Main Logo

Saturday 1 October 2016

මෙරට මුස්ලිම් සම්භවය


මෙරට මුස්ලිම් සම්භවය


මුස්ලිම් මිනිසුන් මෙරටට පැමිණියේ කවදා ද? කොහෙන් ද? ඔවුන් වත්මන් නැගෙනහිර පළාතට ගියේ කෙසේ ද? ඔවුන් අද වන විට වත්මන් නැගෙනහිර පළාතේ තම ආධිපත්‍යය පතුරවා ගෙන ඉන්නවා. අයිසිස් සාමාජිකයන් ද ලංකාවේ සිටින බව පැහැදිලියි. වත්මන් නැගෙනහිර පළාතේ දෙමළ ජනයා ද පැමිණියේ කොහෙන් ද කවදා ද යන ප්‍රශ්නත් සාකච්ඡා කළ යුතුයි. අප මේවා සාකච්ඡා කර නැතිවා නොවෙයි. එහෙත් ඒ කිසිවක් සමාජයට ගිය බවක් පෙනෙන්නට නැහැ. අදත් යන්නේ නැහැ. මේ ලිපි ලිවීමෙන් වැඩක් නැති බව පැහැදිලියි. ඒත් සංවිධාන ශක්තියක් නැති අප වැන්නන්ට කළ හැකි වෙනත් දෙයකුත් නැහැ. මේ ලිපි දෙමළ ජනයාට හෝ මුස්ල්ම් ජනයාට හෝ විරුද්ධව ලියැවෙන ඒවා නොවෙයි. ඒත් ඉතිහාසයේ සිදුවූයේ කුමක් ද කියන එක අප යම් විශ්වාසනීයත්වයක් ඇතිව දැනගත යුතුයි. අපට අවශ්‍ය දෙමළ හා මුස්ලිම් ජනයාට ව්‍යාජ ඉතිහාසයක් හිමිකර සිංහලයන්ට මෙරට හිමි තැන නැති කිරීම නොව, දැනටමත් සිංහලයන් ගොඩනගා ඇති ජාතියට ෙිමළ හා මුස්ලිම් ජනයා ද ඇතුළත් කරගන්නේ කෙසේ ද යන්න සොයා බැලීමයි.

මෙරට මුවර් මුස්ලිම් ජනයා කියන දෙයක් තමයි ඔවුන්  අරාබියෙන් මෙහි පැමිණි බව. ඔවුන් පැමිණියේ  අටවැනි සියවසේ පමණ බවත් කියනවා. අරාබියෙන් පැමිණි අය සිංහල කාන්තාවන් විවාහ කරගත් බවත් මුවර් මුස්ලිම් ජනයා ඔවුන්ගෙන් පැවත එන බවත් කියනවා. මෙය පට්ටපල් බොරුවක්. ඒත් පඬියන් ඒ ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. මා කලක් තිස්සේ අසන ප්‍රශ්නය නම් අරාබි බස කතාකරන පියවරුන්ගෙන් හා සිංහල කතාකරන මව්වරුන්ගෙන් පැවත එන්නන් දෙමළ බස කතාකරන්නේ කෙසේ ද යන්නයි. ඒ ප්‍රශ්නයටත් පඬියන්ට පිළිතුරු නැහැ. මුවර් මුස්ලිම් ජනයාටත් පිළිතුරු නැහැ. මා  බොහෝ විට ප්‍රශ්න අසන්නේ පිළිතුරු නැති බව දැන දැනමයි!

මෙරට මුස්ලිම්වරුන් දළ වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකියි. ඒ මුවර් මුස්ලිම් හා මැලේ මුස්ලිම් යනුවෙන්. තවත් මුස්ලිම් කොටස් හිටියත් ඔවුන් ඉතා සුළු පිරිස්. මැලේ මුස්ලිම් ජනයා පැමිණ ඇත්තේ අද ඉන්දුනීසියාව, මලයාසියාව කියන ප්‍රදේශයෙන්. ඔවුන් පැමිණ ඇත්තේ පෘතුගිසි ලන්දේසි කාලවල. ඔවුන්ගේ ජනවර්ගය මැලේ. අද ඔවුන් ක්‍රමයෙන් සිංහල බවට පත්වෙනවා. ඔවුන්ගේ ආගම ඉස්ලාම්. වැඩිකල් නොගොස් ඔවුන් සිංහල මුස්ලිම් යනුවෙන් හැඳින්වීමට හැකිවේවි. එය හොඳ ප්‍රවණතාවක්. සිංහල බෞද්ධ, සිංහල කතෝලික (රෝමන් කතෝලික නොවේ. රෝමන් කතෝලික යනුවෙන් කියන පිරිිස්වලට සිංහල කතෝලික වීමට කාලය ඇවිත්) මෙන් ම සිංහල මුස්ලිම් ජනයාත් සිටිය හැකියි.

ඒත් මුවර් මුස්ලිම් ජනයාගේ ජනවර්ගය කුමක් ද? ඔවුන්ගේ ජනවර්ගය අරාබි ද? මේ මුස්ලිම් ජනයාගෙන් ඇසුවොත් ඔවුන් කියාවි ඔවුන්ගේ ජනවර්ගය මුස්ලිම් කියා. ඒත් මුස්ලිම් කියන්නේ ඉස්ලාම් ආගම අදහන අයට. එය ආගමික අනන්‍යතාවක් මිස ජනවාර්ගික අනන්‍යතාවක් නොවෙයි. ඉන්දියාවේ මුස්ලිමුන් එක්කෝ දෙමළ මුස්ලිම් නැත්නම් මලයාලම් මුස්ලිම් ආදී වශයෙන් හැඳින්වෙනවා. මුවර් මුස්ලිම් යනුවෙන් හැඳින්වෙන මෙරට මුස්ලිම් ජනයාට ජනවාර්ගික අනන්‍යතාවක් නැද්ද?  

