Main Logo

Monday 24 October 2016

යුද්ධයෙන් බැරිනම්

යුද්ධයෙන් බැරිනම්


මා සිතාගෙන සිටියේ ඊයේ (ඔක්තෝම්බර් 23) මා ලියූ ලිපිය වැදගත් කියා. එය එසේ නොවන බව දැන් පැහැදිලියි. ඒ ලිපිය කිසිවකු බෙදාහදාගෙන (ෂෙයා කර) තිබුණේ නැහැ. මා ප්‍රතිචාර කියෙව්වේ නැතත් ලිපියට කැමැත්තක් දක්වන අය හා ලිපිය බෙදාහදා ගන්නා අය කවුරුන්දැයි සොයා බලනවා. මා සමග කිට්ටුවෙන් ම සිටින අය ලිපිවලට කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔවුන් ලිපි කියවන බවක්වත් පේන්න නැහැ. ඔවුන්ට එතරම් ම වැඩ! කලක් ලිපිවලට කැමැත්තක් දැක්වූ අය දැන් එසේ කරන්නේ නැහැ. එහි යම් දේශපාලන කුහකකමක් මා දකිනවා. මා වැරදි වෙන්න පුළුවන්. මගේ ලිපිවල එන්න එන්න අලුතෙන් යමක් නැතිවා වෙන්න පුළුවන්.

මා වැදගත් දෙයක් කියන්නේ නැතිව ඇති. අනෙක් අය කියන දේ මා පුනරුච්චාරණය කරනවා වෙන්න පුළුවන්. ජනමාධ්‍යකරුවන් මගේ කතාවල කිසිම වැදගත්කමක් දකින්නේ නැහැ. ඊයේ මා නුවර පැවැත් වූ රැස්වීමකට සහභාගි වුනා. මට පෙර අනුශාසනාවක් හා කතාවක් පැවැත්වුනා. මා කතාව පටන්ගත් විට ම ජනමාධ්‍යකරුවන් තම කැමරා ආම්පන්න අරගෙන යන්න සූදානම් වුනා. මට කණාගාටුවක් මෙන් ම කළකිරීමක් ද ඇතිවුනා. මා කියන දේට සතපහකවත් වටිනාකමක් නැති බව මට වැටහුණා. අවුරුදු තිස්පහක් පමණ ලිවීමෙන්, දේශන පැවැත්වීමෙන් පසු ජනමාධ්‍යකරුවන් යම් නිගමනයකට පැමිණ ඇති බව පේනවා. මුහුණු පොතේ ද ඒ නිගමනය මට දකින්න පුළුවන්.

මා ලියන්නේ කුමකට ද කාට ද යන ප්‍රශ්නය මට ඇතිවෙලා තරමක කල්.  ඊයේ පාන්දර ම නුවර යෑමට තිබුණු බැවින් ලිපිය ලිවීම සඳහා මා නැගිට්ටේ පාන්දර දෙකට පමණ. මා එසේ කළ යුත්තේ ඇයි? මා එසේ කරන්නේ ඇයි? මෙවැනි ප්‍රශ්නවලට මට පිළිතුරු නැහැ. මේ සියල්ලට මගේ ලිපි වැදගත් ය යන මෝඩ සිතිවිල්ලක් බලපානවා වෙන්න ඇති. ඊයේ ලිපියේ මා නිජභූමිය යනු කුමක්දැයි තේරුම් ගැනීමට උත්සාහ කළා. දේශපාලනඥයන්, පඬියන් ඇතුළු බොහෝ දෙනා නිජභූමිය ගැන කතාකරනවා.  නිජභූමිය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? පුද්ගලයකුගේ නිජභූමිය හා ජනවර්ගයක නිජභූමිය අතර වෙනස කුමක් ද? මා මේ ප්‍රශ්න අසන්නේත් ඔබ නොඅසන්නේත් මගේ තේරුම්ගැනීමේ දුර්වලකමක් නිසා වෙන්න ඇති. ජනවර්ගයක නිජභූමිය යනු කුමක් දැයි තේරුම් ගැනීමෙන් පසු මා පෙන්වා දුන්නේ මෙරට මුස්ලිමුන්ගේ නිජභූමියක් නොවන බව. සමහරවිට ඔබ ඒ බව කලින් ම දැන සිටින්නට ඇති. මා කී දෙය පරණ කතාවක් වෙන්න ඇති.

