Main Logo

Tuesday 12 November 2013

වෙන් නොවී සිටීම උදෙසා ජාතික නිදහස් සටන

ඊළාම් යුධයේ අවසාන භාගයේ රූපවහිනියේ පෙන්වූ කෙටි දර්ශණ පෙලක් මට තවම මතකය. එහි දිස්වූයේ රණවිරු ශාවේන්ද්‍ර සිල්වා තම සෙබලුන් දිරි ගන්වමින් සිටින අන්දමය. ඒ වනවිට ප්‍රභාකරන්ගේ මිනිස් ආවරණය කඩමින් නන්දි කඩාල් කලපුවේ සිට දෙමළ ජනයා එකා දෙන්නා රජයේ හමුදාවෙත පැමිනෙමින් සිටියහ. එහිදී එතුමා තම සෙබලුන් අමතා කියන්නේ පව් මේ අහිංසක මිනිස්සු, ඔවුන් බේරාගෙන නුඹලාගේ ජීවිතත් රුකගෙන අපි සතුරා පරාජය කරමුයිකියාය. මෙහිදී එතුමා තමන්ගේත් තම සෙබලන්ගේත් අහිංසක දෙමළ වැසියන්ගේත් ජීවිත සම තත්වයේ තැබීමට තරම් නිහතමානී වුනැයි මම සිතමි. බටහිර රටක හමුදා නිළධාරියෙක් ගෙන් බලාපොරොත්තු විය නොහැකි මේ ගති අපේ මිනිසුන්ට තිබීම පුදුමයක් නොවේ. කුඹුරේ වැඩ ගන්න ගවයාට පිං දී මතු බවයක නිවන් දකිත්වා යැයි පතන්නේ මා ජීවත් කරන්නේ නුඹයැයි සිතීමට තරම් අපේ ගොවියා නිහතමානී වීම නිසාය. අපේ අම්මලා සමහරවිට මං ඉන්නේ නුඹ නිසයි පුතේ කියන කියමනින් තේරුම් යන්නේ අම්මා ජීවත් වෙන්නේ දරුවන් රකින්ට බවත් අනිත් අතට දරුවන්ගේ පිං බලෙන් තමන් ජීවත්වන බවත් යන දෙකමැයි මම සිතමි. මේ ආකල්ප අපට ලැබෙන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියේ සාපේක්‍ෂ පැවැත්මක් දකින නිසාය.


අපි ලෝකය ලෙස අත් දකින දෑ කොටස් වලට බෙදාගෙන බෙදාගෙන යද්දී මනසින් ගතහැකි කුඩාම කොටසක් ධර්මයක් ලෙස හැඳින්වුවහොත් යම් ධර්මයක් පවතින්නේ එය නොවන අනිකුත් ධර්ම නිසා ලෙසත් ඒ අනිත් ධර්ම පවතින්නේ මුලින් කී ධර්මය නිසා ලෙසත් ගැනීම සාපේක්‍ෂ පැවැත්ම යැයි මම සිතමි. අපි අවිද්‍යාව නිසා මෙසේ අන්‍යෝන්‍ය වශයෙන් බැඳී පවතින ධර්ම වෙන් කර ගොඩ ගසන්නෙමු. ඒ ගොඩ ගැසූ විවිධ ධර්ම ගොඩ අතරද ඇත්තේ කලින් කී සාපේක්‍ෂ පැවැත්මය. ඊලඟට ඒ ධර්ම ගොඩ එකතුවී ඊටත් වඩා විශාල ගොඩ ගැසෙයි. මම යන සංකල්පය තැනෙන්නේ මේ ආකාරයට ධර්ම ගොඩ ගැසීමේ ක්‍රියාවලියක් හරහා යැයි මම සිතමි. මට මම යන විඥාණය ලැබෙන්නේ මමයැයි කියා වෙන් කර ගන්නා ධර්ම ගොඩ නිසාය. නමුත් මම යැයි වෙන් කර ගැනීම මුලාවක් පමණි මන්ද මම යන ධර්ම ගොඩ බෙදාගෙන බෙදාගෙන යද්දී කිසිම ධර්මයක් තනියෙන් වාස්තවිකව පවතින්නේ නැතිබව පෙනෙන බැවිනි. කෙසේ වෙතත් වෙනස් ධර්ම ගොඩ අතර ඇත්තේද සාපේක්‍ෂ බවකි. මමත් මම නොවන සෙසු ලෝකයත් අතර සාපේක්‍ෂ පැවැත්මක් ඇති වන්නේ මේ ආකාරයටය. මම නිර්මාණය කරගන්නා ආකරයටම අපි පවුල, වර්ගය ගෝත්‍රය ජාතිය ආදී වශයෙන් ගොඩ ගසා ගන්නේ අපේ පැවැත්ම සඳහාය. ඒ හැම මට්ටමකදීම සංඝටක අතර සාපේක්‍ෂ පැවැත්මක් දකිමු. සාපේක්‍ෂ පැවැත්ම මේ කියන ආකාරයට සියලු සිංහල බෞද්ධයින් අවබෝධ කර ගන්නවා යැයි මම නොකියමි නමුත් සංස්කෘතියෙන් අපිට එවැනි ආකාල්ප ලබාදෙයි. අපි වෙන්වී තනි තනියෙන් පවතින්නට උත්සාහ නොකරන්නේ එය මුලාවක් බව අපට සංස්කෘතියෙන් බල කර සිටින නිසා විය යුතුය.

