Main Logo

Thursday 3 March 2016

දර්ශනය හා මතවාදය (2016 මාර්තු 02 විදුසර ලිපිය)

දර්ශනය හා මතවාදය

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා පඹගාලක පැටලී සිටියි. එහෙත් ඒ මහතාට තමා එසේ පැටලී සිටින බවවත් අවබෝධ කරගැනීමේ හැකියාවක් නැත. ගුණදාස අමරසේකර මහතාගේ ඉතා ලිහිල් අදහසක් වූ ජාතික චින්තනය යන්නෙන් ඔබ්බට ගොස් නැති අමරතුංග මහතාට චින්තනය යන සංකල්පය ගැන තබා තෝමස් කූන්ගේ සුසමාදර්ශය (paradigm) ගැනවත් කිසිදු අවබෝධයක් නැත. එවැනි අවබා්ධයක් තිබිණි නම් ඒ මහතා විදුසර සංග්‍රහයෙහි පිටු නාස්ති නොකරනු ඇත.
 

අපි ඒ මහතාගේ පසුගිය පෙබරවාරි 10 වැනි දා හා 17 වැනි දා ලිපිවලින් වාක්‍ය උපුටා දක්වා ඒ මහතාගේ පඹගාල අනෙක් පාඨකයන්ට දැනගැනීමට සලස්වමු. කොතෙක් කීවත් ඒ මහතා නම් තම පඹගාල නොදකිනු ඇත. පෙබරවාරි 10 වැනි දා ලිපියෙහි ඒ මහතා මෙසේ සඳහන් කර ඇත. “බටහිර මතවාද ඔවුන් ගේ දර්ශනය මත පදනම් වී ඇත. ඔවුන් ගේ දර්ශනය වන්නේ විශ්වය දෙවියන් විසින් මවනු ලැබ ඇත්තේ මිනිසා ගේ ප්රදයෝජනය පිණිස ය යන්න ය. ලෝකය, ඉර, හඳ, සතා සිව්පාවා ගහ කොළ මවා ඇත්තේ මිනිසාට සේවය කිරීමට ය.”  ඉන් පසු පෙබරවාරි 17 වැනි දා මෙසේ කියා ඇත. “බටහිර විද්යා ව යනුවෙන් විද්යාාවක්‌ තිබිය නොහැකි බව පෙන්වා දුන් අප තැත් කරන්නේ බටහිර මතවාදයක්‌ වන දෙවියන් විශ්වය මැව්වේ මිනිසා ගේ ප්රවයෝජනය පිණිස යන්න බොරුවක්‌ බව පෙන්වා දීමට ය. ඊට විරුද්ධ මතය වන මිනිසා නිර්මාණය වී ඇත්තේ විශ්වයේ ප්රනයෝජනයට බව අපගේ මතවාදයේ පදනම වන්නේ ය.”   

අප පසුගිය පෙබරවාරි 24 වැනි දා ලිපියෙන් ද කියා සිටියේ අමරතුංග මහතා බටහිර විද්‍යාව යනුවෙන් වෙන ම විද්‍යාවක් තිබිය නොහැකි බව පෙන්වා දී ඇතැයි කීවත් ඔහු කෙදිනකවත් එසේ පෙන්වා දී නොමැති බව ය. අමරතුංග මහතාගේ විධික්‍රමය වී ඇත්තේ තමා සිහිනෙන්වත් පෙන්වා නොදුන් කරුණු හැබැහින් පෙන්වා දී ඇති බව ප්‍රකාශ කිරීම ය. අමරතුංග මහතා කියා ඇත්තේ ලෝකයේ හැම තැනම නිරී’ක්‍ෂණ තිබූ බව පමණ ය. එහෙත් නිරීක්‍ෂණ සෑම තැනක ම කෙරෙන්නේ එකම ආකාරයකට හෝ එකම පසුබිමක හෝ එකම සංදර්භයක හෝ එකම සුසමාදර්ශයක හෝ එකම චින්තනයක හෝ නොවන බව අමරතුංග මහතාට අවබෝධ නො වෙයි. අපි ඒ ගැන පසුව කතාකරමු. දරශනය හා මතවාදය පටලවා ගන්නා අමරතුංග මහතාට චින්තනය, සුසමාදර්ශය වැනි සංකල්ප තේරෙන්නේ කෙසේ ද?

