Main Logo

Sunday 20 March 2016

මොකක් ද මේ සිංහල ජාතිවාදය (2016 මාර්තු 20 රිවිර ලිපිය)

මොකක් ද මේ සිංහල ජාතිවාදය

දෙමළ ජාතිවාදීන්ගේ පමණක් නොව ඊනියා රාජ්‍ය නොවන පඬියන්ගේත්, සිවිල් සාමාජිකයන්ගේත්, විශ්වවිද්‍යාලවල හා වෙනත් ඊනියා පර්යේෂණ ආයතනවල සේවක බැළයන්ගේත් පමණක් නොව ශ්‍රී ල නි පක්‍ෂයේ යැයි කියාගන්නා ඇතැම් ඇමතිවරුන්ගේත් ශ්‍රී මුඛවලින් නිතර පිටවන වචන වී ඇත්තේ සිංහල ජාතිවාදය ය. මහින්ද කණ්ඩායම නමින් හැඳින්වෙන කණ්ඩායමේ ද ඇතැමුනට අනුව සිංහල ජාතීවාදයක් ඇත. ඒකාබද්ධ විපක්‍ෂයේ මාක්ස්වාදීන් යැයි කියාගන්නන් ඉප දී ඇත්තේ ම සිංහල ජාතිවාදය කියමින් හඬමින් ය. ඔවුහු සියල්ලෝම එංගලන්තය හා ඉන්දියාව අනුව යමින් සිංහල ජාතිවාදයට විරුද්ධ වෙති.


පසුගිය බ්‍රහස්පතින්දා පිලිප් ගුණවර්ධන (හයිඩ්) පිටියේ පැවති රැස්වීමේ දී මේ සිංහල ජාතිවාදයට විරුද්ධ යැයි කියන්නන් කුමක් කීවේ දැයි නො දනිමු. මේ ලිපිය ලියන්නේ රැස්වීමට පෙර ය. එහෙත් කරුණු දෙකක් කිව යුතුව ඇත. රැස්වීමට සහභාගි වූවන්ගෙන් අති විශාල බහුතරය සිංහල විය යුතු ය. ඉනුදු සිංහල බෞද්ධයන් ඉහළ ප්‍රතිශතයක් වූවාට නිසැක ය. දෙවනුව රැස්වීමට සහභාගි වූ සියළු ආකාරවල සිංහල බෞද්ධ විරෝධීන් පාර්ලිමේන්තුවට එන්නේ සිංහල බෞද්ධයන්ගේ ඡන්දවලිනි. ජාතික ලැයිස්තුවෙන් පත් වී ඇති අය පවා එසේ පත්වී ඇත්තේ සිංහල ඡන්දවලට පින් සිදුවන්නට ය. පසුගිය මැතිවරණයේ දී සිංහල බෞද්ධයන්ගෙන් 60%ට වඩා සංධානයට ඡන්දය දී ඇත. මෙරට සිංහල ප්‍රතිශතය 75%ක් පමණ වන අතර සිංහල බෞද්ධ ප්‍රතිශතය 70%ක් පමණ වෙයි. මෙහි තේරුම සිංහල බෞද්ධයන්ගේ ඡන්දවලින් 70%ක් ලබාගන්නා පක්‍ෂයකට මැතිවරණයක දී ජයග්‍රහණය කළ හැකි බව ය. සිංහල බෞද්ධයන්ගේ ඡන්දවලින් 90%ක් ලබාගත හැකි නම් තුනෙන් දෙකේ බහුතරයක් ලබාගත හැකි ය. සිංහලයන්ගේ ඡන්දවලින් 66%ක් හෙවත් තුනෙන් දෙකක් ලබාගත හැකි නම් පක්‍ෂයකට ජයග්‍රහණය කළ හැකි ය. පසුගිය ජනාධිපතිවරණයේ දීත් මැතිවරණයේදීත් සංධානය පැරදීමට එක් හේතුවක් වූයේ ඇතැමුන්ගේ උපදෙස් මත සිංහල ජාතිකත්වයට ආමන්ත්‍රණය නො කිරීම ය. එසේ නොකර තිබියදීත් සිංහල බෞද්ධයන්ගේ ඡන්දවලින් 60%ට වඩා ලබාගැනීමෙන් එකල තිබූ ශ්‍රී ල නි ප පෙන්නුම් කෙළේ එකල එය ජාතිකත්වයේ පක්‍ෂයව තිබූ බව ය. 

