Main Logo

Wednesday 25 September 2013

සතුටු ලැයිස්තුවේ නිර්ණායක

අප මෙතරම් පැචැත්ම ගැන සඳහන් කරන්නේ ඊනියා යථාර්ථවාදය, ඊනියා විද්‍යාත්මක යථාර්ථවාදය, වාස්තවිකත්වය ආදිය බටහිර විද්‍යාවට ප්‍රධාන බටහිර දැනුමට ඉතා වැදගත් වන බැවිනි. ක්වොන්ටම් භෞතිකය මගින් මේ සංකල්ප අභියෝගයට ලක්කෙරුණ ද, අවුරුදු විසිපහකට වැඩි කාලයක් අප මේ පිලිබඳ ව පළමුව සිංහලෙන් හා පසුව ඉංගිරිසියෙන් කතාකර තිබුණ ද, ඊනියා යථාර්ථය යනු ව්‍යාජයක් බව කියා තිබුණ ද, මෙරට උගතුන් යැයි කියාගන්නා අය ඒ නොසළකා සිටියහ. එයට ප්‍රධාන ම මෙරට උගතුන්ට සිතන්නට, කල්පනා කිරීමට නොහැකි වීම ය. ඔවුහු එක්කෝ තුන්වැනි සංගායනාවේ මත ආධානග්‍රාහී ව පිළිගනිති. එසේත් නැතහොත් බටහිර මත කිසිම වගවිභාගයකින් තොරව පුනරුච්චාරණය කරති. පසුගිය අගෝස්තු 29 වැනි දින “ දි අයිලන්ඩ්” පුවත්පතෙහි පළ වූ ලිපියක කාලෝ ෆොන්සේකා මහතා තමා ඊනියා යථාර්ථය පිළිබඳ ව මෙතෙක් දැරූ මතයෙන් වෙනස් වීමට උත්සාහයක් ගෙන තිබිණි. කාලාම සූත්‍රය තරමකට වුවත් තේරුම් ගැනීමට අවුරුදු විසිපහකට අධික කාලයක් ගත් ඒ මහතාට මේ සියල්ල තේරුම් ගැනීමට තවත් බොහෝ කාලයක් යනු ඇත. එහෙත් අවාසනාවකට කාලෝගේ කාලය අවසන් වෙමින් පවතියි. ඔහුට ඉගෙනීමට දැන් කාලයක් නැත.

ගුණදාස අමරසේකර මහතා කාලෝ ෆොන්සේකා මහතා තරම්වත් මේ කිසිවක් ගැන නොසිතයි. ඔහුට අනුව යථාර්ථවාදී සාහිත්‍යයක් ඇත. ඔහු ඉතා මෑතකදීත් සඳහන් කර ඇත්තේ සාහිත්‍යය යනු දේශපාලන සංවාදයේ උත්තර ප්‍රකාශය බව ය. ඔහුට අනුව අද මෙරට යථාර්ථවාදී සාහිත්‍යයක් බිහි නොවන්නේ මෙරට හරිහමන් දේශපාලන සංවාදයක් නොමැති බැවිනි. ඔහුත් බොහෝ සාහිත්‍යධරයනුත් කියන ආකාරයට ගම්පෙරළිය ඉතා විශිෂ්ට නවකතාවකි. ඒ එසේ නම් මාර්ටින් වික්‍රමසිංහ මහතාට ඒ කෘතිය නිර්මාණය කිරීමට හේතු වූ දේශපාලන සංවාදයක් 1944 ට පෙර ඒ ආසන්නයේ පැවතියේ ද? මෙකල නොමැති, එකල පැවති ගැඹුරු දේශපාලන සංවාදය කුමක් ද? 

