Main Logo

Friday 15 April 2016

නැකැත් හා මිථ්‍යාව


නැකැත් හා මිථ්‍යාව

ඊනියා විද්‍යාත්මක සිංහලයන් අලුත් අවුරුද්දට නැකැත් අනුගමනය කළේ දැයි නො දනිමි. ඔවුන් ඇතැම් විට මවගේ හෝ බිරිඳගේ හෝ කැමැත්ත යැයි කියමින් නැකැත් අනුගමනය කරන්නට ඇත. ඒ ඇත්තක් වුවත් බොරුවක් වුවත් ඒ සංස්කෘතියෙහි බලපෑම ය. මව හෝ බිරිඳ හෝ මගින් සංස්කෘතික අවශ්‍යතා ඇතැම් විට ක්‍රියාත්මක වෙයි. නැකැත් මිථ්‍යා යැයි කියමින් ඒවාට සිනහසෙන ඇතැම් තරුණයෝ මවගේ හෝ මනාළියගේ හෝ කැමැත්ත යයි කියමින් සුබ මොහොතින් පෝරුවට නගිති. සමස්තයක් ලෙස ගතහොත් පිරිමින්ට වඩා ගැහැණු සංස්කෘතියට අනුගත වෙති. මා මෙයින් කියන්නේ පිරිමින් සංස්කෘතියට අනුගත නොවන බව නො වේ. එහෙත් ගැහැණුන් අතර සංස්කෘතියට අනුගත වන්නන්ගේ ප්‍රතිශතය පිරිමින් අතර අදාළ ප්‍රතිශතයට වඩා මඳ වශයෙන් වුවත් වැඩි ය. එබැවින් ම දෝ අද බටහිර විලාසිතා විසින් ගැහැණුන් සිංහල සංස්කෘතියෙන් ඈත්කිරීමට විශාල උත්සාහයක් ගනු ලැබෙනු දැකිය හැකි ය. සංස්කෘතිය යනු වෙනස් නොවන දෙයක් නොවන බව අපි දනිමු. එහෙත් වෛදික වේවා, බටහිර වේවා ආධිපත්‍ය සංස්කෘතික ආක්‍රමණවලට යටත් වී අප සංස්කෘතිය වෙනස් කළ යුතු නො වේ. 

නැකැත් යනු කිසිසේත් ම මිථ්‍යාවක් නො වේ. පොළොවට සාපේක්‍ෂ ව සූර්යයා, චන්ද්‍රයා ඇතුලු  ග්‍රහයන් (ග්‍රහවස්තු නොවේ) චලනය වන තීරුව අහස් කුසෙහි (ඛගෝලයෙහි) නැකැත් විසිහතකට බෙදීමට මූල (proto) සිංහලයන් (එනම් යක්‍ෂ නාග ආදී ජනතාව හෙවත් අප සිංහලයන් වීමට පෙර මෙරට වාසය කළ ජනතාව - සිංහලයන් බොහෝ දෙනා ඔවුන්ගෙන් පැවත එන බැවින් හා සිංහල සංස්කෘතියෙහි වැදගත් අංග රැසක් ඔවුන්ගෙන් ලැබී ඇති බැවින්, ඔවුන් මූල සිංහලයන් ලෙස හැඳින්වීමේ වරදක් නැතැයි සිතමි) සමත් වී ඇත. මේ වාක්‍යයෙහි බොහෝ කරුණුවලට පඬියන් එකඟ නොවනු ඇත. අපේ සංස්කෘතිය ලැබුණේ අශෝකගේ පාඨලීපුත්‍රයෙන් යැයි කීමට ඇතැම්හු මුව අයාගෙන සිටිති. එහෙත් සිංහල බුද්ධාගමෙහි ඇති නැකැත් මෙන් ම දෙවියන් ද සිංහලයන්ට ලැබී ඇත්තේ මූල සිංහලයන්ගෙනි (හෙළයන්ගෙනි). පසුව ඒ දෙවියන් චෝල  හා වෙනත් ආක්‍රමණවල ප්‍රතිඵලයක් ලෙස වෙනත් දෙවියන් සමග මිශ්‍ර වී ඇති බව වෙන ම කරුණකි. මුල සිංහලයන් එලෙස නොහැඳීන්වීම නිසා ඔවුන් ආදීවාසීන්, මීනීමස් කෑවුන්, දෙමළ ජනයා ආදීන් ලෙස හැඳින්වීමට විවිධ අයට අවකාශය ලැබී ඇත. මූල සිංහලයන්, සිංහලයන් බවට පත් වී ඇත්තේ විජයගෙන් සංකේතවත් වන සිංහ වාංශිකයන් විවිධ අවස්ථාවල මෙරටට පැමිණීමෙන් පසුව ය. මූල සිංහලයන්ගෙන් යම් පිරිසක් බෞද්ධයන් වූ බවට ද සාක්‍ෂි වෙයි. ඔවුන්ගේ සංස්කෘතිය හෙළ බෞද්ධ සංස්කෘතිය විය. අපි පසුව මේ ඉතිහාසය සාකච්ඡා කරමු. 

