Main Logo

Sunday 10 November 2013

විජාතික බලවේග එකතුවන්නේ කුමක් සඳහා ද?


ආණ්ඩු විරෝධී පක්‍ෂ එකතු වී පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක රැස්වීමට එන නායකයන් ඉදිරියේ උද්ඝෝෂණ කිරීමේ උත්සාහයක් ඇත. මේ විරෝධත්වය පොදු රාජ්‍ය මණ්ඩලයට එරෙහි ව නො වේ. චාල්ස් වින්ඩ්සර්ට හෙවත් චාල්ස් කුමරු නමින් හැඳින්වෙන තැනැත්තාට විරුද්ධ ව ද නො වේ. ඒ සම්මේලනයට පැමිණෙන විදේශීය රාජ්‍ය නායකයන්ට එරෙහි ව ද නො වේ. විරුද්ධත්වය මෙරට ආණ්ඩුවට විරුද්ධ ව ය. ජනාධිපතිතුමාට විරුද්ධ ව ය. එහි දී ඊනියා විරුද්ධ පක්‍ෂ සමගියේ පක්‍ෂ විවිධ අදහස් දක්වනු පෙනෙයි. ඒ අතර සම්මේලනය සඳහා වියදම් කරන මුදල් සම්භාරය, මෙරට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස නැතිවීම, නීතිය ක්‍රියාත්මක නොවීම ආදිය වෙයි. එහෙත් ඊනියා පොදු විපක්‍ෂය පොදු රාජ්‍ය මණ්ඩලීය නායකත්ව රැස්වීම ලංකාවේ පැවැත්වීමට විරුද්ධ බවක් නො කියයි. අඩු තරමින් ඔවුහු ඒ බව සෘජුව නො කියති. ඔවුන්ට අවශ්‍ය විදේශීය නායකයන් ඉදිරියේ ජනාධිපතිතුමාට හා රටට විරුද්ධව ගතු කීම ය. එමගින් බටහිරයන්ගේ අවභ්‍යතා ඉටුකිරීම ය. 

අද රටේ පවතින තත්ත්වයට මෙරට සියළු දේශපාලන පක්‍ෂ වගකිව යුතු ය. රටේ අපරාධ වැඩි වී ඇත්නම් එයට මූලික හේතුව අපට අපේ ම වූ සමාජ ක්‍රමයක් බිහිකර ගැනීමට නොහැකි වීම ය. අප මුල සිට ම යොමු වී ඇත්තේ බෞද්ධ කෑලි එල්ලා ගැනීමට මිස බෞද්ධ සමාජයක් ඇතිකර ගැනීමට නො වේ. බෞද්ධ කෑල්ලක් එල්ලා ගැනීමට කරන ලද ව්‍යාජ උත්සාහයක් ලෙස ජේ ආර් ජයවර්ධනගේ ධර්මිෂ්ඨ සමාජය පෙන්වා දිය හැකි ය. එහි ප්‍රතිඵලය වූයේ විවෘත ආර්ථිකයක් හා එයටත් වඩා විවෘත සංස්කෘතියක් ඇති කර රට අධර්මිෂ්ඨත්වයට තල්ලු කිරීම ය. කිසිම නීතියකට යටත් නොවී කැසිනෝ පැවැත්වීමට නීත්‍යානුකූල නොවන ආකාරයකින් අවසර දුන්නේ එ ජා පක්‍ෂය ය. අධිකරණයට එළිපිට ම ගල් ගෑසුවේ එ ජා පක්‍ෂය ය. බොරු චෝදනා මත න ස ස ප හා ජ වි පෙ තහනම් කරනු ලැබුයේ එ ජා ප ආණ්ඩුවක් විසිනි. මේ ලැයිස්තුවේ කෙළවරක් නැත. එහෙත් ඒ එකකින්වත් කියන්නේ මේ ආණ්ඩුවට ඒවා දිගට ම ක්‍රියාත්මක කිරීමට අවසරයක් ලැබෙන බව නො වේ. එ ජා පක්‍ෂයට ඒ කිසිවකට විරුද්ධව උද්ඝෝෂණ කිරීමට සදාචාරාත්මක අයිතියක් නැති බව පමණක් එයින් කියැවෙයි. එහෙත් මෙරට දේශපාලන පක්‍ෂවලට සදාචාරය ගැන කතාකිරීම වැඩකට ඇති දෙයක් නොවන බව ද දනිමු.

