Main Logo

Sunday 16 March 2014

ඇඩෙල් බාලසිංහම් ලංකාවට භාරදෙනු


ජෙනීවා කෝලමෙන් ලැබෙන ආරංචි අනුව ව්‍යාජ ජාත්‍යන්තර පරීක්‍ෂණය වෙනුවට අභ්‍යන්තර පරීක්‍ෂණයක් පැවැත්වීමට ආණ්ඩුවට බලකිරීමේ යෝජනාවක් සම්මත කරගැනීමේ ඉඩකඩක් වෙයි. එය ද මානුෂීය මෙහෙයුම්වල අවසාන සති දෙකට සීමා කිරීමට බටහිර බලවතුන්ට අවශ්‍ය වී ඇත. ආණ්ඩුව මේ කිසිම පරී’ක්‍ෂණයකට එකඟ වි යුතු නො වේ. අප නිතර කියා ඇති පරිදි මෙහි ඊනියා මානව අයිතිවාසිකම් කඩවීමේ ප්‍රශ්නයක් නැත. මානව අයිතිවාසිකම් කඩවීමේ කතාව පටන් ගත්තේ මෙහෙයුම්වලින් ටික කලකට පසු එහෙත් 2010 ජනාධිපතිවරණයට පළමු ඇමරිකාවට ගොස් පැමිණි සරත් ෆොන්සේකා ය. ඔහුට විරුද්ධව ඇමරිකාවේ ප්‍රාන්ත අධිකරණයක තිබූ නඩුව ඉන්පසු ඉවත්කරගනු ලැබිණි. ඔහු අත් අඩංගුවට ගත යුතු යැයි අප කියා සිටියේ ජනාධිපතිවරණ වේදිකාවල ය. ප්‍රශ්නය මානව අයිතිවාසිකම් කඩවීමක් නොව දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දෙවීමට එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවලට නො හැකිවීම ය. අද එහි පළිය ජනාධිපතිතුමාගෙන්, ආරක්‍ෂක ලේකම්තුමාගෙන් හමුදාවෙන් හා පොදුවේ සිංහල ජාතියෙන් ගැනීමට බටහිරයෝ වලිකති. බටහිරයන්ට නීතිය හා ව්‍යවස්ථාව ඉගෙනගත් ජෙනිංග්ස්ගේ දරුවන්ගේ සහාය ද ලැබෙයි. 

