Main Logo

Wednesday 20 November 2013

අනුකරණය හා ආරෝපණය


චින්තනයක සුසමාදර්ශ රාශියක් තිබිය හැකි ය. උදාහරණයක් ලෙස ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි (චින්තනය යනු කුමක් දැයි තේරුම් ගැනීමට මගේ ලෝකය හා ජාතිය සංස්කෘතිය හා චින්තනය ආදී කෘති කියවන්න) ඇති සුසමාදර්ශ කිහිපයක් නම් නිව්ටෝනීය සුසමාදර්ශය, තාපගතික සුසමාදර්ශය, අයින්ස්ටයිනීය සාපේක්‍ෂතා සුසමාදර්ශය, ක්වොන්ටම් භෞතික සුසමාදර්ශය වෙයි. තාපගතිකය නිව්ටන්ගේ චලිත සමීකරණවලින් ලබාගත නො හැකි ය. එසේ වුවත් ඇතැම් නිව්ටෝනීය අදහස් තාපගතිකයෙහි යොදා ගැනෙයි. අයින්ටයින්ගේ සාපේක්‍ෂතාවාදයේ අවකාශය හා කාලය යන සංකල්ප අදාළ නිව්ටෝනීය සංකල්පවලින් සහමුලින් ම වෙනස් ය. එහෙත් විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි ද අවස්ථිති රාමු පිළිබඳ සංකල්පය වෙයි. එහි ද චලිත සමීකරණ ලියැවෙන්නේ අවස්ථිති රාමුවල ය. 

ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි පමණක් නොව බොහෝ චින්තනවල යොදාගැනෙන්නේ ද්විකෝටික න්‍යාය ය. එමෙන් ම බෙහෝ දෙනා ලෝකය නිර්මාණය කරගන්නේ (තේරුම් ගන්නේ) එක්කෝ විවික්තව (discrete) ය. එසේත් නැත්නම් සන්තතිකව (continuous) ය.  විවික්තව ලෝකය නිර්මාණය කිරීමේ දී අංශුව (particle) යන සංකල්පය වැදගත් වෙයි. එකිනෙකින් වෙන් වූ අංශුවලින් සමන්විත ලෝකයක් නිර්මාණය කරගැනීමට මිනිසුන් පුරුදු වත ඇත්තේ අද ඊයේ නො වේ. අවුරුදු දහස් ගණනක සිට මිනිස්සු ඒ ක්‍රියාවලියෙහි යෙදී සිටිති. නිව්ටන් ආලෝකය දැක්කේ ද අංශු ලෙස ය. ඔහුගේ ලෝකයෙහි වූයේ ආලෝක අංශු ය. ඔහුගේ ආලෝකය පිළිබඳ ප්‍රවාදය ලවක ප්‍රවාදය (corpuscular theory) මෙහි තේරුම ම විවික්ත ස්වාධීන ඒකකයක් හෙවත් අංශුවක් යන්න ගෙන දෙයි) ලෙස හැඳින්වෙයි.   

අනෙක් අතට ගලන ගඟක් එලෙස විවික්ත අංශු ලෙස දැකිය නො හැකි ය. මිනිසුන්ට සාපේක්‍ෂව ගඟක ඇත්තේ සන්තතික බවකි. මුළු මහත් බටහිර විද්‍යාව ම මෙන් ලෝකය නිර්මාණය කරගන්නේ එක්කෝ විවික්තව අංශු ආකෘතිය උපයෝගී කරගනිමිනි.  නැතහොත් සන්තතිකව ගංගා ආකෘතිය  අනුව යමින් ය. බටහිර භෞතික විද්‍යාව විසින් තරංග ආකෘතිය නිපදවනු ලැබ ඇත්තේ ගංගා ආකෘතිය අනුව ය. විද්‍යුත්චුම්බකවාදය යනු තරංග ලෙස ලෝකය දකින බටහිර විද්‍යා නිර්මාණයකි. බටහිර විද්‍යාවේ ඇත්තේ එක්කෝ අංශ ය. නැත්නම් තරංග ය. බටහිර ජීව විද්‍යාවෙහි ෙසෙල යන සංකල්පය නිර්මාණය කෙරී ඇත්තේ අංශු ආකෘතියෙහි ය. එහෙත් රුධිර ගලනය සිදුවන්නේ තරංග හෙවත් සන්තතික ආකෘතියෙහි ය.