අනෙක් අතට අද ගුණදාස අමරසේකර මහතා ද දේශපාලන සංවාදයක නිරත වෙයි. බොහෝ දෙනා කියන පරිදි අද උසස් සාහිත්‍ය කෘති නිර්මාණය නොවන්නේ අමරසේකර මහතා ද දායක වන දේශපාලන සංවාදය නොගැඹුරු බැවින් ද? ඒ එසේ නම් දේශපාලන සංවාදය ගැඹුරු කිරීමට කළ හැක්කේ කුමක් ද? ගැඹුරු දේශපාලන සංවාදය අවිඥානික ව ඇති විය යුත්තක් ද? එය සවිඥානිකව ඇතිකර ගත නො හැකි ද? 

අමරසේකර මහතා හා ට්‍රොට්ස්කිවාදී සාහිත්‍ය විචාරිකාවක වූ පියසීලි විජේගුණසිංහ මහත්මිය අතර ඊනියා යථාර්ථය  සම්බන්ධයෙන් විශාල වෙනසක් නොතිබිණි. විජේගුණසිංහ මහත්මියට අනුව සාහිත්‍ය රසය උපදින්නේ යථාර්ථය ග්‍රහණය කර ගැනීමෙනි. මේ යථාර්ථය අප ඇතත් නැතත් පවතියි. අප ඇතත් නැතත් සූර්යයා, පෘථිවිය, ගස්වැල් ආදිය පවතියි. ඒ වස්තු වෙනස්වීම වැළැක්විය නොහැකි ය. එහෙත් එර් වස්තු වෙනස්  වන්නේ යම්කිසි රටාවකට, නීති රීතිවලට අනුව ය. ඒ වස්තු ද නීති රීති ද රටා ද අපෙන් ස්වායත්ත ව පවතියි. එහෙත් මේ වස්තුවල පැවැත්ම ද, නීති රීති ද අපේ නිර්මාණ බව බොහෝ දෙනා නො පිළිගනිති. ඔවුන් සිතන්නේ ඒ වාස්තවිකත්වය අපෙන් තොරව පවතින්නක් බව ය. 

අප ජීවත්වන්නේ දැනුම් සමාජයක යැයි අද කොලු කුරුට්ටෝ ද පවසති. නාලිකාවල නිවේදක නිවේදිකාවෝ තොරතෝංචියක් නැතිව ඒ බව අපට මතක්කර දෙති. ඔවුන් ඒ බවක් සෘජුව ම නොකීව ද, ඔවුන් කියන ආකාරයට ඒත්තු යන්නේ ඒ දැනුම නිරපේක්‍ෂ හා වාස්තවික බව ය. එහෙත් ඒ දැනුම පසුගිය අවුරුදු පන්සියයක පමණ කාලයක බටහිර නිර්මාණය කෙරුණු දැනුමක් බව ඔවුහු නො දනිති. ඔවුහු ඒ බවක් කල්පනා කිරීමට පවා අකමැති වෙති. බටහිර විද්‍යාව ද ඇතුළු මේ දැනුම සාපේක්‍ෂ බව වටහාගැනීමට ඔවුහු උත්සාහයක්වත් නො ගනිති. 

බටහිර පශ්චාත්නූතනවාදය යැයි කියන්නෙහි විසංයෝජනය (deconstruction) යනුවෙන් සංකල්පයක් ඇත. එහි දී බොහෝ විට කෙරෙන්නේ සංකල්පයක ඊනියා වාස්තවිකත්වයක් නැති බව පෙන්නුම් කිරීම ය. සංකල්ප සාපේක්‍ෂ වෙයි. අපට එහි ගැටළුවක් නැත. එහෙත් පශ්චාත්නූතනවාදී දැනුම ද සාපේක්‍ෂ වෙයි. පශ්චාත්නූතනවාදය ද විසංයෝජනය කළ හැකි ය. විසංයෝජනය ද විසංයෝජනය කළ හැකි ය. සෑම දැනුමක් ම බිහි කෙරෙන්නේ මිනිසුන් විසිනි. ඒ යම් සංදර්භයක් තුළ ය. විසංයෝජනය නම් සංකල්පය ද බිහි කෙරී ඇත්තේ නූතනත්වයෙහි යථාර්ථය නම් සංකල්පය ඇට්ටකුණා වීම යන සංදර්භයෙහි ය.