මෙරට දෙමළ ප්‍රශ්නය ඇතිකළෝ දුම්කොළ වගාවට දෙමළ වෙල්ලාලයන් මෙරටට ගෙන ආ ලන්දේසිහු ය. ඉංගිරිසිහු ව්‍යවස්ථාදායක මණ්ඩලයට සිංහල ජාතිය හා දෙමළ ජනවර්ගය නියෝජනය කිරීමට ඉතිහාසය, සංස්කෘතිය පමණක් නොව ජගහන අනුපාතය ද නොසලකා එක් අයකු බැගින් පත්කිරීමෙන් සිංහලයන් ව්‍යවස්ථාපිතව සුළුතරය බවට පත්කිරීමේ ක්‍රියාදාමය අරඹා දෙමළ ජාතිවාදයට උඩගෙඩි දුන්හ. ඉංගිරිසින්ගේ කාලයේ සිට බැලුවත් දෙමළ ප්‍රශ්නයට, එනම් ව්‍යවස්ථාපිතව සිංහලයන් සුළුතරය බවට පත්කිරමේ ක්‍රියාදාමයට වසර දෙසියයක් පමණ වෙයි. රාමනාදන්ලා, අරණාශලම්ලා, පෙන්නම්බලම්ලා, ඉංගිරිසි ආණ්ඩුකාරවරු ප්‍රශ්නයේ මුල සිට ක්‍රියාත්මකවූහ. චෙල්වනායගම් ඒ ක්‍රියාදාමයේ සංධිස්ථානයක විය. ජෙනිංග්ස්ගේ දරුවන්ගේ මතකයේ ඇත්තේ  ප්‍රභාකරන් වුවත් සිංහලයන්ට හිමිතැන නොදීමට පැන වූ  29 වැනි වගන්තිය ව්‍යවස්ථාවට ඇතුල්කළ ජෙනිංග්ස් ද අපේ මතකයේ වෙයි (පසුගිය දිනවල ජෙනිංග්ස්ගේ මිණිබිරියක ලංකාවට පැමිණීම නිසා ජෙනිංග්ස්ගෙ දරුවෝ කුල්මත් වී සිටිති). ප්‍රභාකරන් යනු ඉහත සඳහන් සියළු දෙනාගේ ඥාතියෙකි. (වැඩි විස්තර සඳහා ප්‍රභාකරන් ඔහුගේ සියලා බාප්පලා හා මස්සිනාලා කෘතිය කියවන්න). මානුෂීය මෙහෙයුම් යනු අහම්බෙන් ඇතිවූවක් නො වේ. එහි මුල ඇත්තේ ඉංගිරිසි ආණ්ඩුකාරයන් හා දෙමළ ජාතිවාදී නායකයන් ය. ප්‍රභාකරන් ආයුධ ගත්තේ ප්‍රශ්නය ඇති වී අවුරුදු එකසිය පනහකටත් වඩා ගත වීමෙන් පසුව ය. ප්‍රභාකරන් පැරදවීමට මෙරට සිටි බෙලහීන ජනාධිපතිවරුන්ට හා ජනාධිපතිවරියට නොහැකි විය. 

මානුෂීය මෙහෙයුම් නොවන්නට තවමත් ප්‍රභාකරන් අහිංසක මිනිසුන් ගැහැණුන් හා දරුවන් මරාදමනු ඇත. අවසාන සති දෙකෙහි බටහිරයන්ට ප්‍රභාකරන් බේරාගෙන යුරෝපයට ගෙන යෑමේ අවශ්‍යතාව විය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එයට ඉඩ නො දුන්නේ ය. ප්‍රශ්නය ඊනියා මානව අයිතිවාසිකම් කඩවීමක් නොව දෙමළ ජාතිවාදය බැවින් අභ්‍යන්තර පරීක්‍ෂණයක් වුව ද අවසාන සති දෙකට සීමා නොවිය යුතු ය. නිවැරදි ව කරන්නේ නම් අඩුම තරමෙන් දහනවවැනි සියවසේ දෙවැනි දශකයේ සිට පරීක්‍ෂණය පැවැත්විය යුතු ය. එහෙත් එය කිසි ම ලෙසකින්වත් අවසාන සති දෙකට සීමා නොවිය යුතු ය. ප්‍රශ්නයේ ප්‍රභාාකරන් අවධිය පිළිබඳවවත් කරන පරීක්‍ෂණයකට ආණ්ඩුව එකඟ විය යුතු නො වේ.  අවසාන සති දෙක යනු ඉතිහාසයේ ක්‍රියාවලියක එක් සීමිත කාලයක් පමණකිි. ප්‍රභාකරන් පැරදවීමට නොහැකි වූ ජනාධිපතිවරු ද පරීක්‍ෂණයෙහි වගඋත්තරකරුවෝ වෙති. එතරම් තරුණයකු  නොවූ සජිත් ප්‍රේමදාසට තම පියා කොටින්ට ආයුධ සැපයූ බව හා පොලිස් භටයන් හත්සියයක් පමණ ප්‍රභාකරන්ට පාවාදුන් බව මතක ඇතැයි සිතමු. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිව නොවී සිටියදීත් ව්‍යවස්ථාවට පටහැණිව ඊනියා සටන් විරාම ගිවිසුමක් ඇති කිරීමෙන් ප්‍රභාකරන්ට නව පණක් ලබාදුන්නේ ය. මේ සියල්ලෝම පරීක්‍ෂණයක් පැවැත්වෙන්නේ නම් එහි වගඋත්තරකරුවෝ බවට පත්වෙති. 


