Main Logo

Wednesday 14 January 2015

අමරතුංග මහතා ගේ අනවබෝධය


ඩී. එස්‌. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා බටහිර විද්‍යාවේ ඊනියා දර්ශනයක්‌ ගැන කියවන්නේ තමන්ට ඒ කිසිවක්‌ තේරී ඇති නිසා නො වන බව පැහැදිලි ය. ඔහු සියල්ලෙහි ප්‍රවාදයක්‌ (Theory of everthing) ගැන කතා කරයි. එහි දී ඔහු කරන්නේ ඔහු කියවා ඇති එහෙත් තේරුම් නො ගත් පොතක ඇති දේ ඉතා අවුල් සහගත ව ලියා විදුසර විද්‍යා සංග්‍රහයෙහි පිටු නාස්‌ති කිරීම පමණ ය. ඔහුට ඊනියා සියල්ලෙහි ප්‍රවාදයක්‌ ගැන මහත් බලාපොරොත්තුවක්‌ ඇත. ඒ අතර ඔහු හෝකින් වැනි තම වීරයන් වූ ඇතැම් බටහිර විද්‍යාඥයන් පවා දැන් ගර්ඩ්ල් ප්‍රමේයයට අනුව ඒ නො පිළිගන්නා බව කියයි. එහෙත් ගර්ඩ්ල් ප්‍රමේයය ගැන අප කරුණු ඉදිරිපත් කර ඒ අනුව සියල්ලෙහි ප්‍රවාදයක්‌ තිබිය නොහැකි බව පැවසුවේ දශක කිහිපයකට පෙර ය. ඒ දිනවල හෝකින් සියල්ලෙහි ප්‍රවාදයක්‌ ගැන සිහින දුටුවේ ය. ඒ සියල්ල සාකච්ඡා කිරීමට පෙර අප පසුගිය සතියේ ලිපියෙන් මතු කළ අදහස්‌ කිහිපයක්‌ තවදුරටත් වර්ධනය කළ යුතු ය. 

බටහිර විද්‍යාවේ කෙරෙන්නේ සීමිත නීරීක්‍ෂණ (ඊනියා පර්යේෂණ හා සම්පරීක්‌ෂණ ද ඇතුළත් ව) කිහිපයක්‌ උද්ගමනය යොදාගනිමින් සාධාරණය කර වියුක්‌ත ප්‍රකාශයක්‌ කර එය බටහිර සංඛ්‍යානය මගින් ව්‍යාජ යුක්‌තියුක්‌තකරණයට ලක්‌ කර පළමු කී වියුක්‌ත ප්‍රකාශය තේරුම්ගැනීමට යෑයි කියමින් වියුක්‌ත හිතළු නිර්මාණය කිරීම ය. එසේ නිර්මාණය කරන ලද වියුක්‌ත හිතළුවලින් ලබාගන්නා නිගමන (Deduction) ඉන්පසු සංයුක්‌ත උදාහරණ මගින් සත්‍යාපනය කර ඒ හිතළුව ඊනියා ප්‍රවාදයක්‌ බවට පත් කෙරෙයි. මේ ක්‍රියා පිළිවෙත මුළුමනින් ම ක්‍රම විරෝධී ය. 

මේ ඊනියා නිගමන ද උද්ගමන බව අප කියා ඇත්තේ කලකට පෙර ය. අද ඇතැමුන් ඒ තමන් ගේ නව අදහස්‌ ලෙස ප්‍රකාශ කරන්නේ තමන් මේ මතවල හිමිකරුවන් පොල්මඃකරුවන් බව ලෝකයට කියා පෑමට ය. සංවාක්‍යවලින් (syllogism) ලබාගන්නා නිගමන ප්‍රස්‌තුතයෙහි ම ඇතුළත් වෙයි. සියලු මිනිස්‌සු මැරෙති. සොක්‍රටීස්‌ මිනිසෙකි. එබැවින් සොක්‍රටීස්‌ ද මිය යයි යනුවෙන් කෙරෙන ඊනියා නිගමනය ව්‍යාජයක්‌ පමණකි. සියලු මිනිස්‌සු මැරෙති යෑයි කී විට සොක්‍රටීස්‌ ද මැරෙන බව එහි අන්තර්ගත ය. එවිට සොක්‍රටීස්‌ ද මිය යයි යනුවෙන් ඊනියා නිගමනයකට ඒමට අවශ්‍ය නො වේ. 

