Main Logo

Tuesday 27 December 2016

නිවන අත්කර ගැනීමට හැකි දෙයක් නො වේ

නිවන අත්කර ගැනීමට හැකි දෙයක් නො වේ

මා වුවමනාවෙන් නරඹන්නේ දෙරණ ප්‍රවෘත්ති හා දෙරණ අරුණ පමණයි. එහෙත් දෙරණෙහි ද වෙනත් නාළිකාවල ද ඇතැම් වැඩ සටහන් ද ඇහෙනවා, නැරඹෙනවා. පසුගිය නත්තල් දා ජාතික රූපවාහිනිය යැයි කියා ගන්නා ආණ්ඩුවේ රූපවාහිනියේ විකාශය වූ සිහිනයකි රෑ වැඩ සටහන පසු දිනෙක ඇහුණා. එහි සිරිල් ගාමිණී පියතුමා සඳහන් කළ කරුණක් පිළිබඳ ව ලියන්නේ එතුමා සමග අමනාපයකින් නො වේ. එතුමා තමාට වැටහෙන අයුරින් යමක් ප්‍රකාශ කළා. මා මෙහි දී ඒ ප්‍රකාශය කිරීම ප්‍රශ්න කරන්නේ නැහැ. මට අවශ්‍ය නිවන ගැන මට වැටහෙන දේ ප්‍රකාශ කිරීම පමණයි.

ඵියතුමා සඳහන් කෙළේ බුදුන් වහන්සේත් යමක් අත්හැරියේ තවත් යමක් අත්කර ගැනීමට බව. එතුමා කියා සිටියේ බුදුන් වහන්සේ සියල්ල අත්හැරියේ නිවන අත්කර ගැනීමට බවයි. ඇතැම් පඬියන් සිදුහත් කුමරු මිසිදිටුවකු, තම එකම පුතාට පියකු වශයෙන් කළ යුතු දේ නොකර පළා ගිය අයකු ආදී වශයෙන් කියන්නේ එක්කෝ පඬිකම ප්‍රදර්ශනය කිරීමට, නැත්නම් බුදුදහමට අපහාස කිරීමට. ඒ කරුණුවලට පිළිතුරු දිය යුතුයි. මා මෙවැනි දේට පමණක් නොව වෙනත් දේටත් අපේ ප්‍රවාද ගොඩ නගා පිළිතුරු දී තිබෙනවා. මෑතක දී මගේ ලිපි කියවීමට පටන් ගත් ඇතැමුන් හිතන්නේ මා අවුරුදු තිහකට වැඩි කාලයක් පොල් ගෑ බවයි. ඔවුන් කියන්නේ මා කළ යුත්තේ බටහිර විද්‍යාවට පහර ගැසීම නොව අපේ ප්‍රවාද ගොඩ නැගීම බවයි. මට කළ හැක්කේ ඔවුන්ට අනුකම්පා කිරීම පමණයි. අපේ ප්‍රවාද ගොඩ නැගීම අරඹමින් මා කියා ඇත්තේ අප සිංහල බෞද්ධ චින්තනය පදනම් කරමින් ප්‍රවාද ගොඩ නැගිය යුතු බවයි. මා මේ තරුණයන්ගෙන් කාරුණික ව ඉල්ලා සිටින්නේ පඬියන් වීමට උත්සාහ නොකර මා කර ඇත්තේ කුමක් ද කියා සොයා බලන ලෙසයි.

පියතුමා පඬි කතාවක් කළා යැයි මා සිතන්නේ නැහැ. පියතුමා නිවන ගැන කියා ඇත්තේ එතුමාට වැටහෙන අයුරින්. මා ද නිවන ගැන කියන්නේ මට වැටහෙන අයුරින්. මා නිවන පසක් කර නොමැති බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. නිවන අත්කර ගැනීමට හැකි දෙයක් නො වෙයි. කොටින් ම නිවන දෙයක් නො වෙයි. නිවන යනු නාම පදයක් ලෙස ගැනීම මෙලෙස නිවන දෙයක් ලෙස ගැනීමට ප්‍රධාන හේතුව. නිවන යනු ක්‍රියා පදයක් ලෙස ගැනීම වඩා නිවැරදි යැයි මා කියන්නේ නැහැ. නිවන නාම පදයක්වත් ක්‍රියා පදයක්වත් නොවෙයි. එහෙත් අවාසනාවකට අපට වචනයක් අවශ්‍යයි. එසේ නැතිව අපට සන්නිවේදනයක් කර ගන්න බැහැ.

නිවන අවකාශ කාලයෙහි පවතින දෙයක්වත් අවකාශ කාලයෙන් පිටත පවතින දෙයක්වත් නොවෙයි. එය නොපවතින දෙයක්වත් නො වෙයි. පවතින හා නොපවතින දෙයක්වත් නො වෙයි. පවතින්නේත් නැති නොපවතින්නේත් නැති දෙයක්වත් නො වෙයි. කෙටියෙන් කිවහොත් නිවන චතුස්කෝටික න්‍යායෙන් විනිර්මුක්තයි. නෙව සඤ්ඤා නා සඤ්ඤා බ්‍රහ්ම තලය චතුස්කෝටිකයට හසු වෙනවා. එහි සඤ්ඤා ඇත්තේත් නැහැ. නැත්තේත් නැහැ. ඉන්ද්‍රියානුභූතවාදීන් ආදි පඬියන් මේ ගැන සිතීම අවශ්‍ය නැහැ. ඔවුන් ඉන්නේ ඇරිස්ටෝටල්ගේ ද්විකෝටික න්‍යායෙහි. ඔවුන්ට මේ කිසිවක් තේරෙන්නේ නැහැ.