ක්වොන්ටම් භෞතිකය බටහිර විද්‍යාවක් වුව ද එය නිර්මාණය වන්නේ චතුස්කෝටික න්‍යාය අනුව ය. එය බටහිර විද්‍යාඥයන් විසින් සවිඤ්ඤාණිකව කෙරෙන්නක් නො වේ. ක්වොන්ටම් භෞතිකය බටහිර විද්‍යාඥයන්ට නොතේරෙන්නේ ද එබැවිනි. ජනප්‍රිය පොතපතින් පමණක් ක්වොන්ටම් භෞතික විද්‍යාව ගැන දන්නා ඩී එස් සී උපාධිධාරි මහාචාර්ය අමරතුංග මහතාට මෙන් ම මහා ප්‍රාඥ කාලෝ ෆොන්සේකා මහතාට ද මේ පිළිබඳ කිසිදු අවබෝධයක් නැති බව ඔවුන් ලියන කියන දෙයින් පැහැදිලි වෙයි. මෙම ලිපි පෙළ අමරතුංග මහතා කේන්ද්‍ර කරගත්ත ද ඔහුට පමණක් නොව සීමාවුවක් නො වේ. තුන්වැනි සංගායනාවේ ආරක්‍ෂකයන් ද  ඉතා විසුරුණු අදහසක වූ ජාතික චින්තනය ද මෙහි දී විවේචනයට ලක් වෙයි.  

ගුණදාස අමරසේකර මහතා ගැන මෙහි දී කතාකිරීමට තරම්වත් දෙයක් නැත. ජාතික චින්තනයක් ගැන කතාකළ ද බටහිර සංකල්ප යොදා ගන්නා ඒ මහතා අද සභ්‍යත්වය හා සංස්කෘතිය අතර ජාතිය හිරකර ඇත. සැමුවෙල් හන්ටින්ග්ටන් ඉදිරියේ දී ඇමරිකාවට වෙනත් සංස්කෘතීන්ගෙන් එල්ලවන අභියෝගය පැහැදිලි කිරීම සඳහා සභ්‍යත්ව ගැටුම (clash of civilizations) නමින් පොතක් පළකළ අවස්ථාවෙහි එය ජාතික චින්තන පසසමින් ලියූ පොතක් ලෙස තේරුම් ගත් අමරසේකර මහතා අද සභ්‍යත්වය යන බටහිර සංකල්පය දිරවා ගැනීමට  නොහැකිව පසුවෙයි.    

සභ්‍යත්වය යන සංකල්පය බටහිරයන් නිර්මාණය කරගෙන ඇත්තේ ඔවුන්ට තමන් විසින් සභ්‍යත්වයක් නැතැයි හඳුන්වනු ලැබූ ආසියාතික හා විශේෂයෙන් ම අප්‍රිකානු ජනයාගෙන්  වෙන්වීම සඳහා ය. සභ්‍යත්වයක් ඇත්තේ බටහිරයන්ට මිස අපට නො වේ යන්න ඔවුන්ගේ මූලික උපකල්පනය විය. එහෙත් පසුව බටහිරයෝ සභ්‍යත්වය යන්නට වෙනත් අර්ථකථන ද දුන්හ. හන්ටින්ග්ටන්ට අනුව සභ්‍යත්වය යන්න මිනිස් යන්න ළඟට මිනිසුන් ගොනුවන ප්‍රවර්ගය (category) ය. මිනිසුන් ලෙස අප සියළු දෙනාම හඳුනාගත හැකි ය. ඊළඟට හඳුනාගත හැක්කේ එක් සභ්‍යත්වයකට හසුවන ජනයා ය. සභ්‍යත්වයක ජනකායකට තමන් ඒ සභ්‍යත්වයෙහි වේ ය යන හැඟීම (විඥානය) වෙයි. 

