Main Logo

Friday 30 December 2016

පශ්චාත් සත්‍යය

පශ්චාත් සත්‍යය

පශ්චාත් සත්‍යය කියන සංකල්පය වසර කිහිපයක් පැරණි එකක්. ඒත් අපේ පඬියන් තවම එය භාවිතා කරනු දැක නැහැ. බටහිරයන්ගේ නොයෙකුත් පශ්චාත්තාප පශ්චාත් සංකල්ප මෙන් ම මෙයත් සිදුවෙමින් පවත්නා වෙනස්කම් තේරුම් ගැනීමට බැරුව සංස්කරණය කරන ලද තවත් පුහු සංකල්පයක්. මේ පුහු සංකල්ප අතර වඩාත් ම පුස්ස වන්නේ පශ්චාත්නූතනත්වයයි. බටහිරයන් පහළොස්වැනි සියවසේ අග සිට ක්‍රමයෙන් ගොඩ නගාගත් සංකල්පීය ලෝකය පසුගිය සියවසේ තුන්වැනි දශකයේ පමණ සිට කඩා වැටෙමින් පවතිනවා. මා නොයෙක් වර සඳහන් කර ඇති ආකාරයට ක්වොන්ටම් භෞතිකයේ අනිශ්චිතතා මූලධර්මය, ද්විත්ව සිදුරු පරීක්‍ෂණය හා ගණිතයේ ගර්ඩ්ල්ගේ අසම්පූර්ණතා ප්‍රමේය දෙක මෙහි දී වැදගත් කාර්යභාරයක් ඉටු කළා. මෙය අප එකතු කළ නව දැනුමක්.

මේ දැනුම් හා තවත් දැනුම් අප එකතු කෙළේ මගේ ලෝකයට පසුවයි. එහෙත් මෙරට සිටින අනුකාරක පඬියන් හිතන්නේ මගේ ලෝකයෙන් පසුව මගේ ලෝකයේ කිසිවක් සිදු වී නැත කියායි. පසුගිය අවුරුදු තිහ ඇතුළත එකතු වී ඇති දැනුම ලබා ගැනීමට පඬියන්ට ලිපි පන්දාහකට වැඩි සංඛ්‍යාවක් කියවන්න වේවි. මේ ලිපියේත් ඇත්තේ අලුත් දැනුමක්. මේ ලිපිවලට ප්‍රතිචාර දක්වන්නන් තම පඬිබව විදහා දැක්වීමට ඉක්මන් නොවනු ඇතැයි සිතනවා. නැතහොත් ඔවුන් පිල් විදහා ගත් මොණරුන්ගේ තත්වයට පත්වෙනවා. කොහොමටත් මා නම් මේ ප්‍රතිචාරවල ගත යුත්තක් දකින්නේ නැහැ.

බටහිරයන් පහළොස්වැනි සියවසේ නිර්මාණය කිරීමට පටන් ගත්තේ උගතුන්ගේ ලෝකයක්. එය ග්‍රීක උගතුන් සොක්‍රටීස්ගෙන් පසුව ගොඩ නැගූ ලෝකය වැන්නක්. ග්‍රීක උගතුන්ගේ ලෝකය රූපික (ෆෝමල්) ලෝකයක්. එය සාමාන්‍ය මීිනිසුන්ගේ හා වහලුන්ගේ ලෝකයක් නො වෙයි. ඇරිස්ටෝටල්ගේ රූපික න්‍යාය (ලොජික්) එහි පසුබිමේ වූවා. සාමාන්‍ය ග්‍රීකයන්ගේ හා වහලුන්ගේ ලෝකය වෙනත් ම ලෝකයක්. එය රූපික නොවන ලෝකයක් වූවා. එහි න්‍යාය ද්විකෝටික න්‍යාය නො වෙයි. එහෙත් ඔවුන්ට ත්‍රිකෝටික න්‍යායක් හෝ වෙනත් න්‍යායක් හෝ කිසිවකු සූත්‍රගත කර තිබුණේ නැහැ. ඔවුන් තම න්‍යාය කුමක් ද කියාවත් දැන සිටියේ නැහැ.

සාමාන්‍ය ග්‍රීකයන්ගේ හා වහලුන්ගේ ලෝකයේ ඊනියා පරස්පර තිබුණා. ඔවුන් නිගමනය (අපෝහනය –- ඩිඩක්ෂන්) ගැන උනන්දුවක් දැක්වූයේ නැහැ. ඔවුන්ට ද්විකෝටික න්‍යාය මත පදනම් වී තර්කයෙන් ලබාගත් ඊනියා සත්‍ය නිගමන තිබුණේ නැහැ. ග්‍රීක උගතුන් තම ලෝකය නිර්මාණය කර ගත්තේ අවට රටවල තිබූ දැනුම රූපිකකරණයට  හා ස්වසිද්ධාත්මක (ඇක්සියොමැටික්) විධික්‍රමයට  ලක් කිරීමෙන ලක් කිරීමෙන්. එය ප්‍රබල ක්‍රමයක්. විශේෂයෙන් ම න්‍යායෙහි හා ගණිතයෙහි ඔවුන් ඒ ක්‍රමය යොදා ගත්තා. එහෙත් ඒ විධික්‍රමයට අවුරුදු හාරසීයක් පසු කරන්න බැරි වුනා. 