හිරු ග්‍රහයකු වන්නේ කෙසේ දැයි ඇසීමට ද ඉඩ ඇත. හිරු යනු ග්‍රහයකු නොව තරුවක් බව ඔවුන් අපට කියා දෙනු ඇත. එහෙත් මොවුන්ට වරදින්නේ ග්‍රහයා යන සංකල්පය ග්‍රහවස්තුව සමග පටලවා ගැනීමෙනි. හිරු ග්‍රහවස්තුවක් නොව තරුවක් බව අපි දු දනිමු. එහෙත් හිරු ග්‍රහවස්තුවක් නොවූවත් ග්‍රහයෙකි. ඡෙදක ලක්‍ෂ්‍ය දෙකක් වූ  රාහු කේතු ද ග්‍රහයන් මිස ග්‍රහවස්තු නො වේ. නැකැත් යනු ද මූල සිංහලයන්ගේ සංස්කරණයකි. ඒ ඛගෝලයෙහි චන්ද්‍රයාගේ චලනය හා සම්බන්ධව අද ක්‍රාන්තිවලයය නමින් හැඳින්වෙන්න මුල් කරගත තීරුවෙහි කෙරී ඇති බෙදීමකින් ලැබෙයි. නැකැත් උත්සව යක්‍ෂ ජනතාවගේ සහභාගීත්වයෙන් සිදු වී ඇති බවත් අහස් තීරුව නැකැත්වලට බෙදීම මූල සිංහලයන්ගේ නාග ජනතාව අතින් කෙරී බවත් පෙනෙයි. කලින් ලිපියක සඳහන් වූ ආකාරයට නැකැත්වලට බෙදීම නක හෙවත් නාග ජනතාව නමින් කෙරෙන්නට ඇත. ඒ පළමුව නකත් වන්නට ද පසුව ඇ කාරය සිංහලයට එකතු වීමෙන් පසු නැකැත් වන්නට ද ඇත. කෙසේ වෙතත් එය මූල සිංහලයන්ගේ ම බෙදීමක් ලෙස සැලකිය හැක්කේ අස්විත, කැති, බෙරණ ආදී නම්වලට වෛදික බලපෑමක් නැති බැවිනි.  

මා එලෙස පවසන්නේ මෙරට පඬියන් බොහෝ දෙනකු අපට සියල්ල එතෙරින් ලැබුණේ යැයි කීමට පෙළඹී ඇති බැවින් වෙනත් මතයක් ඛණ්ඩණය කිරීමට එය සාධකයක් වන බැවිනි. නාග ජනතාව එතෙරත් වාසය කර ඇත. ඇසෑම් ප්‍රදේශයෙහි වසන නාගයන් ගැන ඇතැම්හු කතාකරති. එහෙත් එකී නාග ජනයාගෙන් නැවියන් වූයේ කවුරුන් දැයි දැනගැනීට නැත. මූල සිංහලයන්ගේ නාගයන් නම් නාවිකයන් වී ඇත. කාවන්තිස්ස රජු ද නාගයකු වූ මූල සිංහලයෙකි (මෙයට ද ඇතැමුන් විරුද්ධ වනු ඇත. ඔවුන් කාවන්තිස්ස රජු සිංහල නො වේ ද යන ප්‍රශ්නය නගනු ඇත. පණ්ඩුකාභය රජු දවස අප අනුරාධපුරයෙහි සිංහලයන් වීම අරඹා ඇති නමුත් මාගම ඇතුළු රුහුණෙහි මූල සිංහලයන් වාසය කර ඇත). ඔවුන්ගේ වෙළෙඳ නැව් සමාගමක් ගැන ඉතිහාසයෙහි සඳහන් වෙයි. අහස දෙස බැලීමට වඩාත් ම අවශ්‍ය වූයේ නැවියන්ට හා කාන්තාරයේ ගමන් කළ වෙළෙඳුන්ට ය. නැවියන් හා වෙළෙඳුන් වූ මූල සිංහල නාගයන් අහස නැකැත්වලට (නකත්වලට) බෙදා ඇත. 