බටහිර දැනුම විසංයෝජනය කළ කල්හි අපට හමුවන්නේ සාපේක්‍ෂ වූ දැනුමකි. බටහිර විද්‍යාව ද ඇතුළු බටහිර දැනුම නූතනත්වයෙහි බිහි වී ඇත. බටහිර දැනුම ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි බිහි විය. බටහිර දැනුම වාස්තවික නො වේ. අද සමාජයෙහි ආධිපත්‍යය දරන්නේ බටහිර දැනුම ය. වත්මන් සමාජය දැනුම් සමාජයක් යැයිි කී කල්හි එයින් කියැවෙන්නේ වත්මන් සමාජය බටහිර දැනුම් සමාජයක් ය යන්න ය. එහෙත් දැනුම් සමාජයක් යන්න යොදා ගැනෙන්නේ මේ දැනුම මුළු ලෝකයට ම පෙදු වාස්තවික දැනුමක් යන අරුතෙන් ය. 

විවිධ ගුවන්විදුලි හා රූපවාහිනි නාළිකාවල ද පුවත්පත්වල ද සේවය කරන ජනමධ්‍යවේදියෝ ද කසිකබල් මහාචාර්යවරු ද එවැනි ම වූ දේශපාලනඥයෝ ද මහත් උජාරුවෙන් දැනුම් සමාජය යන්න යොදා ගනිති. ඔවුහු ඒ ව්‍යවහාර කිරීමට මහත් රුචියක් දක්වති. ඔවුන් සිතන්නේ එමගින් තම දැනුම තම ශ්‍රාවකයන්ට, පාඨකයන්ට, ශිෂ්‍යයන්ට , ඡන්දදායකයන්ට දැනෙන්නට සැලැස්වීමට ය. එහෙත් ඔවුන් කියා පාන්නේ තමන්ගේ නොදැනුම ය. දැනුම් සමාජයෙහි දැනුම නිරපේක්‍ෂ වාස්තවික දැනුමක් නොව පසුගිය අවුරුදු පන්සියයක පමණ කාලයක බටහිර නිර්මාණය කෙරුණු දැනුම ය.

දැනුම් සමාජය යන සංකල්පය බටහිරයන් විසින් යොදා ගැනෙන්නේ තම අධිපතිවාදී දැනුම අනෙක් රටවලට බලයෙන් පැටවීමට ය. දැනුම් සමාජය යන්න ඇසුණු විගස අනුකාරක උගත්තු එය බටහිර යුැදෙවු ක්‍රිස්තියානි දැනුම බව අමතක කර එයට ඊනියා වාස්තවිකත්වයක් ලබා දෙමින් ඒ දැනුම තව තවත් සමාජයට ලබා දීමට උත්සාහ කරති. ඔවුහු එමගින් තව තවත් බටහිර යුදෙවු ක්‍රිස්තියානි යටත්විජිතවාදයට සේවය කරති. ඊනියා පශ්චාත්නූතනවාදීන් දැනුම් සමාජය සහ තවත් බටහිර සංකල්ප විසංයෝජනය නොකරන්නේ එක් අතකින් ඔවුන්ට නිර්මාණාත්මක ව කිසිවක් කළ නොහැකි බැවින් ය. අනෙක් අතට ඔවුන්ගේ දීනකම හේතුවෙන් ඔවුන්ට බටහිරට එරෙහිව යන කිසිවක් කළ නො හැකි ය.   

