Main Logo

Wednesday 28 January 2015

මොහාන් පීරිස් පත්කිරීම නීති විරෝධී බව තීරණය කළේ කවු ද


කැබිනට් මණ්ඩලය විසින් විශේෂ කැබිනට් පත්‍රිකාවක් මගින් මොහාන් පීරිස් මහතා අගවිනිසුරු ලෙස පත්කිරීම නීත්‍යානුකූල නොවේ යැයි තීරණය කර ඇති බවත් ඒ අනුව ජනාධිපතිවරයා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ලෙස පත්වී ඇති බවත් වාර්තා වෙයි. මේ වාර්තා පිළිබඳ සත්‍යාසත්‍යතාව කුමක් වුවත් අද (2015ජනවාරි 28) ශිරාණි බණ්ඩාරනායක ශ්‍රෙෂ්ඨාධිකරණයට ගොස් ඇත.

මෙහි දී අපට ප්‍රශ්න ගණනාවක් යහපාලනය සම්බන්ධයෙන් ඇති වෙයි. මොහාන් පීරිස් මහතාගේ පත්වීම නීත්‍යානුකූල නොවන බවට අමාත්‍ය මණ්ඩලයට තීරණය කළ හැක්කේ ව්‍යවස්ථාවේ කිනම් වගන්තිය යටතේ ද? පත්වීම නීත්‍යානුකූල ද නැත්ද යන්න ව්‍යවස්ථාදායකය වූ පාර්ලිමේන්තුවටවත්, එහි අංගයක් වූ කැබිනට් මණ්ඩලයටවත් තීරණය කළ නොහැකි ය. විධායකයටත් එය කළ නොහැකි ය. කැබිනට් රැස්වීම්වලට ජනාධිපති සහභාගි වුවත් නැතත් අගවිනිසුරු ඉවත්කිරීමේ හෝ අගවිනිසුරු පත්වීම නීත්‍යානුකූල ද නැද්ද යන්න තීරණය කිරීමේ හෝ බලයක් කැබිනට් මණ්ඩලයට නැත.

අගවිනිසුරු ඉවත්කිරීමේ ක්‍රමය ව්‍යවස්ථාවෙහි 107 (2) වගන්තියෙහි සඳහන් වෙයි. ශිරාණි බණ්ඩාරනායක ඉවත්කිරීමේ දී ඒ ක්‍රමය අනුගමනය නොකෙරිණි නම් ඒ තීරණය කළ හැක්කේ අධිකරණයට මිස කැබිනට් මණ්ඩලයට නො වේ. අඩු තරමෙන් පාර්ලිමේන්තුවටවත් ඒ තීරණය කළ නො හැකි ය.  ආණ්ඩුව කළ යුතුව තිබුණේ ප්‍රශ්නය අධිකරණයට යොමු කිරීම ය. යහපාලන ආණ්ඩුවට ඒ අනුගමනය කිරීමට තරම්වත් ඉස්පාසුවක් නැත. ඒ අධිවේගයෙන් යහපාලනයට යෑමට අවශ්‍ය නිසා විය හැකි ය.

ඇතැමුන් කියනු ඇත්තේ මොහාන් පීරිස් මහතා  අගවිනිසුරු ලෙස සිටිය දී ප්‍රශ්නය අධිකරණයට යොමු කිරීමෙන් යුක්තිය ඉටු නොවන බව ය. එසේ නම් ආණ්ඩුව කළ යුතුව තිබුණේ 107 (2) වගන්තිය යටතේ ක්‍රියාත්මක වී ඔහු ඉවත්කරන ලෙස පාර්ලිමේන්තුවෙන් ජනාධිපතිවරයාට ඉල්ලීමක් කිරීම ය. එහෙත් ආණ්ඩුවට යහපාලනයට යෑමට කිසිම ඉවසිල්ලක් නැත. ඒ අතර නැවතත් ආණ්ඩුව කියනු ඇත්තේ මොහාන් පීරිස් මහතා නීත්‍යානුකූල ලෙස අගවිනිසුරු ලෙස පත් වී නොමැති බැවින් 107 (2) යටතේ ක්‍රියාත්මක වීමට නොහැකි බව ය. 107 (2) ඇත්තේ නීත්‍යානුකූල ව පත් වී ඇති අගවිනිසුරුවරුන් ඉවත්කිරීම සම්බන්ධයෙන් යැයි ආණ්ඩුව කීමට ඉඩ ඇත.

ප්‍රශ්නය මෙසේ සාරාංශ කරගත හැකි ය. මොහාන් පීරිස් මහතා පත්කිරීම නීත්‍යානුකූල නොවන්නේ ශිරාණි බණ්ඩාරනායක අස්කිරීම නීත්‍යානුකූල නොවන නිසා  යැයි ආණ්ඩුව කියනු ඇත.  එහෙත් ඒ තීරණය කළ යුත්තේ අධිකරණය මිස කැබිනට් මණ්ඩලයවත් පාර්ලිමේන්තුවවත් ජනාධිපතිවත් නො වේ. ඒ කවුරුන් වුව ද එසේ කිරීම නීත්‍යානුකූල නො වේ. එසේ නම් ශිරාණි බණ්ඩාරනායක හුදු කැබිනට් තීරණයක් මත හෝ ජනාධිපතිගේ ඉල්ලීම මත හෝ දවසකටවත් අගවිනිසුරු පුටුවේ වාඩිවීම නීත්‍යානුකූල නො වේ. ඇය පැහැදිලිව ම අගවිනිසුරු පුටුවේ වාඩිවීමෙන් අධිකරණයට අගෞරව කර ඇත. ඒ පිලිබඳ ව නීතිඥමණ්ඩලය කියන්නේ කුමක් ද?

ශිරාණි බණ්ඩාරනායක ඉවත්කිරීම නීත්‍යානුකූල නොවේ යැයි උපකල්පනය කළ ද ඇය කැබිනට් තීරණ හෝ ජනාධිපති තීරණ හෝ මත නැවත අගවිනිසුරු ලෙස ක්‍රියාකිරීම ද නීත්‍යානුකූල නො වේ. ආණ්ඩුව අධිවේගයෙන් යහපාලනයට යෑමට ගොස් පඹගාලක පැටලී ඇත. නිමල් සිරිපාලගේ විරුද්ධ පක්‍ෂය මේ සම්බන්ධයෙන් කියන්නේ කුමක් ද? ශිරාණි බණ්ඩාරනායක ඉවත් කිරීමේ දී විශාල කාර්යභාරයක් ඉටු කළ අනුර ප්‍රියදර්ශන යාපා කියන්නේ කුමක් ද? පොදුවේ මෛත්‍රිපාල සිරිසේන සභාපති වූ ශ්‍රී ල නි පක්‍ෂය කියන්නේ කුමක් ද? ඊනියා දින සීයේ වැඩසටහනට සහයෝගය දී ඒ අමතක කළ යුතු බව ද?   


(2015 ජනවාරි 28)