූතර් මගින් ක්‍රිස්තියානි ආගම ද, ගැලීලියෝ නිවුටන් ආදීන්ගේ බටහිර විද්‍යාව ද, ජේම්ස් වොට්ගේ වාෂ්ප යන්ත්‍රය ද, කාර්මික විප්ලවය ද, ධනවාදය ද, හේතුවාදය ද, නූතනවාදය ද,  ඉතා විශාල ප්‍රමාණයකට ඊනියා පශ්චාත්නූතනවාදය ද ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් ව බිහිවිය. මාක්ස්වාදය හා ෆැසිස්ට්වාදය මගින් කතෝලික චින්තනය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට අභියෝග කළ ද ඒ සියල්ල පරාජය කරනු ලැබී ය. අද වන විට පාප්වහන්සේ ද මාක්ස්වාදීහු ද ඔබාමාගේ නායකත්වයෙන් අනෙක් චින්තන පරාජය කිරීම සඳහා අත්වැල් බැඳගෙන සිටිති. පාප්වහන්සේ පෝලන්තයේ වැවෙන්සා මගින් සෝවියට් දේශය බිඳවැට්ටීමට කටයුතු කළේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය වෙනුවෙනි. බටහිරයන්ට අද අභියෝග වී ඇත්තේ ඉස්ලාම් චින්තනය හා ථෙරවාද බෞද්ධ චින්තනය ය. ඉස්ලාම් චින්තනය යුද ශක්තියෙන් මෙන් ම ජනගහන ව්‍යාප්තියෙන් ද බටහිරයන්ට තර්ජනයකි. බටහිරයන්ට මුළු ලෝකයේම ආධ්‍යාත්මික අභියෝගය ථෙරවාද චින්තනය ය. බටහිරයෝ තම රටවල මුස්ලිම් සංස්කෘතියට විරුද්ධ වෙමින් ථෙරවාද රටවල බෞද්ධයනට එරෙහිව ඇතැම් මුස්ලිම් රටවල් හරහා මුස්ලිමුන් යොදා ගනිති. බටහිරයන්ගේ අවශ්‍යතාව යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය පවත්වාගෙන යෑම ය. ඒ සඳහා තම රටවල ඊනියා මානව අයිතිවාසිකම් තොග වශයෙන් කඩන බටහිරයෝ වෙනත් සංස්කෘතීන් නැතිකිරීමට, ඔවුන්ට පක්‍ෂපාතී නොවන ආණ්ඩු පෙරළීමට තම ආධිපත්‍යයේ අවයවයක් වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය යොදා ගනිති. අද එම සංවිධානය මුළුමනින් ම මෙන් බටහිරයන් විසින් මෙහෙයවෙයි. ආසියාවට හා අප්‍රිකාවට සීමිත දේශපාලන නිදහසක් දුන්න ද ඔවුන් හැටේ දශකයේ ඊනියා රාජ්‍ය නොවන සංවිධාන පිහිටුවූයේ තම මතවාද ඒ රටවල ප්‍රචාරය කිරීමට ය. මේ සංවිධාන විසිවැනි සියවසේ යුදෙවු ක්‍රිස්තියානි මීසම් වෙයි. එහි මිෂනාරීන්ට වැටුප් ලැබෙයි. තවද ඇමරිකාවේ උපන් බෝන් එගේන් පල්ලියෙන් ද ඒ කාර්යය ඉටුකෙරෙයි. මේ සංවිධාන පාසල්, විශ්වවිද්‍යාලවලට හා ජනමාධ්‍යයට අමතරව ය. 

