Main Logo

Tuesday 29 March 2016

අද කළ යුත්ත

අද කළ යුත්ත

අප රටේ දෙමළ දේශපාලන බලය දෙමළ ජනතාවගේ ප්‍රතිශතයට හෝ දෙමළ මන්ත්‍රීවරුන්ගේ ප්‍රතිශතයට හෝ වඩා බෙහෙවින් වැඩි බව දැනගැනීමට දේශපාලනඥයකු වීමට අවශ්‍ය නො වේ. අෂ්රොෆ්ගෙන් පසුව මුස්ලිම් දේශපාලන බලය ද වර්ධනය වෙමින් පවතියි. පසුගිය ජනාධිපතිවරණයේ දී හා පාර්ලිමේන්තු මැතිවරණයේ දී මුස්ලිම් ජනයා ද මුළුමනින් ම මෙන් මුස්ලිම් පක්‍ෂවලට ඡන්දය දුන්හ. දෙමළ හා මුස්ලිම් ජනයා සුළු ප්‍රමාණයක් එක්සත් ජාතික පෙරමුණට ඡන්දය දුන් නමුත් සංධානයට ඡන්දය දුන් ප්‍රමාණය නොසළකා හැරිය යුතු ගණයේ එකක් විය. දෙමළ හා මුස්ලිම් දේශපාලනය ගැන සාකච්ඡා කිරීම අපි පසුවට කල් තබමු. මෙහි දී අපේ අවධානය යොමු වන්නේ සිංහල දේශපාලනයට ය. 


දෙමළ දේශපාලන බලය වැඩිවීමට ප්‍රධාන හේතුව සිංහලයන් සංඝයක් ලෙස කටයුතු නොකිරීමත්, ඒ හේතුව නිසා ම නොවුනත් සිංහල දේශපාලනඥයන් නිවට වීමත් ය. ඇතැමකු කියනු ඇත්තේ බණ්ඩාරනායක මහතා එයට වගකිව යුතු බව ය. අද සියළු ප්‍රශ්නවලට වරදකරුවා මහින්ද රාජපක්‍ෂ බවට පත්කරන ආකාරයට එකල ප්‍රශ්නවලට වරදකරුවා කෙරුණේ බණ්ඩාරනායක මහතා ය. බණ්ඩාරනායක මහතා ශ්‍රී ල නි පක්‍ෂය පිහිටුවීම නිසා සිංහල ඡන්ද බෙදුණු බව ඇතැමකු කියනු ඇත. එහෙත් බණ්ඩාරනායක මහතා ශ්‍රී ල නි ප නොපිහිටුවන්නට සිංහලයන් නියෝජනය කිරීමට කිසිම පක්‍ෂයක් නොතිබෙනු ඇත. එක්සත් ජාතික පක්‍ෂය එදත් අදත් සිංහලයන් නියෝජනය නොකරයි. එයින් කියැවෙන්නේ ඒ පක්‍ෂයට සිංහලයන් ඡන්දය නොදෙන බව නො වේ. එහෙත් ඒ පක්‍ෂය නිර්මාණය කෙරුණේ ම ඊනියා ලාංකික ජාතිය නියෝජනය කිරීම සඳහා විවිධ පක්‍ෂ එකතු වීමෙනි. 