අනෙක්‌ අතට සියලු මිනිස්‌සු මැරෙති යන්න බටහිරයන්ට වියුක්‌ත උද්ගමනයකි. එය බුදුන්වහන්සේට නම් "පෙනෙන" කරුණකි. බටහිරයන් ද බුදුන් වහන්සේ ගෙන් නො ව බටහිරයන් ගෙන් "දැනුම" ලබාගන්නා සිංහල බෞද්ධයන් ද සියලු මිනිස්‌සු මැරෙති යන දැනුම ලබාගන්නේ මිනිසුන් කිහිප දෙනකු මිය ගොස්‌ ඇති බව සාධාරණීකරණයට ලක්‌ කර උද්ගමනයෙනි. එමෙන් ම ඇරිස්‌ටෝටලීය න්‍යායෙහි වියුක්‌ත නියම ලබාගන්නේ ද උද්ගමනයෙනි. 

A=A යන්න ආත්මීය ප්‍රකාශයකි. මෙය ඒ පුටුව, ඒ පුටුවට සමාන වේ ආදී ප්‍රකාශ කිහිපයක වියුක්‌ත සාධාරණීකරණයකි. එහි වෙනස්‌ නො වන ධර්මාත්මයක්‌ හා පුද්ගලාත්මයක්‌ ආදී අදහස්‌ අන්තර්ගත ය. එය අනිත්‍යයට හා අනාත්මයට විරුද්ධ වෙයි. A=B හා B=C නම් A=C වේ ය යන්න ද එවැනි ම වූ උද්ගමනයකි. එක්‌ කෝටුවක්‌ වෙනත් කෝටු දෙකකට දිගින් සමාන වේ නම් ඒ කෝටු දෙක ද දිගින් එකිනෙකට සමාන වේ ය වැනි නිරීක්‍ෂණ කිහිපයක්‌ සාධාරණීකරණයට ලක්‌ කර වියුක්‌ත A=B හා B=C නම් A=C වේ ය යන ඊනියා නිගමනය ලබාගෙන ඇත. මෙය දි අයිලන්ඩ් පුවත්පතෙහි පළ කරන ලද අවස්‌ථාවෙහි දී කැනඩාවේ ජීවත් වන ජෛවීය විද්‍යාවන් හැදෑරුවේ යෑයි සිතිය හැකි බෝධි ධනපාල නම් අයකු පමණක්‌ අමරතුංග මහතා මෙන් ම තමන්ට නො තේරෙන දේ ලිවීමට උත්සාහ කළ නමුත් පුවත්පත් කතුවරයා ඔහුට එක්‌ වරකට වඩා ඉඩ නො දුන්නේ ය යනු මා ගේ විශ්වාසය වෙයි. 

ඒ කුමක්‌ වුවත් බටහිර විද්‍යාවේ කෙරෙන්නේ හිතළු ඉදිරිපත් කිරීම ය. අපි ගුරුත්වාකර්ෂණය යන්න ම සලකමු. අතහරිනු ලැබ වස්‌තු පොළොවෙහි වැටෙන බව (පොළොව දෙසට චලනය වන බව) අපි නිරීක්‍ෂණය කර ඇත්තෙමු. මේ නිරීක්‍ෂණය කෙතරම් උත්සාහ කළත් වස්‌තු කිහිපයකට පමණක්‌ සීමා වෙයි. ඉන්පසු බටහිර විද්‍යාඥයෝ මේ නිරීක්‍ෂණ සාධාරණීකරණයට ලක්‌ කර අත්හරිනු (මුදාහරිනු) ලැබු සියලු වස්‌තු පොළොවට වැටෙයි යන උද්ගමනයට එළඹෙති. දැන් බටහිර විද්‍යාඥයන්ට එසේ වීමට හේතුව කුමක්‌ දැයි දැනගැනීමට අවශ්‍ය වෙයි. ඔවුහු ඒ සඳහා විවිධ හිතළු නිර්මාණය කරති. 

නිවුටන් ගේ හිතළුව ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය ලෙස නම් කෙරී ඇත. එය වියුක්‌ත ප්‍රකාශයකි. දැන් මේ වියුක්‌ත ප්‍රකාශයෙන් ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් ලබාගන්නා ඊනියා නිගමන (මේ ඊනියා නිගමන ද උද්ගමනවල ප්‍රතිඵල ය) සංයුක්‌ත ව ඇතැම් නිරීක්‍ෂණ සමග සංසන්දනය කෙරෙයි. ඒ සංසන්දන සමහරක්‌ ගැලපෙන බැවින් (නො ගැලපෙන සංසන්දන ද වෙයි) නිවුටන් ගේ හිතළුව ඊනියා ප්‍රවාදයක්‌ බවට පත් කෙරී ඇත. එහි ඇත්තේ හිතළුව කෙතරම් දුරට සාර්ථක වී ඇත් ද යන්න පමණකි. හිතළුව පට්‌ටපල් බොරුවකි. ප්‍රවාදයක්‌ යනු යම් ප්‍රමාණයකට සාර්ථක වූ පට්‌ටපල් බොරුවක්‌ පමණකි. බටහිර විද්‍යාවෙහි මෙයට වඩා දෙයක්‌ නැත. නිවුටන් ගේ පට්‌ටපල් බොරුවට සංකල්පීය වශයෙන් සම්පූර්ණයෙන් ම වෙනස්‌ වූ පට්‌ටපල් බොරුවක්‌ අයින්ස්‌ටයින් විසින් නිර්මාණය කෙරී ඇත. 

