Main Logo

Sunday 15 January 2017

ජාතික ව්‍යාපාරය හා ඒකාබද්ධ විපක්‍ෂය

ජාතික ව්‍යාපාරය හා ඒකාබද්ධ විපක්‍ෂය


පසුගිය දිනෙක අප සමග කලකට පෙර ජාතික ව්‍යාපාරයේ කටයුතුවලට සහභාගි වූ අයකු පින්කමක දී හමු වුනා. මා ඔහුගෙන් ඇසුවා ජාතික ව්‍යාපාරයේ වැඩ කටයුතු ගැන. ඔහු කීවා තමා ජාතික ව්‍යාපාරයේ පරිධියේ සිටින බව. මා ඔහුට පැවසුවේ මා ජාතික ව්‍යාපාරයේ පරිධියේවත් නැති බවයි. මා එයින් පැවසුවේ මා දැන් කිසිවක් නොකරන බව නො වෙයි. ජාතික ව්‍යාපාරයේ දැන් ඉන්න ප්‍රධානීන් මා කොන් කර ඇති බවයි. මා ලියන ලිපි පළ කිරීම පුවත්පත් සංස්කාරකවරුන් ප්‍රතික්‍ෂෙප කරනවා. අප පවත්වන සම්මන්ත්‍රණවලට මාධ්‍ය සාකච්ඡාවලට ජනමාධ්‍යයේ නිසි ප්‍රචාරයක් දෙන්නේ නැහැ. සමහරවිට මා කියන දේ එතරම් වැදගත් නොවනවා වෙන්න ඇති. පසුගිය පස්වැනි දා මගේ ද සහභාගිත්වයෙන් පැවැත්වූනු සම්මන්ත්‍රණයක් පිළිබඳ වාර්තාවක් කිසිදු මුද්‍රිත මාධ්‍යයක පළවූයේ නැහැ. විද්‍යුත් මාධ්‍යවලින් දෙරණ පමණක් ඉතා කෙටි වාර්තාවක් ප්‍රචාරය කළා.


නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු දෙමළ ජාතිවාදය පරාජය කර ඇති බව සහ දෙමළ ජාතිවාදයට කිසිවක් නොදීමට අප එහි දී දේශපාලන විසඳුමක් දුන් බව මාධ්‍යවේදීන් එක් අයකුට දෙදෙනකුට වඩා තේරෙන්නේ නැහැ. දේශපාලනඥයන් ද එසේමයි. කෙහෙළියට මේ කිසිවක් නොතේරෙන බව එකී සම්මන්ත්‍රණයෙන් පසු මා සමග කී දෙයින් පැහැදිලි වුනා. දිනේෂ් ගුණවර්ධන, වෙල්ගම, සරත් වීරසේකර හැරෙන්න අනෙක් බොහෝ අයට ඒ ගැන අවබෝධයක් නැහැ. නව ව්‍යවස්ථාවක් බිහි කිරීමට මේ ආණ්ඩුවට ජනවරමක් නැති බව කිහිප දෙනකු හැරෙන්න ඒකාබද්ධ විපක්‍ෂයේ උදවියවත් පිළිගන්නේ නැහැ. දහතුන්වැනි ව්‍යවස්ථාව නීති විරෝධී බව ආදී කරුණු රාශියක් මා රැස්වීම්වල දී පවසා ඇති නමුත් මාධ්‍යයෙන් තබා ජාතික ව්‍යාපාරයේ අයගෙන්වත් ප්‍රචාරයක් ලැබෙන්නේ නැහැ. ඔවුන් හිතනවා ඇත්තේ මා වැරදි බවයි. මා කියන කිසිම දෙයකට ජාතික ව්‍යාපාරයේ අබමල් රේණුවකවත් පිළිගැනීමක් නැහැ.