පියතුමා හොඳින් ම දන්නා පරිදි තොමස් ඇක්වයිනාස් සාන්තුවරයාණන් කතෝලික චින්තනය ඇරිස්ටෝටල්ගේ න්‍යාය සමග යම් ආකාරයකින් එකතු කිරීමට වෑයම් කළා. එහි දී සාන්තුවරයාණන් වෙනත් කතෝලික උගතුන්ගේ විවේචනයට හසු වුනා. සාන්තුවරයාණන් මේ කාර්යයයෙහි දී අසාර්ථක වුනා. එයට ප්‍රධාන හේතුව කතෝලික චින්තනය ත්‍රිකෝටික න්‍යාය ඇසුරු කිරීමත් ඇරිස්ටෝටලීය න්‍යාය ද්විකෝටිකය ඇසුරු කිරීමත්. මා ඒ දිනවල විශ්වවිද්‍යාලයේ දී මේ කරුණු සාකච්ඡා කළා. දෙවියන් වහන්සේ තමන් වහන්සේගේ පුත්‍රයාණන් වහන්සේ ලෙස ඉපදීම තේරුම් ගත හැක්කේ ත්‍රිකෝටික න්‍යායෙහි කියා මා විශ්වාස කරනවා. ඇරිස්ටෝටලීය න්‍යායෙන් එය තේරුම් ගැනීමට බැහැ. ක්වොන්ටම් භෞතිකයේ සුප්‍රසිද්ධ ද්විත්ව සිදුරු (ඩබල් ස්ලිට්) පරීක්‍ෂණය තේරුම් ගත හැක්කේත් ත්‍රිකෝටික න්‍යායෙන්. බටහිරයන්ට එය තේරුම්  ගැනීමට නොහැකි වීම පුදුමයක් නො වෙයි. බටහිරයන් ඇරිස්ටෝටලීය න්‍යායෙහි සිරකරුවන්. පියතුමා එදා සාකච්ඡාවේ දී නිවැරදිව ප්‍රකාශ කළාක් මෙන් යේසුස් වහන්සේ ආසියාතිකයෙක්. යුදෙවුවන් වියුක්ත චින්තනයක් අනුගමනය කළත් ද්විකෝටිකයක සිර වී සිටියේ නැහැ. පියතුමා ඇතුළු කතෝලික බැතිමතුන් මා ගැන වරදක් නොසිතනු ඇතැයි මා සිතනවා. සිංහල බෞද්ධයන්ට ක්‍රිස්තුස් වහන්සේ බෝධිසත්වයකු ලෙස සැලකීමට පුළුවන්. එසේ නොවූයේ කතෝලික ආගම ප්‍රධාන වශයෙන් ම යටත්විජිතවාදයත් සමග පැමිණි නිසා. මට තේරෙන විධියට කතෝලික ආගම ක්‍රිස්තියානි ආගම්වලින් වෙනස් වන්නේ චින්තනයෙන්.
චතුස්කෝටික න්‍යාය සිදුහත් කුමරු ඉපදීමට පෙර සිට ම මිනිසුන් දැන සිටියා. නිවන ඒ සියල්ලෙන් ම විනිර්මුක්තයි. මේ ලෝකය මනසේ නිර්මාණයක්. එයින් අදහස් කරන්නේ සියළු සංකල්ප මිනිසුන්ගේ නිර්මාණ බව මිස ඇතැම් පඬියන් සිතන පරිදි සියල්ල මනසෙහි පවතින බව නො වෙයි. මනසත් මනසේ නිර්මාණයක්. එය ද්විකෝටික න්‍යායෙන් තේරුම් ගන්න බැහැ. මිනිසුන් සංකල්ප නිර්මාණය කරනවා. අවිද්‍යාව ඇත්නම් සංකල්ප සංස්කරණය කෙරෙනවා. අප අත්කර ගන්නේ අවිද්‍යාව ඇති විට. මා නමැති ව්‍යාජය, සංකල්පය ඇති විට. මා ඇතිවිට තණ්හාව ඇතිවෙනවා. තණ්හාව ඇති විට අප අත්කර ගන්නවා.  අපට නිවනට තණ්හාවක් නැහැ. අවශ්‍ය නම් තණ්හාව නැති කිරීම නිවන කියා කියන්න පුළුවන්. නිවන අත්කර ගැනීමක් නො වෙයි. සියළු අත්කර ගැනීම් නැති කිරීම, මා යන්න බොරුවක් බව අවබෝධ කර ගැනීම නිවනයි. මනසක් යනුවෙන් දෙයක් නැති බව තේරුම් ගැනීම නිවන ලෙස කියන්න පුළුවන්. නැති මනස නැති මනස විසින් ම ඇති මනසක් බවට පත්කරගෙන. නැති මනස නැති මනසක් බව දැනගන්නේ කෙසේ ද? එය ඊනියා මනසකින් කරන්න බැහැ. සංස්කරණ නැති විට නිවන අවබෝධ වේවි. නිවන, නැති මනස නැති මනසක් බව අවබෝධ කර ගැනීමක් මිස දෙයක් අත්කර ගැනීමක් නො වෙයි.


මේ ලිපිය ද තවත් ලිපි ද  කාලය වෙබ් අඩවියෙන් ද කියවිය හැකි යි.
https://www1.kalaya.org

නලින් ද සිල්වා
2016 දෙසැම්බර් 27