Main Logo

Thursday 31 March 2016

මිනිසුන්ගේ සමානකම ඇත්තේ කොහේ ද?

මිනිසුන්ගේ සමානකම ඇත්තේ කොහේ ද?

මිනිස්කම යන්න අගය කළ යුත්තකි. ඒ පිළිබඳ වාදයක් තිබිය නො හැකි ය. නීතිය ඉදිරියේ මිනිසුන් සමාන වේ යැයි කියැවෙයි. එය ද වටිනා අදහසකි. එහෙත් අවාසනාවකට මිනිස්සු සමාන නො වෙති. එක් එක් අයගේ දක්‍ෂතා විවිධ ය. ඇතැමුනට දක්‍ෂතා ඇති බවක්වත් අපි නො දනිමු. ඒ එවැනි දක්‍ෂතා සමාජය විසින් පිළිගෙන නොතිබීම නිසා ය. සමාජය විසින් පිළිගැනෙන්නේ සමාජයට අවශ්‍ය දක්‍ෂතා පමණකි. ඒ දක්‍ෂතා තීරණය කෙරෙන්නේ කවුරුන් විසින් ද? අපට ලංකාවට වුවමනා අන්දමට දක්‍ෂතා තීරණය කිරීමට හැකි ද? ලංකාවට වුවමනා යන්නෙහි ම තේරුම කුමක් ද? එමෙන් ම වටිනා අදහසක් යන්නෙහි වටිනාකම යනු කුමක් ද?


මේ පිළිබඳ දාර්ශනික සාකච්ඡාවක් කිරීම මගේ අරමුණ නො වේ. ඒ සඳහා මට ඇති සුදුසුකම කුමක් දැයි කිසිවකු විසින් ප්‍රශ්න කෙරීමට ද ඉඩ ඇත. අද සුදුසුකම් මනින්නේ සහතිකවලිනි. මට දර්ශනය පිළිබඳ උපාධියක් නැත. මා කිසිම විභාගයකට දර්ශනය විෂයයක් ලෙස හදාරා නැත. එහෙත් මා දන්නා කරුණක් වෙයි. මිනිසුන් සමාන නැත. අඩුම තරමෙන් නීතිය ඉදිරියේවත් සමාන නැත. මා කතාකරන්නේ චම්පික රණවකගේ රිය පැදවීමක් ගැන නො වේ. පොලීසියට අනුව ඔහු සිල් බිඳගත්තේ යැයි කියන රාතී්‍රයක රිය පදවා නැත.  රිය පදවා ගෙන ගියේ චම්පික යැයි කීමට සාක්‍ෂි නැත. සාක්‍ෂි යනු කවරේ ද? යමක් යමක සාක්‍ෂියක් බව තීරණය කරන්නේ කවු ද? ඒ කුමක් වුවත් නීතිය ඉදිරියේ ඇමතිවරයකු සහ වැසියකු අතර සමාන කමක් නැත.  

අවුරුදු විසිපහකට පමණ පෙර කොළඹ විශ්වවිද්‍යාලයෙන් මා පහකෙරිණි. එකල එහි උපකුලපති වූයේ ජී එල් පිරිස් ය. ඔහු එදා එ ජා ප හිතවතෙකි. අද සංධානයේ බලවතෙකි. එකල ගණිත අංශයෙහි ප්‍රධානියා වූයේ පී ඩබ් ඈපාසිංහ නමැත්තෙකි. අද ඔහු මහින්ද රාජපක්‍ෂගේ හිතවතෙකි. එදත් හිතවතකු වන්නට ඇත. කෙසේ වෙතත් මට විරුද්ධව චෝදනා අටක් විය. ඒ චෝදනා ඔප්පු කිරීමට සාක්‍ෂි ද මෙහෙයවිණි. සාක්‍ෂි මෙහෙයවුණේ වී කේ සමරනායක නම් මහාචාර්යවරයකු විසිනි. ගෘහස්ත පරීක්‍ෂණයෙහි දී චෝදනා ඔප්පු විය. මා සේවයෙන් පහකෙරිණි. මම කම්කරු උසාවියේ නඩුවක් පැවරීමි. ඒ නඩුවෙන් මට ගෙවීමක් කරන මෙන් කොළඹ විශ්වවිද්‍යාලයට නියම කෙරිණි. කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඒ තීන්දුවට විරුද්ධව මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කෙරිණි. මහාධිකරණයට අනුව මා වැරදිකරු විය. කොළඹ විශ්වවිද්‍යාලයෙන් ගෙවීමට තිබූ මුදල අවලංගු කෙරිණි. මම ශ්‍රෙෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කෙළෙමි. කම්කරු උසාවියෙන් මට ගෙවීමට නියම කළ මුදලෙන් තුනෙන් දෙකක් පමණ හෙවත් ලක්‍ෂ පහක් ගෙවීමට ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් නියම විය. ඒ ඒ උසාවිවලින් ඒ ඒ තීරණ ලැබුණේ කෙසේ ද? කෙසේ වෙතත් අවුරුදු දහයක් සේවයෙන් පහකරනු ලැබ සිටීමෙන් මට රුපියල් ලක්‍ෂ පනහකට වැඩි අලාභයක් සිදුවිය. වෙනත් දරුවන් වෙනුවෙන් මගේ දරුවෝ ඒ අලාභයට යටත්වූහ. මගේ දරුවනට ඒ ගැන අභිමානයක් ඇතැයි සිතමි. අලාභය ලක්‍ෂ පහක ගෙවීමකට පමණක් යටත්වූයේ කෙෙසේ ද? ඒ සියල්ලට ම වඩා මා වැරදිකරුවකු ද නැද්ද යන්න තීරණය කරන්නේ කෙසේ ද?

