Main Logo

Friday, 14 April 2017

අවුරුද්ද ගැන තවදුරටත්  


අවුරුද්ද ගැන තවදුරටත්



සිංහල අවුරුද්ද සිංහල අපට ඇති අවුරුදු දෙකෙන් එකක්. අනෙක් අවුරුද්ද වෙසක්. මේ දෙක ම බුදුන් වහන්සේ හා සම්බන්ධ කියලා හිතන්න පුළුවන්. වෙසක් ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. එය බුදුන් වහන්සේ හා සම්බන්ධ බව කුඩා දරුවකු වුවත් දන්නවා. සිංහලයන්ගේ වර්ෂත් මාස ක්‍රමයත් පටන් ගන්නෙ වෙසක් සමග. අප වෙසක් පොසොන් ඇසළ ආදී වශයෙන් මාස ගණන් කරනවා. ඒ චන්ද්‍ර මාස. සූර්ය වර්ෂයකට, එනම් සෘතු පදනම් වන වසරකට, චන්ද්‍ර මාස දොළහකට වඩා තිබෙනවා. එබැවින් ඇතැම් විට අපට අධි මාස ගැන කතා කරන්න වෙනවා.




ඒකෙන් හිතන්න එපා චන්ද්‍ර මාස පිළිවෙළක් නැහැ කියලා. අහස (අහස් කුස යම් තැටියක්) නැකැත් විසිහතකට බෙදලා සියළු ග්‍රහයන් ඒ නැකැත් අතරින් යවල පිළිවෙළකට සකස් කර ගත්ත හොඳ දින දර්ශනයක් අපට තිබුණා. ඒත් බටහිර සූර්ය මාසවල පිළිවෙළක් නැහැ. කලින් තිබුණෙ මාස දහයයි. නොවැම්බර් දෙසැම්බර් කියන්නෙ නවවැනි හා දහවැනි මාසවලට ඒත් පසු කාලීනව ජුලියස් සීසර්ට ඕන වුණා එයාගෙ නමින් මාසයක්. ඒ ජූලි මාසෙ. පස්සෙ ඔගස්ටස් සීසර්ටත් ඕන වුණා එයාගෙ නමිනුත් මාසයක්. ඒ මාසෙ අගෝස්තු. ජූලි අගෝස්තු රිංගුවට පස්සෙ නොවැම්බර් දෙසැම්ර් එකොළොස්වැනි මාසෙ හා දොළොස්වැනි මාසෙ වුණා. ඒත් ඒ මාසවල නම්වලින් කියැවෙන්නෙ නවය හා දහය කියායි. සැප්තැම්බර් ඔක්තෝම්බරුත් නමින් නම් හත්වැනි හා අටවැනි මාස.

               

මාසවල දිනත් වෙනස්. ජූලි අගෝස්තු මාස ඇති කරන්න ගිහිල්ලා පෙබරවාරියෙ දින අඩු වුණා. සමහර මාසවලට දින තිහයි. තවත් සමහර මාසවලට දින තිස් එකයි. ඒත් අප හිතන්නෙ බටහිර මාසවල නම් පිළිවෙළක් තියෙනවා කියලා. චන්ද්‍ර මාසවල හා නැකැත් විසිහතේ හොඳ පිළිවෙළක් තියෙනවා. අධි මාස ගණනය කරන්නත් පිළිවෙළක් තියෙනවා. අපට අධි මාස අවශ්‍ය වන්නෙ මාස හා සෘතු අතර සම්බන්ධය තියා ගැනීමට. බක් මාසයේ අක්වැහි අවශ්‍ය නම් අධි මාස අවශ්‍ය වෙනවා. ඒත් දැන් ලෝකෙ යන විධියට නම් කොහොමටත් සෘතු විපර්යාස සිද්ධ වෙනවා.