හන්ටින්ග්ටන්ට අනුව ථෙරවාද බෞද්ධ සභ්‍යත්වය යනුවෙන් සභ්‍යත්වයක් නැත. ඒ ථෙරවාදී බෞද්ධයන් තමන් එක් ප්‍රවර්ගයකට අයත් යැයි නොසිතන බැවිනි. ඔවුන්ට තමන් ථෙරවාදී සභ්‍යත්වයකට අයත් ය යන හැඟීම නැතැයි හන්ටින්ග්ටන් කියයි. එහෙත් යුරෝපීයයෝ තමන් ගැන යුරෝපීය සභ්‍යත්වයකට අයත් වූවන් ලෙසත් මුස්ලිමුන් එලෙස තමන් මුස්ලිම් සභ්‍යත්වයට අයත් වුවන් ලෙසත් සිතති යි හන්ටින්ග්ටන් කියයි. ඔහුට අනුව මහායානික බෞද්ධ යනුවෙන් ද සභ්‍යත්වයක් ඇත. අමරසේකර මහතා ඒ සියල්ල අමතක කර මෙරට දෙමළ ජනයා ද සිංහල සභ්‍යත්වයට ම අයත් යැයි කියයි. උදාහරණ මගින් සභ්‍යත්වය යනු කුමක් දැයි හඳුන්වනු වෙනුවට පළමුව සභ්‍යත්වයක් යනු කුමක් දැයි තේරුම් කිරීමට අමරසේකර මහතා උත්සාහ දරන්නේ නම් මැනවි.

මේ සියල්ල මෙහි දී ගෙනහැර දැක්වීමට සිදු වී ඇත්තේ දැනුම අවශෝෂණය පිළිබඳ ව තවදුරටත් කරුණු පැහැදිලි කිරීමට ය. මගේ ලෝකය කෘතියෙහි සංස්කෘතියක ඇති දැනුම ගැන කරුණු හතරක් කියැවෙයි. ඒ අනුකරණය, ආරෝපණය, අවශෝෂණය හා ඒ සංස්කෘතියෙහි ඇති දැනුම ඇසුරෙන් නිර්මාණය කිරීම ය. අනුකරණය යනු ඉවක් බවක් නැතිව ගෙඩිය පිටින් දැනුම ලබාගැනීම ය. අද බොහෝ දෙනා කරන්නේ එය ය. මාර්ටින් වික්‍රමසිංහ මහතා මෙන් ම ගුණදාස අමරසේකර මහතා ද එසේ කර ඇති අවස්ථා එමට ය. 

බටහිර මානව විද්‍යාව නම් දැනුම පද්ධතිය ගොඩ නැඟුවේ ම බටහිරයන්ට අමතර ව තවත් මිනිසුන් ලෝකයේ ඇති බව බටහිරයන් තේරුම් ගැනීමෙන් පසුව ය. බටහිරයන්ට අවශ්‍ය වූයේ තමන්ගෙන් වෙනස් වූ ඒ අනෙක් මිනිසුන් ගැන අවබෝධයක් ලැබීමටත් ඒ අනෙක් මිනිසුන් පාලනය කරන්නේ කෙසේ දැයි දැනගැනීමටත් ය. එහෙත් ඒ බව තේරුම් නොගත් මාර්ටින් විකයමසිංහ මහතා බටහිර මානව විද්‍යාව ලංකා විශ්වවිද්‍යාලයෙහි ඉගැන්විය යුතු යැයි උද්ඝෝෂණය කළේ ය. ඒ මහතාත් අමරසේකර මහතාත් ඊනියා බටහිර යථාර්ථවාදී නවකතා හා කෙටිකතා ගැන කතාකළේ ඒ ඊනියා යථාර්ථය යනු බටහිර ඇසින් ලෝකය බැලීම නිසා නිර්මාණය කරගත්තක් බව නොදැන ඒ අනුකරණය කිරීමෙනි. යථාර්ථය ද මිනිසුන්ගේ නිර්මාණයකි. ඒ හේතුවෙන් ම යථාර්ථය ද සාපේක්‍ෂ වූවකි. තුන්වැනි සංගායනාවේ ක්‍ෂණික යථාර්ථය පිළිබිඹු කරන ධර්මවාදය හා ක්‍ෂණවාදය ද  අශෝක බුදුදහමට සාපේක්‍ෂ ය.

