Main Logo

Friday 30 January 2015

අගවිනිසුරු ගැන අගමැති ප්‍රකාශය


අගමැතිවරයා ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීම සම්බන්ධයෙන් අද (2015 ජනවාරි 30) පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කර ඇත. මේ එහි සඳහන් ප්‍රධාන කරුණු ගැන කෙරෙන ප්‍රතිචාරයකි.

ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීම පිළිබඳ ව යෝජනාවක් 2012 නොවැම්බර් 06 වැනි දා පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කරන ලදුව ඒ පිළිබඳ ව කමිටුවක් පත්කරන ලද බව 2012 නොවැම්බර් 14 වැනිදා නිවේදනය කෙරිණි. ඒ කමිටුව පත්කළ හැක්කේ ස්ථාවර නියෝග 78 (අ) යටතේ ය. ස්ථාවර නියෝග 78 පාර්ලිමේන්තු විවාද සම්බන්ධයෙනි.

ඉහත කී කමිටුව එසේ පත්කරන ලද්දේ විනිසුරුවන් ඉවත්කිරීම හා සම්බන්ධ ව්‍යවස්ථාවේ 107 (2) හා 107 (3) වගන්ති යටතේ ය. එබැවින් ඒ කමිටුව එසේ පත්කිරීම නීත්‍යානුකූල ය. ඒ නීත්‍යානුකූල නොවේ යැයි කීම කිසිසේත්ම පිළිගත නො හැකි ය. නොවැම්බර් 06 වැනි දා ගෙනෙන ලද යෝජනාවේ කමිටුවක් පත්කිරීම ගැන සඳහන් වීම නිසා යෝජනාවට වරදක් සිදු නො වේ. එවැනි කමිටුවක් පත්කළ යුතු බවට යෝජනාවේ සඳහන් වුවත් නැතත් කථානායකවරයා ස්ථාවර නියෝග 78 (අ) (2) යටතේ කමිටුව පත්කළ යුත්තේ ය. කමිටුවක් පත්කිරීම ගැන යෝජනාවේ සඳහන් වීම නිසා යෝජනාවේ නෛතිකභාවයට කිසිසේත් ම හානියක් නොවන අතර එසේ සඳහන් කිරීම කථානායකවරයාට කමිටුවක් පත්කිරීමට බාධාවක් නොවන්නේ ය. 

එසේ කථානායකවරයා විසින් පත්කරන ලද කමිටුව මසක් ඇතුළත ඒ පිලිබඳ ව විභාග කරන ලද සාක්‍ෂි ද සහිතව පාර්ලිමේන්තුවට වාර්තා කළ යුතු බව ස්ථාවර නියෝග 78 (අ) (6) යටතේ සඳහන් වෙයි. එහෙත් අගමැති කියන ආකාරයට කමිටුව වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බව එහි සඳහන් නො වේ. එහි කියැවෙන්නේ වාර්තාවක් ඉදිරිපත් කළ හැකි බව ය. වාර්තාවක් ඉදිරිපත් කළ හැකි බව කළ යුතු බව අතර වෙනසක් ඇති බව පැහැදිලි ය. අනෙක් අතට වාර්තා කිරීම හා වාර්තාවක් ඉදිරිපත් කිරීම යනු දෙකක් මිස එකක් නො වේ. එබැවින් 78 (අ) (6) උල්ලංඝනය වී නොමැත.

කමිටුව පාර්ලිමේන්තුවට 78 (අ) (6) යටතේ වාර්තා කිරීමෙන් පසු ඒ පිලිබඳ පාර්ලිමේන්තු විවාදයක් 2012 ජනවාරි 10 හා 11 දිනවල පැවැත්වූ අතර අදාළ යෝජනාව තුනෙන් දෙකේ වැඩි ඡන්දයකින් 11 වැනි දා සම්මත විය. එහි කථානායකවරයා ඉතා පැහැදිලිව කියන්නේ ව්‍යවස්ථාවේ 107 (2) වගන්තිය ප්‍රකාර යෝජනාව ඉදිරිපත් කෙරී ඇති බව ය. රාජිත සේනාරත්න මේ කමිටුවේ සාමාජිකයකු වූ අතර මෛත්‍රිපාල සිරිසේන යෝජනාවට පක්‍ෂව ඡන්දය දුන්නා පමණක් නොව කතාවක් ද කළේ ය.

යෝජනාව සම්මත වීමෙන් පසුව කතානායවරයා ඒ බව ජනාධිපතිතුමාට ලිපියකින් දන්වා ඇත. එසේ කරන්නේ ස්ථාවර නියෝග 78 (අ) (7) යටතේ ය. ලිපියේ 78 (අ) (7) ගැන සඳහන් වුවත් නැතත් ලිපිය යවා ඇත්තේ ඒ් ස්ථාවර නියෝගය යටතේ බව පැහැදිලි ය. එය අහම්බෙන් යැවුණු ලිපියක් නොව ව්‍යවස්ථාවේ 107 (2) වගන්තිය හා ස්ථාවර නියෝග 78 (අ) යටතේ කෙරුණු ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විය.

කෙසේ වුවත් මේ සියල්ල කෙරී ඇති ආකාරය නිවැරදි දැයි තීරණය කරන්නේ මා වත් අධිකරණ ඇමතිවත් නීතිඥ සංගමයවත් නො වේ. එය ව්‍යවස්ථාව පිළිබඳ අර්ථනිරූපණයක් නම් එය කෙරිය යුතුව ඇත්තේ ශ්‍රෙෂ්ඨාධිකරණය විසිනි. එය පාර්ලිමේන්තුව කටයුතු කර ඇති ආකාරය පිළිබඳ ව නම් එය තීරණය කළ යුත්තේ පාර්ලිමේන්තුව විසිනි. පාර්ලිමේන්තුවේ ක්‍රියා මාර්ග පිළිබඳ ව උසාවියකට වුවත් තීරණයක් දිය නො හැකි ය.


නලින් ද සිල්වා

2015 ජනවාරි 30