Main Logo

Monday 23 January 2017

දණ්ඩ නීති සංග්‍රහය අහෝසි කරමු

දණ්ඩ නීති සංග්‍රහය අහෝසි කරමු

සමලිංගික ක්‍රියා අපරාධ නොවන බවට නීති පනවන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් යටතේ යුරෝපා සංගමයෙ ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති බවට වාර්තා වුනා. ජී එස් පී + සහනය ලබා දීම සඳහා එයත් එක් කොන්දේසියක් ලෙස ඉදිරිපත් වූ බව කියනවා. එය කුප්‍රසිද්ධ කොන්දේසි විසිහතෙන් එකක් ද කියා දන්නේ නැහැ. මේ කොන්දේසි හෝ එවැනි කොන්දේසි හෝ රාජපක්‍ෂ ආණ්ඩුවටත් ඉදිරිපත් කෙරුණු නමුත් ඒ ආණ්ඩුව ඒ සියල්ල ප්‍රතික්‍ෂෙප කර තිබෙනවා. රාජපක්‍ෂ ආණ්ඩුව ගෙදර යැවීමට යුරෝපා සංගමයත් කටයුතු කළා.


යුරෝපා සංගමයෙන් ජී එස් පී + ලබා ගැනීම ඔවුන් ආණ්ඩුව කෙරෙහි වූ මහත් විශ්වාසයකින් කෙරෙන්නක් ලෙස පෙන්නීමට මැති ඇමතිවරුන් උත්සාහ ගන්නවා. එහෙත් ඔවුන් ඒ පිටුපස ඇති කොන්දේසි කියන්නේ නැහැ. කොන්දේසි විසිහතක් තිබෙන බව නම් ඇතැම් ඇමතිවරුත් කියනවා. මගේ පළමු ප්‍රශ්නය ජී එස් පි + සහනයෙන් ලංකාවට කොපමණ මුදලක් ලැබෙනවා ද යන්න යි. දෙවැන්න ඔය කියන කොන්දේසි ඉටු කළහොත් ලංකාවට වන පාඩුව කුමක් ද යන්නයි. පාඩුව ආර්ථික වශයෙන් පමණක් නොව  සංස්කෘතික හා දේශපාලනික වශයෙන් ද ගණන් බැලිය යුතුයි. කොන්දේසි ඉටු කිරීම මගින් අප ජාත්‍යන්තර සුපිරිව්‍යුහයේ ආධිපත්‍යයට කොතරම් යටවෙනවා ද? එය අපේ ස්වෛරීභාවය කෙතරම් හීන කරනවා ද? එය මිළ කළ හැකි ද? අපේ නිදහස නැති කරගෙන හෝ අඩු කරගෙන හෝ අපට මුදල් අවශ්‍ය ද?

සංස්කෘතික වශයෙන් වන හානිය ගණන් බලන්නේ කෙසේ ද? කොන්දේසි එකින් එක ගෙන එමගින් සිංහල බෞද්ධ සංස්කෘතිය පළුදු කෙරෙන්නේ කෙසේ ද යන්න සොයා බැලිය යුතුයි. අප බලා ඉන්දැද්දී ජනමාධ්‍ය, විශ්වවිද්‍යාල,  සිවල් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන ආදිය සිංහල බෞද්ධ සංස්කෘතිය ජාත්‍යන්තර සුපිරිව්‍යුහයේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයට යට කරනවා. ඔවුන් එය කරන්නේ නවීකරණය, ගෝලියකරණය, අනාගමිකකරණය ආදී විලාසිතා නම් යොදා ගනිමින්. ඒ අතර ට්‍රම්ප් බයිබලය මත අත තබාගෙන දිවුරුම් දෙනවා. එය වරදක් නො වෙයි. ඒ රාජ්‍යය ආගමික රාජ්‍යයක් බව ඊනියා අනාගමික පඬියන් කියන්නේ නැහැ. වරද ඒකයි. එයට අමතර ව යුරෝපා සංගමයේ කොන්දේසි නිසා සිදුවන සංස්කෘතික හානිය අධ්‍යයනය කළ යුතුයි. සංස්කෘතික හානියක් වේ නම් එය මිළ කළ නො හැකියි. ජී එස් පි+ නිසා ලැබෙන තුට්ටු දෙකකට අප මේ සියල්ල නැති කර ගන්නවා ද?

