Main Logo

Sunday 9 March 2014

ඉතිහාසය ගල්ගැස්සීම


මෙහි මාතෘකාව ඉතිහාසය වුව ද වාස්තවික වූ ඉතිහාසයක් නැත. අප සියළු දෙනාට ම ග්‍රහණය කිරීමට ඇත්තේ එකම ලෝකයක් පමණක් යැයි කියන (නො)දත් දොස්තරලාට නම් ඇත්තේ එකම ඉතිහාසයක් විය හැකි ය. අප එකිනෙකා ඉතිහාස දකින්නේ විවිධ ආකාරයෙනි. මෙරට සම්බන්ධයෙන් ගත්කල ඇතැම්හු රාවණ ඉතිහාස ගැන කියති. ඇතැමුනට අනුව ඉතිහාස පටන්ගෙන ඇත්තේ විජය කුමරුගෙනි. ඇතැමුනට අනුව ඊනියා විද්‍යාව (බටහිර විද්‍යාව) මගින් බෙංගාලයේ ජනතාව හා සිංහලයන් අතර ජාන සම්බන්ධයක් ඇති බව හෙළි වී ඇත. ඒ විද්‍යාවට ම අනුව තවත් අයකු පවසා ඇත්තේ අද දකුණු ඉන්දියාව යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයෙහි හා ලංකාවේ ජනයා අතර ජාන සම්බන්ධයක් ඇත. වාස්තවික ඉතිහාසයක් තබා වාස්තවික භෞතික විද්‍යාවක්වත් නැත. ක්වොන්ටම් සංකල්පය වත්මන් බටහිර භෞතික විද්‍යාවෙහි ඉදිරිපත්කළ සුප්‍රසිද්ධ බටහිර භෞතික විද්‍යාඥයකු වූ මැක්ස් ප්ලෑන්ක්ට අනුව බටහිර භෞතික විද්‍යාවෙහි යම් මතයක් පිළිගැනෙන්නේ තර්කයෙන් හෝ ඊනියා ආනුභවික විධික්‍රමයකින්  හෝ අදාළ විද්‍යාඥයන් ඒ අදහස සමග එකඟ වීමෙන් නොව පැරණි පරම්පරාව මිය යෑමෙනි. බටහිර ඉතිහාසයට බටහිර දන්ත වෛද්‍යවිද්‍යාවට ආදී විෂයයනට වඩා බෙහෙවින් වර්ධනය වී ඇති භෞතික විද්‍යාවෙහි ද තත්වය එබඳු නම් අනෙක් විෂය ගැන කියනුම කවරේ ද? බටහිර භෞතික විද්‍යාව නොහදාරා ජනප්‍රිය පොතපත මගින් බටහිර භෞතික විද්‍යාව ගැන කරුණු දැනගැනීමට උත්සාහ කරන (නො)දත් දොස්තරලාට මේ කිසිවක් නොවැටහීම පුදුමයක් නො වේ. ඔවුන්ට අනුව ඇත්තේ එක් ලෝකයකි. එක් ඉතිහාසයකි. ඔවුහු ද යටත්විජ්තවාදයට සේවය කරති.