පසුගිය දා නිකුත් කෙරුණු වාර්තාවකට අනුව ලෝකයේ අසතුටින් ම ජීවත්වන ජනයා ඇති රටක් ලෙස ලංකාව ද නම් කෙරිණි. ලංකාවට සතුටෙන් ජීවත්වන වැසියන් සහිත රටවල ලැයිස්තුවෙහි හිමිවන ස්ථානය ද කියා තිබිණි. ජනමාධ්‍යවේදීන් ඇතුළු පඬියෝ එ ස්ථානය පිළිබඳ තමන් දන්නා බව ද කියා සිටියහ. එහෙත් මේ කිසිවෙක් සතුටින් ජීවත්වන්නා යන්න තීරණය කරන්නේ කිනම් නිර්ණායක අනුව යන්නවත් එයටත් වඩා වැදගත් වූ ඒ නිර්ණායක සකස් කළේ කවුද යන්නවත් නො ඇසූහ. ඉතා පැහැදිලි ව ඒ නිර්ණායක සකස් කරනු ලැබ ඇත්තේ බටහිර පඬියන් විසිනි. ඔවුන්ගේ සතුට අර්ථදැක්වෙන්නේ ඔවුන්ගේ සමාජයට සාපේක්‍ෂව ය. ලෝකයෙහි සෑම රටක ම ජනයා සතුටු වන්නේ එකම ආකාරයකට ද?

බටහිරයන් සකස් කළ සතුට පිළිබඳ නිර්ණායකවලට අනුව විය යුතු පරිද්දෙන් ම ලෝකයේ සතුටින් ම ජීවත්වන ජනයා සිටින්නේ බටහිර රටවල ය. පුදුමය ඒ එසේ නොවී නම් ය. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය තිබීම සතුටට කරුණක් ද? බටහිරයන් සමහරවිට ඒ එෙැස් යැයි සිතනු ඇත. එහෙත් බොහෝ බටහිර රටවල ඡන්දය පාවිච්චි කරන ජන ප්‍රතිශතය සුළු ප්‍රමාණයකි. ඇමරිකාවට වඩා ප්‍රතිශතයක් අපේ රටේ ඡන්දය පාවිච්චි කරති. ඡන්ද බලය තිබීම, ඡන්දය පාවිච්චි කිරීම ආදිය මත සතුටුවීම බටහිරයන්ගේ කාර්යයක් විය හැකි ය. බටහිරයන් ඡන්ද බලය තිබියදීත් බොහෝ විට ඡන්දය පාවිච්චි නොකරන්නේ සතුට ඉහවහා ගොස් ඇති බැවින් ද?

පියවරුන් නැති මව්වරුන් සිටීම මවගේ සතුටට කරුණක් ද? කාර්යාලයෙන් ගෙදර ගිය පසු දොර ජනෙල් වසාගෙන සමාජ ආශ්‍රයක් නොමැතිව පෞද්ගලිකත්වය වර්ධනය කරගනිමින් රූපවාහිනිය නැරඹීම සතුටට කරුණක් ද? බටහිර රටවල ඒ එසේ විය හැකි ය. එහෙත් අපත් එසේ ම කළ යුතු ද? කෙටියෙන් කිවහොත් අප සතුටු විය යුත්තේ බටහිරයන් සතුටු වන ආකාරයෙන් ද? පෞද්ගලික ව ගතහොත් බටහිර රටක දී මට සතුටු විය නො හැකි ය. ඒ මගේ සතුට ඔවුන්ගේ සතුට නොවන නිසා ය. 

මේ සතුටු ලැයිස්තු ආදිය සකස් කිරීමෙන් බටහිරයන් කරන්නේ කුමක් ද? ඔවුන්ගේ ජීවන ක්‍රමය අප ද අනුගමනය කළ යුතු බව කීම ය. අප මත ඔවුන්ගේ සතුට පැටවීම ය. ඒ සතුට අප මත පැටවීම ඔවුන්ගේ සතුටට කරුණකි. එහෙත් අප ඔවුන් අනුව සතුටු විය යුත්තේ ඔවුන්ගේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය තව තවත් තහවුරු කිරීමට මිස වෙනත් දෙයකට නො වේ. මා නම් සතුටු වන්නේ බටහිරයන්ගේ සතුටු ලැයිස්තුවලට පයින් ගැසීමෙනි. සතුටු ලැයිස්තුව අප මත පැටවීමට බටහිරයෝ ඔවුන්ගේ දැනුම් ආධිපත්‍යය යොදා ගනිති. අප ඔවුන්ගේ දැනුමට ද වහල් විය යුතු නො වේ.

