Main Logo

Wednesday 26 March 2014

නිවන ඉන්ද්‍රිය ගෝචර ද?


මමත්වය තුනී කර ඇති එහෙත් සෑම සතියක ම තම සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය ධුරය හා ඩී එස් සී උපාධිය ගැන සඳහන් කිරීමට අමතක නොකරන අමරතුංග මහතාගේ මාර්තු 19 වැනි දා ලිපියට අනුව ඔහු මා මේ සංවදයේ දී කී සියළු දෙය වැරදි බව පෙන්වා දී ඇතෂ එමෙන් ම මා අදහස්වලින් බංකොළොත් යෂ මා විද්‍යාව යනු කුමක් දැයි යන්න වටහා ගෙන නැතෂ මා විශ්වවිද්‍යලවල ඉගැන් වූ  සාපේක්‍ෂතාවාදය ආදිය පිළිබඳ මා දරණ අදහස් ද වැරදි බව අමරතුංග මහතා පෙන්වා දී ඇත. අමරතුංග මහතා කොපමණ කලක් විශ්වවිද්‍යාලයෙහි දන්ත වෛද්‍යවිද්‍යාව උගන්වා ඇත් දැයි මම නො දනිමි. එහෙත් ඒ මහතා එක්කෝ මට මෙතෙක් හමු වී නැති ගණයේ විරළ උගතෙකි. එසේත් නැතහොත් මම නූගතෙක්මි. සමහරවිට ඒ දෙක ම ද විය හැකි ය. ඒ මහතා උපධියට පෙනී සිටි විගස දන්ත වෛද්‍ය පීඨයේ පත්වීමක් ලැබිණි දැයි නො දනිමි. එසේ නම් ඒ මහතා විශ්වවිද්‍යාලයෙහි අවුරුදු හතළිහකට වඩා උගන්වා තිබිය යුතු ය. එහෙත් මා නම් අවුරුදු තිහක්වත් විශ්වවිද්‍යාලවල උගන්වා නැත. මට උපාධියට පෙනී සිටි විගස එවකට ලංකා විශ්වවිද්‍යාලයෙහි රැකියාවක් ලබාදීමට කටයුතු කළවුන් තම වරද වටහාගෙන මගේ නූගත්කම සැලකිල්ලට ගෙන ඉන් අවුරුදු දහයකට පමණ පසු මට නැවත රැකියාවක් ලබා නොදීමට කටයුතු කළා විය හැකි ය. එහෙත් ඉන්පසු කොළඹ විශ්වවිද්‍යාලයේ ද මට රැකියාවක් ලැබුණේ මූලික වශයෙන් සාපේක්‍ෂතාවාදය හා ක්වොන්ටම් භෞතිකය ද ඇතුළු ගණිතමය භෞතිකවිද්‍යාව ඉගැන්වීමට ය. ඔවුන් ද වසර දහතුනක් පමණ ඇවෑමෙන් මා ඉගැන්වූ විෂය ගැන අවබෝධයක් නැති මට පත්වීමක් ලබාදීමෙන් ඔවුන් කළ වරද දැන මා සේවයෙන් අස්කළා විය හැකි ය. එහෙත් ඉන්පසුව කැලණිය විශ්වවිද්‍යාලයේ ද මට භාරවූයේ මූලික වශයෙන් ගණිතමය භෞතිකවිද්‍යාව ඉගැන්වීමට ය. මාගේ නිර්දේශය පිළිගෙන කැලණිය විශ්වවිද්‍යාලයෙහි ගණිතමය භෞතිකවිද්‍යාව පිළිබඳ විශේෂ පාඨමාලාවක් ද ඇති කෙරිණි. (එවැනි පාඨමාලාවක් ඇත්තේ කැලණියෙහි පමණ ය)  ඔවුන්ට මා ගණිතමය භෞතිකවිද්‍යාව ගැන දරණ අදහස් වැරදි බව දැනගැනීමට කලක් තිබී නැත. එබැවින් මා අස්කිරීම පිළිබඳ ප්‍රශ්නය එහි දී පැන නොනැගිණි. අමරතුංග මහතා 1975ට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙහි සේවය කළේ දැයි නො දනිමි. ඒ මහතා එකල එහි සේවය කළේ නම් හා මගේ නූගත්කම ගැන ඒ මහතා එකල ද දැනසිටියේ නම් සමහරවිට මට 1975 ට පෙර ම සේවයෙන් කෙරී කළහැකි වෙනත් දෙයක් කිරීමට තිබිණි. කොළඹ විශ්වවිද්‍යාලයෙහි ද කැලණිය විශ්වවිද්‍යාලයෙහි ද මා බටහිර දැනුම දැඩි ලෙස විවේචනය කළ ද කිසිවකු ඒ පිළිබඳ අභියෝගයක් කර නොතිබිණි. මා ගණිතමය භෞතිකවිද්‍යාව ඉගැන්වූයේ එය විවේචනය කරමිනි. අමරතුංග මහතාගේ ගණයේ උගතකු ඒ විශ්වවිද්‍යාලවල නොසිටීම මට පහසුවක් වන්නට ඇත.