මෙහි තවත් පැත්තක් ද තියෙනවා. සමලිංගික කටයුතු යුක්ති යුක්ත කරන්නන් පවසන්නේ ඇතැමුන් සමලිංගිකයන් වන්නේ මොළයේ ඇති වෙනසක් නිසා බවයි. යුක්ති යුක්ත කරන්නන්ට අනුව ඇතැමුන්ගේ මොළය සකස් වී ඇති ආකාරය අනුව ඔවුන් විරුද්ධ ලිංගිකයන් වන අතර තවත් අයගේ මොළය සකස් වී ඇති ආකාරය අනුව ඔවුන් සමලිංගිකයන් වනවා. මේ යුක්ති යුක්ත කරන්නන් පවසන්නේ මොළය සකස් වී ඇති ආකාරය අනුව සමලිංගිකයන් කටයුතු කරන නිසා එසේ කිරීම වරදක් හෝ විකෘතියක් හෝ නොවන බවයි. සමලිංගික ක්‍රියා අපරාධ නොවන බවයි.

මෙහි දී ප්‍රශ්න ගණනාවක් ම පැන නගිනවා. මෙය යුරෝපා සංගමය සමග කටයුතු කරන මංගල සමරවීරගේ විදේශ කටයුතු අමාත්‍යාංශයටවත් අගමැති කාර්යාලටවත් අයත් ප්‍රශ්නයක් නොව එයට වඩා බොහෝ දුර දිග යන ප්‍රශ්නයක්. බටහිර විද්‍යාවත් මෙහි දී ප්‍රශ්න කෙරෙනවා. සදාචාරය කුමක් ද එය සංස්කෘතියට සාපේක්‍ෂ වන්නේ කෙසේ ද ආදී ප්‍රශ්නත් මෙයට අදාළයි. මිනිසුන්ට තමන්ගේ ම වූ තීරණ ගත හැකි ද? චේතනාව, චේතනාන්විතය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?

මේ එකක්වත් කෙටියෙන් සාකච්ඡා කරන්න බැහැ. එමෙන් ම ඒ ප්‍රශ්න අතර සම්බන්ධකම් ද තිබෙනවා. එහෙත් එයට කලින් ප්‍රශ්නයක් ඇසිය යුතුයි. එකිනෙකාගේ මොළ වෙනස් ආකාරයෙන් සැකසී ඇත්තේ ඇයි? එයට බටහිර විද්‍යාව දෙන පිළිතුර මොකක් ද? මොළය පැත්තකින් තබන්න. කලකට පෙර 1980 දෙසැම්බර් 12 වැනි දා බටහිර විද්‍යාවේ ප්‍රධාන ම සඟරා දෙකෙන් එකක් වන සයන්ස් සඟරාවේ පළ වූ ලිපියක මොළය යන අවයවය නැති අයකු ගණිතය පිළිබඳ ප්‍රථම පංතියේ උපාධියක් දිනා ගැනීම පිළිබඳ විස්තරයක් පළ වූවා. මා දන්නේ නැහැ ඔහු කවර වර්ගයක ලිංගිකත්වයක් තිබූ අයකු ද කියා. අගමැති කාර්යාලයට හෝ විදේශ අමාත්‍යාංශයට හෝ විද්‍යා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට හෝ මෙරට සිටින විවිධ විද්‍යාඥයන්ට හෝ ඒ ගැන සොයා බැලිය හැකියි. අපේ අවයව ඒ ඒ ආකාරයෙන් සැකසී ඇත්තේ ඇයි? බටහිර විද්‍යාව එහි දී දෙමව්පියන් ගැන ජාන ගැන ඩී එන් ඒ ගැන කතා කරාවි. ප්‍රශ්නය වන්නේ ඒ දෙන පිළිතුරුවලට හේතු කවරේ ද යන්නයි. අප හේතු අසන්නේ බටහිරයන් හේතු ගැන කතා කරන නිසා.