අද කළ යුත්තේ සිංහල ජාතිකත්වය මත පදනම් වූ පක්‍ෂයක්, සංසදයක් හෝ වෙනත් එවැනි සංවිධානයක් පිහිටුවීම මිස මියගිය පක්‍ෂයක් බදාගෙන ඒ රැකීමට යැයි කියමින් මෛත්‍රිපාල සිරිසේන ශක්තිමත් කිරීම නො වේ. සිරිසේන යනු පෞද්ගලික අභිමතාර්ථ සාක්‍ෂාත් කර ගැනීම සඳහා විජාතිකයන්ගේ ආධාරයෙන් ශ්‍රී ල නි ප මරා දැමූ පුද්ගලයා ය. ඔහුට ඇති ජාතිකත්වයක් නැත. ජාතිකත්වයක් තිබිණි නම් ඔහු කිසි දිනෙක ශ්‍රි ල නි ප මරා නොදමනු ඇත. ඔහු තම පව් සෝදා ගැනීමට නම් කළ යුත්තේ මහින්ද රාජපක්‍ෂ අගමැති කිරීම ය. එයට ව්‍යවස්ථාවෙන් ඉඩ ඇත. එහෙත් ඔහුගේ වෛරී දේශපාලනය සහ එංගලන්තයෙන් හා ඉන්දියාවෙන් එල්ලවන බලපෑම් මගින් ඔහු රනිල්ට සේවය කිරීමට බැඳී ඇත. එකල ශ්‍රී ල නි පක්‍ෂයෙහිි ඇතැම් උපදේශක පඬියන්ගේ උපදෙස්වලට ද පිටින් ගොස් පක්‍ෂය සිංහල ජාතිකත්වය රැක ගත්තේ ය. ඒ පක්‍ෂයෙහි හැමදාමත් ජිම් මුණසිංහලා, ස්ටැන්ලි සොයිසලා, ඩිලාන් පෙරේරලා, චන්ද්‍රිකා කුමාරතුංගලා, රෙජිනෝල්ඩ් කුරේලා, රාජිත සේනාරත්නලා සිටියහ. එහෙත් වික්ටර් අයිවන්ලාගේ උපදෙස් මත වුව ද පක්‍ෂයට සිංහල ජාතිකත්වයට පිටුපෑමට නොහැකි විය. 

ඉහත සඳහන් කෙරී ඇති සිංහල විරෝධීන් විසින් සිංහල ජාතිවාදය ලෙස හැඳින්වෙන්නේ සිංහල ජාතිකත්වය තමන්ට හිමි සුවිෂේත්වය ඉල්ලීම ය. රාජ්‍ය භාෂාව, ජාතික කොඩිය, ජාතික ගීය සම්බන්ධයෙන් ද සිංහල විරෝධීහු සිංහල ජාතිවාදයක් අධිපතිවාදයක් ගැන කියවති. අඩු තරමෙන් ක්‍රිස්තු වර්ෂ දෙවැනි සියවසේ පමණ සිට මෙරට සිංහලය නමින් හැඳින් වී ඇත. මෙරට ජීවත් වූ යක්‍ෂ, නාග, දේව, රාක්‍ෂස ගෝත්‍ර (මේ බටහිරයන්ගේ ට්‍රයිබ් යන අරුතෙන් නොවන බව පඬියන්ගේ දැනගැනීම සඳහා කිව යුතු ය) සහ විජයගෙන් සංකේතවත් වන පිටින් පැමිණි සිංහ වංශයෙහි ද එකතුවෙන් පණ්ඩුකාභය රජුගේ කාලයෙහි සිට සිංහල ජාතිය ගොඩනැගීම ඇරඹිණි. ගැමුණු රජුගේ කාලයෙහි දී ඒ විශාල ප්‍රමාණයකට ස්ථාපිත විය. සිංහ වංශය බලවත් වීම හේතුවෙන් ජාතිය සිංහල නමින් හැඳින්විණි යැයි ද විවිධ කාලවල ලංකාව, තම්බපන්නිය ආදී නම්වලින් හැඳින්වුනු රට සිංහලය, සිංහල දේශය නමින් හැඳින් වී ඇතැයි කිව හැකි ය. සිංහල යන්නෙහි ල ප්‍රත්‍යය ගෞරවාර්ථයෙන් එකතු වන්නට ඇත. 