අපේ වර්ෂ ක්‍රමය බුද්ධ වර්ෂ. ඒ පටන් ගන්නෙ වෙසක් මාසෙන්. නැකැත් හැටියට නම් කැති නැකතෙන්. ඒ කියන්නෙ ඉර කැති නැකතෙ ගමන් කරන විට. ඉස්සර නැකැත් පටන් ගත්තෙත් කැති නැකතෙන්. වෙසක් මාසයෙන් ආරම්භ වන වර්ෂ අතරට බක් මාසෙ පටන් ගන්න අවුරුද්දත් ඇවිල්ල. අද අප අලුත් අවුරුද්ද කියන්න ඒ බක් මාසේ සිදුවන සූර්ය සංක්‍රාන්තියට. ඒත් ඒ වර්ෂ හඳුන්වන්න අපට දැන් ඇත්තෙ ශක වර්ෂ. ඒක එතරම් පරණ ක්‍රමයක් නොවෙයි. කොහොමටත් ශක වර්ෂ ක්‍රමය අප එතරම් යොදා ගත් බවක් පේන්න නැහැ. අද අලුත් අවුරුද්ද දවසෙ අපට උදාවන අවුරුද්දක් නැහැ. අප එදින සිට අවුරුදු ගණින්නෙ නැහැ. අලුත් අවුරුද්ද දින කිහිපයකට සීමා වෙන නැකැත් කෙළියක් බවට පත් වෙලා.



බක් මහේ අලුත් අවුරුද්ද සිරිතක් විධියට පටන් ගත්තෙ කොයි කාලෙ ද කියන එක හරියට ම කියන්න බැහැ. 1685 දි පමණ රිබෙයිරො නම් පෘතුගීසි කපිතාන්වරයකු ඔහුගේ දෙවැනි පේදුරු රජුට පොතක් පිළිගන්නලා තිබෙනවා. එය කැලිස්ටස් නානායක්කාර මහතා විසින් සිංහල ද්වීපයේ ඓතිහාසික ඛෙදාන්තය ලෙස සිංහලට පරිවර්තනය කෙරී තිබෙනවා. එහි මෙසේ සඳහන් වෙනවා. “ එහෙත් මේ සියලු දෙවියන්ට වඩා ඔවුන් ගරු කරන දෙවියෙක් වෙයි. ඔවුහු ඔහු බුධ නමින් හඳුන්වති. …….. .. ඔහු මෙම දිවයිනේ යහපත් ජීවිතයක් ගත කළ මහා දෙවියෙකැයි ඔවුහු කියති. ඔවුන් විසින් අවුරුදු නමින් හැඳින්වෙන ඔවුන්ගේ වර්ෂ (මාර්තුවේ අලුත් දවාලෙන් ඇරඹෙන) ඔහු නැවතී දින සිටි දිනයේ සිට ගණන් ගනිති. ”



මෙය ඉතා වැදගත්. මේ බුදුන් වහන්සේ ලංකාවට වැඩම කිරීම ගැන සඳහනක්. බුදුන් වහන්සේ මෙරට නැවතී සිටි දිනයක් ගැන මෙහි දී කතා කෙරෙනවා. මේ වැඩම කිරීම මාර්තුවේ අමාවකින් පසු දිනය ලෙස සලකන්න පුළුවන්. අප මාසය පටන් ගන්නේ අමාවකින් පසුව. අලුත් දවාල කියන්නෙ අමාවකින් පස්සෙ දවස. අපේ දවස පටන් ගන්නෙ රෑ දොළහට නොව ඉර උදාවත් සමග.  රිබෙයිරො මේ සඳහන් කරන්නේ බුදුන් වහන්සේ බක් මහ ලංකාවට වැඩම කළ දවස ගැන. එය අමාවක වූ බවයි මෙහි කියන්නේ. සමහරවිට ආදි සිංහලයන් යම් ආකාරයක වර්ෂයක් එදින පටන් ගන්න ඇති. ඒ කෙසේ වෙතත් බක් මහ උළෙලත් බුදුන් වහන්සේ මෙරටට වැඩම කළ දිනයක් සමග සම්බන්ධ කියලා හිතන්න පුළුවන්.  



