Main Logo

Saturday 28 January 2017

රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරමු

රනිල් අගමැති ධුරයෙන් ඉවත් කරමු


ඊයේ නුගේගොඩ දී පෙරළියක ඇරඹුම අතිවිශාල ජනකායක් මැද පැවැත්වුනා. ඒ ජනකාය 2015 පෙබරවාරියේ දී නුගේගොඩ පැවති රැස්වීමට එකතු වූ ජනකායට වැඩියි. මේ අතිවිශාල ජනකායට ලැබුණු පණිවුඩය කුමක් ද යන්න ගැන විවිධ කතා තියෙන්න පුළුවන්. බොහෝ මාතෘකා යටතේ කතා පැවැත්වුනා. නව ව්‍යවස්ථාව ගැනත් ව්‍යවස්ථා සංශෝධන ගැනත් කතා කළා. එහෙත් පැහැදිලි මතයක් ප්‍රකාශ වුනේ නැහැ.


ජාත්‍යන්තර සුපිරිව්‍යුහය විසින් මේ ආණ්ඩුව පිහිටුවනු ලැබුයේ එකම එක කාරණයකටයි. ඒ දෙමළ ජාතිවාදයට කප්පන් දෙන දෙමළ ජාතිවාදීන්ගේ මනදොළ සපුරාලන සිංහල විරෝධී රට දෙකඩ කරන සහසන්ධීය රාජ්‍යයක් පිහිටුවීමට ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට. අනෙක් සියල්ල අතිරේක කරුණු පමණයි. ආණ්ඩුවට ආධාර දෙන්නකු නැති වුනා ම කලින් බැණ බැණ සිටි චීනයට රුහුණු රටින් කොටසක් විකුණන්න සිදු වුනා. ඉන්දියාව සැනසීමට එට්කා ගිවිසුම අත්සන් කර ත්‍රිකුණාමල වරාය පැවරීමට සිදුවෙලා. ඔය මොනවා දුන්නත් කියන තරම් රැකියා ඇති වන්නේ නැහැ. චීනුන් හා ඉන්දියානුවන් වැඩි පිරිසකට නම් රැකියා ලැබේවි. අන්තිමට අපට රැකියාත් නැහැ. රටත් නැහැ.

මේ ආණ්ඩුවට බටහිර රටවල විශේෂ ප්‍රසාදයක් නැහැ. ආණ්ඩුව කියන විධියට නොව ජී එස් පී + වැනි සොච්චම් සහන ලැබෙන්නේ  ඔවුන්ගේ කොන්දේසිවලට ආණ්ඩුව යටත් වෙන නිසා. ඒ සහන දීමට මංගලගේ හරි රනිල්ගේ හරි තියෙන විශේෂ දක්‍ෂතා මොනවා ද? කොණ්ඩෙ බැඳපු චීනුන්වත් ආණ්ඩුව කියන දේට රැවටෙන්නේ නැහැ. ජී එස් පි + සොච්චම ලබා ගැනීමටත් ආණ්ඩුවට බොහෝ දේ නැති කර ගන්න සිද්ධ වෙනවා.

එහෙත් ප්‍රධාන කාරණය ව්‍යවස්ථාවයි. නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුවට ජනවරමක් ලැබුණේ නැහැ. එක්සත් ජනතා නිදහස් සංධානය අගෝස්තු මැතිවරණයට ඉදිරිපත් වූයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට පමණයි. එහිදීත් ඔවුන් කීවේ ජනාධිපති ක්‍රමය හා මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම පිලිබඳ ව මිස දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට එහා යන සංශෝධන ඉදිරිපත් කිරීමට නො වෙයි.

පෙරළියක ඇරඹුම යනු ආණ්ඩුව පරාජය කිරීම ආරම්භයක් මිස වෙන දෙයක් නො වෙයි. අද පවතින්නේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුවක්. මෛත්‍රිපාලට අවශ්‍ය ඇතැම් දේ කරනවා. ඒ  ජනමතයක් ඇති විට මෛත්‍රිපාලට රනිල් අභිබවා යෑමේ ශක්තිය ලැබුණු විට. මෛත්‍රිපාලටවත් ඔහුගේ මැති ඇමතිවරුන්ටවත් අද ඡන්ද පදනමක් නැහැ. සමුපකාර ඡන්දවලින් ද ඒ බව පැහැදිලි වෙනවා. එහෙත් මහජන මතය රනිල්ට විරුද්ධ වන අවස්ථාවල දී මෛත්‍රිපාල ජනතා පැත්තේ හිටියොත් රනිල් අඩියක් පස්සට ගන්නවා. ඒ අඩි දෙකක් පෙරට තැබීමේ බලාපොරොත්තුවෙන්.