මා සාපේක්‍ෂතාවාදය පිළිබඳ දරණ අදහස් වැරදි බව ඒ මහතා පෙන්වා දී ඇත්තේ කිනම් ලිපියක ද යන්නත් එසේ පෙන්වාදීමට තමා යොදාගත් සාධක කවරේද යන්නත් සඳහන් කරන්නේ නම් ඒ මහතාට කෘතඥ වෙමි. මගේ වැරදි කවරේ ද යන්නත් මගේ ලිපිවලින් උපුටා දක්වමින් කරුණු ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටිමි. උපුටා දැක්වීම වරදක් නො වේ. වරද උපුටා නොදක්වා තමා අහවල් දෙය පෙන්වා ඇති බව ලොවට ප්‍රකාශ කිරීම ය. අදාළ ඡෙදය උපුටා දැක්වීම පිටු පිරවීමක් නො වේ. එසේ උපුටා දැක්වීම පාඨකයාට පහසුවකි. පාඨකයන්ගෙන් බහුතරය අදාළ ලිපි නැවත නොකියවන බව පැහැදිලි ය. අමරතුංග මහතා බුදුදහම ගැන සඳහන් කරන කරුණු පසුව විවේචනය කරමි. දැනට පහත දැක්වෙන කරුණ පමණක් සඳහන් කරමි. ඒ මහතා තම මාර්තු 19 වැනි දින ලිපියෙහි මෙසේ කියයි. "බුදුන් අපට කියා දී ඇත්තේ "එහිපස්‌සිකෝ" යන්න ය. පොත්පත්වල තිබුණත්, කවුරුන් කීවත් අප පිළිගත යුතු වන්නේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂය මාර්ගයෙන් ලබා ගත හැකි දැනුම වන්නේ ය. නිර්මල බුදු දහමේ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්ම ත්‍රිත්වය අපට ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂ මාර්ගයෙන් වටහාගත හැකි ය. චතුරාර්ය සත්‍යය ද, ආර්ය අෂ්ඨාංගික මාර්ගය ද එලෙස ම පැහැදිලි කරගත හැකි ය. පටිච්චසමුප්පාදය ද එලෛස ම වටහාගත හැකි ය. භාවනාව ද එලෙස ම අනුභූතිකව දැනගත හැකි ය. බුදු දහමේ අරටුව මෙය ය. බුදුන් කියා දුන් පරිදි බුදුදහමේ තිබෙනවා යෑයි සඳහන් සැම දෙයක්‌ ම අප පිළිගත යුතු නැත. දෙවියන් පිළිබඳව සාක්‌ෂි ඇති බව නලින් මහතා පවසයි. සාක්‌ෂි ඉදිරිපත් කරන ලෙස මම ඔහුට අභියෝග කරමි. මා විශ්වාස කරන්නේ "එහිපස්‌සිකෝ" යන්නෙන් අදහස්‌ වූ අන්දමට මුල් බුදු දහමේ සඳහන් බුදුරදුන් ගේ ධර්මය සහ විද්‍යාව විසින් ඉන්ද්‍රිය ගෝචර ක්‍රමවලින් සොයාගත් දේ පමණි. බුදුරදුන් ගේ ධර්මයේ ඉන්ද්‍රිය ගෝචර නො වූ කිසිවක්‌ නොමැත. ගුරුත්වාකර්ෂණය අපට ඉන්ද්‍රිය ගෝචර නො වන නිසා එවැනි දෙයක්‌ නොමැති බව ඔහු පවසයි. එහෙත් ඔහුට ද ඉන්ද්‍රිය ගෝචර නො වන නාථ දෙවියන් ගේ පැවැත්ම ඔහු විශ්වාස කරයි. නාථ දෙවියන් ගෙන් දැනුම ලබාගත හැකි යෑයි පවසමින් මහජනයා ගේ මුදල් කඩාගන්නා අයවළුන්ට ඉඩ දී බලා සිටිය නොහැකි ය. 