දැන් අපි අමරතුංග මහතා ඊනියා සියල්ලෙහි ප්‍රවාදය ගැන කියන කරුණු සමහරක්‌ විභාග කරමු. "පසුගිය දෙසැම්බර් 31 වැනි දා ලිපියෙහි ඔහු මෙසේ කියයි. මෙය දීර්ඝ වශයෙන් උපුටා දක්‌වන්නේ එක ම ලිපියක අවුල් සහගත අදහස්‌ පරස්‌පර සහිත ව දැක්‌වීමට අමරතුංග මහතා කෙතරම් සමත් ද යන්න පාඨකයාට වටහා දීමට ය. පසුගිය ලිපියේ සඳහන් කළ පරිදි සැමට පොදු මතවාදයක්‌ (Theory of everything) නිර්මාණය කරගැනීමට විද්‍යාඥයන් ගත් ප්‍රයත්නය සාර්ථක වී නැති බව පෙන්වා දුන්නෙමි (විදුසර 03.12.14 සහ 17.12.14). එවැනි මතවාදයක්‌ විසින් කළ යුත්තේ ස්‌වභාවධර්මයේ පවතින නොයෙකුත් අන්තර් ක්‍රියාවන් සම්බන්ධ කිරීම ය. මෙතැන දී ගුරුත්වාකර්ෂණය ප්‍රබල අන්තර්ක්‍රියා (Strong Interaction) දුබල අන්තර්ක්‍රියා (Weak Interaction) සහ විද්යුත් චුම්බකත්වය යන ක්‍රියාදාමයන් එක්‌ මතවාදයක්‌ යටතට ගැනීම සිදු විය යුතු ය. දුබල අන්තර්ක්‍රියා විසින් මූලික අංශු (Elementary particles) එක්‌ වර්ගයකින් වෙනත් වර්ගයකට හැරවීමේ හැකියාව පෙන්නුම් කරන නිසා පොදු මතවාදය විසින් මූලික අංශු පිළිබඳව ද ගැඹුරු පැහැදිලි කිරීමක්‌ කළ යුතු ය. ස්‌වභාවධර්මයේ අන්තර්ක්‍රියා පිළිබඳ දැනට ඇති මතවාද එකතු කොට අවසානයේ ලබාගත හැකි පොදු මතවාදය නිර්මාණය විය යුතු ආකාරය පහත සඳහන් වේ.

මෙහි අවසාන පියවර වන විද්යුත්-න්‍යෂ්ටික බලය සහ ගුරුත්වාකර්ෂණය එකතු කිරීම මෙතෙක්‌ සිදු වී නැත. එම නිසා පොදු මතවාදය තවමත් නිර්මාණය වී නොමැත. එහෙත් මේ පිළිබඳව කිව යුතු තවත් දෙයක්‌ ඇත. 1990 වර්ෂයට පසුව තන්තුවාදය (String Theory) නමින් හැඳින්වෙන මතවාදය සැමට පොදු මතවාදය ලෙස සමහර විද්‍යාඥයෝ පිළිගනිති. එනමුත් මේ පිළිබඳව එකගතාවක්‌ නොමැත. මතවාදාත්මක භෞතික විද්‍යාවේ ගැලී සිටින විද්‍යාඥයන් ගේ අවධානය බොහෝ සෙයින් ලබාගෙන ඇත්තේ තන්තුවාදය බව ද කිව හැකි ය. පොදු මතවාදයක්‌ නිර්මාණය කිරීම සඳහා දැනට ඇති වැදගත් ම සංකල්පය තන්තුවාදය බව පිළිගැනේ. ද්‍රව්‍ය මූල අංශුවල ක්‍රියාදාමයන් ද විශ්වයේ සිදු වන ක්‍රියාදාමයන් ද (උදා - black hole) පහදා දීමේ යම්කිසි හැකියාවක්‌ තන්තුවාදය තුළ ඇති බව දැනගැනීමෙන් මේ විද්‍යාඥයන් ධෛර්යයට පත් වී ඇත. අප ගේ පෘථිවියේ පවතින ද්‍රව්‍යවලින් ඔබ්බට ගිය අඟුරු ද්‍රව්‍ය (Dark Matter) සහ මෙතෙක්‌ සොයාගෙන නැති මූලික අංශු පිළිබඳව කෙරීගෙන යන පර්යේෂණවල ප්‍රතිඵල තුළිsන් පොදු මතවාදය ගැන යම් දුරක පැහැදිලි කිරීමක්‌ සිදු වෙතැයි ඔවුහු බලාපොරොත්තු තබාගෙන සිටිති.