පෙබරවාරි 10 වැනි දා ලිපියෙහි ඉහත සඳහන් වැකිවලින් අමරතුංග මහතා කරුණු දෙකක් කියා ඇත. පළමුවෙන් ම ඔහු කියා ඇත්තේ බටහිර මතවාද ඔවුන්ගේ දර්ශනය මත පදනම් වන බව ය. ඒ පිළිබඳ අප සම්පූර්ණයෙන් එකඟ නොවුවත් එහි අප කියන දේ සමග සමීප බවක් ඇතැයි කිව හැකි ය. අප කියන්නේ බටහිර හෝ පෙරදිග හෝ දැනුම යම් චින්තනයක් මත පදනම් වන බවත් යම් සංස්කෘතියක සංස්කරණය කෙරෙන බවත් ය. නිරවුල් නොවූවත් අමරතුංග මහතා කර ඇති ප්‍රකාශයට ලකුණු කිහිපයක් ලබා දිය හැකි ය. බටහිර මතවාද ඔවුන්ගේ දර්ශනය මත පදනම් වන බව කී අමරතුංග මහතා ඉක්බිති ව කියා ඇත්තේ ඔවුන්ගේ (බටහිරයන්ගේ) දර්ශනය වන්නේ විශ්වය දෙවියන් විසින් මවනු ලැබ ඇත්තේ මිනිසා ගේ ප්ර්යෝජනය පිණිස ය යන්න බව ය. 

බටහිරයන්ගේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි මැවීම හෙවත් ආරම්භය මූලික වූවකි. ඒ යම්කිසිවකු විසින් මවනු ලැබීම ද, ස්වයං ව මහා පිපුූරුමෙහි මෙන් වන මැවීමක් (ආරම්භයක්) ද යන්න අතර මහා වෙනසක් නැත. අවස්ථා දෙකෙහි ම ආරම්භයක් වෙයි. වැදගත් වන්නේ ආරම්භයයි. ආරම්භය නිර්මාපකයකුගේ මැදිහත් වීමෙන් සිදුවිණි ද ස්වයං ව සිදුවිණි ද යන්න ප්‍රශ්නයක් නො වේ. චින්තනය එකම ය. දෙවියන් වහන්සේ නැතිව වුව ද බටහිර විශ්වවේදය එක් තැනකින් පටන් ගනියි. ඒ මහා පිපුරුම ය. ඒ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට එකඟ ය. සිංහල බෞද්ධ චින්තනයෙහි ආරම්භයක් නැත. 

අමරතුංග මහතාට අනුව දෙවියන් වහන්සේ විසින් විශ්වය මවනු ලැබ ඇත්තේ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා ය. පරණ තෙස්තමේන්තු කතාවෙන් ද ඒ බව කියැවෙයි. අපට මෙහි දී ද අමරතුංග මහතා සමග යම් එකඟතාවකට පැමිණිය හැකි ය. එහෙත් ඒ මහතා යොදාගන්නා දර්ශනය යන වචනයට අපට එකඟ වීමට නො හැකි ය. කෙසේ වෙතත් අමරතුංග මහතා බටහිර මතවාද ඔවුන්ගේ දර්ශනය මත පදනම් වන බවත් විශ්වය දෙවියන් වහන්සේ විසින් මිනිසාගේ ප්‍රයෝජනය සඳහා මවනු ලැබ ඇත යන්න ඒ දර්ශනය බවත් පෙබරවාරි 10 වැනි දා ලිපියෙහි කියා ඇත. 