ඊයේ පැවති රැස්වීමේ දීත් මා ජනවර්ගයක නිජභූමිය යන්න මට තේරෙන විධියට ප්‍රකාශ කර මෙරට දෙමළ ජනයාගේ නිජභූමිය නොවන බව පෙන්වුවා. ඒ ප්‍රකාශයෙන් කිසිවකු නව දැනුමක් ලැබූ බවක් පෙනුනේ නැහැ. ඔවුන් සියල්ලන් ම මෙරට දෙමළ ජනයාගේ නිජභූමිය නොවන බව දැනසිටියා. මා මෝඩයකු පමණක් බව ඔවුන් නොකියා කිවුවා. මට දැන් කතා පැවැත්වීමට ආරාධනා නොලැබෙන්නේ ඒ නිසා වෙන්න ඇති. ඊයේ රැස්වීමට මට ආරාධනය කිරීම ගැන සංවිධායකයන් කණගාටුවනවා ඇති.

මා ඒ රැස්වීමේ දී දෙමළ ජාතිවාදී දේශපාලනය 1831 දී බෞතීස්ම කරන ලද බවත් එය විකාශය වී ඊනියා අසාධාරණකම්, නිජභූමි, සාකච්ඡා හරහා අවසානයේ දී ප්‍රභාකරන් ඇති වූ බවත් කියා සිටියා. එබැවින් නන්දිකඩාල්හි දී පැරදුණේ ප්‍රභාකරන් පමණක් නොව සමස්ත දෙමළ ජාතිවාදී දේශපාලනය ම බවත් කියා සිටියා. දෙමළ දේශපාලනඥයන් ප්‍රභාකරන්ගේ දේශපාලන හස්තය නොව ප්‍රභාකරන් දෙමළ දේශපාලනඥයන්ගේ සිංහල විරෝධී  ව්‍යාපාරයේ ආයුධගත් තැනැත්තා බවත් තවදුරටත් කියා සිටියා. එබැවින් ප්‍රභාකරන්ගේ පරාජයෙන් පසු දෙමළ ජාතිවාදී දේශපාලනය ම පරාජය වී ඇති බවත් අද කළ යුත්තේ නන්දිකඩාල්් දේශපාලන ජයග්‍රහණය ව්‍යවස්ථාවට ඇතුල් කිරීම බවත් කිවුවා. එහි තේරුම සාකච්ඡා අනවශ්‍ය පමණක් නොව දහතුන්වැනි සංශෝධනය අහෝසි කළ යුතු බවත් කිවුවා. මේ කරුණු මා කලක් තිස්සේ කියනවා.

එහෙත් මට පසුව කතාකළ අයකු කිවුවේ බොහෝ දෙනා කියන ආකාරයට ම යුද්ධයෙන් දිනාගන්න බැරි වූ දේ අද සාකච්ඡාවෙන් දිනාගැනීමට දෙමළ ජාතිවාදීන් කටයුතු කරන බව. මෙය මා කී දේට සම්පූර්ණයෙන් ම විරුද්ධයි. දෙමළ ජාතිවාදය බටහිරයන්ගේ නිර්මාණයක් බව ඔහු ප්‍රතික්‍ෂෙප කළා. දෙවැනුව ඊනියා යුද්ධය සාකච්ඡාවෙන් දිනගන්න බෑරි වූ දේ ආයුධ මගින් දිනාගැනීම සඳහා කළ දෙයක් බවත් ඔහු අමතක කළා. එබැවින් යුද්ධයෙන් දිනාගැනීමට නොහැකි වූ දේ සාකච්ඡාවෙන් දිනාගැනීමට යන බව කීම වැරදියි. දෙමළ ජාතිවාදයේ විකාශය අමතක කිරීමෙන් මෙවැනි කතා කියනවා. වී ඇත්තේ සාකච්ඡාවෙන් දිනාගැනීමට නොහැකි වූ දේ ඊනියා යුද්ධයෙනුත් දිනාගැනීමට නොහැකිවීම. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ඊනියා ප්‍රශ්නයක් නැහැ. දෙමළ ජාතිවාදයේ විකාශය ගැන මා අවුරුදු තිහක් පමණ කී දේ වතුරේ ගොස්. එහෙම නැත්නම් මා කියන්නේ බහුබූත.


මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද  කියවිය හැකි යි.
https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/

නලින් ද සිල්වා 
2016 ඔක්තෝම්බර් 24