Main Logo

Thursday 28 April 2016

ප‍්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 4

ප‍්‍රභාකරන් හා ඔහුගේ මස්සිනාලා 4

මෙය 1995 දී පළ වූ ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා පොත් පිංචෙනි. නන්දිකඩාල් ජයග්‍රහණය එයට ම පමණක් සීමා වී දෙමළ ජාතිවාදය පැරදවීමට ක්‍රියා නොකෙරුණේ ප්‍රභාකරන් ත්‍රස්තවාදියකු ලෙස පමණක් සැලකීම හේතුකොට ගෙන ය. ප්‍රභාකරන් යනු දෙමළ ජාතිවාදයේ විකාශයක් බව තේරුම් නොගත් සිංහලයෝ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව නැවතත් ප්‍රභාකරන්ගේ මස්සිනාලාට හිස එසවීමට ඉඩ දුන්හ.  මෙය දේශපාලනඥයන්ගේ ප්‍රශ්නයක් පමණක් නො වේ. සිංහලයන්ට ප්‍රවාද නැති වීම එහි දී බලපාන ප්‍රධාන කරුණකි.

මෙහි ඇති කරුණු ගැන පමණක් අවධානය යොමු නොකළ යුතු ය. අපට අවශ්‍ය වන්නේ ප්‍රභාකරන් යනු හුදු ත්‍රස්තවාදියකු නොවූ බව අවධාරණය කිරීම ය. ප්‍රභාකරන් අවුරුදු දෙසියකට ආසන්න කාලයක් මුළුල්ලේ විකාශය වූ දෙමළ ජාතිවාදී දේශපාලනයේ තවත් පුරුකක් පමණක් විය. ඔහුගේ පරාජයෙන් මේ සමස්ත දේශපාලනය ම පරාජය වූ බව තේරුම් ගැනීමට තවමත් සිංහලයන්ට නොහැකි වී ඇත. එබැවින් ම ප්‍රභාකරන්ගේ මස්සිනාලාට එංගලන්තයේ හා ඉන්දියාවේ ආධාරයෙන් හිස එසවීමට හැකි වී තිබේ. 


x          අනෙක් දෙමළ පක්ෂ කොටි සංවිධානය සම්පූර්ණයෙන් පරාජය කෙරීමට අකැමැති නම් යුද්ධය පූර්ණ ජයග‍්‍රහණයකින් නිම කෙරීම දක්වා ඔවුන් ආණ්ඩුවට සහාය දේවි ද ?

අද ආණ්ඩුවේ පැවැත්ම රඳා පවතින්නේ දෙමළ පක්ෂ මතයි. එබැවින් ඒ පක්ෂ කියන දෙයට ඇහුම්කන් දීමට ආණ්ඩුවට සිද්ධ වෙනවා. ඒ නිසා යුද්ධය පූර්ණ ජයග‍්‍රහණයකින් එනම් කොටි සංවිධානය සම්පූර්ණයෙන් ම පරාජය කර නිම කෙරීමට ආණ්ඩුවට ඇති හැකියාව ඉතා අඩුයි. එහෙත් හමුදාව මෙහිදී කෙසේ ක‍්‍රියා කරන්නේ ද යන්න ප‍්‍රශ්නයක්. යුද්ධය පූර්ණ ජයග‍්‍රහණයකින් කෙළවර කළ හැකිකමක් තිබිය දී, විශේෂයෙන් ම හමුදා භටයන් දහස් ගණනක් මිය ගොස් ඇති විටක යුද්ධය ජයග‍්‍රහණයෙන් තොර ව නතර කෙරීම හමුදාවට ප‍්‍රශ්නයක් වෙනවා.



x          චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය කියා ඇත්තේ කොටි සංවිධානය පරාජය කර දේශපාලන යෝජනාවලිය සම්මත කරන බව නොවේ ද ? කොටි සංවිධානය පරාජය කර පෙඩරල් දිය නොහැකි යැයි ඔබ කියන්නේ කෙසේ ද
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මතවාදී ව පෙඩරල් දීමට ඇපකැප වී සිටිනවා. ජේ. ආර්. ජයවර්ධන මහතා මෙන් නොව ඇය මතවාදී ව දෙමළ ජනයාට අසාධාරණයක් සිදු වී ඇති බව පිළිගන්නවා. 1994 ජනාධිපති අපේක්ෂිකාව ලෙස විජාතික බලවේග විසින් ඇය ඉදිරිපත් කළේත් එබැවිනුයි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පසෙකට ලා ඇය එතැනට ගෙනාවේ විකල්ප පුවත්පත්, රාජ්‍ය නොවන සංවිධාන, ජාත්‍යන්තර සංවිධාන ඇතැම් ක‍්‍රිස්තියානි හා කතෝලික පූජකවරු ආදී විජාතික බලවේග විසිනුයි. මතවාදී ව දෙමළ ජාතිවාදය පැත්තේ සිටින ප‍්‍රථම ජාතික නායකයා හෝ නායිකාව ඇයයි. ඇතුලත්මුදලි හා පේ‍්‍රමදාස මහතුන් තබා ගාමිණී දිසානායක මහතාවත් මතවාදී ව එවැනි ස්ථාවරයක සිටියේ නැහැ. ඔවුන් ගේ ඝාතනවලටත් එය බලපාන්නට ඇතැයි සිතිය හැකියි.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ දේශපාලනය සමග ඇයි හොඳයිකම් පවත්වනවා. ඇයට අද අවශ්‍ය පළමු අදියරේ ම ඊළාම් දිනා ගැනීමට සටන් කරන කොටි පරදවා පළමු අදියරේ පෙඩරල් සඳහා කටයුතු කරන නීලන් තිරුචෙල්වම් ඇතුළු ප‍්‍රභාකරන් ගේ මස්සිනාලා කොටසට පෙඩරල් ලබාදීමටයි. ඇය මුල දී සිතා සිටියේ කොටි සමග සාකච්ඡුා කර කොටි සංවිධානයට පෙඩරල් ලබා දී පසු ව ඡුන්දයෙන් දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ උතුරු හා නැගෙනහිර පළාත්වල බලයට පත් කෙරීමටයි.