බටහිර විද්‍යාව පදනම් වන්නේ ද්‍රව්‍යවාදී දර්ශනයක් මත. ඔවුන්ට අනුව මනස යනු මොළයේ ක්‍රියාකාරීත්වය නිසා ඇතිවන ප්‍රපංචයක්. වෙනත් අයුරකින් කියනවා නම් ඔවුන් මනස මොළයට ඌනනය කරනවා. පොඩි ප්‍රශ්නයක්. අර ගණිතය පිළිබඳ ප්‍රථම පංතියේ උපාධියක් දිනාගත් අයට මනසක් නැද්ද? මනස මොළයට (ද්‍රව්‍යයට) ඌනනය වන්නේ නම් අපේ ක්‍රියාකාරකම් ගැන අප වග කියන්නේ නැත් ද? අප ක්‍රියා කරනවා යන්න ම තේරුමක් නැති ප්‍රකාශයක් ද?  මනස යනු මොළයේ ක්‍රියාකාරීත්වය නම් මනසත් ද්‍රව්‍යවාදී වෙනවා. එවිට මනස කියන්නේ බාහිරව හා අභ්‍යන්තර ව මොළයට ඇති කරන සංජානනවලට මොළය දක්වන ප්‍රතිචාර පමණයි. මෙහි බටහිර දර්ශනය අනුව සංජානන මනසෙන් ස්වායත්තයි. එවිට සංජානනවලට මොළය දක්වන ප්‍රතිචාරත් මනසෙන් ස්වායත්තයි. කෙටියෙන් කියන්නේ නම් ද්‍රව්‍යයෙන් තොර මනසක් ඇත්තේ නැහැ. මෙය මනස යනු මනසේ ම නිර්මාණයක් යන්න සමග පටළවා ගන්න එපා. මනස යනු මොළයේ ප්‍රතිචාර නම් චේතනා ද මොළයේ ප්‍රතිචාර පමණයි.

සමලිංගික ක්‍රියා යුක්ති යුක්ත කරන්නන්ට අනුව සමලිංගකයන් එවැනි ක්‍රියාවල නිරත වන්නේ  මනස සකස් වී ඇති ආකාරය නිසයි. ඒ ක්‍රියා ඔවුන්ට උත්පත්තියෙන් ම ලැබී තිබෙනවා. එබැවින් එවැනි ක්‍රියාවලට දඬුවම් දීම, ඒවා අපරාධ ලෙස සැළකීම වැරදි බවයි ඒ ක්‍රියා යුක්ති යුක්ත කරන්නන් පවසන්නේ. මේ තර්කය ද්‍රව්‍යවාදීයි. සමලිංගික ක්‍රියා අපරාධ ගණයේ ලා සැළකිය නොහැකි බවයි ඔවුන් පවසන්නේ.

මේ තර්කයත් මනස යනු මොළය දක්වන ප්‍රතිචාර පමණක් බවත් සැළකුවොත් එවිට චේතනා ද නැතිවෙනවා. එනම් චේතනාන්විත ව කරන ක්‍රියා ද නැතිවෙනවා. එසේ නම් අපරාධයක් හඳුනා ගන්නේ කෙසේ ද? යමකු මිනිසකු මරන්නේ හුදෙක් මොළය යම් සංජානනවලට දක්වන ප්‍රතිචාරයක් ලෙස ද? යම් යම් අයගේ මොළය සකස් වී ඇති ආකාරය අනුව ඒ ඒ සංජානනවලට මොළය ඒ් ඒ ලෙස  ප්‍රතිචාර දක්වනවා ද? අයකු මෛත්‍රි කරන විට වෙනත් අයකු මිනී මරණවා. මෛත්‍රී කිරීමත් මිනී මැරීමත් මොළය සකස් වී ඇති ආකාරය අනුව සිද්ධ වෙනවා.  එසේ නම්, අප චේතනාන්විත ව ක්‍රියා නොකරන්නේ නම්, වරදක් යනු කුමක් දැයි නිර්වචනය කරන්නේ කෙසේ ද? අප දණ්ඩ නීති සංග්‍රහය අහෝසි කළ යුතුයි. සමලිංගික ක්‍රියා අපරාධ නොවන්නේ නම් මිනී මැරීමත් අපරාධයක් වන්න බැහැ. මොළය සකස් වී ඇති ආකාරයට වග කියන්නේ කවු ද? එයට දඬුවම් කරන්නේ කෙසේ ද? කාට ද? මිනි මැරීමට වරද කරුවා ජාන ද නැත්නම් කැකිල්ලෙ රජ්ජුරුවො ද?



මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.

https://www1.kalaya.org

නලින් ද සිල්වා
2017 ජනවාරි 23