Main Logo

Monday 26 December 2016

බුද්ධං සරණං ගච්ඡාමි

බුද්ධං සරණං ගච්ඡාමි


රනිල් වික්‍රමසිංහ මහානායක හිමිවරුන් හමුවීමට ගොස් ආපසු ඒමේ දී මාධ්‍යකරුවන් උන්වන්සේලා අනුශාසනා කළේ කුමක් දැයි අහලා. එය ඇසිය යුතු ප්‍රශ්නයක්. ව්‍යවස්ථා සංශෝධනයක් ගැන ආණ්ඩුව කතා කරන විට ඒ සඳහා ලාල් විජේනායක, ජයම්පති වික්‍රමරත්න වැනි සිංහල විරෝධී ඊනියා පංති සටන උසාවියේ කරන පුස් කෑ මාක්ස්වාදීන් යොදා ගනිමින් රට දෙකඩ කිරීමට පිඹුරුපත් සකස් කරන විට, මෙතෝදිස්ත භක්තිකයකු වූ සුමන්තිරන්  මෙරට තම රෝම ලන්දේසි අධිකරණයට අභියෝග කරමින් බටහිරයන්ගේ ම කොන්දේසි මත පිහිටු වූ ජූරි සභාවකින් රවිරාජ් ඝාතනය සම්බන්ධ විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීම ප්‍රශ්න කරන විට, දෙමළ ජාතීිවාදීන් සිංහල විරෝධි බටහිරයන්ගේ අවශ්‍යතාවට ප්‍රභාකරන් ඇතුළු ප්‍රභාකරන් ඇතුළු සිංහලයන් ඝාතනය කළවුන්ගේ සුසාන භූමි පුණ්‍යභූමි ලෙස නම්කිරීමට යෝජනා කරන විට, උතුරු හා නැගෙනහිර පළාත්වල බෞද්ධ සිද්ධස්ථාන ඩෝසර් යොදා ගනිමින් විනාශ කරන විට, මහා ඇමති විග්නේස්වරන් උතුරු පළාතේ බුදු පිලිම වහන්සේලා ඉදි කිරීමට විරුද්ධ වන විට එවැනි ප්‍රශ්නයක් ඇසීම කළ යුත්තක්. මේ සිංහල විරෝධී දෙමළ ජාතිවාදීන්ට අද මෙතරම් ශක්තියක් ලැබී ඇත්තේ රනිල් නිසා.

රනිල් එකී ප්‍රශ්නයට පිළිතුරු දෙමින් කියා ඇත්තේ මහානායක හිමිවරුන් තමන්ට බුද්ධං සරණං ගච්ඡාමි කී බවයි. රතන හිමිගෙන් ජාතිකත්වය දන්නා බවට සහතික ලැබූ රනිල් සංස්කෘතික වශයෙන් ජාත්‍යන්තරවාදී ඈංග්ලිකන් ක්‍රි්ස්තියානි සංස්කෘතියේ ජීවත් වන්නෙක්. ඔහු මෙවැනි ප්‍රකාශ විහිළු ලෙසත් තර්ජන ලෙසත් නොයෙක් අවස්ථාවල කරනවා. ඔහු තම දේශපාලන ජීවිතය පවත්වාගෙන යන්නේ උපායෙන් හා නීතියේ හිල්වලින් රිංගා යෑමෙන්. විසිපස් වතාවකටත් වඩා පැරදී එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය තබා ගැනීම ම එයට උදාහරණයක්. ඔහුට ජාත්‍යන්තරවාදයෙන් උපදෙස් ලැබෙනවා. රතන හිමියන්ට ඔහු බුද්ධිමතකු වෙන්න පුළුවන්. ඒ රතන හිමියන්ගේ මට්ටමෙන්. රනිල් බලයට ගෙනාවේ ජාතික හෙළ උරුමය නොවෙයි. ඔවුන්ට ඒ තරම් ශක්තියක් නැහැ. එහෙත් එහි දී ජාතික හෙළ උරුමය උඩුවියන් බැඳීමෙන් හා පාවඩ දැමීමෙන් ඒ පාප කර්මයට සහභාගි වුනා.