අමරතුංග මහතා මා වැරදි ලෙස වටහාගෙන ඇති දේ විශ්වවිද්‍යාලයෙහි දී ඉගැන් වූ බව කීමට අමතර ව ව්‍යංගයෙන් කියන්නේ මා නාථ දෙවියන්ගෙන් දැනුම ලබාගත්තේ යැයි පවසමින් මහජනයාගේ මුදල් කඩාගන්නා බව ද? කෙසේ වෙතත් අමරතුංග මහතා අත ගසා ඇත්තේ සත්කාර්යයකට ය. එසේ මුදල් ගසා කන්නන්ට ඉඩ නොදීමට ඒ මහතා පියවර ගෙන ඇත. ඒ මහතාට ජයවේවා! අඳෝමැයි යනුවෙන් මා මර්තු 12 ලිපිය අවසන්කිරීම තේරුම් ගැනීමට නොහැකි අමරතුංග මහතාට ජයවේවා යන්න තේරුම් ගැනීමට හැකි දැයි නො දනිමි. ඒ මහතා  කුමක් කීවත් දෙවියන් හා බඹුන් පමණක් නොව ප්‍රේත භූතයන් ද සක්වළ සිටින බව මගේ විශ්වාසයයි. මා එසේ විශ්වාස කරන්නේ සූත්‍ර පිටකයෙහි ඒ බව බුදුන් වහන්සේ දේශනා කර ඇති බැවිනි. ඒ සඳහා ඒ සාක්‍ෂි ප්‍රමාණවත් බැවිනි.  මා මාර්තු 12 වැනි දා ලිපියෙහි උපුටා දැක්වූ ගාථාව එයට උදාහරණයක් පමණකි. මම එය නැවත උපුටා නොදක්වා මහාමංගල සූත්‍රයට අමරතුංග මහතාගේ අවධානය යොමු කරමි. ඒ සූත්‍රය දේශනා කර ඇත්තේ දෙවියකු ඇසූ ප්‍රශ්නයක් මූල්කර ගෙන ය. ඒ දෙවියන් අප වැන්නන්ගේ පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවනවා විය හැකි ය. එහෙත් එපමණකින් ම අප ඒ ප්‍රතික්‍ෂෙප කළ යුතු නො වේ. මා කිසි විටෙකත් ඉන්ද්‍රිය ගෝචර නොවන නිසා ම ගුරුත්වාකර්ෂණය නොමැති බව පවසා නැත. ඒ බව පවසා ඇත්තේ කොතැනක දැයි අදාළ ඡෙදය උපුටා දක්වමින් හා ලිපියෙහි දිනය ගෙනහැර දක්වමින් සඳහන්කරන මෙන් ඉල්ලා සිටිමි . මේ බොහෝ මහාචාර්යවරුන්ගේ උපක්‍රමයකි. ඔවුන් උපුටා දැක්වීමට මැළිවන්නේ ද එබැවිනි. කිසිම උපුටා දැක්වීමක් නැතිව අනෙක් අය මේ මේ දේ කියා ඇතැයි ප්‍රකාශ කිරීම ඔවුන්ගේ විධික්‍රමයේ කොටසක් බවට පත් වී ඇත. ගුරුත්වාකර්ෂණය මා නොපිළිගන්නේ එය කිසිවකුගේ ප්‍රත්‍යක්‍ෂයට හසුනොවන, මුදහරින ලද වස්තු පොළොවට වැටෙන්නේ ය යන ප්‍රත්‍යක්‍ෂය තේරුම් ගැනීම සඳහා යැයි පවසමින් හුදෙක් නිවුටන් ගෙතූ පට්ටපල් බොරු කතන්දරයක් බැවිනි. 