සිංහල (හෙළ) බෞද්ධ සංස්කෘතිය අන්‍ය ආගම් හා මත ඉහළින් ම ඉවසයි. දකුණු ඉන්දියාවෙන් පැමිණි දෙමළ කතාකරන මුස්ලිමුන්ට තම අනන්‍යතාව රැකගැනීමේ බාධාවක් නො වී ය. මුස්ලිමුන්ට මෙරට ඇති වරප්‍රසාද බටහිර රටවල නැත. අද පවා මුස්ලිම් පාසල්වල ඔවුන්ගේ ම පාසල් වාර පැවැත්වෙන්නේ වෙන කිසිම මුස්ලිම් නොවන රටක සිදු නොවන පරිදි ය. සිංහල රජවරු මුස්ලිමුන් පෘතුගීසීන්ගෙන් ද කතෝලිකයන් ලන්දේසීන්ගෙන් ද රැකගත්හ. එහෙත් ලන්දේසීහු හා ඉංගිරිසිහු දෙමළ, කොච්චි, මැලේ, පරවර, ආදී ජනවර්ග ලංකාවට ගෙන ඒමට සලස්වා ඔවුන් ද සිංහල ක්‍රිස්තියානීන් ද සිංහල බෞද්ධයන්ට එරෙහිව සිංහල සංස්කෘතිය විනාශ කිරීමට බැරිනම් දුර්වල කිරීමට යොදා ගත්හ. සිංහල බෞද්ධයන්ට යටත්විජිත විරෝධී අරගලයේ දී එකී ජනවර්ගවලට ද විරුද්ධ වීමට සිදුවූයේ ඔවුන් යටත්විජිත අතකොළු වූ බැවිනි. ධර්මපාලතුමාගේ කතාවල මෙන් ම පියදාස සිරිසේන මහතාගේ කෘතිවල ද අපට ඒ සංස්කෘතික යටත්විජිත විරෝධී සටන දැකගත හැකි ය. එය ඒ ජනවර්ගවලට නොව යටත්විජිතවාදයට විරුද්ධවීමක් විය. අද වන විට සිංහල කතෝලික බහුතරය (නායක පූජකයන් නොව) ද මැලේ වැනි ජනවර්ග ද යටත්විජිතවාදයට එරෙහිව සිංහල බෞද්ධයන් සමග අත්වැල් බැඳගනිති. දෙමළ ජනයා ද නුදුරු අනාගතයේ දී එසේ ම කරනු ඇත. එහෙත් ඉංගිරිසින්ගේ ආධාරයෙන් රටේ ම නායකයන් වීමට තැත්කළ වෙල්ලාල නායකයන්ට ද, කසිකබල් මාක්ස්වාදීන්ට ද, කතෝලික ක්‍රිස්තියානි නායක පූජකයන්ට ද, ඇතැම් මුස්ලිම් නායකයන්ට ද ඊනියා රාජ්‍ය නොවන සංවිධානවල සේවකයන්ට ද, නිවට පුහු උගතුන්ට ද ඒ මානසිකත්වය නැත. ඔවුහු බටහිරයන්ගේ අතකොළු වෙති. යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ලෝක ආධිපත්‍යය නිවට ව පිළිගන්නා ඔවුහු ලංකාවේ විශේෂිත සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය බව නො පිළිගණිති. ලෝකයේ ඉතාමත් බෙලහීන අනුකාරක උගතුන් මෙරට දැකගත හැකි ය. ඊනියා ප්‍රාඥයන් සාහිත්‍යධරයන්, ව්‍යාජ කලාකරුවන් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව කර ඇති දේ වෙන ම කතාකළ යුතු ය. ඉහත සඳහන් සියල්ලන් මගින් දෙමළ ත්‍රස්තවාදය යොදාගනිමින් සිංහල බෞද්ධ සංස්කෘතිය නැතිකර සිංහලයන් දණගැස්සවීමට නොහැකි වූ බටහිරයෝ සිංහලයන් දඬුකඳේ ගැහීමට ඒ අය ම යොදාගනිති. පිල්ලෙයි ද එකී ව්‍යාපෘතියෙහි අංගයක් පමණකි.


නලින් ද සිල්වා

2013-09-01