Main Logo

Saturday 1 April 2017

සිංහලයෝ හා ලාංකිකයෝ


සිංහලයෝ හා ලාංකිකයෝ





ලාංකිකයා යනු කවුද යන ප්‍රශ්නයට දෙන පිළිතුර කුමක් ද? අප ලාංකිකයකු හඳුනා ගන්නේ කෙසේ ද? පඬියකු අසන්නට පුළුවන් අප සිංහලයකු හඳුනා ගන්නේ කෙසේ ද කියා. සිංහල භාෂාව ලිවීමට නොහැකි සිංහලයන් සිටිනවා. වැඩි පිරිසක් නොවූවත් සිංහල භාෂාව කතා කිරීමට නොහැකි සිංහලයන් ද සිටිනවා. සිංහලයකු හඳුනා ගැනීමට ඇති නිර්ණායක කවරේ ද? සිංහලයකු වන්නේ උත්පත්තියෙන් ද? දෙමව්පියන්ගෙන් එක් අයකුවත් සිංහල නම් යමකු සිංහල වන්නේ ද? සිංහල දෙමව්පියන්ගේ දරුවන් අනිවාර්යයෙන් ම සිංහලයන් වන්නේ ද? දෙමවුපියන් සිංහල නොවීත් යමකුට සිංහල විය හැකි ද?සිංහලයන් අනිවාර්යයෙන් ම ලංකාවේ රටවැසියන් විය යුතු ද?




අවසාන ප්‍රශ්නයට පිළිතුර ඔව් නම් එංගලන්තයේ හෝ වෙනත් රටක හෝ රටවැසිකම ලබා ද්විත්ව රටවැසිකම නොලැබූ අයකුට සිංහලයකු විය නො හැකි ය. පැහැදිලිව ම රටවැසිකම හා ජාතිකත්වය අතර වෙනසක් ඇත. ලාංකික යනු රටවැසිකමක් පමණකි. ද්විත්ව රටවැසිකම ලැබුවෝ රටවල් දෙකක ම රටවැසියෝ වෙති. එහෙත් ඔවුන්ට ජාතිකත්ව දෙකක් තිබිය හැකි ද? බටහිරයන්ට අනුව ජාතිකත්වය හා රටවැසිකම එකක් ද? එසේ නම්  ද්විත්ව රටවැසියන් ගැන කියන්නේ කුමක් ද? බටහිර විද්වතුන් ජාතිකත්වය හා ජාතික රාජ්‍යය යන සංකල්ප නිර්මාණය කරන විට ද්විත්ව රටවැසිකම් තිබුණේ නැහැ. ද්විත්ව රටවැසිකම් තිබෙන මෙකල ඔවුන් තම සංකල්ප යාවත්කාලීන කර ඇති බවක් පේන්නේ නැහැ. . කෙසේ වෙතත් ඔවුන් ජාතික රාජ්‍ය ලෙස නම් කෙළේ ආගමික රාජ්‍ය බව අමතක නොකළ යුතුයි. බටහිරයන්ට ජාතිය ගැන පැහැදිලි සංකල්පයක් නැහැ. එංගලන්තයේ වසන සුද්දකු ඉංගිරිසි කාරයකු ද? ඔහුගේ ජාතිය ඉංගිරිසි ද බිරිතානි ද, නැත්නම් එක්සත් රාජධානික ද? ඔහුගේ විදේශ ගමන් බලපත්‍රයේ සඳහන්වන ජාතියක් වේ ද? අවසානයේ දී බටහිරයන්ට ඉතිරි වන්නේ රටවැසිකම යන නෛතික සංකල්පය පමණයි.



අද ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය හැක්කේ ලංකාවේ පමණක් රටවැසිකම ඇති අයකුට. පසුගිය දිනවල ඇතැමුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී පදවිය පිළිබඳ ප්‍රශ්න නැගුණේ ඔවුන්ට ද්විත්ව රටවැසිකම් ඇති බවට පළ වූ ප්‍රකාශ නිසා. ලංකාවේ ජනාධිපති වීමට ලංකාවේ ඉපිද තිබීම අනිවාර්ය වන්නේ නැහැ. රටවැසිකම ප්‍රමාණවත්. තවමත් පිටරටක ඉපදී ලංකාවේ රටවැසිකම ලැබූ අයකු මෙරට ජනාධිපති පදවියට තරග කර නොමැති නමුත් එවැන්නකුට මෙරට ජනාධිපති වීමේ බාධාවක් නීතියෙන් නැහැ.