ක්‍රිස්තු වර්ෂ තුන්සියෙන් පමණ පසු යුරෝපය පුරා කතෝලික චින්තනය ව්‍යාප්ත වුනා. එහි න්‍යාය වූයේ ත්‍රිකෝටිකයයි. මෙය ඉඩක් ලැබුණු විටෙක විස්තර කරන්නම්. එහි ඊනියා පරස්පර, එනම් ද්විකෝටිකයට අනුව පරස්පර, තිබුණා. එහෙත් සාමාන්‍ය ජනයාට එය තේරුම් ගැනීම ප්‍රශ්නයක් වූයේ නැහැ. සාමාන්‍ය මිනිසුන්ගේ ලෝකය හැමදාමත් ඊනියා පරස්පර සහිතයි. මෙහි දී අවධාරණය කළ යුතු කරුණ නම් මේ පරස්පර, පරස්පර වන්නේ ද්විකෝටික න්‍යායෙහි බවයි. ඉලෙක්ට්‍රෝනයක් එකවිට ප්‍රභින්න සිදුරු දෙකක් තුළින් යෑම පරස්පරයක් වන්නේ ද්විකෝටික න්‍යායේ මිස ත්‍රිකෝටික න්‍යායෙහි නො වෙයි. උගතුන්ගේත් සාමාන්‍ය මිනිසුන්ගේත් න්‍යාය ත්‍රිකෝටිකය ම වූවා. උගතුන්ට එක න්‍යායකුත් සාමාන්‍ය ජනයාට වෙනත් න්‍යායකුත් තිබුණේ නැහැ. කතෝලික චින්තනය එ අනුව නම් සජාතීයයි.

පහළොස්වැනි සියවසේ සිදු වූ චින්තන විප්ලවයෙන්  උගතුන් නැවතත් ද්විකෝටිකයට ගියා. ඒ චින්තන විප්ලවයට යුදෙවු වියුක්ත චින්තනයත්, සමස්තයෙන් පෞද්ගලිකත්වයට ගිය ක්‍රිස්තියානි චින්තනයත් ඇතුල් වූවා. එහෙත් සාමාන්‍ය මිනිසුන් අර තම ඊනියා පරස්පර ලෝකයෙහි ම ජීවත් වුනා.  උගතුන්ගේ ලෝකය ක්‍රමයෙන් ජාත්‍යන්තරවාදී වූවා. එය අටවැනි හෙන්රිගෙන් පසුව බිහි වූ ආගමික (ඊනියා ජාතික) රාජ්‍ය ඉක්මවා ජාත්‍යන්තර ආධිපත්‍යයක් ගොඩනගා ගත්තා. මේ ලෝකය කඩා වැටෙන්න පටන් ගත්තේ බටහිර භෞතික විද්‍යාවේ හා බටහිර ගණිතයේ. අද වන විට එය දේශපාලයටත් ව්‍යාප්ත වී තිබෙනවා.

අද ජාත්‍යන්තරවාදී ලෝකයට සාමාන්‍ය මිනිසුන් තම ආධිපත්‍යයට යට කර ගැනීමට බැරි වෙමින් පවතිනවා. සාමාන්‍ය මිනිසුන්ට ජාත්‍යන්තරවාදයට එරෙහිව ගොඩ නැගුණු ජාතිකත්වයක් අවශ්‍යයයි. ඔවුන් ඊනියා සත්‍ය ලබා ගන්නේ ජාත්‍යන්තරවාදයේ ද්විකෝටිකය හේතුවාදය ආදිය පදනම් කර ගනිමින් නො වෙයි. සාමාන්‍ය මිනිසුන්ගේ සත්‍යය ඇඟට දැනෙන එකක්. එය උගතුන්ගේ න්‍යායාත්මක සත්‍යයක් නො වෙයි. අද ජාත්‍යන්තරවාදයේ උගතුන්ට තේරුම් ගැනීමට නොහැකි වී ඇත්තේ එංගලන්තය යුරෝපා සංගමයෙන් ඉවත්වීම, ඇතැම් විට ප්‍රංශය ද ඉවත්වීමට සූදානම් වීම, ට්‍රම්ප්ගේ ජයග්‍රහණය ආදියයි. ඔවුන්ට ට්‍රම්ප් තේරුම් ගැනීමටත් බැහැ. ට්‍රම්ප් ක්‍රියාකරන ආකාරය පුරෝකථනය කිරීමට නොහැකි යැයි ඔවුන් කියනවා. ඔහු පරස්පර විරෝධී කතා කරන බවත් ඔවුන්ගේ මතයයි. ඒ ට්‍රම්ප් උගතුන්ගේ ලෝකයේ න්‍යාය අනුගමනය නොකරන බැවිනුයි.

බටහිර උගතුන් පශ්චාත් සත්‍යය (පෝස්ට් ට්රුත්) කියා හඳුන්වන්නේ මිනිසුන් ඇඟට දැනෙන ආකාරයකට සත්‍යය දැන ගැනීමයි. ඔවුන්ට අනුව ට්‍රම්ප් දිනුවේ පශ්චාත් සත්‍යය නිසයි. බ්‍රෙක්සිට් පශ්චාත් සත්‍යයේ ප්‍රතිඵලයක්. ඔවුන් මේ පශ්චාත් සත්‍යය කියා කියන්නේ ඊනියා ද්විකෝටික සත්‍යය කඩා වැටීමටයි. ඔවුන්ට ට්‍රම්ප් තේරෙන්නේ නැහැ. ඔවුන්ට නොබෙල් ත්‍යාගලාභී රිචඩ් ෆයින්මාන් පිළිගත් ආකාරයට ක්වොන්ටම් භෞතිකයේ ද්විත්ව සිදුරු පරීක්‍ෂණය තේරෙන්නේත් නැහැ. බටහිර උගතුන් අවුරුදු පන්සියක ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ සිරකරුවන්.



මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 30