Main Logo

Thursday 26 September 2013

ප්‍රබල රාජ්‍යයක් ගොඩනඟා ගැනීමට

ඉංග්‍රීසීන්ගෙන් ඊනියා නිදහස ලැබී අඩ සියවසක් පසුවුනද ප්‍රබල රාජ්‍යයක් ගොඩනඟා ගැනීමට තවම සිංහලුන් සමත්වීනැත.අද අපට ඇති රාජ්‍යයේ දුර්වලබව මතුපිටින් නොපෙනෙන්නේ රාජපක්‍ෂ ආණ්ඩුව බලවත් බැවිනි, එනම් එහි ප්‍රබලයින්ට සිංහල බෞද්ධයින් බහුතරයගේ කැමැත්ත ඇති නිසාය එසේත් නැත්නම් ආණ්ඩුවේ ප්‍රබලයින් තමන්ට රිසිසේ රාජ්‍ය බලය හසුරුවන නිසාය. එසේ තිබිය දීත් සිංහල බෞද්ධයින් අපේක්‍ෂා කල පරිදි දහතුන් වෙනි සංශෝධනය ඉවත් කරගැනීමට නොහැකිවූ බව අමතක කල නොහැකිය. රාජපක්‍ෂ ආණ්ඩුව දුබල රාජ්‍යයක ප්‍රබල ආණ්ඩුවක් ලෙස හැඳින්වීම වඩා නිවැරදි යැයි මම සිතමි.

සිංහල ජාතිය තවමත් පවතී. බෞද්ධයෝද සිටිති. නමුත් අවුරුදු දෙදහස් ගණනක් තිස්සේ පැවතුන සිංහල බෞද්ධ රාජ්‍යය අද නැත. ක්‍රමයෙන් දුර්වල වෙමින් ආ සිංහල බෞද්ධ රාජ්‍යය ඉංග්‍රීසීන් විසින් 1815 දී  විනාශකර දැමිනි. නමුත් ඉංග්‍රීසීන්ගෙන් ඊනියා නිදහස ලැබූ පසු අපි අපේ පැවැත්ම සඳහා නව රාජ්‍යයක් ගොඩනඟා ගැනීමට උත්සාහ නොගත්තෙමු. එසේ කල යුතුයැයිවත් නොසිතුවෙමු. අපි කලේ බටහිර ආකෘතියකට අනුව ආණ්ඩු පිහිටුවීමය. 48 සොල්බරි ව්‍යවස්ථාවවත්, 72 ජනරජ ව්‍යවස්ථාවවත් 78 ජේ ආර් ගේ ව්‍යවස්ථාවත් ගැටගසාගෙන ඇත්තේ නව රාජ්‍යයක් ගොඩනැඟීමේ අරමුණින් නොවේ.මේ ආණ්ඩු හරහා අද අපට හිමිවීඇත්තේ රාජ්‍යයක හොල්මණක් පමණි.

ඇමෙරිකාව ලොව ප්‍රබලම රාජ්‍යය නොවේ නම් ඉන් එකකි. එහි ප්‍රබලබවට හේතුව ඔවුන්ගේ යුධ ශක්තිය යැයි මතුපිටින් පෙනුනත්, ඒ යුධ ශක්තිය ඔවුන්ට අවශ්‍ය වී ඇත්තේත් එය ඔවුන්ට පවත්වාගෙන යාමට හැකිවී ඇත්තේත් ඊට වඩා මූල ධර්මවූ පදනමක් මත ඔවුන් තම රාජ්‍යය ගොඩනඟාගෙන ඇති බැවිනි. ඒ පදනම අන් කිසිවක් නොව දහ අට වෙනිසියවස අගභාගයේ ඔවුන් විසින් නිර්මාණයකරගත් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවය. මුල් පියවරු නමින් හැඳින්වෙන එහි නිර්මාතෘවරු ඇමෙරිකානු ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේදී ඉතා පැහැදිලිවම ඔවුන්ට අනන්‍යවූද වැදගත්වූද සංස්කෘතික ලක්‍ෂණයක් හඳුනාගත්හ. එනම් ඔවුන්ට සාමූහිකත්වයට වඩා පුද්ගලිකත්වය එසේත් නැත්නම් පුද්ගලික නිදහස වැදගත්වන බවය. ඒ අනුව ඔවුන් තම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කරගත්තේ පුද්ගලික නිදහස හා ඒ සබැඳි අයිතීන් ආරක්‍ෂා වෙන අන්දමටය. පුද්ගලික නිදහස ඔවුන්ගේ ජීවනක්‍රමයේ අරටුව යැයි කිව හැකිය. මූල ධර්ම වශයෙන් ඇමෙරිකානු රාජ්‍යය ප්‍රබල රාජ්‍යයක් වීමට ප්‍රධාන හේතුව ජීවන ක්‍රමයත් ආණ්ඩුක්‍රමයත් අතර ඇති මේ පෑහීමය. ඇමෙරිකානු රාජ්‍යය ප්‍රබල රාජ්‍යයක් වීමට අනිත් හේතුව ඔවුන්ගේ සමාජය සංස්කෘතික වශයෙන් සමජාතීය වීමය. බොහෝ දෙනා එසේ සිතුවත් යුධ ශක්තිය ඔවුන්ගේ රාජ්‍යය ක්‍රියාවට නඟන එක් අවයවයක් මිස එහි පදනම නොවේ.