මෙරට ඉතිහාසය, සංස්කෘතිය ගොඩනගනු ලැබුයේ ප්‍රධාන වශයෙන් ම සිංහලයන් විසිනි. යක්‍ෂ නාග ආදී ගෝත්‍ර විසින් ගොඩනගනු ලැබූ සංස්කෘතීන් ද තිබිණි. යක්‍ෂයෝ ද නාගයෝ ද අනෙක් ගෝත්‍ර ද බෞද්ධ සංස්කෘතීන් ද ගොඩනගා තිබුණහ. මේ සංස්කෘතීන් අපි පොදුවේ හෙළ බෞද්ධ සංස්කෘතිය ලෙස හඳුන්වමු. සිංහල බෞද්ධ සංස්කෘතිය ගොඩනැගුණේ හෙළ බෞද්ධ සංස්කෘතික සංරචකය ද ඇතුළත් කරගනිමින් බව පැහැදිලි ය. සිංහල ජාතිය ගොඩනැගීමේ දී සිංහ වාංශිකයන් මෙරටට පැමිණීමට පෙර තිබූ ව්‍යාධ ගෝත්‍රය (වැදි ජනයා) සිංහල ජාතියට එකතු වී නැත. සිංහලයන් වැදි ජනයාට තම ජනයාට එක්වන ලෙස බලකර ද නැත. වැදී ජනතාව සිංහල සංස්කෘතියට ඇතුළත් නොවී දඩයම හා පල නෙලීම මුල් කොට ගත් සංස්කෘතියක ම ජීවත් වී ඇති බව පැහැදිලි ය. 

ව්‍යාධ ගෝත්‍රිකයන් මෙරට ආදිවාසීන් නොවන බව අවධාරණය කළ යුතු ය. ආදීවාසී සංකල්පය ඉංගිරිසින් විසින් තමන් යටත්කරගත් ඕස්ටේ‍ර්ලියාව වැනි ඇතැම් රටවල තම ජාතිය හා සංස්කෘතිය ව්‍යාප්ත කරමින් තමන් ඒ රටවලට යන විටත් ඒ රටවල ජීවත් වූ ද මුළුමනින් ම මෙන් ඝාතනය කරනු ලැබූවා වු ද ජනතාව හැඳින්වීමට යොදාගනු ලැබූ සංකල්පයකි. ඝාතනය නොකරනු ලැබූ ආදිවාසි ජනතාව තම සංස්කෘතියෙන් වෙන්කර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ අන්ත දුක්ඛිත තත්ත්වයකට පත්කරනු ලැබූහ. ඉංගිරිසිහු (යුරෝපීයයෝ) ඒ රටවල පදිංචි වී බහුතරය වී යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි යම් ප්‍රභේදයක ජීවත් වූහ. ඉන්පසු ඒ රටවල ජාතිය බවට පත්වූයේ ඉංගිරිසින් (යුරෝපීයයන්) ය. යුරෝපීයයන්ට දකුණු අප්‍රිකාව නමින් හැඳින්වෙන රටෙහි ඒ ක්‍රියාව සාර්ථක කර ගැනීමට නොහැකි විය. අද ද දකුණු අප්‍රිකාවේ යුරෝපීයයන්ට බහුතරය වීමට නොහැකි වී තිබුණ ද ඔවුහු ආර්ථිකය මෙහෙයවති. කළු ජනවාර්ගිකයන්ට නාමික දේශපාලන බලයක් තිබුණ ද යුරෝපීයයෝ තවමත් ආර්ථික, සංස්කෘතික හා දේශපාලන ආධිපත්‍යය දරති. අප රට දකුණු අප්‍රිකාව සමග සංසන්දනය කරමින් ඊනියා සංහිඳියාවක් ගැන කතාකරන්නෝ රටවල් දෙක අතර ඇති වෙනස අමතක කරති. මෙරට ආදිවාසීන් නැත. වැදි ජනතාව අද යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යය යටතේ එහි ආභාසයෙන් සිංහල සංස්කෘතියට ඇතුළත් වෙති. සිංහල ජාතියට යක්‍ෂ ආදී ගෝත්‍ර ද ඇතුළත් වී ඇති බැවින් සිංහලයෝ අනාදිමත් කාලයක සිට මෙරට ජීවත්වෙති.  