මංගල උත්සව පැවැත්තෙන ඇතැම් අවස්ථාවල මනාලයාගේ හෝ මනාලියගේ හෝ ඥාතීන් අනෙක් පාර්ශ්වයට හා අමුත්තන්ට දැනෙන පරිදි තම පාර්ශ්වයේ පවුලේ වැරදි හඬනගා කියන බව අපි දනිමු.අද විරුද්ධ පක්‍ෂය ද හැසිරෙන්නේ ඒ ඥාතීන් ක්‍රියාකරන ආකාරයට ය. දැන් පඬියකු අසනු ඇත්තේ පොදු රාජ්‍ය මණ්ඩලයීය නායක රැස්වීම මංගල්‍යයක් ද කියා ය. පොදු රාජ්‍ය මණ්ඩලය ගැන මගේ කිසිම පැහැදීමක් නැත. එය ඉංගිරිසි අධිරාජ්‍යය දිගට ම පවත්වාගෙන යෑමට කරන අසාර්ථක උත්සාහයක් පමණකි. එයින් ඉවත්වීමෙන් ශිෂ්‍යත්වයක් දෙකක් අහිමිවීම හැර අපට සිදුවන දෙයක් නැත. එංගලන්තය ආදී රටවල් අපට ශිෂ්‍යත්ව ආදිය දෙන්නේ ඔවුන්ගේ දැනුම් ආධිපත්‍යයට යටවන පිරිසක් බිහිකර ගැනීමට මිස අපට ඇති ඇල්මක් නිසා නො වේ. සමස්ත අධ්‍යාපනය ම යොමු වී ඇත්තේ එවැනි අනුකාරකයන් බිහිකිරීම සඳහා බැවින් ශිෂ්‍යත්වයක් නැතිවීමෙන් විශාල වෙනසක් ද සිදු නො වේ. අපට කෙසේ වුවත් ආණ්ඩුවට මෙන් ම විපක්‍ෂයට ද මෙය මංගල අවස්ථාවකි. විපක්‍ෂය උත්සාහ ගන්නේ මංගල්‍යය කඩාකප්පල් කිරීමට, ආණ්ඩුවට නින්දා කිරීමට හා හැකිනම් ආණ්ඩුව පළවා හැරීමට මේ අවස්ථාවක් කර ගැනීමට ය. එහි දී විපක්‍ෂය එකතුවන්නේ කා සමග ද යන්න මෙහි දී පැන නගින ප්‍රධාන ප්‍රශ්නය වෙයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය නායක රැස්වීම ලංකාවේ දී පැවැත්වීමට පසුගිය අවුරුදු දෙක තුළ ප්‍රධාන වශයෙන් ම විරුද්ධ වූයේ එංගලන්තය හා කැනඩාව ය. එයට ඇත්තේ එකම එක හේතුවක් පමණකි. ඒ ඊනියා ප්‍රජාතන්ත්‍රවදී නිදහසවත්, අධිකරණ ස්වාධීනත්වයවත් වෙනත් කිසිවක් නොව එංගලන්තය ප්‍රධාන බටහිර රටවල කැමැත්තට පටහැණීව කොටි පරාජය කිරීම ය. කොටි පරාජය නොකරන්නට නායක රැස්වීම ලංකාවේ පැවැත්වීම ගැන කිසිවකු විරුද්ධ නොවනු ඇත. එංගලන්තය 1817 -– 18 දී 1848 දී ලංකාවේ නොව ඉතා මැතක ඇමරිකාව සමග එකතු වී ඉරාකයේ සිවිල් වැසියන්ට බෝම්බ දැමීමේ දී අනුගමනය කර ඇති ප්‍රජාතන්ත්‍රවාදයක්, රැක ඇති මානව අයිතියක් නැත. අද එංගලන්තය ඇතුළු බටහිර රටවලට අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා හා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊනියා යුද්ධාපරාධිකරණ චෝදනාවලට වරදකරුවන් කර දංගෙඩියට යැවීමට ය. එංගලන්තය හා කැනඩාව තමන් පොදු රාජ්‍ය මණ්ඩලයට ලබාදෙන ප්‍රතිපාදන නවතා දමන බව කියා ඇත. මහින්ද රාජපක්‍ෂ මහතා කළ යුත්තේ චීනයෙන් පොළියට මුදල් ගෙන පොදු රාජ්‍ය මණ්ඩලය පවත්වාගෙන ගොස් බටහිර රටවලට ඒ ණය ආපසු ගෙවීමට සැලැස්වීම ය! මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපති පදවියෙන් ඉවත්කර ඊනියා ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ ඒ මහතාට  විරුද්ධව නඩු පැවරීම බටහිර රටවල අරමුණ ය. රනිල් වික්‍රමසිංහ ප්‍රධාන පොදු විපක්‍ෂය  බැරි වුවත් දඟලන්නේ රාජපක්‍ෂ මහතා පදවියෙන් ඉවත්කිරීමට ය. එහෙත් එය කළ හැකි පුද්ගලයකු පොදු විපක්‍ෂයේ නැත. පොදු විපක්‍ෂයේ නායකයා රනිල් මිස වික්‍රමබාහු නො වේ. වික්‍රමබාහුට මයික්‍රොෆෝනයක් වුව ද ලැබෙන්නේ ඔහු රනිල් පසුපස යන බැවිනි. අනෙක් අතට ජාතික ඇඳුම ඇඳි පමණින් කරු ජයසූරියට ජාතික නායකයකු විය නො හැකි ය. වැඩිකල් යෑමට පෙර ඔහු මොකක්දෝ මණ්ඩලයේ සභාපතිකමින් විසිවනු ඇත්තේ මණ්ඩලය ද සමගිනි. ඔහුගේ ද, සජිත්ගේ ද, රනිල්ගේ ද දේශපාලන ජීවිත අවසන් ය. මාමාගෙන් බෑණාට නායක පදවිය ලැබෙන එ ජා පයේ මීළඟ නායකයා මොකක්දෝ මණ්ඩලයට පත් වී ඇත.