මේ සියල්ල සාපේක්‍ෂ ය. චෝදනා ද නඩු තීන්දු ද සාපේක්‍ෂ ය. නීතිය ද සාපේක්‍ෂ ය. මගේ ලෝකයෙහි මා වරදක් කර නැත. එහෙත් ජී එල් පීරිස්ගේ, ඇපාසිංහගේ හා සමරනායකගේ (ඔහු දැන් ජීවතුන් අතර නැත) ලෝකවල මා වරදක් කර ඇත. එහි වූයේ චින්තන හා සංස්කෘතීන් දෙකක ගැටුමක් හා විශ්වවිද්‍යාල ගුරුවරුන්ගේ පුරාජේරු ආධිපත්‍යය හා ශිෂ්‍යයන්ගේ දුක්ගැනවිල්ලක් අතර වූ ගැටුමකි. පුරාජේරු ආධිපත්‍යයක් මගේ ලෝකයෙහි නැත.

නීතිය ඉදිරියේ මිනිස්සු කිසිසේත් ම සමාන නො වෙති. චූදිතයන්, චෝදකයන් පමණක් නොව නීතිඥයෝ ද විනිසුරුවෝ ද සමාන නො වෙති. ඒ ඒ උසාවිවල ඒ ඒ තීන්දු ලැබෙයි. මුදල් ඇති අයට තමන් වෙනුවෙන් පෙනී සිටීමට දක්‍ෂ නීතිඥයන් ලබාගත හැකි ය. නීතිය විවිධ ආකාරයෙන් විවරණය කිරීමට හැකි ය. එය නීතිඥයාගේ හැකියාව මත ද රඳා පවතියි.

මිනිසුන් සමාන නො වේ නම් සංස්කෘතීන් සමාන වන්නේ කෙසේ ද? ඊනියා බහු සංස්කෘතික සංකල්පය තේරුම් ගන්නේ කෙසේ ද? යම් රටක විවිධ සංස්කෘතීන් ඇති විට ඒ සංස්කෘති සමාන වේ ද? මා මෙහි දී ප්‍රශ්න කරන්නේ එක් සංස්කෘතියක් තවත් සංස්කෘතියකට වඩා උසස් ද නැද්ද යන්න නො වේ. සංස්කෘතීන් උසස් ද නැද්ද යනු මැන ගැනීමට ඇති මිනුම් දණ්ඩ කුමක් ද? එහෙත් රටක ඉතිහාසය, ජීවන රටාව, ඒවාට මුල් වූ සංස්කෘති ආදිය මත පදනම් ව ඒ රටෙහි විශේෂිත වූ සංස්කෘතිය කුමක් දැයි තීරණය කළ හැකි ය. අපේ රටෙහි ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියක්, ඒ මත පදනම් වූ ජීවන රටාවක් හා ඉතිහාසයකි. සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි සුවිශේෂත්වය නැති කරනු ලැබුයේ කවුරුන් විසින් ද? අප ඒ නැවත දිනාගන්නේ කෙසේ ද? බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය ලෝකයෙහි ම අධිපතිවාදී සංස්කෘතිය වූයේ කෙසේ ද?

මේ ලිපිය මුහුණු පොතෙන් ද කියවිය හැකි ය.

https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/


නලින් ද සිල්වා

2016 මාර්තු 31