ඉහත සඳහන් පුර්විකාව රායප්පු ජෝසෆ් බිෂොප්වරයා ඇතුළු දෙමළ ක්‍රිස්තියානි පූජකවරුන් දෙසිය පස්දෙනකු එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි මානව අයිතිවාසිකම් මණ්ඩලයේ සාමාජිකයන් වෙත යවන ලද ලිපියක සඳහන් කරුණු පිළිබඳ ව වචනයක් දෙකක් සඳහන් කිරීමට ය. ජෝසෆ් බිෂොප්වරයා ගැන අමුතුවෙන් යමක් කීම අවශ්‍ය නො වේ. මඩු දේවස්ථානයෙහි තිබූ මරියතුමියගේ සුරුවම කොටින් අතට පත්කර සිංහල කතෝලිකයන්ට එම දේවස්ථානයෙහි පුද පූජා පැවැත්වීම අහිමි කළේ ඔහු ය. පසුගිය දා කිසිම සාක්‍ෂියක් නොමැතිව හමුදාව රසායනික අවි යොදාගත් බවටත් සාමාන්‍ය ජනතාවට බෝම්බ දැමූ බවටත් චෝදනා කළේ ඔහු ය. ඔහු සිංහලයන් සමග විශේෂයෙන් ම සිංහල බෞද්ධයන් සමග බද්ධ වෛරයකින් පසුවන බව පෙනී යයි. ඔහු ඇතුළු පූජකවරුන් (මොවුන් සේවය කරන්නේ දෙවියන් වහන්සේට නො වේ) තම ස්වාමිවරුන් වූ බටහිරයන්ට කියා ඇත්තේ ආණ්ඩුව දෙමළ අනන්‍යතාව නැතිකරන බවත් දෙමළ ජනයාගේ ඉඩම් කොල්ල කන බවත් දෙමළ ජනයා මත සිංහල භාෂාව හා බුද්ධාගම පටවන බවත් ආණ්ඩුව සිංහලයන් උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි කරවීමෙන් ඒ පළාත්වල ජනගහන ව්‍යාප්තිය වෙනස්කරන බවත් එමගින් එහි දෙමළ ජනයා බහුතරය වීම නැතිකරන බවත් ය. මේ ප්‍රකාශ කිනම් ඉතිහාසයකට අනුව කළත් වෛරී ප්‍රකාශ ය. එමෙන් ම තමන් විශ්වාස කරන ඉතිහාසය වෙනස් නොවිය යුතු බවත් ඒ ප්‍රකාශයෙන් ගම්‍ය වෙයි. 

උතුරු පළාතේ කෙසේ වෙතත් නැගෙනහිර පළාතේ දෙමළ ජනයා බහුතරය නො වේ. උතුරු පළාතේ ද දෙමළ ජනයා බහුතරය බවට පත්වූයේ ලන්දේසීන්ගේ පැමිණීමෙන් පසුව ය. ජෝසෆ් බිෂොපහුතරය්වරයාගේ ඉතිහාසයට අනුව එය එසේ නොවිය හැකි ය. හෙත් මෙරටට කතෝලික ආගම හඳුන්වාදුන් පෘතුගීසි ඉතිහාසඥයන්ට අනුව පෘතුගීසීන් මෙරටට පැමිණෙනන විටත් යාපන අර්ධද්වීපයෙහි බහුතරය සිංහල ය. දෙමළ ඉතිහාසඥයකු වූ මහාචාර්ය කාර්තිගේසු ඉන්ද්‍රපාලගේ ඉතිහාසයට අනුව මෙරට දොළොස්වැනි සියවසට පෙර ස්ථිර දෙමළ වාසස්ථාන තිබී නැත. ජෝසෆ් බිෂොප්වරයාගේ ඉතිහාසය ලියා ඇත්තේ කවුරුන් දැයි නො දනිමි. උතුරු හා නැගෙනහිර පළාත්වල ජනගහණ ව්‍යාප්තිය හැමදාමත් එකම ආකාරයකින් පැවතියේ යැයි බිෂොප්වරයා පවසන්නේ ද? ඔහුගේ ඉතිහාසය කුමක් වුවත් පෘතුගීසීන්ගේ හා මහාචාර්ය ඉන්ද්‍රපාලගේ ඉතිහාසයට අනුව නැගෙනහිර පළාතේ තබා උතුරු පළාතේවත් සැම කල්හිම දෙමළ ජනයා බහුතරය ව පැවතී නැත. අනෙක් අතට උතුරු පළාතේ හා නැගෙනහිර පළාතේ ජනගහන ව්‍යාප්තිය ස්වාභාවික යැයි කියන ආකාරයකට වෙනස් වී ද නැත. පෘතුගීසීන් පැමිණෙන විට උතුරේ බහුතරය වූ සිංහලයන් දෙමළ වූයේ කෙසේ ද? ඒ පිළිබඳ ව බිෂොප්වරයාගේ ඉතිහාසය කුමක් ද? බිෂොප්වරයාගේ ආගම ද ඔහුගේ පරම්පරාව මෙරටට පැමිණියේ කවදා වුව ද සියළු කල්හි එකක් ම වී නැත. මෙරට කතෝලික ඉතිහාසය පටන්ගෙන ඇත්තේ දහසයවැනි සියවසෙන් පසුව ය. 