ලෝකය පවතින්නේ සාපේක්‍ෂව යැයි සිතන නිසා අපි ලෝකය සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධකමක් ගොඩනඟා ගන්නට උත්සාහ කරන්නෙමු ලෝකය සමඟ ඇති අන්‍යෝන්‍ය සම්බන්ධකම නිසා අපි ලෝකය පවතින්නේ සාපේක්‍ෂවයැයි සිතන්නෙමු. මේ චක්‍රීය සම්බන්ධය හැරෙන්නට මේ කථාවේ ඇති යථාර්තයක්ද නැත. කෙසේවෙතත් අපි ජාතිය ගොඩනඟන්නේත් ජාතියේ නිදහස ගැන සිතන්නේත් සාපේක්‍ෂ පැවැත්ම පදනම් කරගෙනය. නිවන ගැන විශ්වාස කරන පෘතග්ජන මිනිසුන් වශයෙන් සාපේක්‍ෂ පැවැත්මක අප තබා ගන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියය.

මිනිස් සමූහයක පැවැත්ම රැකිය හැකි විශාලතම එකතුව ජාතියයි. ජාතියකට සිය පැවැත්ම රැක ගැනීම සඳහා ස්වාධිපත්‍යයක් හිමිවිය යුතුය. ඒනිසා ඒකීය රාජ්‍යයක තිබිය හැක්කේ එක ජාතියක් පමණි. අද අද සිංහල ජාතියේ පැවැත්මට එරෙහිවන එක් ප්‍රධාන සාධකයක් නම් දෙමළ හා මුස්ලිම් ජනයා සිංහල ජාතියෙන් ඈත් වීමය නැත්නම් ඔවුන් බලෙන් ඈත් කර තැබීමය. මෙරට වෙසෙන මේ ජනයා සිංහල ජාතියෙන් වෙන්කර තබනතාක් කල් සිංහල ජාතියේ පැවැත්මට තර්ජනයක් වනු ඇත. වෙන් නොවීමට නම් සිංහල ජාතිය මේ ජනයා සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධකමක් ඇතිකර ගත යුතුය. ඔවුන් ජාතියට එකතුවීම තුලින් ඉතිහාසයේ සිදුවූවාක් මෙන් සිංහල ජාතිය නව භවයක් අත් කර ගනු ඇත. ඒ ජාතිය ශ්‍රී ලාංකික ජාතිය ලෙස හැඳින්වීම සුදුසු යැයි මම සිතමි. අනිත්‍යය හඳුණන සිංහලුන්ට වෙනස් නොවී රැක ගන්නා දෙයක් තිබිය නොහැකිය. අපි අනිත්‍ය බව අවබෝධ කරගන්නා තෙක් සංසාරේ ගමන් කරන්නාක් මෙන් සිංහල ජාතියටද ඇත්තේ සංසාර ගමනකි. හෙළය හෙළයින්ගේ රටත් සිංහලේ සිංහලයින්ගේ රටත් වූවාසේම ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකිකයින්ගේ රටවීම අපි ඉතිහාසය පුරා ආ සංසාර ගමනට අනුකූලය. ඒ අනුව දෙමළ ජනයා තමන් දෙමළුන් ලෙස නොව ශ්‍රී ලාංකික දෙමළුන් ලෙසත් නොව දෙමළ ශ්‍රී ලාංකිකයින් ලෙස හඳුන්වාගත හැකිය. මෙය හුදෙක් අනන්‍යතාවක් නිර්මාණය කර ගැනීමක් නොව සංස්කෘතික හා දේශපාලණ පෙරලියකි. එය සිදුවිය යුත්තේ සිංහල බෞද්ධයින් පෙරමුණ ගන්නා ජාතික ව්‍යාපාරයක් මඟිනි. මන්ද එය ඔවුන්ගේ නිදහස් සටනද වන බැවිනි.