අවුරුද්ද ගැන මා 1985 තරම ඉඳලා ලියලා කතාකරලා තියෙනවා. ඒත් තාමත් නොනගතය ගැන න අගත අනගත කියන කතාව පිළිගන්න ජනතාව සූදානම් නැහැ. ඊට වඩා ඔවුන් නැකත් නැතැයි කියන බොරු කතාව පිළිගන්නවා. ඒ අතර නැකැත් නැතැයි කියන නොනගතයෙ ආහාර පිසිනවා, වැඩ අල්ලනවා, අනුභව කරනවා! ජනතාව බුදුන් වහන්සේ බක් මහ ලංකාවට වැඩියෙ අමාවක කියලා හිතන එකක් නැහැ. මහාවංසෙ එහෙම තිබුණත් ඔවුන් පිළිගන්නෙ තමන් අහල පුරුදු දේ. ඒ මදිවට ඇතැමුන් ඊනියා විද්‍යාඥයන් වෙන්න ගිිහින් අවුරුදු දා ලංකාවට ඉර මුදුන් වෙනවා කියනවා. ඔවුන් ඉතා සරල ඒකීය ක්‍රමයක් භාවිතා කරමින් සූර්යයාට අංශක විසිතුනහමාරක් යන්න දවස් අනූඑකක් පමණ යනව නම් අංශක හයක් යන්න කොපමණ දවස් යනවද කියලා ගණන් බලනවා. බටහිර ගණිතයෙ සූර්යයාගේ චලිතය සාකචඡා කරන්න ගෝලීය ත්‍රිකෝණමිතිය යොදා ගන්න ඕන. ඒක නොදැන කරන ගණනය කිරීම් වැරදියි. හැරත් අලුත් අවුරුද්ද උදා වෙන දවස සූර්ය දින දර්ශනයට සාපේක්‍ෂව අවුරුදු හැත්තෑදෙකකට දිනයක් ඉදිරියට යනවා. රිබෙයිරෝ දවස හරි රොබට් නොක්ස් දවස හරි අලුත් අවුරුද්ද උදාවුණෙ අප්‍රේල් පහ, හය, හත, අට දවස්වල. දහහතරට ලංකාවට මුදුන් වෙනවයි කියන ඉර ඒ දවස්වලත් මුදුන් වුණා ද? ඒත් සිංහලයන්ට ඔය වියුක්ත කතාවලට වඩා ඉන්ද්‍රිය ගෝචර දේ දැනෙනවා.



අලුත් අවුරුද්ද භෞතිකවාදී ව නිෂ්පාදනය මත පමණක් පදනම් වුණු සංසිද්ධියක් නො වෙයි. භෞතිකවාදී පැත්තෙන් බලන අය අලුත් අවුරුද්ද අස්වැන්න නෙළා ගැනීම සමග සම්බන්ධ කරන්න හදනවා. එය බාග ඇත්තක් පමණයි. ඒ කාලෙ කෘෂිකාර්මික සමාජයත් එක්ක මිනිසුන් අවුරුද්ද පැවැත්වුවා. ඒත් එහි මුල  නිෂ්පාදනය නොවෙයි. අප වෙසක් පවත්වන්නෙ නිෂ්පාදනය සමග සම්බන්ධ කරලා ද? අලුත් අවුරුද්ද බුදුන් වහන්සේ සමග සම්බන්ධයි. ඒ වගේ ම ඒක නැකැත් උළෙලක්. ඉර රේවති නැකතෙ ඉඳන් අස්විදයට යෑම මෙහි ප්‍රධාන ම කාරණය. අපේ අවුරුද්ද වෛදිකයො අරගෙන රාශි හා නැකැත් එකතු කරලා, අස්විද නැකතෙ ආරම්භය මේෂ රාශියෙ ආරම්භයත් එක්ක සමපාත කරලා අවුලක් කරලා. අප අනිත් අයගෙ අවුල් අරගන්න දක්‍ෂ නිසා මීන රාශියෙන් මේෂ රාශියට ඉර යෑමක් ගැන කියනවා. අද කෘෂිකාර්මික සමාජය එතරම් දකින්න නැති වුණත් අවුරුද්ද තියෙනවා. එහි යම් යම් අංග දකින්න නැති වුණත් අවුරුද්ද තියෙනවා. එහි යම් යම් අංග සමාජයත් එක්ක වෙනස් වෙලා. ඒත් අවුරුද්දෙ සාමූහිකත්වය, වැඩිහිටියන්ට සැලකීම වැනි වැදගත් අංග ඉතිරි වෙලා. අඩු තරමෙ මේ අවුරුද්දෙවත් මේ බොරු භෞතිකවාදී බටහිර විද්‍යා කතා නැතිව සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් වෙලා ලෝකය හදාගන්න (නිර්මාණය කරන්න) උත්සාහ කරමු. අවශ්‍ය නම් එයට සිංහල බෞද්ධ ශාස්ත්‍ර කියලා කියමු.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය. 


https://www1.kalaya.org  


නලින් ද සිල්වා



2017 අප්‍රේල් 14