අනිත්‍ය අනාත්මය ඉන්ද්‍රිය ගෝචර වන්නේ ද? අනිත්‍ය යනු නිත්‍ය නොවන්න (වෙනස්වීම) නම් එය ඇතැම් වස්තූන් සඳහා ඉන්ද්‍රිය ගෝචර වෙයි. ආත්මය ඇත් ද ? එය වෙනස් වන්නේ ද? මෙහි ඉන්ද්‍රිය ගෝචර වීම යන්නෙන් අදහස් කරන්නේ පංචෙන්ද්‍රියන්ට ගෝචර වීම යැයි සලකමු. මනසට පමණක් ගෝචර වන පෘථග්ජන ප්‍රත්‍යක්‍ෂ හෝ බුදුන්වහන්සේගේ හෝ රහතන් වහන්සේගේ හෝ ප්‍රත්‍යක්‍ෂ මෙයට අදාළ නො වේ යැයි සිතමු. අනාත්ම ඉන්ද්‍රිය ගෝචර ද? අමරතුංග මහතාට අනිත්‍ය දුක්ඛ අනාත්ම ඉන්ද්‍රිය ගෝචර වී ඇත් ද? නැත්නම් එයට හේතුව කුමක් ද? චතුරාර්ය සත්‍යය ඉන්ද්‍රිය ගෝචර යැයි අමරතුංග මහතා කියයි. එනම් ඔහුට අනුව නිවන ද ඉන්ද්‍රිය ගෝචර වෙයි. නිවන ගෝචර වන්නේ පංචෙන්ද්‍රියන්ගෙන් කිනම් ඉන්ද්‍රියයකට ද? නැත්නම් කිනම් ඉන්ද්‍රියවලට ද? කරුණාකර පෘථග්ජනයන්ගේ හිතසුව පිණිස අමරතුංග මහතා ඒ බව පවසන්නේ ද? බුදුන් වහන්සේට පමණක් සුවිශේෂ වූ ප්‍රත්‍යක්‍ෂ ඇති බව මා මාර්තු 5 වැනි දා ලිපියෙහි උපුටා දැක් වූ බ්‍රහ්මජාල ස්‍රත්‍රයෙහි ගාථාවෙන් පැහැදිලි වෙයි. සසර ඉන්ද්‍රිය ගෝචර ද? එ එසේ නම් ඒ කිනම් ඉන්ද්‍රියවලට ද? බුදුන් වහන්සේ දෙසා ඇතැයි කියන සියල්ල විශ්වාස කළ යුතු යැයි මම නො කියමි. එහෙත් එසේ නොපිළිගැනීමේ දී ඒ සඳහා එහි ඵස්සිකො අනුව බලාගත් හේතුවක් හෝ හේතු හෝ ඉදිරිපත් කළ යුතු ය.  බුදුන් වහන්සේගේ ධර්මයෙහි ඉන්ද්‍රිය (පංචෙන්ද්‍රිය) ගෝචර නොවූ කිසිවක් නැතැයි කියන්නේ නම් ඉන් අදහස් වන්නේ පුනබ්භවය, කර්මය, සසර, නිවන ආදිය බුද්ධධර්මයට අයත් නැති බව ය. 

