විසඳන්න ප්‍රශ්නයක් තිබුණේ නැත 1
උගත් පාඩම් හා සංහිඳියා කමිටුව ඉදිරියේ සාක්‍ෂි දීම සඳහා මා කැඳවා තිබිණි. දෙමළ ජාතිවාදයේ ඉතිහාසය හා විකාශය පිළිබඳ සංක්‍ෂිප්ත ප්‍රකාශයක් කළ මම දෙමළ ජනයාට දෙමළ වීම නිසා අසාධාරණයක් වී නොමැති බව ද විසඳීමට ප්‍රශ්නයක් නැති බව ද සඳහන් කෙළෙමි. මගේ සාක්‍ෂිය අවසානයේ කමිටු සාමාජිකයකු පැවසුවේ මා කියන කරුණු සත්‍ය නමුත් දෙමළ ජනයාට යම්කිසිවක් දිය යුතු බව ය!
අද වනතුරුත් දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් ඇති වී තිබෙන අසාධාරණය කුමක් දැයි කිසිම බමුණු පඬියකු (බමුණු කුල සාමාජික) පවසා නැත. අප මේ ප්‍රශ්නය දශක ගණනාවක් තිස්සේ අසන නමුත් කිසිවකු එයට පිළිතුරක් දී නැතිවා පමණක් නොව ඒකාබද්ධ විපක්‍ෂයේ බොහෝ නායකයන්ට ද එය එතරම් ගෝචර වී නැත. ඔවුන් සිංහල විරෝධී උපදේශකයන්ට ඇහුම්කන් නොදී මේ ප්‍රශ්නයට පිළිතුරක් නොමැති බව තේරුම් ගැනීම වැදගත් වෙයි. අද ඊළම ඉල්ලන්නේත් එයට මඟ පාදන බලය බෙදීමක් ඉල්ලන්නේත් ප්‍රධාන වශයෙන් ම දෙමළ ජනයාට සිදු වී ඇතැයි කියන අසාධාරණයට පිළියමක් ලෙස ය. ප්‍රශ්නය ඉදිරිපත් වන්නේ එසේ ය. ඊනියා නිජභූමි කතාව ගෙතුවේ මේ ඉල්ලීම යුක්තියුක්ත කිරීමට ය. මෙරට දෙමළ ස්වාධීන රාජ්‍යයක් කිසි දිනෙක ඉතිහාසයේ තිබී නැත. යාපනයේ ආර්යචක්‍රවර්ති පාලනය (එය රාජ්‍යයක් නො වේ) වුවත් කෙදිනකවත් වත්මන් නැගෙනහිර පළාත දක්වා නො හිදිණි. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම සිදු වී ඇති අසාධාරණයක් නැත්නම් විසඳීමට ප්‍රශ්නයක් ද නැත. කෙසේ වුවත් නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු බලය බෙදීම, දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය ආදී ඊනියා විසඳුම් අහෝසි වෙයි.
ඉතා කෙටියෙන් දෙමළ ජාතිවාදයේ ඉතිහාසය හා විකාශය මෙසේ ය. මා මෙය අවුරුදු තිහක් තිස්සේ වර්ධනය කර ඇති බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රබලයන්ගේ ද දැනගැනීම සඳහා සඳහන් කළ යුතු ය. පෘතුගීසීන් මෙරටට පැමිණෙන විටත් යාපනයේ (අලි මංකඩින් උතුරෙහි) බහුතර ජනතාව සිංහල විය. එහි තිබූ ආර්ය චක්‍රවර්ති පාලනය මුහුදු මංකොල්ලකරුවන් විසින් පිහිටුවන ලද, සිංහලයේ රජුට යටත්වූ පාලන තන්ත්‍රයකි. ආර්ය චක්‍රවර්ති පාලකයා සිංහලයේ රජුගෙන් තමා රජ යන නාමය යොදා ගැනීමට අවසර ගත්තේ ය (මෙය පෘතුගීසි ක්වේරොස්ගේ ඇසින් නොබැලිය යුතු ය. ඔහු දැන සිටියේ යුරෝපීය රාජ්‍ය ගැන පමණ ය) එක් ආර්ය චක්‍රවර්තියකු එසේ අවසර ගැනීමට ගොස් සිටි අවස්ථාවක සංකිලි බලය අත්පත් කර ගත්තේ ය. ඔහු පෘතුගීසීන් සමග සටන් කෙළේ ය. එහි දී සිංහලයේ රජු ඔහුට සේනා යවා ආධාර කෙළේ ය. අවසානයේ සංකිලි හා පෘතුගීසීන් අතර ගිවිසුම කෙටුම්පත් කරනු ලැබුයේ සිංහලෙන් හා පෘතුගීසි බසිනි! එහි දෙමළ බසක් නො වී ය.