මෙරට ජනතාව සිංහල බෞද්ධ සංස්කෘතිය ගොඩනගාගත් පසු විදේශවලින් විවිධ අවස්ථාවල පැමිණි ජනයා සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වූහ. ඒ ජනයාගේ මුල් කොහේ වුවත් ඔවුන්ගෙන් පැවත එන්නෝ පසු කලෙක ක්‍රිස්තියානි (කතෝලික ද ඇතුළුව) නොවී නම් සිංහල බෞද්ධයෝ වෙති. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි යක්‍ෂ ගෝත්‍රික ඇදහිලි ද වෙයි. යක්‍ෂයන් සියළු දෙනාම බෞද්ධ නොවූ බැවින් ඔවුන්ගේ මළවුන් (දේව) ඇදහිළි ද සිංහල බෞද්ධ සංස්කෘතියට ඇතුළත් වී තිබේ. මේ සංස්කෘතියෙහි සිංහල බෞද්ධයෝ වෙති. ඔවුන්ගේ ආගම සිංහල බුද්ධාගම වෙයි. ඒ දහනවවැනි සියවසේ ඇති වූ ජාත්‍යන්තරවාදී ඕල්කට් බුද්ධාගමෙන් මෙන් ම යුද්ධයට විරුද්ධ තම්බයියා බුද්ධාගමෙන් ද වෙනස් වෙයි. තම්බයියා බෞද්ධයෝ ව්‍යාජ අහිංසාවාදීහු වෙති. ඔවුන් රැපියෙල් තෙන්නකෝනුන්ගේ හැවිල්ල කියවිය යුතු ය. 