ඔවුන් තමන් අරාබියෙන් පැමිණි අය යැයි කියන එකේ ඇත්තක් තිබෙනවා. ඒත් මේ අරාබිකරයෙන් පිරිස් පැමිණ ඇත්තේ ලංකාවට නොව අද දකුණු ඉන්දියාව කියන ප්‍රදේශයට. අරාබියෙන් පැමිණ ඇති පිරිස් එසේ කර ඇත්තේ ලී ඔරුවලින්. ඒ ඔරුවලට   මරක්කර් ආදී නම් දෙමළ භාෂාවෙන් කියැවෙනවා. ඒ ඔරුවලින් පැමිණි අයගේ නායකයන්ට, ඔරු කපිතාන්ලාට මරෙයිකායර් යන්න යෙදිලා තියෙනවා. මෙය දෙමළ වචනයක්.

මේ අරාබීන් පාණ්ඩ්‍ය හා චේර රාජ්‍යවලට පැමිණ ඇත්තේ ක්‍රි ව 650-750 කාලයේ දී. අරාබීන් දෙමළ හා මලයාලම් කතාකළ කාන්තාවන් විවාහ කරගෙන තිබෙනවා. ඔවුන්ගෙන් පැවත එන්නන් දෙමළ හෝ මලයාලම් කතාකරනවා. මේ අරාබීන් පදිංචි ව ඇති ප්‍රදේශය මලබාර්. මලබාර් කියන්නේ කඳු ප්‍රදේශය කියන එකයි. ඒ ඉන්දියන් සාගරය (අරාබි මුහුද –- ඉන්දියන් සාගරයේ ඒ ඒ ප්‍රදේශ එක එක නම්වලින් හැඳින්වෙනවා. ලංකවේ පදිංචි වී ඇති දෙමළ ජනයා ඉන්දියන් සාගරය හඳුන්වන්නේ බෙංගාලි මුහුද ලෙස. තමලිනීගෙ පොතේ තියෙන්නෙ බෙංගාලි මුහුද කියන වචනය), හා බටහිර ගැට්ස් කඳුවැටිය අතර ප්‍රදේශයක්. මලබාර් කියන වචනය ඉංගිරිසින් මෙරට දෙමළ ජනයාටත් යොදා ගත්ත බව අමතක කරන්න එපා.

අරාබින් පදිංචි වුනු ඇතැම් ප්‍රදේශයක ජනයා මලයාලම් මිශ්‍ර දෙමළ භාෂාවක් කතාකරන්න ඇති බව පැහැදිලියි. ඒ චේර හා පාණ්ඩ්‍ය රාජ්‍ය සීමාවේ තිබූ ප්‍රදේශයක් වෙන්න ඕන. ලංකාවේ මුස්ලිම් ජනයා කතාකරන්නේ මලයාලම් වචන සහිත දෙමළ භාෂාවක්. ඒ යාපනයේ කතාකරන දෙමළවත් චෙන්නායිහි හරි මදුරෙයිහි හරි කතාකරන දෙමළවත් නොවෙයි. ලංකාවට මුස්ලිම් ජනයා පැමිණ ඇත්තේ දහහතරවැනි සියවසේ. ඒ පෘතුගීසීන් එන්න අවුරුදු සියයකට පමණ කලින්. අටවැනි සියවසේ නම් නොවෙයි. මේ විස්තර අන්තර්ජාලයෙන් ලබාගන්න පුළුවන්. මා කරන්නේ මේ විස්තර ඇසුරෙන් කතාවක් ගොතන එක පමණයි. බටහිර විද්‍යාවේ ඇත්තේ වියුක්ත කතන්දර පමණක් බව අමතක කරන්න එපා. මා ඉතිහාසය හා එවැනි විෂය සම්බන්ධයෙන් ගොතන්නේ සංයුක්ත කතා මිස පට්ටපල් බොරු වූ වියුක්ත කතා නොවෙයි.

ලංකාවට පැමිණි මුස්ලිම්වරුන් දෙමළ ජනවර්ගයක්. ඔවුන්ට මලයාලම් සම්භවයකුත් තිබෙන බව පැහැදිලියි. අවශ්‍ය නම් ඔවුන්ට මලයාලි දෙමළ කියන්නත් පුළුවන්. ඔවුන් ලංකාවට පැමිණි පසු ඔවුන්ගේ චේර පාණ්ඩ්‍ය සම්බන්ධකම් සම්පුර්ණයෙන් ම ලංකාවට ආදේශ කර තිබෙනවා. දහහතර වැනි සියවසේ ලංකාවට පැමිණි ඔවුන් අටවැනි සියවසක් ගැන කියන්නේ දෙමළ මලයාලම් අතීතය ආරෝපණයෙන්. අරාබීන් සිංහල ස්ත්‍රීන් සමග විවාහ වූ බව කියන්නේ අරාබීන් පාණ්ඩ්‍ය හා චේඑ ස්ත්‍රීන් සමග විවාහ වූ බව මෙරටට ගලප්පමින්. මරක්කල කියන සිංහල වචනය සමග ලී ඔරු සම්බන්ධ කරන්නේ මරක්කර වචනය සිහිගන්වමින්. සිංහලයේ ර ල ශබ්ද මාරුවෙනවා. අප ඉංග්ලිෂ් යන්න ඉංගිලිෂි කියා නොව ඉංගිරිසි කියා කියනවා. ඇතැම් පඬියන්ට ඒ බව නොතේරී ඉංගිලිෂියක් ගැන කියවනවා.  (මතු සම්බන්ධයි)



මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා
2016 ඔක්තෝම්බර් 01