ලන්දේසීන්ගේ පාලන සමයෙහි දී ඔවුහු තම දුම්කොළ වගාව සඳහා කෝරමණ්ඩළ වෙරළෙන් වෙල්ලාලයන් ගෙනාවා් ය…. (ලන්දේසිහු වෙල්ලාලයන් දකුණු අප්‍රිකාවට ද ගෙන ගියහ. අදත් එහි නැටෝල් ප්‍රදේශයෙහි වෙල්ලාලයන් දැකිය හැකි ය). වෙල්ලාලයෝ කෘෂිකාර්මික කම්කරුවෝ වූහ (ආඬියා සහිත ලිඳ ද වෙල්ලායන් සමග දුම්කොළ වගාවට වතුර දැමීම සඳහා ආනනය කෙරී ඇත). ඔවුහු බ්‍රාහ්මණ වර්ණ භේදයට අනුව ශුද්‍රයෝ වූහ. ලන්දේසිහු වෙල්ලාලයන් යාපනයේ දී ඊනියා උසස් කුලය බවට පත්කළහ. එහි දී ඔවුහු බ්‍රාහ්මණ වර්ණ භේදය මෙන් ම මහනුවර වඩිග රජුන් කල තිබූ සිංහල කුල ක්‍රමය (භේදයක් නොව) ද මිශ්‍ර කර ඇති බව පෙනී යයි. ලන්දේසීන්ගේ ආධාරයෙන්් වෙල්ලායන් ඊනියා උසස් කුලය බවට පත්කෙරුණේ යාපනයේ සිටි සිංහලයන් දෙමළ හින්දු සමාජයට අවශෝෂණය කර ඔවුන් ඊනියා අඩුකුල ජනයා බවට පත්කිරීමෙන් හා මාඩපල්ලි නම් වෙනත් දෙමළ කුලයක් පරදවමිනි. ලන්දේසිහු නැගෙනහිර වෙරළ සිංහලේ රජුට අහිමි කිරීම සඳහා වෙල්ලාලයන් ලවා බොරු ඉතිහාසයක් ලියවූහ. යාල්පානම් වෛපව මාලෙයි නම් කවි පොත විජයගේ කාලයේ සිට දෙමළ ජනයා ලංකාවේ සිටි බව කීමට ලියූ කවි පොතක් පමණක් යැයි යාපන විශ්වවිද්‍යාලයේ ප්‍රථම ඉතිහාස මහාචාර්යවරයා වූ කාර්තිගේසු ඉන්ද්‍රපාල මහතා පවසයි. ඒ මහතාට අනුව දොළොස්වැනි සියවසට පෙර මෙරට ස්ථිර දෙමළ වාසස්ථාන තිබී නැත. ඒ මහතා මේ බව පවසන්නේ ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ තම ආචාර්ය උපාධි නිබන්ධනයෙනි. මේ නිබන්ධනයේ පිටපතක් මා සතු අතර අදාළ කොටස් යථා කාලයේ දී මුහුණු පොතෙහි මා නමින් ඇති පිටුවෙහි හා කාලය වෙබ් අඩවියෙහි පළකිරීමට කටයුතු කරන්නෙමි.