මේ එකක්වත් බටහිර විද්‍යාව පට්ටපල් බොරු ය යන්නට සෘජුව අදාළ නැති වුවත් මගේ බුදුදහම ගැන මුලින් ම ප්‍රශ්න කරමින් බුදුදහම මෙයට ඈඳාගත්තේ අමරතුංග මහතා ය. මා පිළිගන්නා බුදුදහම හා  තුන්වැනි සංගායනාවේ හෙවත් අශෝක බුදුදහම අතර වෙනස්කම් ඇත. ඒ මූලික වශයෙන් ක්‍ෂණවාදය හා ධර්මවාදය සම්බන්ධයෙනි. එය පැවැත්ම හා ආත්මවාදය පිළිබඳ ප්‍රශ්නයකි. මනසේ පැවැත්ම ද මතුවන්නේ ඒ ඔස්සේ ය. එහෙත් පුනබ්භවය, සසර, කර්මය ආදිය පිළිබඳ ව මා පිළිගන්නා බුදුදහම හා අශෝක බුදුදහම අතර වෙනසක් නැත. එසේ වුවත් අමරතුංග මහතා ගොස් බලා දැකගත් බුදුදහම හා බුදුන් වහන්සේගේ සූත්‍ර දේශනා අතර මහත් පරස්පරයක් ඇති බව පැහැදිලි ය. 

පරස්පර යන්න අමරතුංග මහතාට තේරෙන දෙයක් නො වේ. එබැවින් ඉහත සඳහන් දේ ඒ මහතාට ගෝචර නොවිය හැකි ය. තමා ආයුර්වේදය, සිංහල වෙදකම හා බටහිර වෙදකම ගැන කියා ඇති පරස්පර ඒ මහතාට පරස්පර නො වේ. මා කියන්නේ කුමක් දැයි තේරුම් ගැනීමට නොහැකි අමරතුංග මහතා තමා මා කියා ඇති දේ වැරදි බව පෙන්වා දී ඇතැයි උදම් අනයි. මා කියන්නේ කුමක් දැයි ඒ මහතාගේ දැනගැනීම සඳහා ම නොවූවත් නැවත නැවතත් කිවයුතු වෙයි. ලෝකයේ ඇත්තේ එක ම විද්‍යාවක් නො වේ. බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙනස්වන්නේ බොහෝ බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් කියන ආකාරයට එහි ඇතැයි කියන ඊනියා පර්යේෂණාත්මක විධි ක්‍රමයක් නිසා නොව එහි චින්තනය හේතුකොටගෙන ය. මේ චින්තනය පහළොස්වැනි සියවසේ දකුණු යුරෝපයේ බිහිවූවකි. අපි එය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ලෙස හඳුන්වමු. මේ චින්තනයෙහි වියුක්ත ප්‍රවාද ගොඩ නැගෙයි. එයට හේතුව පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂවලින් ඔබ්බට යාහැකි ආධ්‍යාත්මික ව ලබාගත හැකි ප්‍රත්‍යක්‍ෂ බටහිරයන්ට පහළොස්වැනි සියවසේ නොමැති වීම ය. ඔවුහු තමන්ට නැති එවැනි ප්‍රත්‍යක්‍ෂ මිථ්‍යා පාරභෞතික ආදී වශයෙන් හැඳින්වූහ. එවැනි ප්‍රත්‍යක්‍ෂ නැති ඔවුන්ට ඇතැම් පංචෙන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ තේරුම් ගැනීමට කතන්දර ගෙතීමට සිිදුවිය. ගැලීලියෝ නිවුටන් ආදීහු මේ කතන්දර ගෙතීමේ පුරෝගාමිහු වූහ.මේ කතන්දර වියුක්ත වෙයි. ඒ කිසිවකුගේවත් ප්‍රත්‍යක්‍ෂ නො වෙයි. ඕනෑම අයකුට ඕනෑම කතන්දරයක් ගෙතිය හැකි වුවත් සෑම කතන්දරයක් ම අනෙක් අය විසින් නො පිළිගැනෙයි. කතන්දරයක් පිළිගැනෙන්නේ ඒ කතන්දරය අනෙක් එවැනි කතන්දර සහ සංසිද්ධි (සංසිද්ධි ද කතන්දර මත පදනම් වෙයි) සමග යම් පමණකට වුව සංගත නම් ය. එහෙත් කිසිම කතන්දරයක් කිසි දිනෙක අනෙක් කතන්දර සහ සංසිද්ධි සමග මුළුමනින් ම සංගත නො වෙයි. එබැවින් එක ම සංසිද්ධිය ලෙස සැලකෙන පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි සඳහා විවිධ කතන්දර ගෙතිය හැකි වෙයි. නිවුටන් හා අයින්ස්ටයින් පෙළොවට පොල් වැටීම පිළිබඳ කතන්දර දෙකක් ගෙතුවෝ වෙති. නිවුටන් ගුරුත්වාකර්ෂණ කතාව ද අයින්ස්ටයින් ගුරුත්වාකර්ෂණයෙන් තොර අවකාශ කාල වක්‍රතා කතාව ද ගෙතුවෝ ය. ඒ කතන්දර සංකල්පීය වශයෙන් ගත්කල අහසට පොළොව මෙන් එකිනෙකින් වෙනස් ය. බුදුන් වහන්සේට අනුව සියළු පෘථග්ජන ප්‍රත්‍යක්‍ෂ මුසා වෙයි. මාර්තු 12 වැනි දා ලිපියෙන් මා ද්වයතානුපස්සනා සූත්‍රයේ ගාථාවක් උපුටා දක්වමින් කියා සිටියේ ඒ බව ය.  ප්‍රත්‍යක්‍ෂ එලෙස බොරු නම් ප්‍රත්‍යක්‍ෂ ද නොවන වියුක්ත කතන්දර ගැන කිවහැක්කේ ඒ පට්ටපල් බොරු බව ය. 