1932 දී පමණ බණ්ඩාරනායක මහතා සිංහල මහා සභාව පිහිටුවී ය. ඒ 1921 දී පොන්නම්බලම් අරුණාශලම් හින්දු මහා සභාව පිහිටුවා දශකයකටත් වැඩි කාලයක් ඉක්ම යෑමෙන් පසුව ය. කෙසේ වෙතත් බණ්ඩාරනායක මහතාට සිංහලයන් නියෝජනය කිරීම සඳහා සංවිධානයක් අවශ්‍ය බව පෙනී ගොස් තිබිණි. එක්සත් ජාතික පක්‍ෂය පිහිටුවීමේ දී සිංහල මහා සභාව ද එයට එක්වූ නමුත් බණ්ඩාරනායක මහතා තම අනන්‍යතාව රැකගෙන සිටි බව පෙනී යයි. 1951 දී ශ්‍රී ල නි පක්‍ෂය පිහිටුවනු ලැබුයේ ලිබරල් පක්‍ෂයක් ලෙස නමුත් වැඩිකල් නොගොස් 1952 සිට පක්‍ෂය සිංහල ජාතිකත්වයේ පක්‍ෂය බවට ක්‍රමයෙන් පත්විණි. මෛත්‍රිපාල සිරිසේන පක්‍ෂය මරාදමන තෙක් ශ්‍රී ල නි ප සිංහල ජාතිකත්වයේ පක්‍ෂය වූයේ වික්ටර් අයිවන්, රෙජිනෝල්ඩ් කුරේ, රාජිත සේනාරත්න වැනි සිංහල විරෝධීන් චන්ද්‍රිකා කුමාරතුංග ලවා පක්‍ෂය සෝබොන්කරණයට ලක්කරවීමේ ප්‍රයත්නය ද පරාජය කරමිනි. අද චන්ද්‍රිකා මහින්දට විරුද්ධව මෛත්‍රිපාලට සහාය දැක්වීම පුදුමයක් නො වේ. මහින්ද ජාතිකත්වය නියෝජනය කරන අතර චන්ද්‍රිකා සෝබෝන් සංස්කෘතිය නියෝජනය කරයි. මෛත්‍රිපාල යනු ආත්මාර්ථකාමී නිවට චරිතයක් පමණකි. ඔහු තම පෞද්ගලික ලාභාපේක්‍ෂා සඳහා බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය වූ පරිදි ශ්‍රී ල නි පක්‍ෂය මරා දැම්මේ ය. 

අද මහින්ද කළ යුත්තේ මරා දැමුණු ශ්‍රි ල නි පක්‍ෂයේ බලය ඇල්ලීමට ක්‍රියා කිරීම නොව සිංහල ජාතිකත්වය නියෝජනය කරන නව දේශපාලන පක්‍ෂයක් පිහිටුවීම ය. ආරම්භයේ දී එය සංවිධානයක්, සංසදයක්, පර්’ෂදයක් හෝ වෙනත් එවැන්නක් හෝ විය හැකි ය. අවශ්‍ය නම් එය සිංහල මහා සභාව හෝ වෙනත් සභාවක් හෝ ලෙස  නම් කළ හැකි ය. එහෙත් මහින්ද අප කියන දෙයට සවන් නො දෙයි. ඔහු සවන් දෙන්නේ සිංහල විරෝධී පැකේජ්කරුවන් වූ ජී එල් පීර්ස්, දයාන් ජයතිලක සහ ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සිටි වෙනත් එවැන්නන්ට හා ඔහුට තුන්සැරයක් ජනාධිපති වීමට නොහැකි බව කියමින් ඔහු හිරේ නොදැමීම ගැන කණාගාටුවන බව කී සරත් නන්ද සිල්වා වැන්නන්ට ය. මහින්ද මතක තබාගත යුත්තක් ඇත. ඔහුට ඡන්ද ලැබෙන්නේ ඉතා වැඩි වශයෙන් සිංහලයන්ගෙන් බව ය. මෙරට සිංහලයෝ ප්‍රතිශතය ලෙස ගත්කල 75%ක් වෙති. ඔවුන්ගෙන් 80%කට වඩා ඡන්ද ලබාගැනීමට මහින්දට හැකි ය. එහෙත් ඒ අර පුරෝහිතයන්ට අනුව කටයුතු කිරීමෙන් නො වේ. 

සිංහලයන් නියෝජනය කිරීම යනු දෙමළ හා මුස්ලිම් ජනයාට විරුද්ධවීමක් නො වේ. අද දෙමළ ජනයා බටහිර, ඉන්දීය පමණක් නොව කුලවාදී වෙල්ලාලයන්ගෙන් ද ගලවාගත යුතු ය.  දෙමළ ඡන්ද ලබාගැනීමට ද ක්‍රමයක් ඇත. ඒ ඊනියා අඩුකුල දෙමළ ජනයාගෙනි. ඒ ගැන ද අපි පසුව කතා කරමු.  ඒ දෙමළ ඡන්දත් සමග මහින්දට තුනෙන් දෙකක බලයක් ලබාගැනීමට හැකිවනු ඇත. එවැනි බලයක් ගොනුකර ගත්විට බටහිර හා ඉන්දීය සැලසුම් පරාජය කිරීම අපහසු කටයුත්තක් නොවනු ඇත. 

මේ ලිපිය මුහුණු පොතෙන් ද කියවිය හැකි ය


නලින් ද සිල්වා   

2016 මාර්තු 29