සිංහලුන්ද සිය පැවැත්ම සඳහා ප්‍රබල රාජ්‍යයක් ගොඩනඟා ගතයුතුය. රාජ්‍යයක් ප්‍රබල යැයි කීමෙන් අදහස් කෙරෙන්නේ ප්‍රබලවීම තුලින් ජාතියේ පැවැත්ම අදටත් හෙටටත් තහවුරු කරන්නේ නම්ය. මෙතෙක් කල් සිංහලුන්ගේ පැවැත්ම තහවුරු කෙරුනේ ඔවුන් තුල බුදුදහමට තිබුනු බැඳීමය. බුදුදහම හෙළබිම තුල රැඳුනේද සිංහළුන් හා බුදුදහම අතර තිබුනු බැඳීමය. අපේ සතුරන් පවා දැනසිටි මේ කරුණ බැහැර කරන්නේ නම් එය සියතින් ගෙලසිඳ ගැනීමකි. අද බොහෝ මධ්‍යම පංතික උගතුන් තමන් සිංහල හෝ බෞද්ධයැයි ලේබල් ගසා ගැනීමට ලැජ්ජා වෙති. නමුත් වයස විසිපහක් තිහක් වෙන තෙක් ලංකාවේ ජීවත්වුනු අසිංහල අබෞද්ධ අයෙකුට පවා කොපමණ උත්සාහ කලත් සිංහල බෞද්ධ සංස්කෘතියේ අභාෂය සම්පූර්ණයෙන් හැලිය හැකි නොවේ. ඔවුන් සිංහල බෞද්ධ ලේබල් ගසා නොගැනීම තුලින් තමන් සුද්දන් හා සමාන යැයි හෝ සුද්දන් මෙන් සිතන්නේ යැයි සිතන්නේ නම් එය විහිලුවක් පමණි. ප්‍රබල රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා එදා මෙන්ම අදද අප කල යුත්තේ සිංහළුන් තුල බුදුදහමට ඇති බැඳීම රැකගැනීමය. එහිදී අපි ඇසිය යුතු ප්‍රධාන ප්‍රශ්ණය සමාජයක් වශයෙන් බුදු දහම රැකෙන ජීවන ක්‍රමයක් පවත්වාගෙන යන්නට ආරක්‍ෂා වියයුතු පුද්ගලික මෙන්ම සාමාජයික අයිතීන් මොනවාද යන්නය. ව්‍යවස්ථාව යන ලියවිල්ලේ තිබිය යුත්තේ ඒ ප්‍රශ්ණයට පිළිතුරුය. රාජ්‍යය ප්‍රබල වන්නේ ඒ පිළිතුරු කෙතරම් නිවැරදිද යන්න මතය. 

ප්‍රබල රාජ්‍යයක් ගොඩනඟා ගැනීමට අත්‍යාවශ්‍ය අනිත් සාධකය විවිධ ජාතීන් හා ආගම් අදහන්නන් එකට බැඳී සිටීමය. එය ඇමෙරිකාවේ සිදුවන්නේ විවිධ ජාතීන් හා ආගම් අදහන්නන් එකම යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියක් තුලට ගැනීම තුලිනි. එහි පොදු සමාජය තුල වැදගත්කමක් හිමිවන්නේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට පමණක් වුනත් අනුන්ට බාධාවක් නොවෙනතාක් කල් තමන්ට කැමති ජීවන රටාවක් ගෙනයාමට මිනිසුන්ට නිදහසක් ඇත. ඇමෙරිකාවේ එය එසේවී ඇත්තේ එහි පුද්ගලික නිදහසට ඉහල තැනක් ලැබෙන බැවිනි. 

බෞද්ධයින්ට සියලු සංස්කාර ධර්මයන්වල ඇත්තේ සාපේක්‍ෂ පැවැතුම්ය. ඔවුහු තමනුත් සමාජයත් අතර සාපේක්‍ෂ පැවැත්මක් දකිති. ඒ නිසා ඔවුන්ට සාමූහිකත්වය වැදගත්ය. නමුත් ඔවුන් නිවන් දැකිය හැක්කේ තනියෙන් බවද දනිති. ඒ නිසා ඔවුන්ට පුද්ගලිකත්වයද වැදගත්ය. බෞද්ධයින්ට සාමූහිකත්වය මෙන්ම පුද්ගලිකත්වයද එකසේ වැදගත්ය. ඒ නිසා සිංහල බෞද්ධ සමාජයක විවිධ ජාතීන් හා ආගම් අදහන්නන් එකම සංස්කෘතියකට අනුගත කල නොහැකිය. ඔවුන් එකට බැඳෙන්නේ, බැඳියයුත්තේ විවිධත්වය රැක ගෙනමය. එසේ නම් ඔවුන් අනුගත වෙන්නේ කුමකටද?


සිංහල බෞද්ධ සමාජයක විවිධ ජාතීන් හා ආගමිකයින් අනුගත විය යුත්තේ සාමූහිකත්වය මෙන්ම පුද්ගලිකත්වයද එකසේ වැදගත්ය යන සංකල්පයටය. එය සංස්කෘතියෙන් සිංහල බෞද්ධවීමක් නොව ඊට වඩා මුල ධර්මවූ සිංහල බෞද්ධ චින්තනයට අනුගතවීමය. මේ අනුගතවීම ඇමෙරිකානුවන් පුද්ගලිකත්වය වඩා වැදගත්ය යන යුදෙව් ක්‍රිස්තියානි චින්තනයට අනුගතවීම හා සමානය. එකම වෙනස පුද්ගලික නිදහස ඉහලින් සලකන සමාජයකට ගැටුමක් නැතිව එකට ජීවත් විය හැක්කේ ඔවුන් සංස්කෘතියෙන්ද සමජාතීයවුවහොත් පමණි නමුත් සාමූහිකත්වය මෙන්ම පුද්ගලිකත්වයද එකසේ වැදගත් ලෙස සැලකීමට සියල්ලෝම සංස්කෘතියෙන් සිංහල බෞද්ධවීම අවශ්‍ය නොවේ.



ජානක වංශපුර

2013-09-26