එපමණක් නොව බටහිර රටවල පාලකයෝ ද වගඋත්තකරුවෝ වෙති. අද ද කොටි සංවිධානය ඇතැම් බටහිර රටවල නාමික ව තහනම් කෙරුණ ද එහි පෙරමුණු සංවිධාන ක්‍රියාත්මක වෙයි. බටහිරයෝ අද සිංහලයන්ට විරුද්ධ ව විසුරුණු දෙමළ ජනයා යොදා ගනිති. පසුගිය දා කොටි සංවිධානයේ ධජය රැගත් උද්ඝෝෂණයකට කැනඩාවේ ඉඩ ලැබිණි. අපට පරීක්‍ෂණයක් පැවැත්වෙන්නේ නම් මේ සියල්ලන් ම වගඋත්තරකරුවන් කිරීමට අවශ්‍ය වෙයි. මෙයින් කියැවෙන්නේ අභ්‍යන්තර වුවත් පරීක්‍ෂණයක් පැවැත්වීමට ආණ්ඩුව එකඟ විය යුතු බව නො වේ. ඉහත සඳහන්  වගඋත්තරකරුවන් නොමැති ව කෙසේවත් පරීක්‍ෂණයක් නොපැවැත්විය යුතු බව ය.  ඒ අතර තවත් වගඋත්තරකරුවෝ වෙති. අද ද කොටි සංවිධානයේ මිනිමැරුම්වලට වගකිවයුත්තෝ බටහිර රටවල ජීවත් වෙති. පරීක්‍ෂණයක් ගැන කතාකිරීමටත් පළමුව බටහිර රටවල් ඔවුන් ලංකාවට භාරදිය යුතු ය. ඒ පරීක්‍ෂණයකට පූර්ව අවශ්‍යතාවක් ලෙස නො වේ. ඒ අපරාධකරුවන් බටහිර රටවල රඳවා තබාගැනීමෙන් කැමරන් ද ඇතුළු බටහිර පාලකයෝ කොටින්ගේ මිනීමැරුම්වලට වගකිවයුත්තෝ වෙති. විශේෂයෙන් ම  තවමත් එංගලන්තයේ වෙසෙන ඇඩෙල් බාලසිංහම් ලංකාවට භාරදීම කැමරන්ගේ යුතුකමක් වෙයි. ඔහු ඇයට එංගලන්තයේ රැකවරණ ලබාදීමෙන් ඔහුගේ මානව අයිතිවාසිකම් කතාව පුස්සක් බවට පත්වෙයි. ළමා සොල්දාදුවන් ගැන කිඹුල් කඳුළු හෙළුෑ බටහිරයන් ඒ සම්බන්ධයෙන් වගකිවයුතු එක් ප්‍රධාන පුද්ගලයකු වූ ඇඩෙල් බාලසිංහම්ට රැකවරණ ලබාදෙන්නේ කෙසේ ද? සයනයිඩ් මාල දෙමළ තරුණියන්ගේ ගෙළවට පැළඳූ ඇඩෙල් මානව අයිතිවාසිකම්වලට ගරු කළේ ද? කැමරන් ඊනියා ජාත්‍යන්තර හෝ අභ්‍යන්තර හෝ පරීක්‍ෂණ ගැන කතාකිරීමට පළමු යුද්ධාපරාධකාරියක වූ ඇඩෙල් බාලසිංහම් ලංකාවට භාරදිය යුතු ය. එසේ කරන තෙක් අභ්‍යන්තර පරීක්‍ෂණයක් ගැනවත් කතාකිරීමට ලංකාණ්ඩුව බැඳී නැත.


නලින් ද සිල්වා

2014-03-16