අමරතුංග මහතා ඉහත සඳහන් කරුණු බොරු බව පෙන්වන්නේ කෙසේ ද? ඒ මහතාට වියුක්ත යන්න ගැනවත් අවබෝධයක් නැත. මා ඒ බව කලින් කියා ඇත. ඒ මහතාගේ ම ලිපියකින් උපුටා දක්වමින් ඔහුට වියුක්ත යන්න නොතේරෙන බව පෙන්වා දෙමි. මෙය පෙබරවාරි 05 වැනි දා ඒ මහතාගේ ලිපියෙනි. “වියුක්‌ත යන වචනයෙන් අදහස්‌ වන්නේ වෙන් වූ, ඈත් වූ (disjoined, disconnected) යන්න ය. එමෙන් ම සංයුක්‌ත යන වචනයේ අරුත ළං වූ, එකක්‌ වූ, සම්බන්ධ වූ (Joined, connected) යන්න ය. ” වියුක්ත යනු මෙය නො වේ. ඉංගිරිසියෙන් නම් ඒ ඇබ්ස්ට්‍රැක්ට් (abstract) ය. වියුක්ත යන්න නොතේරෙන අමරතුංග මහතා මා කියා ඇති දේ බොරු යැයි පෙන්වන්නේ කෙසේ ද? අමරතුංග මහතා ආයුර්වේදය හා බටහිර වෙදකම එකම විද්‍යාවක් වන්නේ යැයි කියන අතර එහි පදනම වෙනස් බව කියයි. ඔහුට අනුව වා පිත් සෙම් මතවාද පමණ ය. ඔහු මතවාද යැයි කියන්නේ ප්‍රවාදවලට ය. ඒ බව මාර්තු  19 ඒ මහතාගේ ලිපියේ පහත සඳහන් උද්ධෘතයෙන් පැහැදිලි වෙයි. “මතවාද පිළිබඳව සාක්‌ෂි නොමැති වූ විට එය මතවාදයක්‌ පමණක්‌ (theory only) වශයෙන් පවතී. මේ නිසා ය මා පැවසුවේ ආයුර්වේදයේ සහ සිංහල වෙදකමේ මතවාද සාක්‌ෂි නොමැති නිසා ඔප්පු වී නැති බව.”  මතවාද යනු තියරි නො වේ. තියරි යනු ප්‍රවාද ය. අමරතුංග මහතා සංකල්ප ගැන නිරවුල්ව සිතන්නේ කවදා ද? මා දැනට ඒ මහතාගෙන් අසන්නේ එක් ප්‍රශ්නයක් පමණකි. බටහිර විද්‍යාවේ ප්‍රවාද ඔප්පු කිරීමට ඇති සාක්‍ෂි කවරේ ද?  

නලින් ද සිල්වා

2014-03-26