ජාතික ව්‍යාපාරය විවේචනය කිරීමට මගේ අදහසක් නැහැ. මා ඒ විවේචනය කළත් එය මේ පිටුවට පමණක් සීමා වෙනවා. එය කියවන පිරිස දහසකට අඩුයි. මා දැන් ජාතික ව්‍යාපාරය ගැන දැනගන්නේ අනෙක් අයගෙන්. ඇතැම් විට මට ලැබෙන තොරතුරු වැරදි වෙන්න පුළුවන්. මා ඊයේ සඳහන් කළා ජී එල් ජාතික ව්‍යාපාරයේ කැඳවුම් කරු බව. එය වැරදීමක්. ඒ ගැන කණගාටු වනවා. එය වැරදි බව එක් අයකුත් කියා තිබුණා. ඔහු කියන අන්දමට සරත් වීරසේකර ජාතික සංවිධානවල කැඳවුම්කරු. ජී එල් හා කෙහෙළිය “ජාතික සංවිධාන එක්ක සම්බන්ධීකරණ කරන්න ඒකාබද්ධ විපක්ෂය පැත්තෙන් දාල තියෙන්නේ      ( ඒ නම් කිරීම කළේ මහින්ද)”. එයත් ඇත්ත නො වෙයි. සරත් වීරසේකර ජාතික සංවිධානවල කැඳවුම්කරු ලෙස පත්කරගෙන තිබෙනවා. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය ජාතික සංවිධාන එක්ක සම්බන්ධිකරණයට කාවත් පත්කර නැහැ. මහින්ද රාජපක්‍ෂත් එහෙම නම් කරලා නැහැ. දිනක් ජාතික සංවිධාන මහින්ද හමු වූ විටක ඔහු කෙහෙළියට පවසා තිබෙනවා ජාතික සංවිධාන එකතු කිරීමට. ජාතික ව්‍යාපාරයේ වෙනත් අය කියන විධියට එය පත්කිරීමක්වත් නම්කිරීමක්වත් නො වෙයි. මහින්ද හමුවේ දී කෙහෙළියත් පවිත්‍රාත් එතැන සිටි බැවින් මහින්ද කෙහෙළියට එසේ කියා තිබෙනවා. පසුව කෙහෙළිය ජී එල්ගේ නිවසට ජාතික සංවිධාන නියෝජිතයන් කැඳවා තිබෙනවා. එපමණයි. එහෙත් සමහර විට ජාතික සංවිධානවල ඇතැමුන් ජී එල් හා කෙහෙළිය සම්බන්ධීකරුවන් ලෙස හිතනවා ඇති. එසේත් නැත්නම් එසේ සැළකීමට හිතනවා ඇති.

කෙසේ වෙතත් මගේ ප්‍රකාශයෙන් සරත් වීරසේකරට සිත් තැවුළක් වී නම් මා ඒ ගැන කණගාටු වෙනවා. ඒත් ජී එල් හා කෙහෙළිය ගැන මට ප්‍රශ්න තිබෙනවා. මා එ සඳහන් කරන්නේ ජාතික ව්‍යාපාරයට අමතක වූ දෙයක් මතක් කිරීමට පමණයි. ජාතික ව්‍යාපාරයේ හතර මායිමට නොගන්නා මට ඔවුන්ට කිසිම බලපෑමක් කරන්න බැහැ. ජී එල් පසුගිය දා කළ ප්‍රකාශයක් ගැන පීරිස් හා පීරිස් යනුවෙන් මා ලියූ ලිපියකින් ඔහුට පින් දුන්නා. එහෙත් ඔහු චන්ද්‍රිකාගේ පැකේජ් ව්‍යාපාරයේ ප්‍රධානියකු බව අමතක කරන්න බැහැ. ඔහු තම අදහස් වෙනස් කරගෙන ඇතැයි යමකු කියන්න පුළුවන්. එහෙත් ඒ එසේ වුවත් ඉතා සුළු වශයෙන් විය යුතුයි. ඔහු ප්‍රසිදාධියේ ඒ බවක් කියා තිබෙනවා ද?  පසුගිය දා සමගාමී ලැයිස්තුව අස්කර ගැනීමට එකඟ වෙමින් අදාළ පුද්ගලයන්ට ලිපියක් භාර දී ඇත්තේ ජී එල් හා කෙහෙළිය. එය දෙමළ ජාතිවාදීන්ගේ මනදොළ පිනවීමක්. ජාතික සංවිධාන ඒ දෙදෙනාගෙන් එ සම්බන්ධ ව ප්‍රශ්න කර ඇති බවක් මා දන්නේ නැහැ.