ඉංගිරිසි පාලන සමයෙහි දී වෙල්ලාල ආධිපත්‍යය තවත් වර්ධනය විය. වෙල්ලාලයෝ යාපනයේ ඊනියා අඩුකුල ජනයා පිඩාවට පත්කළහ. අරුමුගම් නවලාර් හින්දු (ශෛව) සංස්කෘතියක් වෙල්ලලයන්ගේ ප්‍රධානත්වයෙන් ගොඩ නැගී ය. ලංකාවේ බ්‍රාහ්මණ වාංශිකයන් නොසිටි බැවින් වෙල්ලාලයෝ ම පූජක තනතුරුවලට උසස් කරනු ලැබූහ. බ්‍රාහ්මණයන් යාපනයේ නොසිටියේ ඔවුන් මුහුදු තරණය නොකරන බැවින් යැයි කීම පිළිගත නොහැක්කකි. ලන්දේසීන්ට අවශ්‍ය වූයේ දුම්කොළ වගාවට කම්කරුවන් මිස හින්දු ආගමික වතාවත් කිරීම සඳහා බ්‍රාහ්මණයන් නො වේ. ලන්දේසීහු බ්‍රාහ්මණයන් නො ගෙනාවෝ ය. බ්‍රාහ්මණයන් ලංකාවට පැමිණ ඇති බවට සාක්‍ෂි වෙයි. සීතාවක රාජසිංහ රජු කල මෙහි පැමිණි අරිට්ටකි වෙන්ඩු වැනි පූජකයන් ගැන අපි ඉතිහාසයෙන් දන්නෙමු. එයටත් වඩා බ්‍රාහ්මණයන් මෙරට සිටි බවට බ්‍රාහ්මණ නමින් ඇති ගම් වලින් ද ඇතැමුන්ගේ නම්වල වාසගමින් ද හෙළි වෙයි. අද බ්‍රාහ්මණ කුලයට අයත් වූවන් බටහිර රටවල දැකිය හැකි ය. ඔවුන් එහි ගොස් ඇත්තේ මුහුදු තරණය කර නොව ගුවනින් යැයි පඬි කතාවක් ගෙතීමේ බැරිකමක් සිංහල විරෝධී පඬියන්ට නැත. ඔවුන්ගේ දැනගැනීම සඳහා කිව යුත්තේ ඉන්දියාවේ බිහි වූ එකම ගණිතඥයා වූ රාමනුජන් නැවෙන් එංගලන්තයට ගිය බ්‍රාහ්මණ වාංශිකයකු බව ය.
මෙරට ආදි කාලයේ සිට දෙමළ ජනයා නොසිටි බව මෙම බ්‍රාහ්මණ කතාවෙන් ද තහවුරු වෙයි. සිංහල සමාජයෙහි බ්‍රාහ්මණ බලපෑම් පොළොන්නරු සමයේ සිට සීතාවක සමය දක්වා තිබු ඇත. දඹදෙණි සමයෙහි ලියැවුණු උම්මග්ග ජාතකය බමුණන්ට විරුද්ධව ලියන ලද්දකි. අද ද බමුණු බලපෑම් ඇත. එහෙත් වත්මන් බමුණෝ බටහිර අධ්‍යාපනය හේතුවෙන් එකී දැනුම් ආධිපත්‍යයට හසුවූවෝ වෙති. මාර්ටින් වික්‍රමසිංහ මහතා කුමක් කීවත් ඔවුන්ගේ බමුණු කුලය 1956 දී බිඳ නො වැටිණි. වික්‍රමසිංහ මහතා ද හසුවන්නේ බමුණු කුලයට ය! ඉඩක් ලැබුණහොත් පසුව මේ ගැන තවදුරටත් සාකච්ඡා කරමු. ඒකාබද්ධ විපක්‍ෂයේ ද එයට උපදෙස් දෙන්නන් අතර පමණක් නොව පමණක් නොව ඇතැම් ජාතිකත්ව මතධාරීන් යැයි කියන්නන් අතර ද බමුණු කුලයේ අය වෙති.
ඉංගිරිසිහු ලන්දේසීන්ටත් වඩා වෙල්ලාලයන් සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධව යොදා ගත්හ. යම් යම් හේතු නිසා වුව ද මිෂනාරි අධ්‍යාපනය වඩාත් ප්‍රචලිත වූයේ අලිමංකඩෙන් උතුරෙනි. (අලිමංකඩ යන වචනයෙන් ම මැතක් වනතුරු එහි සිංහල බලපෑම සනිටුහන් වෙයි. ලන්දේසි සමයේ ද අලි අපනයනය කිරීම සඳහා ගෙන ගොස් ඇත්තේ අලිමංකඩිනි. කුරු යනු ඇතාට තවත් නමකි. යාපනයේ සිටි කුරුවෙ විදානේ වැනි නිලධාරීන් ගැන ඉතිහාසයේ සටහන් වෙයි). රාජකීය විද්‍යාලයට වඩා පැරණි පාසල් යාපනයේ ඇත. මේ ඇතැම් පාසලක මදුරාසි විශ්වවිද්‍යාලයේ අනුබද්ධ විද්‍යාල ලෙස ද පැවතී ඇත. කෙසේ වෙතත් යාපනයේ ඉංගිරිසි උගත් ප්‍රතිශතය සිංහලයන් අතරට වැඩි ය. ඉංගිරිසි උගතුන් අතර දෙමළ ජනයා හා සිංහල ජනයා සමාන ව මෙන් සිටියහ.