සංස්කෘතයෙහි නක්‍ෂත්‍ර යන්න සිංහල (හෙළ)  නකත් යන්නෙන් බිඳී ඇතැයි සිතිය හැකි ය. අද අප සංස්කෘතයෙන් වචන ලබාගන්නා නමුත් එකල සංස්කෘතයට මූල සිංහල වදන් ද එකතු වී ඇති බව පෙනෙයි. එක් පඬියකු නක්‍ෂත්‍ර යන්න නක හෙවත් නාගයන්ගේ ශාස්ත්‍රය ලෙස හඳුන්වා ඇත. එය නක + ශාස්ත්‍ර වී ද? එහෙත් නක යන්න සංස්කෘත දැයි ඒ පඬියා නො කියයි. අනෙක් අතට නාගයන්ට වෙනත් ශාස්ත්‍ර නො තිබිණි ද? මා සංස්කෘත භාෂාව පිළිබඳ මහාචාර්යවරයකුගෙන් මේ පිළිබඳ ව විමසා සිටි අවස්ථාවේ එතුමා මා සමග පැවසුවේ නක්‍ෂත්‍ර යන්නට සංස්කෘතයෙහි නිරුක්ති නැති බව ය! නක්‍ෂත්‍ර යන්න සංස්කෘතයෙහි නිපන් වචනයක් නො වේ. නකත් මූල සිංහලයන්ගේ ම  සකස් කිරීමකි. 

අහසෙහි නැකැතක් නැති වෙලාවක් නැත. බොහෝ දෙනා නැකත හා සුබ මොහොත (මුහුර්තිය) එක ම යැයි සිතති. සුබ මොහොතක් යනු යම් කාර්යයක් කිරීම සඳහා වූ යහපත් වෙලාවකි. නොනගතයෙහි නැකැත් නැතැයි කී අයට සෑම විටක ම නැකැතක් ඇති බව අමතක වී ඇත. කෙසේ වෙතත් නොනගතයෙහි අපරාර්ධයෙහි අපි සුබ මොහොතෙන් ලිප ගිනි දල්වමු, වැඩ අල්ලමු. නොනගතය යනු න+අනගත ය. එනම් නෑවිත් නැත යන්න ය. හිරු මේෂ රාශියට හෝ අස්විද නැකතට හෝ නෑවිත් නැති, එහෙත් එමින් සිටින කාලය නොනගතය වෙයි. (රූප සටහන බලන්න) .

සුබ මොහොතක වෙලාවක් මෙන් ම දිශාවක් ද ඇත. එය චතුර්මාන සංකල්පයකි. යම් ක්‍රියාවකට යහපත් වෙලාවක් මෙන් ම දිශාවක් ද තිබිය යුතු බව පැරැන්නන් දකින්නට ඇත. අද ද හඳට රොකට්ටුවක් යැවීමේ දී වෙලාව මෙන් ම දිශාව ද ගණනය කෙරෙයි. එසේ නොකළහොත් රොකට්ටුව හඳ මත පතිත කරවිම අපහසු වනු ඇත. රොකට් යවන්නෝ සුබ මොහොතින් රොකට්ටු යවති. එය මිථ්‍යාවක් ලෙස බටහිර විද්‍යාවේ දාර්ශනිකයකු වූ ද අසත්‍යකරණ ප්‍රවාදය ඉදිරිපත් කළාවූ ද   කාල් පොපර්වත් නොසිතන්නට ඇත. 

නලින් ද සිල්වා


2016 අප්‍රේල් 15


මේ ලිපිය මුහුණු පොතෙන් ද කියවිය හැකි ය 

https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/