අපේ ඇතැමුන් අද බටහිරයන් සතු දැනුම අවුරුදු දහස් ගණනකට පෙර අප සතුව පැවතී යැයි කියා සතුටුවීමට උත්සාහ දරණු පෙනෙයි. මා සමග ඇතැම් විට සංවාදයෙහි යෙදෙන මහාචාර්ය සුමනපාල ගල්මන්ගොඩ මහතා ද බටහිරයන් අද සතු දැනුම අපට එකල තිබිණි යැයි කියනු ඇසිය හැකි ය. එහෙත් මෙය වැරදි අදහසකි. බටහිරයන්ගේ දැනුම අපට කිසි දිනෙක තිබී නැත. බටහිරයන්ගේ දැනුම අපේ දැනුමෙන් වෙනස් වෙයි. එය ආකල්පමය වශයෙන් ද චින්තනය වශයෙන් ද වෙනස් වෙයි. 

අප සතුව ගණිතයක් තිබූ නමුත් එය බටහිරයන්ගේ වත්මන් ගණිතය නො වේ. බටහිරයන්ගේ වතජ ගණිතය, ත්‍රිකෝණමිතිය පමණක් නොව කලනය ද වැනි දැනුමක් භාරතීයයන්ට තිබී ඇත. එහෙත් ඒ ගණිත දැනුම බටහිරයන්ගේ වියුක්ත ගණිතයෙන් මුළුමනින් ම වෙනස් වෙයි. භාරතීයයන්ගේ ගණිතය පැරණි ග්‍රීකයන්ගේ ගණිතයෙන් ද වෙනස් විය. වත්මන් බටහිරයන් පමණට වියුක්තව සිතීමට පැරණි භාරතීය බමුණන්ට නොහැකි විය. පැරණි භාරතීය ගණිතය වත්මන් බටහිර ගණිතයට වඩා සංයුක්ත විය. පැරණි භාරතයේ ග්‍රීකයන්ගේ ජ්‍යාමිතිය ඇති නොවීමට ප්‍රධාන හේතුව බමුණන්ගේ වියුක්ත චින්තනය ග්‍රීකයන්ගේ වියුක්ත චින්තනයට වඩා අඩු මට්ටමක තිබීම ය. 


අපේ දැනුම සංයුක්ත ප්‍රත්‍යක්‍ෂ දැනුමක් විය. අපට ඒ දැනුම ප්‍රත්‍යක්‍ෂයෙන් දැනුම ලබාගත් සෘෂිවරුන්ගෙන් ලැබිණි. අප රටවල, එනම් අද දකුණු ආසියාව යැයි හැඳින්වෙන රටවල, වත්මන් ගුවන්යානා දැනුමක් හෝ පරමාණු හා න්‍යෂ්ටික අවි පිලිබඳ දැනුමක් හෝ තිබිණි යැයි  නො සිතමි. එකල තිබූ දැනුම සෘෂිවරුන්ගේ ප්‍රත්‍යක්‍ෂ දැනුමක් මිස වත්මන් බටහිර විද්‍යාඥයන්ගේ වියුක්ත සංකල්ප හා සම්බන්ධ දැනුමක් නො වේ. දඬුමොණරවලින් ගමන්කළ අය එදා සිටින්නට ඇත. ඒ දඬුමොණර එක්කෝ සෘෂිවරුන් ගමන් යෑමේ දී යොදාගත් ඔවුන්ගේ නිර්මාණ විය. එසේත් නැතහොත් සෙනෙවිවරුන් හා වෙනත් අය ගමන්ගත්, සෘෂිවරුන්ගෙන් ලබාගත් වාහන විය.


නලින් ද සිල්වා

2013-09-25