දැන් අපි ඒ මහතාගේ පෙබරවාරි 17 වැනි දා ලිපියට යමු. ඒ මහතා වෙනත් කරුණු අතර මේ සම්බන්ධයෙන් එහි කියා ඇත්තේ කුමක් ද?  ඒ මහතා කියා ඇත්තේ තමාට අවශ්‍ය බටහිර මතවාදයක්‌ වන දෙවියන් විශ්වය මැව්වේ මිනිසා ගේ ප්ර යෝජනය පිණිස යන්න බොරුවක්‌ බව පෙන්වා දීමට ය. මෙහි දී අපට වැදගත්වන්නේ දෙවියන් වහන්සේ විශ්වය මැව්වේ මිනිසාගේ ප්‍රයෝජනය පිණිසය යන්න මතවාදයක් යැයි අමරතුංග මහතා කියා තිබීම ය. නිරවුල් ව කල්පනා කිරීමට තැත් කරන අයකුට අමරතුංග මහතාගේ අවුල් ප්‍රකාශ නිසා මහත් ප්‍රශ්න ඇති වෙයි. 

අමරතුංග මහතාගේ පෙබරවාරි 10 වැනි දා ලිපිය අනුව දෙවියන් වහන්සේ විශ්වය මවා ඇත්තේ මිනිසාගේ ප්‍රයෝජනය පිණිස ය යන්න බටහිර දර්ශනය ය. එහෙත් පෙබරවාරි 17 වැනි දා ලිපියට අනුව ඒ බටහිර මතවාදයකි. අමරතුංග මහතාගේ අවුල් අදහස් ගැන දන්නා අයකු ඒ මගහැර යෑමට හෝ තමාට විෂය වන අයුරින් තේරුම් ගැනීමට හෝ උත්සාහ කළ ද පෙබරවාරි 10 වැනි දා ලිපියෙන් එයට ඉඩක් නො ලැබෙයි. එහි අමරතුංග මහතා කියා ඇත්තේ බටහිර මතවාද ඔවුන් ගේ දර්ශනය මත පදනම් වී ඇත යනුවෙනි. 

අමරතුංග මහතාට අනුව දෙවියන් වහන්සේ මිනිසාගේ ප්‍රයෝජනය වෙනුවෙන් විශ්වය මැවී ය යන්න එක් සතියක දර්ශනය වන අතර ඊළඟ සතියේ මතවාදයක් වෙයි. එය අපට සුළුවෙන් ගැනීමට ඉඩක් නැත්තේ ඒ මහතාට අනුව බටහිර මතවාද ඔවුන්ගේ දර්ශනය මත පදනම් වන බැවින් යැයි ඒ මහතා ම පැවසීම ය. එයින් කියැවෙන්නේ කුමක් ද? දෙවියන් වහන්සේ මිනිසාගේ ප්‍රයෝජනය වෙනුවෙන් විශ්වය මැවී ය යන්න මතවාදයක් මෙන් ම දර්ශනයක් ද වන අතර මතවාදය දර්ශනය මත පදනම් වෙයි! වෙනත් වචනවලින් කිවහොත් දෙවියන් වහන්සේ මිනිසාගේ ප්‍රයෝජනය වෙනුවෙන් විශ්වය මැවී ය යන මතවාදය, දෙවියන් වහන්සේ මිනිසාගේ ප්‍රයෝජනය වෙනුවෙන් විශ්වය මැවීය යන දර්ශනය මත පදනම් වෙයි. මේ හතරබීරි කතාවක් යැයි අපට කීමට නොහැක්කේ සියළු ප්‍රකාශ ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්යවරයකුට පමණක් සීමා වන බැවිනි. හතරබීරි කතාවෙහි මෙන් මෙහි දෙවැන්නකු නැත. 