ඉංගිරිසින් සිංහලයන්ට විරුද්ධව දෙමළ ජාතිවාදී දේශපාලනය බෞතීස්ම කෙළේ 1831 දී ය. ඒ ව්‍යවස්ථාදායක මණ්ඩලය ඇතිකිරීමත් සමග ය. එතැන් සිට ප්‍රභාකරන් දක්වා ඉතිහාසය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි සඳහන්වන බැවින් විස්තර කිරීම අනවශ්‍ය ය. එය කොටස් වශයෙන් මුහුණු පොතෙහි මා නමින් ඇති පිටුවෙහි ද කාලය වෙබ් අඩවියෙහි ද පළ වෙයි. ඉතා කෙටියෙන් කිවහොත් මුල සිට ම දෙමළ ජාතිවාදී දේශපාලනය යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වී ඇත. පොන්නම්බලම් රාමනාදන්ගේ සිට ඔහුගේ ඥාතියකු යැයි කියැවෙන විග්නේෂ්වරන් දක්වා ඉතා වැඩි දෙනෙක් කොළඹ ඉංගිරිසි අධ්‍යාපනයක් ලැබුවෝ වෙති. දෙමළ ජාතිවාදයේ යුග තුනක් තිබී ඇති අතර නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු එහි හතරවැනි යුගය ඇරඹී ඇත. දෙමළ ජාතිවාදයේ පළමුවැනි යුගයේ දී (1831 සිට විසිවැනි සියවසේ හතළිහේ දශකය දක්වා) ඉංගිරිසින්ගේ අනුබලය හා ආධාරය ලැබූ දෙමළ ජාතිවාදයට අවශ්‍ය වූයේ මධ්‍යයෙහි (ව්‍යවස්ථාදායක මණ්ඩලයෙහි හා රාජ්‍ය මන්ත්‍රණ සභාවෙහි) හැකිනම් සිංහලයන් පරාජය කිරීම ය, නැත්නම් සිංහලයන් හා සමාන නියෝජනත්වයක් ලබා ගැනීම ය. රාමනාදන්, අරණාශලම් හා පසු ජී ජී පොන්නම්බලම් එහි නායකයෝ වූහ. පනහට පනහ ඉල්ලීම මෙන් ම සෝල්බරි කොමිසම හමුවේ දෙමළ වැඩි නියෝජනත්වයක් ඉල්ලීම ද ඒ මත පදනම් විය. එහෙත් 1931 සර්වජන ඡන්දයෙන් පසු දෙමළ නායකයන්ට මධ්‍යයෙහි තමන්ට බහුතරයක් ලබාගැනීමට නොහැකි බව තේරුම් ගොස් ඇත. විශේෂයෙන් ම මදුරාසි ක්‍රිස්තියානි පල්ලියෙහි සාමාජිකයකු වූ චෙල්වනායගම්ට ඒ බව වැටහී ඇත. හතළිහේ දශකයේ ඇති වූ දෙමළ ජාතිවාදයේ දෙවැනි යුගයේ දී ඔවුන්ට අවශ්‍ය වූයේ මධ්‍යයෙහි නොව ඊනියා දෙමළ නිජභූමිය ලෙස පසුව හඳුන්වනු ලැබූ උතුරු හා නැගෙනහිර පළාත්වල රාජ්‍යයක් ඇතිකිරීම ය. ඊනියා දෙමළ නිජභූමිය ඉංගිරිසින්ගේ පළාත් සීමා නීර්ණ අනුව ඇතිවූයේ කෙසේ දැයි පඬියකු විසින් තවමත් තේරුම් කෙරී නැත.
ලංකා විශ්වවිද්‍යාලයෙහි පළමු ගණිත මහාචාර්යවරයා වූ සී සුන්දරලිංගම් ඊළාම් සංකල්පය ඉදිරිපත් කෙළේ 1940 දී පමණ ය. ඔහු එය ඊළොම් (EYLOM) යනුවෙන් හැඳින්වී ය. සුන්දරලිංගම් දැන නොසිටියාට ඊළාම් යනු සිංහලය යන්නෙහි දෙමළ ස්්වරුපය වෙයි. මේ කරුණු කියා බොහෝ කල්ගත වී ඇති නමුත් සිංහල සමාජයට ඒ කාන්දු නොවූයේ බටහිර දැනුම් ආධිපත්‍යය, මෙරට නිවට බමුණු කුලය, දෙමළ ජාතිවාදය පිටුපස ඇති යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය, ඉන්දීය සිංහල බෞද්ධ විරෝධය හා ඔවුන්ට අප රට තම ප්‍රාන්තයක් බවට පත්කර ගැනීමට ඇති අවශ්‍යතාව නිසා ය. (මතු සම්බන්ධයි)