මගේ තක්සේරුව කොටි සංවිධානය සම්පූර්ණයෙන් ම පරාජය කර ඇයට අවශ්‍ය දේ කළ නොහැකි බවයි. දිවි පුදා සටන් කර කොටි පරදවා වෙනත් අයකුට පෙඩරල් දීමට යෑමේ දී හමුදාව කෙසේ ක‍්‍රියා කරාවි ද ? එමෙන් ම එසේ පෙඩරල් දීමට නම් සිංහල ජනමතය ඉතා දරුණු ලෙස මර්දනය කෙරීමට ඇයට සිද්ධ වේවි. සුදු නෙළුම් ව්‍යාපාරය පිහිටුවා ඇත්තේ ඒ සඳහායි. එය කොතෙක් සාර්ථක වෙයි ද යන්න අනාගතයේ දී බලාගත හැකියි.

කොටි සංවිධානය සම්පූර්ණයෙන් ම පරාජය කර පෙඩරල් විසඳුමක් දෙන තැනකට සිංහල ජනමතය සකස් කරන්න ඉතා අමාරුයි. එය කළ හැක්කේ මර්දනයකින් පමණයි.

ඇත්තට ම චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති අපේක්ෂිකාව බවට පත් කිරීමේ දී විජාතික බලවේග එක්තරා තක්සේරුවක සිටියා. පෙඩරල් රාජ්‍යයක් ලබාගත හැක්කේ එ. ජා. ප. රජයකින් නොව ශ‍්‍රී. ල. නි. ප. රජයකින් බව ඔවුන් ගේ අදහස වූවා. ශ‍්‍රී. ල. නි. ප. රජයක් පෙඩරල් දීමේ දී සිංහල ජනමතය විශේෂයෙන් ම බෞද්ධ ජනමතය එයට විරුද්ධ ව නොයාවිය යන තක්සේරුව ඔවුන් තුළ තිබුණා. එහෙත් එය නිවැරදි නොවන බව දැන් පෙනී ගොස් තිබෙනවා. කිහිප නමක් හැරුණු විට, භික්ෂූන් වහන්සේලා පෙඩරල් යෝජනාවලියට විරුද්ධයි. ආණ්ඩුවට උන් වහන්සේලා පක්ෂ කරවා ගැනීමට තැනින් තැන යෑමට සිදුවී තිබෙනවා.

සිංහල ජනමතය මේ විශ්ලේෂණ කිසිවක් නොමැති ව තේරුම් ගන්නා දෙයක් තමයි පෙඩරල් යනු ඊළමේ පළමු අදියර බව. ඒ බව ඔවුන් වටහා ගන්නේ ඉවෙන්. 1949 දී බිහි වූ තමන් දන්නා පෙඩරල් පක්ෂය දෙමළෙන් ලංකා දෙමළ රාජ්‍ය පක්ෂය යන නමින් හැඳින්වුණු බව දන්නේ ඔවුන් ගෙන් සුළු පිරිසක් විය හැකියි. එහෙත් ලංකාවේ දී පෙඩරල් යනු ඊළමට තවත් නමක් බව සිංහලයන් ගෙන් අති විශාල බහුතරය දන්නවා. සිංහලයන් ඊළමට පක්ෂ වන්නේ නැහැ.

x          ඔබ කියන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපති අපේක්ෂිකාව ලෙස පත් කර ගත්තේ පෙඩරල් දීම සඳහා බව ද ?

            ඔව් ජනතාව ඇයට ඡුන්දය දුන්නේ පෙඩරල් දීම සඳහා නොවෙයි. එහෙත් ඇය ජනාධිපති අපේක්ෂිකාව වූයේ විජාතික බලවේගවල අවශ්‍යතාව පරිදියි. ඔවුන් ගේ තක්සේරුව වූයේ පෙඩරල් ලබාගත හැක්කේ ශ‍්‍රී. ල. නි. ප. ප‍්‍රමුඛ ආණ්ඩුවකින් බවත් එහි දී ආණ්ඩුවේ නායකත්වය මතවාදී ව ඔවුන් සමග එකට සිටි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට හිමි විය යුතු බවත් ය. ඇයට විජාතික බලවේග විසින් හිමිකර දී ඇති එක ම කාර්යභාරය පෙඩරල් ලබා දීම පමණයි. පෙඩරල් ලබා දීමට නොහැකි වුවහොත් ඔවුන් ඇය ජනාධිපති ධූරයේ එතරම් කල් තබා ගන්න එකක් නැහැ. අනෙක් අතට යම් විධියකින් පෙඩරල් ලබා දුන්නොත් ඉන් පසු ව විජාතික බලවේග වලට ඇගෙන් වැඩක් නැහැ. එබැවින් පෙඩරල් ලබා දුන්නත් ඇය ඉවත් කෙරීමට විජාතික බලවේග ඉදිරිපත් වේවි.

මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් කියවිය හැකි ය. 

(https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)


නලින් ද සිල්වා

2016 අප්‍රේල් 28