අමරතුංග මහතා දර්ශනය මතවාදය වැනි වචන එතරම් අවබෝධයකින් තොරව යොදා ගන්නා බව පැහැදිලි ය. විවේකයක් ලැබුණු විටෙක චින්තනය හා සුසමාදර්ශය වැනි සංකල්ප තේරුම් ගැනීමට උත්සාක කරන්නේ නම් ඒ මහතාට පුවත්පතේ පිටු නාස්තිකිරීමට සිදු නොවනු ඇත. අමරතුංග මහතාගේ චින්තනයෙහි බටහිර විද්‍යාවේ චින්තනයෙහි මෙන් ම ආරම්භයක් ඇත. ඒ මහතා කියන්නේ තමා බටහිර මතවාදයක් (දර්ශනයක්) නොව වෙනත් දෙයක් කියන බව ය. ඒ මහතාට අනුව තමා කියන්නේ මිනිසා නිර්මාණය වී ඇත්තේ විශ්වයට සේවය කිරීම පිණිස බව ය. එය මතයක් බව ද ඒ මහතා කියයි. මතයක් හා මතවාදයක් යනු එකක් ම නොවන බව අපි දනිමු. එහෙත් ඒ මහතා මතය යනුවෙන් අදහස් කරන්නේ මතවාදයක් යැයි අපි සිතමු. සේවාර්ජිත මහාචාර්යවරුන්ගේ ලිපි කියවන අප වැනි හුදී ජනයන් අමාරුවේ වැටෙන්නේ නිරවුල් නොවන පරස්පර අදහස් ඒ ලිපිවලින් ප්‍රකාශ වන විට ය. 

අප කලින් ද කියා ඇති පරිදි අමරතුංග මහතා පදනම් වන්නේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි මිස සිංහල බෞද්ධ චින්තනයෙහි නො වේ. ඔහු කර ඇති එකම දෙය විශ්වය මිනිසා වෙනුවෙන් සේවය කිරීමට  නිර්මාණය කෙරී ඇතැයි යන්න වෙනුවට මිනිසා විශ්වය වෙනුවෙන් සේ වය කිරීමට නිර්මාණය කෙරී ඇතැයි පැවසීම ය. එය බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය පටහැණි නොවන්නේ බටහිර විශ්වවේදයෙහි දෙවියන් වහන්සේ නොමැති ව විශ්වය නිර්මාණය වී ඇති බව කියන ආකාරයට ය. 

සිංහල බෞද්ධ චින්තනයෙහි නිර්මාණයක් නැත. ඇතැමුනට අනුව අග්ගඤඤ සූත්‍රයෙහි විශ්වයෙහි ආරම්භයක් ගැන කියැවෙයි. එහෙත් ඒ එසේ නො වේ. අග්ගඤ්ඤ සූත්‍රයෙන් කියැවෙන්නේ විශ්වයෙහි ආරම්භයක් නො වේ. ඒ ආරම්භයක් නැති විශ්වය එක් ලෝක විනාශයකින් පසුව නැවතත් සුපුරුදු චක්‍රයෙහි ගමන් කිරීමකි. ලෝක (විශ්ව) විනාශයෙන් පසුව ආභස්සර බ්‍රහ්ම ලෝකයෙහි සිටි ජීවිහු නැවත පෘථිවියට පැමිණෙති. ආභස්සර බ්‍රහ්ම ලෝකය ඊනියා ලෝක විනාශය සමග විනාශ වී නොමැති බව පැහැදිලි ය. 

සිංහල බෞද්ධ චින්තනය මත පදනම් ව විශ්ව විකාශය පිළිබඳ ආකෘතියක් කැලණිය විශ්වවි්‍යාලයෙහි ගණිත අධ්‍යයනංශයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වසන්ත කටුගම්පොළ මහතා නම් ඉදිරිපත් කර ඇත. ඒ සඳහා ඒ මහතාට කැලණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යාපති උපාධියක් පිරිනැමී ඇති අතර ඒ පිළිබඳ පර්යේෂණ පත්‍රිකා ඒ විශ්වවිද්‍යාලයෙහි ම පර්යේෂණ සෑසිවාරවලට ඉදිරිපත් කර ඇත. ඒ පටන්ගැනීමක් හෝ අවසානයක් හෝ නැතිව විකාශය වන විශ්වයක් පිළිබඳ කතාවකි. කටුගම්පොළ මහතාගේ ආකෘතියෙහි මහා පිපුරුමක් නැත. එහි ඇත්තේ දිගින් දිගට සිදුවන විශ්ව ප්‍රසාරණයක් හා සංකෝචනයකි. අමරතුංග මහතාට අවශ්‍ය නම් ඒ පිළිබඳ තොරතුරු කටුගම්පොළ මහතාගෙන් ලබාගත හැකි ය. සිංහල බෞද්ධ චින්තනය හා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය අතර ඇත්තේ විශාල වෙනසකි. 

