Main Logo

Sunday 30 April 2017

මහින්ද මෛත්‍රී සමගියක්


මහින්ද මෛත්‍රී සමගියක්



අනාගත මැතිවරණ දෙස පමණක් බලාගෙන දේශපාලනය කරන්න බැහැ. මැතිවරණ ලබා ගැනීම වුව ද දේශපාලන සටනක්. කම්කරුවන්ගේ නොවන කම්කරු දිනයේ දී හෙවත් දේශපාලන පක්‍ෂ තම බලය උරගා බලන දිනයේ දී මේ පිළිබඳ ව සිතා බලන එක වැදගත්. කම්කරුවන්ට මැයි දිනය අහිමි වූවා සේම බෞද්ධයනට වෙසක් දිනය අහිමි වීමට යනවා. මෙවර පවත්වන්නේ බෞද්ධයන්ගේ වෙසක් දිනයක් නොව එක්සත් ජාතීන්ගේ වෙසක් දිනයක්. එය ඊනියා සර්වාගමික කටයුත්තක් වීමට ඉඩ තිබෙනවා. කොහොමටත් එහි ප්‍රධාන අමුත්තන් හින්දූන්. ඒකට ජෙනීවාහි හුසේන්වත් ගෙන්වා ගන්ත තිබුණා. ථෙරවාදී රටකින් නායකයකු ගෙන්වා ගන්න බැරි ඇයි? එක්සත් ජාතීන්ගේ නත්තල් උත්සවයක්, තෛපොංගල් උත්සවයක්, රාමලාන් උත්සවයක් එහෙම තියෙනවා ද? එක්සත් ජාතීන්ගේ සංවිධානයේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලැබිල ද?



එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙසක් දිනය නිසා තෙමඟුල පස්සට ගිහිල්ලා. බෞද්ධයන්ගේ වෙසක් උත්සවයට මෙවර සූදානම බොහෝ අඩු වෙලා. ඉදිරි දින දහයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙසක් උත්සවය වෙනුවට බෞද්ධයන්ගේ වෙසක් උත්සවය පැවැත්වීමට මෛත්‍රිපාල මහින්ද කණ්ඩායම් ඉදිරියට පැමිණිය යුතුයි. සිංහල බෞද්ධ සංස්කෘතිය ගැන හැඟීමක් නැති රනිල්ට බෞද්ධයන්ගේ වෙසක් උත්සවයට වඩා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙසක් උත්සවයත් නත්තලත් වැදගත්.  ඒත් මහින්දටත් මෛත්‍රිපාලටත් එහෙම වෙන්න බැහැ.



අද රටේ ප්‍රධාන ප්‍රශ්නය ව්‍යවස්ථාව මිස අනෙකක් නො වෙයි. ඒකාබද්ධ විපක්‍ෂය ව්‍යවස්ථා මණ්ඩලයේ කටයුතුවලට සහභාගි වීමෙන් වරදක් කෙරුවා. ඔවුන් අනුකාරක කමිටුවලින් නම් ඉවත් වූවා. ඒත් තවදුරත් මෙහෙයුම් කම්ටුවේ හා සමස්ත මණ්ඩලයේ කටයුතුවලට  සහභාගි වෙනවා. ඔවුන් එහි වරද තේරුම් ගන්නා විට ප්‍රමාද වැඩි වන්න පුළුවන්. අප කීවාට ඔවුන් ඉන් ඉවත් වන්නේ නැහැ. රාජිතගේ ජනමත විචාරණය සමහර විට පාර්ලිමේන්තුව මග හැර ව්‍යවස්ථා මණ්ඩලයෙන් පමණක් ව්‍යවස්ථාව සම්මත කර ගැනීමේ අවශ්‍යතාව පෙන්නුම් කරනවා විය හැකියි. 