මේ කරුණුවලින් ලැබෙන ඉඟියක්‌ වන්නේ මේවායේ රහස අභ්‍යවකාශයේ කිසියම් තැනක හෝ වස්‌තුවක තිබිය හැකි බව ය. විද්යුත් චුම්බක බලය සහ ගුරුත්වාකර්ෂණය එකතු කරන මතවාදයක්‌ නිර්මාණය කිරීමට අවශ්‍ය දැනුම ලබාගත හැක්‌කේ අභ්‍යවකාශයෙන් විය හැකි ය. මෙය කිරීමට තවමත් කිසි ම දෙයක්‌ නො දන්නා අභ්‍යවකාශයේ තිබෙන ස්‌ථානයකට මිනිසාට යැමට හෝ උපකරණයක්‌ යෑවීමට හෝ සිදු වනු ඇතැයි සමහර විද්‍යාඥයන් ගේ මතය වී ඇත."

අමරතුංග මහතා දන්නා තන්තුවාදයක්‌ නැත. හැකිනම් තන්තුවාදය යනු කුමක්‌ දැයි පැහැදිලි කරන ලෙස මම ඔහුට අභියෝග කරමි. අගුරු ද්‍රව්‍ය යන්න අමරතුංග මහතා පටබැන්දේ කෙසේ ද? ඉංගිරිසි ඩාක්‌ (Dark) යන්නෙන් කියෑවෙන්නේ අගුරු ද? ප්‍රබල අන්තර්ක්‍රියා හා දුර්වල අන්තර්ක්‍රියා යනු කවරේ ද? අමරතුංග මහතා තමන්ට නො තේරෙන දේ ගැන කතා කරන්නේ කිසි ම ලඡ්ජාවක්‌ හෝ බියක්‌ හෝ නොමැති ව ය. කෙසේ වෙතත් උපුටා දැක්‌වීම මුල දී අමරතුංග මහතා කියන්නේ ඊනියා පොදු මතවාදයක්‌ (සියල්ලෙහි ප්‍රවාදයක්‌) නිර්මාණය කිරීමට බටහිර විද්‍යාඥයන් දැරූ ප්‍රයත්නය සාර්ථක වී නැති බව ය. 

ඉන්පසු ඔහු කියන්නේ මතවාදාත්මක භෞතික විද්‍යාවේ ගැලී සිටින (මේ සෛද්ධාන්තික හෙවත් ප්‍රවාදාත්මක භෞතික විද්‍යාඥයන් -Throretical Physicists- යෑයි සිතමි. ඔවුන් ගැලී සිටිනවා යන්නෙහි තේරුම කුමක්‌ ද?) අය ඊනියා අගුරු ද්‍රව්‍ය හා මෙතෙක්‌ සොයාගෙන නොමැති මූලික අංශූ පිළිබඳ කෙරෙන පර්යේෂණවල ප්‍රතිඵල මගින් පොදු මතවාදය ගැන පැහැදිලි කිරීමක්‌ බලාපොරොත්තු වන බව ය. තවමත් සොයාගෙන නැතැයි කියන අංශු ගැන කරන පර්යේෂණ කවරේ ද? ඊනියා විද්‍යාත්මක විධික්‍රමය සොයා නො ගත්තේ ය කියන කරුණු මත පදනම් වී පුරෝකථන සැපයීම ද?

මෙයටත් වඩා විද්‍යාත්මක විධික්‍රමය වන්නේ අභ්‍යවකාශයේ සැඟවී ඇතැයි කියන රහස්‌වලින් ඊනියා මතවාද ගොඩනැගීම ය. අමරතුංග මහතා කියවා ඇති ජනප්‍රිය පොත ලියූ ලේඛකයා මෙවැනි බහුබූත ලියා ඇතැයි මම නො සිතමි. මේ වැරැදි අමරතුංග මහතාට ඒ පොතෙහි සඳහන් දේ නො තේරීම හේතුවෙන් සිදු වෙයි. තමා කරුණු උපුටා ගන්නා පොත කුමක්‌ දැයි කියන්නේ නම් අපට අඩු තරමින් පොතේ කතුවරයා දරන අදහස්‌ ගැන අවබෝධයක්‌ ලැබීමට හැකි වනු ඇත. බටහිර විද්‍යාඥයන්ටත් වඩා සියල්ලෙහි ප්‍රවාදයක්‌ අවශ්‍ය වී ඇත්තේ බටහිර විද්‍යාවෙහි දාසයන්ට ය.

නලින් ද සිල්වා

2015-01-14