අමරතුංග මහතා මේ දිනවල මහත් උද්‍යොගයෙන් ප්‍රෝටින නැමුම පිළිබඳ ලිපි ලියයි. ඒ සියල්ල බටහිර පොත්වල ඇති බවට සැකයක් නැත. එහෙත් මෙහි දී  වැදගත්වන්නේ ඒ නො වේ. අමරතුංග මහතාගේ ප්‍රොටීන නැමුමට ද ආරම්භයක් ඇත. ඒ මහතා ඒ පිළිබඳ විවිධ සම්භාව්ිතා ගණනය කළ හැකි බව කියන්නේ එබැවිනි. ඒ මහතා බටහිරයන් අනුකරණය කරමින් කියන්නේ ප්‍රෝටීන සෑදුණු ආකාරය ගැන ය. ඒ මහා පිපුරුමෙන් පටන්ගෙන තාරකා නිර්මාණය වී ඒ තාරකාවල න්‍යෂ්ටික ප්‍රතික්‍රියා මගින් විවිධ පරමාණු නිර්මාණය වී ප්‍රොටීන නිෂ්පාදනය පිළිබඳ කතාවකි. අමරතුංග මහතාගේ ප්‍රෝටීන නැමුම මිනිසා විශ්වයට සේවය කිරීම සඳහා යැයි ඒ මහතා කියයි. එහෙත් ප්‍රශ්න රාශියකි. 

මිනිසා නිර්මාණය වූයේ කෙසේ ද? අමරතුංග මහතාට අනුව මිනිසා නිර්මාණය වන්නට ඇත්තේ ජීව පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙස යැයි සිතමු. මහා පිපිරුමෙන් පටන් ගෙන තාරකා ඔසසේ විවිධ පරමාණු නිර්මාණය කර ඇමයිනෝ අම්ල හා ප්‍රෝටීන නිර්මාණය වී ඒක ෙසෙල ජීවියා නිර්මාණය වී ඩාවින්ගේ පරිණාමවාදයට අනුව මිනිසා නිර්මාණය වී විශ්වයට සේවය කිරීමක් මෙහි දී සිදුවෙයි. සම්පුර්ණ කතාව බටහිර විද්‍යාවෙහි ය. අමරතුංග මහතා තමා එහි කුඩා වෙනසක් කරන බව කියයි. එහෙත් ඒ මහතාට ග්‍රීක යුදෙවු ක්‍රිස්තිියානි චින්තනයෙන් කැඩීමට නො හැකි ය. අමරතුංග මහතාට ඉංගිරිසි පොත්වලින් තව තවත් පරිවර්තනය කර විදුසරට ලිවිය හැකි ය. එහෙත් ඔහුට බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට එරෙහි විය නො හැකි ය. 

අමරතුංග මහතා කාල් පොපර් ගැන සඳහන් කර ඇති නිසා අපි ඒ ගැන සුළුවෙන් කතාකරමු. ඊනියා විද්‍යාව අනෙක් දැනුම්වලින් වෙන්වන්නේ කෙසේ දැයි කීමට බටහිර විද්‍යාඥයන් හා දාර්ශනිකයන් මහත් වෙහෙසක් ගෙන ඇත. ඒ ඔවුන්ගේ ආධිපත්‍යය සඳහා බටහිර දැනුම අනෙක් දැනුම්වලට වෙනස් යැයි කීමට ඔවුන්ට ඇති අවශ්‍යතාව නිසා ය. බටහිර විද්‍යාව ඊනියා සත්‍යය හෝ සත්‍යයට ළඟා වෙමින් සිටින්නේ ය හෝ කියා අනෙක් බටහිර දැනුම් ද ඊනියා විද්‍යත්මක ක්‍රමයක් අනුගමනය කරන්නේ යැයි කියා  බටහිරයෝ තම ආධිපත්‍යය අප මත පටවති. 