ආරෝපණයේ දී සිදුවන්නේ අපේ සංස්කෘතික අවයව (කෑලි) වෙනත් සංස්කෘතියක දැනුමට එකතු කිරීම ය. මෙරට සමාජයෙහි අද ඇත්තේ බෞද්ධ සංස්කෘතික කෑලි එකතුකරගත් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියකි. ගුණදාස අමරසේකර මහතාගේ ජාතික චින්තනය ද බටහිර යුදෙවු ක්‍රිස්තියානි දැනුමට එකතු කෙරෙන සංස්කෘතික කෑලි කිහිපයකට පමණක් සීමා වෙයි. එය අමරසේකර මහතා අතින් විවේචනයට ලක්වෙන ජේ ආර් ජයවර්ධන මහතාගේ ධර්මිෂ්ට රාජ්‍යය සංකල්පයෙන් වෙනස් නො වේ. ජයවර්ධන මහතා යුදෙවු ක්‍රිස්තියානි දැනුමට ධර්මිෂ්ට රාජ්‍යය යන සංකල්පය එකතු කර ගත්තේ ය. ඒ ජාතික චින්තන සංකල්පය මෙන් ම ආරෝපණයකි. එනම් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට එකතු කර ගත් සිංහල බෞද්ධ කෑල්ලකි.

මා බුදුදහම විකෘති කරන්නේ යැයි අමරතුංග මහතා ද වෙනත් තුන්වැනි සංගායනාවේ බුදුදහම් සුසමාදර්ශයේ ආරක්‍ෂකයෝ නිතර කියති. එයට හේතුව මා වාස්තවික වූ යථාර්ථයක් වූ මනසක් ඇතැයි නො පිළිගැනීම ය. එවැනි මනසක් ඇතැයි බුදුන්වහන්සේ දේශනාකර ඇත්තේ කොහේ ද? අනත්තලක්ඛන සූත්‍රයෙහි යථාර්ථයක් වූ මනසක් ගැන නො කියැවෙයි. අටුවාවෙහි තිබූ පමණින් යමක් පිළිගැනීමට අප සූදානම් නැත. අටුවා ලියනු ලැබ ඇත්තේ භික්‍ෂූන් වහන්සේ වුව ද අප වැනිම වූ පෘථග්ජනයන් විසිනි. රහතන් වහන්සේ කෙනකු අතින් ලියැවුණ ද වැරදි තිබිය හැකි බව මගේ විශ්වාසය වෙයි. 