මා නම් පළමුව කරන්නේ ඔවුන්ගෙන් ඒ ගැන කරුණු විමසීමයි. ඔවුන්ට එසේ ලිපියක් භාරදීමට යමකු පැවරුවා ද? එසේ නම් ඒ කවු ද? එසේත් නැත්නම් ඔවුන් කිසිවකුගෙන් නොවිමසා ඒ ලිපිය භාර දුන්නා ද? ඒකාබද්ධ විපක්‍ෂය මේ ලිපිය ගැන තීරණයක් ගත්තා ද? මට නම් ඒ කරුණු සහ තවත් කරුණු දැන ගැනීමට අවශ්‍යයි. ඇතැමුන් සිතනවා ඇති ඒ අනවශ්‍ය ප්‍රශ්න බවත් දැන් කළ යුත්තේ සමගියෙන් වැඩ කිරීම බවත්. එහෙත් අප මෑත ඉතිහාසයේ ඉතාමත් ම තීරණාත්මක අවස්ථාවේ පසුවන්නේ. අප හැකිතාක් අවංක විය යුතුයි. ජාතික සංවිධානවලට අද දේශපාලන පක්‍ෂ නැතිව ජනතාව සංවිධානය කරන එක අමාරු දෙයක් බව මා පිළිගන්නවා. එහෙත් අප යන්නේ කොහේ ද යන්න ගැන අපට වැටහීමක් තිබිය යුතුයි.

අනූවේ දශකයේ අප ජාතික ඒකාබද්ධ කමිටුව නමින් සංවිධානයක් පිහිටුවා ගත්තා. මේ පිළිබඳ විස්තර ජාතික සංවිධානවල ඇත්තන්ට පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන්ගෙන් දැනගත හැකියි. ඒ සංවිධානයෙන් සිංහල කොමිසම නමින් කොමිසමක් පත්කෙරුනා. එහි වාර්තාවේ සන්ධීය රාජ්‍යයක් නිර්දේශ කර තිබුණා! අප එයට විරුද්ධ වුනා. ජාතික ඒකාබද්ධ කමිටුවේ මාදොළුවාවේ සෝභිත හිමියන් ද කටයුතු කළා. කමිටුව නාලක හිමියන් හා මා කමිටුවෙන් අස් කළා! මේ පිළිබඳ විස්තර නාලක හිමියන්ගෙන් හා පූජ්‍ය ඕමාරේ කස්සප අනුනාහිමියන්ගෙන් දැනගන්න පුළුවන්. පසුගිය දා හම්බන්තොට දී ආණ්ඩුච පොලීසිය ලවා හාමුදුරුවරුන්ට පහර දුන්නේ කස්සප හිමියන් සත්‍යක්‍රියා ප්‍රකාශය කියවීමට පටන් ගත් අවස්ථාවේ දී. අද ජාතික සංවිධානවල ඉන්න බොහෝ දෙනකු  සිංහල කොමිසම කාලයේ හිටියේ නැහැ. ඒ ගැන දන්නේත් නැහැ. අප එකල චන්ද්‍රිකාගේ පැකේජය පරාජය කළා. එහි දී නාලක හිමියන්ගෙන්, කස්සප හිමියන්ගෙන් හා වෛද්‍ය කමලදාසගෙන් වූ සේවය අද ජාතික ව්‍යාපාරයේ ඉන්නා බොහෝ දෙනකු දන්නේ නැහැ.  උන්වහන්සේලා දෙනම දිගින් දිගටමත් කලකට පසු කමලදාසත් ජාතික ව්‍යාපාරයේ නිරත වීම ගැන මා සතුටු වෙනවා.     

මා මේ කරුණු සඳහන් කරන්නේ ජාතික ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට නො වෙයි. රටේත් ජාතියේත් ආගමේත් යහපතට අප පරෙස්සම් විය යුතු බව කීමටයි. ඒකාබද්ධ විපක්‍ෂය මා කී නිසා රනිල්ගේ කුට ව්‍යවස්ථා මණ්ඩලයෙන් අස්වන එකක් නැහැ. ඔවුන්ට ව්‍යවස්ථා මණ්ඩලයේ ඊනියා මෙහෙයුම් කමිටුවෙන් පත්කෙරුණු අනුකමිටු වාර්තා හයවත් තාම ප්‍රතික්‍ෂෙප කිරීමට බැරි වෙලා තියෙනවා. එය දිනේෂ් ගුණවර්ධනගේ වරදක් නො වෙයි. ඒකාබද්ධ විපක්‍ෂයේ තවමත් පැකේජය සඳහා චන්ද්‍රිකා වෙනුවෙන් සුදු නෙළුම් ගෙන අවලම් තවලම් ගිය අය ඉන්නවා. ඇති සිංහල ජාතිය අමතක කර නැති පංතියක් ගැන කතාකරන රෝස සමාජවාදීන් ද සිටිනවා. ඔත්තු සේවාවල අය ද නැතිවා නො වෙයි.


මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.
https://www1.kalaya.org
නලින් ද සිල්වා
2017 ජනවාරි 15