ඉතිහාස කාගේ වුවත් කාහට අනුව ලියැ වී ඇති වුවත් ඒ වෙනස් වෙයි. අද කොළඹ බහුතරය සිංහල නො වේ. එය ඊනියා ස්වාභාවික කරුණු අනුව සිදුවිණි යැයි කිසංිවකු කියනු ඇත. එහෙත් මේ ස්වාභාවිකත්වය යනු කුමක් ද? ඉංගිරිසින් විසින් බලහත්කාරයෙන් අප මත පටවනු ලැබූ අධ්‍යාපනය හා ආර්ථිකය නිසා ඇතිවූවකි. එය ස්වාභාවික ද? ඉංගිරිසින් මෙරටට නොඑන්නට කොළඹ දෙමළ ජනගහනයක් හෝ මුස්ලිම් ජනගහනයක් හෝ පැවතිය හැකි ද? දෙමළ ජනයා උතුරේ බහුතරය වී ඇත්තේ ලන්දේසීන් දුම්කොළ වගාවට අද දකුණු ඉන්දියාව නමැති ප්‍රදේශයෙන් කෘෂිකාර්මික කම්කරුවන් වූ වෙ ල්ලායන් බලයෙන් ගෙන්වීමෙන් පසුව බව ලන්දේසින්ගේ ඉතිහාසයෙන් ගම්‍ය වෙයි.  මුස්ලිමුන් නැගෙනහිර පළාතේ පදිංචිකරවනු ලැබුයේ සෙනරත් රජු විසිනි. ඒ ඔවුන් කතෝලිකයන්ගෙන් ආරක්‍ෂාකිරීම සඳහා ය. මේ සියල්ල කිනම් හේතුවකට කළත් බලහත්කාර පදිංචිකරවීම් ය. අද ඉඩම් නැති සිංහලයන්ට ඉඩම් අවශ්‍ය නම් ඉඩම් ඇත්තේ උතුරු පළාතේ නම් ආණ්ඩුව මැදිහත් වී ඔවුන් ඒ පළාතේ පදිංචි කරවිය යුතු ය. කිනම් ඉතිහාසයකට අනුව වුවත් මිනිසුන් පදිංචිය වෙනස් කිරීමෙන් ජනගහණ ව්‍යප්තිය වෙනස් වෙයි. එයට බිෂොප්වරයා මැසිවිලි නැගිය යුතු නො වේ. අද ඔහුට හා අනෙක් දෙමළ ජතිවාදීන්ට අවශ්‍ය වන්නේ ඉතිහාසය (වාස්තවික අර්ථයකින් නො වේ) ගල්ගැස්වීමට ය. පෘතුගීසීන් ලන්දේසීන් හා ඉංගිරිසින් ඇතිකළ ඉතිහාසය රැකගැනීම බිෂොප්වරයාට අවශ්‍ය ය. ඔහු අනෙක් දෙමළ ජාතිවාදීන් මෙන් ම යටත්විජිතවාදින්ට සේවය කරයි. අපට අවශ්‍ය වන්නේ යටත්විජිතවාදීන්ගේ ඉතිහාසය වෙනස් කිරීමට ය.


නලින් ද සිල්වා

2014-03-09