එහෙත් එක්සත් රාජ්‍යයන්හි ජනාධිපති වීමට එරට රටවැසිකම මෙන් ම එරට ඉපිද තිබීම ද අනිවාර්ය වෙනවා. එය ප්‍රජාතන්ත්‍රවාදී නො වේ යැයි කියන පඬියන් නැහැ. එහෙත් පැහැදිලි ව ම එරට සියළු රටවැසියන් සමාන වන්නේ නැහැ. අඩු තරමින් ජනාධිපති වීමේ දී ඔවුන් සමාන වන්නේ නැහැ. ඔබාමාගේ රටවැසිකම ගැන ප්‍රශ්නයක් නැහැ. ඔහු එක්සත් රාජ්‍යවල රටවැසියෙක්.  එහෙත් පසුගිය දා ට්‍රම්ප්ට ද ඔබාමා උපන් රට පිළිබඳ ප්‍රශ්න තිබුණා.



ඔබාමා කෙන්යාවෙන් පැමිණි අයකුගේ පුතකු වුව ද ඔහු ඉපිද ඇත්තේ එක්සත් රාජ්‍යවල. ඔහු මුස්ලිම් භක්තිකයකු නො වෙයි. ඔහු ආගමෙන් ක්‍රිස්තියානි. ඔහුගේ සංස්කෘතිය ඇමරිකන් යුදෙවු ක්‍රිස්තියානි. ඔහු මුස්ලිම් වූවා නම් ඔහුට කිසි දිනෙක ජනාධිපති වීමට ඉඩක් තිබුණේ නැහැ. අද එරට ඇති මුස්ලිම් විරෝධය අනුව එරට ඉපදුණත් මුස්ලිම් භක්තික රටවැසියකුට ජනාධිපති වීමට නොහැකි බව පැහැදිලියි. බටහිර රටවල දරුණු සංස්කෘතික ගැටුම් තිබෙනවා. ඔවුන්ට මුස්ලිම් සංස්කෘතිය රුස්සන්නේ නැහැ. මුස්ලිම් සංස්කෘතිය ආක්‍රමණශීලීයි. එක්සත් රාජ්‍යවල කළු සංස්කෘතිය ද යම් පමණකට වුවත් ආක්‍රමණශීලීයි. එහි සුද්දන්ට කල්ලන්ගේ සංස්කෘතිය ප්‍රිය මනාප නැහැ. එහෙත් සුද්දන්ට සිංහල බෞද්ධ සංස්කෘතිය එතරම් ප්‍රශ්නයක් නො වෙයි. ඒ සිංහල බෞද්ධ සංස්කෘතිය කිසිසේත් ම ආක්‍රමණශීලී නොවන නිසා.



බටහිර රටවල වෙසෙන සිංහලයන් ඒ ඒ රටවල රටවැසියන් වුවත් ලංකාවට හා සිංහලත්වයට පක්‍ෂපාතීත්වයක් දක්වනවා. ඒ රටවල වාසය කරන ලංකාවෙන් ගිය දෙමළ ජනයා ඒ ඒ රටවල රටවැසියන් වුවත් දෙමළකමට පක්‍ෂපාතීයි. එහෙත් ඔවුන් බොහෝ විට ලංකාවට විරුද්ධ වෙනවා. ඒ රටවල වෙසෙන විසුරුණු දෙමළ ජනයා ජෙනීවා හි දී මෙන් ම වෙනත් තැන්වල දී ද ක්‍රියා කරන ආකාරයෙන් ඒ බව පැහැදිලි වෙනවා.



අපි එය පැත්තකින් තබමු. රනිල් මෛත්‍රී ආණ්ඩුව සිංහල විරෝධී පමණක් නො වෙයි. ලංකාවට ද විරුද්ධයි. ආණ්ඩුව දෙමළ ජාතිවාදයට පක්‍ෂයි. ජෙනීවාහි දී සරත් වීරසේකර සිංහලකමට මෙන් ම ලංකාවට ද පක්‍ෂපාති වුණා. විසුරුණු දෙමළ ජනයා සිංහලයන්ට හා ලංකාවට විරුද්ධ වෙමින් දෙමළකමට පක්‍ෂපාති වුණා. නිමල්කා වැනි අයත් මෙරට වාසය කරමින් ම විසිරුණු දෙමළ ජනයා මෙන් ක්‍රියා කළා. පාක්‍යසෝති වැන්නන් ද නිමල්කාලා මෙන් ක්‍රියා කළා. නිමල්කා හා පාක්‍යසෝති වැන්නන් නීතියෙන් ලංකාවේ රටවැසියන්. එහෙත් ඔවුන් ලංකාවට විරුද්ධව කටයුතු කරනවා. ලංකාණ්ඩුවත් ලංකාවට විරුද්ධ ව චෝදනා ගෙන එන්නේ නම් පාක්‍යසෝතිලා ගැන කවර කතා ද? නිමල්කාලා කියාවි ඔවුන් විරුද්ධ වන්නේ සිංහල අධිපතිවාදයට කියලා. එය පට්ටපල් බොරුවක්. ඔවුන් බටහිර යුදෙවු ක්‍රිස්තියානි ආධිපත්‍යයට විරුද්ධ නොවනනේ ඇයි? ඔවුන් ඒ ආධිපත්‍යය ප්‍රශ්න නොකරන එහි සුවච කීකරු දාස දාසියන්. ඔවුන් මෙන් ම රනිල් මෛත්‍රිපාල ආණ්ඩුවත් සිංහලයන්ට හා ලංකාවට විරුද්ධ වන්නේ තම ස්වාමි බටහිරයන් වෙනුවෙන්. ඒ දාසකම නිවටකම අධ්‍යාපනයෙන් ලැබුණු දෙයක්.