විදේශවලින් පැමිණෙන්නන් සිංහල බෞද්ධ වීම  නැවතුණේ අද දකුණු ඉන්දියාව නමින් හැඳින්වෙන ප්‍රදේශයෙන් දෙමළ කතාකරන මුස්ලිම් ජනයා අවුරුදු හත්සීයකට පමණ පෙර පැමිණීමෙන් පසුව ය. මුස්ලිම් ජනයා පැමිණියේ අරාබියෙන් යැයි කීම පට්ටම පට්ටපල් බොරුවකි. ඒ බොරුව පට්ටපල් බොරු බටහිර විද්‍යාව තරම්වත් සාර්ථක නො වේ. මෙරට මුස්ලිම් ජනයා අරාබියෙන් පැමිණි පිරිසකගෙන් පැවත එන්නේ නම් ඔවුන් කතාකළ යුතු වන්නේ එක්කෝ අරාබි භාෂාව ය, නැත්නම් සිංහල ය. ඔවුන් දෙමළ කතාකරන්නේ ඇයි ද යන්න අර පට්ටම පට්ටපල් බොරුවෙන් තේරුම් ගත නො හැකි ය. ඉන්පසු ව ලන්දේසීන් විසින් කෝරමණ්ඩල වෙරළෙන් ගෙන්වනු ලැබූ කෘෂිකාර්මික කම්කරුවන් වූ ද එහි සංස්කෘතිය අනුව ශුද්‍රයන් වූ ද වෙල්ලාලයෝ ලන්දේසීන්ගේ හා පසුව ඉංගිරිසින්ගේ මෙහෙයවීම යටතේ සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය නොවූහ. එතෙර දී ශුද්‍රයන් වූ වෙල්ලාලයෝ මෙරට දී ඊනියා ඉහළ කුලය බවට පත්වූහ. ඔවුහු ලන්දේසීන්ගේ හා ඉංගිරිසින්ගේ ආධාරයෙන් තමන් යාපන අර්ධද්වීපයට ගෙනෙන විට එහි සිටි බහුතරය වූ සිංහලයන් ඊනියා අඩු කුල ජනයා බවට පත්කරමින් දෙමළ හින්දු සංස්කෘතියට ඇතුළත් කරගත්හ. අද එහි වෙසෙන ඊනියා අඩු කුල ජනයා සිංහලයන්ගෙන් පැවත එන්නෝ වෙති. අප ඔවුන් අමතක කිරීම අපේ ම වරදකි. පසුව ඉංගිරිසිහු දෙමළ ජනයා ගෙනවිත් වත්මන් නැගෙනහිර පළාතේ ද කඳුකරයේ ද පදිංචි කළහ. 

සිංහල ජාතිය බිහීවීමෙන් පසු සිංහලයෝ විදේශීය ආක්‍රමණවලින් රට ආරක්‍ෂා කළහ.  ශත්‍රැ සොලී ආක්‍රමණවලින් රට ජාතිය සමය ආරක්‍ෂා කළෝ සිංහල බෞද්ධයෝ ය. පසුව යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ ප්‍රභේදවල නියෝජිතයන් වූ පෘතුගීසි, ලන්දේසි හා ඉංගිරිසි ආක්‍රමණවලින් රට ජාති සමය ආරක්‍ෂා කළෝ ද සිංහල බෞද්ධයෝ ම වෙති. මෙරට ගොවි ආර්ථිකය යක්‍ෂ ගෝත්‍රික කාලයේ ම සිට පැවත එයි. වැව් තනනු ලැබුයේ යක්‍ෂ ගෝත්‍රික දැනුම උපයෝගි කරගනිමිනි. සිංහල බෞද්ධයෝ මෙරටට අනන්‍ය වූ සංස්කෘතියක් ගොඩනැගූහ. දෙමළ හින්දු සංස්කෘතිය තමිල්නාඩුවේත් මුස්ලිම් සංස්කෘතිය මුස්ලිම් රටවලත් දැකිය හැකි වුවත් සිංහල බෞද්ධ සංස්කෘතිය වෙනත් රටක දැකිය නො හැකි ය. සිංහලයන් නොවන්නන්ගෙන් මෙරටට ආවේණික වූ සංස්කෘතියක් ගොඩනැගී ඇත් ද? මෙරටට ආවේණික වූ සංස්කෘතියක් ගොඩනගා මෙරට  විදේශීය ආක්‍රමණවලින් රැකගත් සිංහල බෞද්ධයන්ගේ සංස්කෘතියට, ජාතිකත්වයට මෙරට විශේෂ තැනක් හිමිවිය යුතු ය. ඒ තැන ඉල්ලන විට එංගලන්ත හා ඉන්දිය අධිපතිවාදීන්ගේ රැකවරණ ලබමින් එයට විරුද්ධ වන්නෝ සිංහල ජාතිවාදයක් ගැන ඝෝෂාවක් නගති. 

නලින් ද සිල්වා

2016 මාර්තු 17