සිංහල බෞද්ධයින්ගේ නිදහස් දිනාගැනීමත් ජාතිය එක් සේසත් කිරීමත් යනු එකමය. එහි මූලික පදනම අපි ලෝකයෙන් වෙන් නොවී අපත් ලෝකයත් අතර සාපේක්‍ෂ පැවැත්ම ආරක්‍ෂා කර ගැනීමය. අපි නිදහස් වෙන්නේ ලෝකයත් සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධකමක් පවත්වාගත හැකි තරමට අපේ මමත්වය පාලණය කරගැනීම තුලිනි. සමාජයක් ලෙස එය කල හැක්කේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය රැකුනොත් පමණි. 


සමහර උගතුන් සංස්කෘතිය හරණයවූ බෞද්ධාගමක් ගැන කියන කථා මුලා කිරීමකි. බුදු හාමුදුරුවෝ බණ දේශණා කලේ සංස්කෘතියක් නැති සමාජයකට නොවේ. බුදු දහමින් ඊනියා සංස්කෘතික ලක්‍ෂණ ඉවත් කිරීම ගඟින් එගොඩවූ පසු ඔරුව පසෙකට දැමීමක් නොව මෙගොඩ සිටම ඔරුවට ගිනි තැබීමකි. මාකස්වාදීන්ටද අවශ්‍ය සංස්කෘතිකහරණයකි. ඔවුන් සිතන්නේ විවිධ අනන්‍යතා ඇති ජන කොටස් සමගියෙන් ජීවත්විය හැක්කේ අනන්‍යතා ඉවත දැමීමෙන් කියාය. සමාජයෙන් වෙන්වී මමත්වය වර්ධනය කරන පුද්ගලයින් සමූහයකට නම් සමගියෙන් සිටිය හැක්කේ යම් එක් සංස්කෘතියකට (මේ අන් කිසිවක් නොව යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය බව ඔවුහු හංඟති) අනුගතවීමෙන් බව පිළිගත හැකිය නමුත් සමාජයත් සමඟ අන්‍යෝන්‍ය සම්බන්ධකමක් පවත්වන විවිධ සංස්කෘතික අනන්‍යතා ඇති මිනිසුන්ට සංස්කෘතිකහරණයෙන් තොරව සමගියෙන් ජීවත්විය හැකි විය යුතුය.

අපේ නිදහස නැති කරන්නේත් මෙරට දෙමළ ජනයා සිංහලුන්ගෙන් වෙන් කර තබන්නේත් සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි වන්නේත් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියේ ආධිපත්‍යයය. නමුත් අද සමහර සිංහල බෞද්ධ සංවිධාන උත්සාහ කරනු පෙනෙන්නේ සමස්ථයක් වශයෙන් යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය තුල හිඳමින් ඒ තුල සිංහල බෞද්ධයින්ගේ යම් යම් අයිතිවාසිකම් දිනා ගැනීමටය. අපි අපේ සංස්කෘතිය සෝදා හැර යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට අනුගතවී එහි ලබාදෙන පුද්ගලික අයිතියකින් සෑහීමකට පත්වීමට එකඟ වියයුතු නොවේ. ඉන් අත්වෙන නිදහසක් නැත. අවශ්‍ය ඕනෑම කෙනෙකුට නිවන් මඟක් ගැනීම සඳහා පුද්ගලික අයිතියක් ඇමෙරිකානුවන්ටද ඇත නමුත් ඒ හරහා ඇමරිකාව තුල බෞද්ධ සමාජයක් බිහි වෙන්නේ නැත. ඒ නිසා සමාජයක් වශයෙන් නිදහස ලබා ගැනීමට නම් අපි යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙන්ම නිදහස්විය යුතුය. දෙමළ ජනයා ශ්‍රී ලාංකික ජාතියකට එක් කල හැක්කේද ඒ නිදහස් සටන ඔස්සේය.



ජානක වංශපුර

2013-11-12