චිත්ත යනු මොනවා ද? චිත්තයක් ක්‍ෂණ කිහිපයකට පවතින්නේ ය යන්නෙහි තේරුම කුමක් ද? චිත්ත වීථි යනු මොනවා ද? චිත්ත පෙරහැරක චිත්ත ඇතිවන්නේ කෙසේ ද? චිත්ත වීථිය සන්තතික ද? එය සමන්විත වන්නේ විවික්ත වූ චිත්ත රාශියකින් ද? මනස මනසේ ම නිරාමාණයක් ය යන්නට වඩා චිත්තය පරමාර්ථ ධර්මයක් ලෙස සැලකීම උචිත ද? අපට නිවන් අවබෝධ කරගැනීමෙන් පසුවත් තේරුම් ගැනීමට නොහැකි වූ ද ප්‍රත්‍යක්‍ෂ නො වූ ද එහෙත් බුදුන් වහන්සේගේ ප්‍රත්‍යක්‍ෂ විස්තර කිරීම සඳහා අප සංකල්ප  නිර්මාණය කර ඇත. සන්නිවේදනයේ දී මේ සංකල්ප අවභ්‍ය වෙයි. චිත්ත චෛතසික මනස ආ දිය ද එවැනි සංකල්ප පමණක් වෙයි.     

මාර්ටින් වික්‍රමසිංහ මහතා පුනරුත්පත්තිය පුනබ්භවය නො පිළිගත්තේ ය. අමරසේකර මහතා ද නො පිළිගනියි. එහෙත් අමරතුංග මහතාට අනුව බුදුදහම විකෘතිකරන්නේ පුනබ්භවය පිලිගන්නා මා මිස අමරසේකර මහතා නො වේ. එයට එකම හේතුව මා අටුවාවේ ඇති ඇතැම් කරුණු නො පිළිගැනීම ය.  අමරතුංග මහතාට අනුව අමරසේකර මහතාගේ සුන්දර අදහසක් වූ ජාතික චින්තනයේ පුනබ්භවයක් නැත. 

වික්‍රමසිංහ මහතාගේත් අමරසේකර මහතාගේත් ප්‍රශ්නය මට තේරුම් ගත හැකි ය. ඔවුන්ගේ චින්තනය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි  චින්තනය වෙයි. ඔවුන්ගේ දැනුම යුදෙව ක්‍රිස්තියානි දැනුම වෙයි. ඔවුන් කර ඇත්තේ එයට බෞද්ධ කෑලි එකතු කිරීම ය. එහෙත් ඔවුහු ඊනියා විද්‍යාත්මක චින්තනයේ දාසයෝ වෙතිෂ වූහ. පුනබ්භවය බටහිර විද්‍යාවට අනුව පෙන්නුම් කළ නො හැකි ය. එය පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන කෑලි තම යුදෙවු ක්‍රිස්තියානි දැනුමට එකතු කිරීමට ඒ මහත්වරු අකමැති වෙති. එබැවින් පුනබ්භවය නැති බෞද්ධ  කෑලි ගැන පමණක් උනන්දු වීමට සිදු වීම ඔවුන්ගේ අවාසනාවක් වදය හැකි ය.                

බටහිර විද්‍යාව  ඇතිවීමට (නිර්මාණය කිරීමට) පෙර භාරතයේ හා චීනයේ තිබුණේ බොහෝ දුරට සංයුක්ත වූ දැනුමකි. භාරතයේ බමුණන්ට යම් වියුක්ත දැනුමක් තිබුණ  නමුත් එය බටහිරයන්ගේ වියුක්ත මට්ටම අසළකටවත් නො පැමිණියේ ය. චීන ජාතිකයන්ට බමුණන්ට තරමටවත් වියුක්ත දැනුමක් නො වී ය. භාරතයේ හා චීනයේ තිබූ දැනුම ගැන බටහිරයන් උනන්දුවක් දක්වා ඇත්තේ පහළොස්වැනි සිය වසේ පමණ සිට ය. එහෙත් බටහිරයන්, විශේෂයෙන් ම ග්‍රීකයන් ඈත අතීතයේදීත් අනෙක් රටවල තිබූ දැනුම ගැන  උනන්දුවක් දක්වා ඇත. ඔවුහු මධ්‍යධරණීය මුහුද අවට තිබූ රටවල ද පැරණි මිසරයේ ද තිබූ දැනුම ග්‍රීක සංස්කෘතියට අවශෝෂණය කර ගත්හ.


නලින් ද සිල්වා

2013-11-20