තම රටට එරෙහිව ජාත්‍යන්තර සම්මේලනවල දී කටයුතු කර ඇති එක ම ආණ්ඩුව රනිල් මෛත්‍රිපාල ආණ්ඩුව වෙන්න ඕන. ඊයේ මහින්ද සමරසිංහ කියා තිබුණා සරත් වීරසේකරගේ කතාවෙන් ජෙනීවාහි බලපෑමක් නොවන බවත් එහි දී වැදගත් වන්නේ ආණ්ඩුව කරන ප්‍රකාශ බවත්. එවිට ප්‍රශ්නයක් පැන නගිනවා. ආණ්ඩුව ලංකාවට විරුද්ධව එහි දී චෝදනා ගෙන ඒම මගින් ආණ්ඩුව කෙතරම් හානියක් රටට කර ඇත් ද යන වග. සරත් වීරසේකර කළ දෙයින් වැඩක් නැත්නම් එහි වැරදි ඇත්නම් ආණ්ඩුව ඒ වැරදි නිවැරදි කර ජෙනීවාහි දී ලංකාවට පක්‍ෂ ව රණවිරුවන් ආරක්‍ෂා කරමින් වැඩක් ඇති ප්‍රකාශයක් නොකරන්නේ ඇයි? මෛත්‍රිපාල රණවිරුවන් ආරක්‍ෂා කරන බවට පාසල් ළමුන් ඉදිරියේ බෙරිහන් දීමෙන් ඇති වැඩක් නැහැ.



මේ සියල්ලෙන් පැහැදිලි වන දෙයක් තිබෙනවා. ලාංකිකයා යන්න හුදු නෛතික තත්වයක් මිස හදවතෙන් පැන නගින  හැඟීමක් නිරුපණය කරන සංකල්පයක් නොවන බව. එය රටේ ඡන්දදායකයකු වීමට, විදේශීය ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට ආදියට වැදගත් වෙන්න පුළුවන්. එහෙත් ඇතැම් ලාංකිකයකුට පමණක් නොව ලංකාණ්ඩුවටත් ලංකාවට විරුද්ධව ඊනියා ජාත්‍යන්තර සම්මේලනවල දී ක්‍රියා කිරීමට ඒ සංකල්පයෙන් බාධාවක් චකිතයක් වරදක් කෙළේ යන හැඟීමක් ඇති වන්නේ නැහැ. එය හුදෙක් කොළ කෑල්ලක ලියැවුණු සංකල්පයක් පමණයි. එහෙත් සිංහලයා යන්න එසේ නො වෙයි. සිංහලයකුට ලාංකික රටවැසිකම නැති වුවත් සිංහල භාෂාව කතා කිරීමට බැරි වුවත් සිංහලයට කැමැත්තක් සෙනෙහසක් ගෞරවයක් තිබෙන්න පුළුවන්. දෙමවුපියන් සිංහල නොවීත් යමකුට සිංහල වන්න පුළුවන්. හොඳම උදාහරණය ඇස් මහින්ද හිමියන්. සිංහලයා බොහෝ විට සිංහල සංස්කෘතියට ගරු කරන්නෙක්. ඇතැම් විටෙක සිංහලයකුට සිංහල සංස්කෘතිය ගැන එතරම් අවබෝධයක් නොතිබෙන්න පුළුවන්. එහෙත් ඔහුගේ හදවතේ එයට ඇල්මක් ගරු කිරීමක් තියෙනවා. සිංහලයා සිංහල ඉතිහාසයට ගරු කරන්නෙක්. සිංහලයා සංස්කෘතියෙන්, හැඟීමෙන් සිංහලයකු වන අතර ලාංකිකයා නීතියෙන් ඊනියා බුද්ධියෙන් ලාංකිකයකු වෙනවා. ජාතිය තීරණය වන්නේ ජෛවීය ව ජානවලින් නො වෙයි.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.





https://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 අප්‍රේල් 01