කොල්ලුපිටියේ ඩීල් පෙදෙස නමින් පාරක් තිබෙනවා. එය කුඩා පාරක්. අද දේශපාලනය අනුව නම් මුළු රට ම ඩීල් පෙදෙසක් වෙලා. අවශ්‍ය නම් වත්මන් දේශපාලන බල ව්‍යුහය අනුව රටට ම ඩීල්ලන්තය හෝ ඩීල්නාඩුව කියා කිව හැකියි. අද ක්‍රියාත්මක වන්නේ ඩීල්තන්ත්‍රවාදයක්. ජනතාව අවුරුදු පහකට හයකට වරක් ඡන්දය දෙනවා. රැස්වීම් බැලීමට යනවා. ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ අංග කියා හිතනවා. එහෙත් ඩීල්තන්ත්‍රවාදය ගැන දන්නේ නැහැ.

මේ ආණ්ඩුවේ කාර්ය කලින් සඳහන් ආකාරයට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම. එහි ප්‍රධාන නියමුවා රනිල්. එහි දී ඔහුට සුපිරිව්‍යුහයේ අනෙක් දාසයන් වූ දෙමළ ජාතිවාදීන්ගේ පුස් කෑ මාක්ස්වාදීන්ගේ, සිවල් සංවිධානවල, මානව හිමිකම් සංවිධානවල, රාජ්‍ය නොවන ආයතනවල, කසිකබල් බුද්ධිමතුන්ගේ සහාය ලැබෙනවා. ඔවුන් සියල්ලන්ට ඇති මහා පොදු සාධකය සිංහල විරෝධයයි.

ආණ්ඩුව පරාජය කිරීම හා රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීම යනු දෙකක් නොව එකක්. ව්‍යවස්ථාව පරාජය කළහොත් එයත් ආණ්ඩුවේ පරාජයක්. ඒකාබද්ධ විපක්‍ෂය මෙන් ම මෛත්‍රිපාලගේ මැති ඇමතිවරුත් නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමට වෑයම් කරන නව ව්‍යවස්ථාවට හෝ ව්‍යවස්ථා සංභෝධනවලට හෝ විරුද්ධ විය යුතුයි. ඒ ඔවුන් සියළු දෙනා සංධානයෙන් තරග කළ නිසා. සංධානය නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමක් ගැන මැතිවරණ ප්‍රකාශයේ සඳහන් කෙළේ නැහැ. හැරත් නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට ආණ්ඩුවට ජනවරමක් ඇත්තේත් නැහැ. රනිල් හා ආණ්ඩුව පරාජය කිරීමට ඇති ඉඩ කඩක් නම් ජනමත විචාරණයක් එන තුරු බලා නොසිට පාර්ලිමේන්තුවේ දී ම තුනෙන් දෙකක් නොදී ව්‍යවස්ථාව හෝ අදාළ සංශෝධන හෝ පරාජය කිරීමයි. ඒ සඳහා අවශ්‍ය ඡන්ද හැත්තෑහයක් පමණයි. ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ ඉන්න සංධාන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව අනූපහක්. එය හැත්තෑ හයට වැඩියි.

පළාත් පාලන මැතිවරණ හෝ වෙනත් මැතිවරණ හෝ ඇසකින් නොබලා ඩීල්තන්ත්‍රවාදයට යට නොවී ව්‍යවස්ථාව පරාජය කිරීම යන අරමුණ ඇති්්ව එක්වුවහොත් ව්‍යවස්ථාව පරාජය කළ හැකියි. අනෙක් අතට රනිල් වෙනුවට වෙනත් අයකු අගමැති ලෙස පත්කළොත් එවිටත් ව්‍යවස්ථාව පරාජය කළ හැකියි. මෛත්‍රිපාලට ඒ ශක්තිය තිබේ ද? ඒකාබද්ධ විපක්‍ෂය ඩීල්තන්ත්‍රවාදය අත්හැර ඒ ශක්තිය ලබා දීමට සූදානම් ද? වර්තමානය ඉතාමත් තීරණාත්මකයි. මෙහි දී පෞද්ගලික න්‍යාය පත්‍ර වලංගු වන්නේ නැහැ.



මේ ලිපිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.




නලින් ද සිල්වා
2017 ජනවාරි 28