කාල් පොපර් ද අයත්වන්නේ බටහිර විද්‍යා දාර්ශනිකයන්ගේ ගණයට ය. බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතිවලින් වෙනස්වන්නේ කෙසේ දැයි කීමට ඔහු ඉදිරිපත් කළ අදහස වූයේ බටහිර විද්‍යාවේ ප්‍රවාද අසත්‍යකරණයට ලක්කළ හැකි විය යුතු ය යන්න ය. එහෙත් පළමුව කිව යුත්තක් වෙයි. බටහිර දැනුමෙහි සත්‍යය යනු කුමක් දැයි පැහැදිලි ව නො කියැවෙයි. අප කලින් ද කියා ඇති පරිදි ගර්ඩ්ල් ටාස්කි වැනි ගණිතයේ සත්‍යය ගැන කතාකළ අය ද සත්‍යය යනු කුමක් දැයි නිර්වචනය නො කළහ. අඩුම තරමෙන් ඒ ගැන පැහැදිලි කිරීමක් නො කළහ. අදටත් බටහිර දැනමෙහි සත්‍යය යනු කුමක් දැයි පැහැදිලි කෙරී නැත. අමරතුංග මහතා හැකිනම් ඉංගිරිසි පොතකින් බලා බටහිර දැනුමෙහී සත්‍යය යනු කුමක් දැයි පැහැදිලි කරන්නේ ද? 

කාල් පොපර් සත්‍යය හෝ අසත්‍යය හෝ යනු කුමක් දැයි නොකියා ඊනියා අසත්‍යකරණ ප්‍රවාදය ඉදිරිපත් කෙළේ ය. ඔහුගේ අසත්‍යය යනු වෙනත් කිසිවක් නොව ඊනියා පරීක්‍ෂණ මගින් බටහිර විද්‍යාවේ ප්‍රවාද ප්‍රතික්‍ෂෙප කිරීමට හැකිවිය යුතු ය යන්න ය. එහෙත් බටහිර විද්‍යාවේ ප්‍රවාද වියුක්ත ය. අප කිහිප වතාවක් ම පවසා ඇත්තේ වියුක්ත ප්‍රවාදවලින් සංයුක්ත ප්‍රකාශ නිගමනය කළ නො හැකි බව ය. අමරතුංග මහතාට හැකිනම් වියුක්ත ප්‍රවාදයකින් සංයුක්ත නිගමනයක් ලබාගන්නා ආකාරය හුදී ජනයාගේ පහන් සංවේගය පිණිස ඉදිරිපත් කරන මෙන් ඉල්ලමි. එහෙත් එයට පළමු අමරතුංග මහතා වියුක්තය යනු කුමක් දැයි තේරුම් ගත යුතු ය. 

වියුක්ත ප්‍රවාදයකින් ඊනියා අසත්‍යකරණයට ලක්කළ හැකි ප්‍රකාශයක් අපෝහනය කිරීමට හැකි නම් පමණක් එ ප්‍රවාදය බටහිර විද්‍යාත්මක යැයි කීමට හැකි බව පොපර් පවසයි. මෙහි දී පොපර් කියන්නේ වියුක්ත ප්‍රවාදයකින් ලබාගන්නා වියුක්ත නිගමනයකින් සංයුක්ත නිරීක්‍ෂණයක්  ලබාගැනීමට හැකි ප්‍රකාශයක් කිරීමට බටහිර විද්‍යාඥයන්ට හැකිවිය යුතු ය යන්න ය. එසේ නොහැකි නම් අදාළ ප්‍රවාදය ප්‍රතික්‍ෂෙප කළ යුතු යැයි පොපර් පවසයි. එහෙත් ෆෙයරාබන්ඩ් ද තවත් අය ද පෙන්වා දී ඇති පරිදි අදාළ ප්‍රවාදයේ කිනම් කොටස ප්‍රතික්‍ෂෙප කළ යුතු ද යන්න පොපර් නො කියයි. එබැවින් ඒ පුස්ස බිඳීමක් වෙයි!   

නලින් ද සිල්වා

2016 පෙබරවාරි 29