රනිල් එක් පැත්තකින් මහානායක හිමිවරුන්ට අපහාස කරනවා. මාධ්‍යවලට අනුව මල්වත්තෙන් හා අස්ගිරියෙන් රනිල්ට ප්‍රකාශ ලබා දී තිබෙනවා. එයට අස්ගිරි පාර්ශ්වයේ  මහානායක හිමියන් අත්සන් කර ඇති බව කියැවෙනවා. මල්වතු මහානායක හිමියන් අත්සන් කර ඇති බවක් කියැවෙන්නේ නැහැ. උන්වහන්සේට බුද්ධ ශාසනය පවත්වා ගෙන යෑමට අවශ්‍යතාවක් නැති බවක් පේන්න තියෙනවා. කොහොමටත් සුද්දන් මහානායක පදවි ඇති කෙළේ ඉංගිරිසි ආණ්ඩුවට ඔත්තු සැපයීමටත් එක්ක. මල්වතු මහානායක හිමියන් තමන් වහන්සේට ලැබී ඇති අක්ත පත්‍රය අනුව ම වැඩ කරනවා වෙන්න පුළුවන්. ඒ කොහොම වුනත් රනිල් කරන්නේ බුද්ධ ශාසනයට ම අපහාසයක්. හාමුදුරුවරුන් වැඩ වසන්නේ පන්සිල් දීම සඳහා පමණක් නො වෙයි. උන්වහන්සේලා ජනතාවට මෙන් ම රජුටත් (ජනාධිපතිටත් අගමැතිටත්) අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීමට ගැමුණු රජුගේ ව්‍යවස්ථාවෙනුත් බැඳී සිටිනවා. මෙහි ධර්මයෙන් මෙන් ම අර්ථයෙන් යන්නත් තිබෙන බව අවධාරණය කළ යුතුයි. අර්ථයෙන් යන්න ආර්ථිකය සමගත් රාජ්‍ය පාලනය සමගත් බැඳී තිබෙනවා. රනිල් මේ කිසිවක් ගණන් ගන්නේ නැති බව පැහැදිලියි. ඔහු පන්සල් යන්නේ නමට ද?

මෙරට සිටින බෞද්ධ යැයි කියා ගන්නා බොහෝ දෙනකුට බුදුදහම පිළිපැදීම හුදු චාරිත්‍රයක් ඉටු කිරීමක් පමණයි. බුදුදහම පිළිබඳ කෙතරම් පොතපත කියෙව්වත් බෞද්ධයකු වන්න බැහැ. බටහිර රටවල ඒ පොතපත කියවූ අය ඉන්නවා. ඒත් ඔවුන් බෞද්ධයන් නොවෙයි. ඔවුන් බොහෝ විට බටහිර නූතනත්වයට ඇතුළු කිරීමට බුදුදහම කපා කොටනවා. මෙරට විශ්වවිද්‍යාලවලට සම්බන්ධ ඊනියා බෞද්ධ උගතුන් කරන්නේත් එයයි. ඔවුන් නූතනත්වයේ ඉන්ද්‍රියානුභූතවාදයට බියෙන් දෙවියන්, සංසාරය, පුනබ්භවය ආදිය පිළිගන්නේ නැහැ. ඔවුන් බටහිර ජාත්‍යන්තරවාදී ක්‍රිස්තියානි ආධිපත්‍යයේ දාසයන් පමණයි. ඔවුන්ට බුදුන් වහන්සේට වඩා බටහිර උගතුන් විශ්වාසයි. ඔවුන්ට විචිකිච්ඡාව තිබෙනවා. ඔවුන්ට බෞද්ධයන් යැයි කියන්න බැහැ. ඔවුන් විචිකිච්ඡාව ඇති නිසා කාළාම සූත්‍රයේ පිහිට සොයනවා.

රනිල් ද බටහිර ජාත්‍යන්තරවාදී ක්‍රිස්තියානි ආධිපත්‍යයේ දාසයෙක්. ඔහුට පන්සිල් ගැනීම සිරිතක් පමණක් වෙන්න පුළුවන්. අද දේශපාලනයේ සිටින ඇතැම් අබෞද්ධයන් ද පන්සිල් ගන්නවා. අඩුම තරමෙන් පන්සිල් දෙන විට වැඳ ගෙන ඉන්නවා. රනිල් කරන්නේත් වැඳ ගෙන ඉඳීම පමණක් ද කියා දන්නේ නැහැ. ඒ කොහොම වුනත් රනිල් ජනමාධ්‍යවේදීන්ට ව්‍යංගයෙන්  කියා ඇත්තේ මහානායක හිමිවරුන්ගේ අනුශාසනා ඔහුට වැදගත් නැති බවයි. ඔහු ඇතැම් විට කර ඇත්තේ පන්සිල් සමාදම් වීම පමණයි. මහානායක හිමිවරුන්ගේ අනුශාසනා කණකින් කණකට ගන්නා නැති අගමැතිවරයකු අපට ඉන්නවා. රතන හිමි ඇතුළු ජාතික හෙළ උරුමය ඔහුට සහතික ලබා දෙනවා.  

රනිල් මහානායක හිමිවරුන්ට අපහාස කරන අතර උන්වහන්සේලා අර්ථයෙන් ධර්මයෙන් කරන අනුශාසනා බැහැර කරනවා. අපට අහන්න ඇත්තේ එක ප්‍රශ්නයක් පමණයි. මෙරට සිංහල බෞද්ධයන්ට ඔහු තවදුරටත් අගමැති ලෙස තබා ගැනීමට අවශ්‍ය ද?

 
මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 26