මේ පොදු විපක්‍ෂය හා එංගලන්තය කැනඩාව ආදී රටවල්වලට  ඇත්තේ කොටි පැරදවීම ඉවසා දරාගත නොහැකි වීම ය. නෝර්වේ ආදී රටවල් ඔස්සේ ද රාජ්‍ය නොවන බැළයන් මගින් ද ඇතැම් ක්‍රිස්තියානි/කතෝලික පූජකවරුන් හරහා ද එංගලන්තය කොටින්ට ආධාර කළේ ය. පොදු විපක්‍ෂයේ පක්‍ෂ ද සටන් මෙහෙයුම්වලට විරුද්ධ වෙමින් ආණ්ඩුවට හා හමුදාවට නින්දාකරමින් කොටින්ට ආධාර කළේ ය. මේ සියල්ලන්ට ඇත්තේ කොටින් පරාද කිරීමේ වරදට මහින්ද රාජපක්‍ෂවරුන්ට දඬුවම් කිරීම ය. කොටින් පරාද නොකළේ නම් රැකිය යුතු පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රඥ්පතියක් නැත. ආණ්ඩුව බීබීසියේ චැනල් ෆෝ ගුබ්බෑයමේ මැක්රේ ට ද වීසා ලබා දී ඇත්තේ ඉන්දියාව ඔහුට විසා නොදෙන අවස්ථාවක ය. එහෙත් එංගලන්තය මාධ්‍ය නිදහස නැතිවීම ගැන බයිලා කියන්නේ ලංකාවට ය.


නලින් ද සිල්වා

2013-11-10