ඒ අතර ඩිව් ගුණසේකරත් ජනමත විචාරණයකට කැමතියි. ඩිව් ගුණසේකර මෙවර වෙන ම මැයි දිනයක් පවත්වන්නෙ ඒකාබද්ධ විපක්‍ෂෙ ජාතිවාදයට විරුද්ධව කියලයි කියනවා. ඩිව් ගුණසේකර සිංහල විරෝධී දේශපාලනඥයෙක්. ඔහුටත් දෙමළ ජාතිවාදයට කප්පන් දෙන ව්‍යවස්ථාවක් ඕන. ඔහුට අද හොඳම තැන එ ජා පක්‍ෂයයි. ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය බිහි වූයේත් ඊනියා දෙවැනි ලෝක යුද්ධයට පක්‍ෂව. ඔවුන් එකලත් මූල එ ජා පක්‍ෂයට සහාය දැක්වූවා. ඩිව් ගුණසේකරට රනිල්ට රාජිතට එකට පෙළ ගැහෙන්න පුළුවන්. 



ව්‍යවස්ථාව පරාජය කිරීම, මැතිවරණ ලබා ගැනීම, රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීම ආදිය එකම ක්‍රියාලියක්. එහි මුලට ම ඇත්තේ රනිල් ඉවත් කිරීම. ජනතාවට බොරු කියන, තමන් අදෘශ්‍යමාන ප්‍රාණීන්ගෙන් ප්‍රතිකාර ගනිමින් ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් ගැන කියන, පෞද්ගලික දේශපාලන අරමුණු සඳහා වර්ජන කිරීමට අරඅඳින ඇතැම් බටහිර වෛද්‍යවරුන් ලවා ආණ්ඩුව බිඳ වැට්ටවීමට කිසිවකු බලාපොරොත්තු නොවිය යුතුයි. ඔවුන්ට රෝගීන් උගස් තියන්න රෝගීන් ඉඩ දෙන එකක් නැහැ. සරත් ෆොන්සේකාට රෝගීන්ට වෙදකම් කිරීමට බැරි බව ඇත්ත. ඒත් රෝගීන්ටත් අයිතියක් තිබෙනවා තම රෝගවලට තමන් කැමති අයකුගෙන් ප්‍රතිකාර ලැබීමට.



ඇතැම් වෛද්‍යවරුන්ට ප්‍රියන්තා සේනානායක මහත්මිය හරහා අදෘශ්‍යමාන ප්‍රාණීන්ගෙන් ප්‍රතිකාර ගැනීමට හැකි වුවත් සියලු රෝගීන්ට ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. රෝගීන්ට ප්‍රතිකාර ගැනීමට ඇති අයිතිය නැති කිරීමට බටහිර වෛද්‍යවරුන්ට වෛද්‍ය සභාවෙන් අවසර දී තිබෙනවා ද? වෛද්‍යවරුන්ගේ ප්‍රධාන කාර්යභාරය කුමක් ද? රෝගීන්ට ප්‍රතිකාර ගැනීමට ඇති අයිතිය මානව අයිතියක් දැයි දැනගැනීමට ජෙනීවා යෑමට අවශ්‍ය නැහැ. ජනතාවට හිරිහැර කරමින් වර්ජන කරන සියලු වර්ජකයන් ජනතාවගේ අයිතිය සත පහකට මායිම් කරන්නේ නැහැ. ඔවුන් තමන් ජනතාව වෙනුවෙන් වැඩ වර්ජන කරන බවක් කීවාට එය විශ්වාස කරන්න බැරි ජනතාවට ඒ වර්ජනවලින් හිරිහැර වීමත් ජනතාවගේ අයිතීන් නැති වීමත් නිසා.



මේ පුහු වර්ජකයන් දිහා බලාගෙන ඉන්නෙ නැතිව අද කළ යුත්තේ රනිල් අගමැති ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම. ඇහැළෙපොළට ඇඳගත් මෛත්‍රිපාල රනිල් බලයට ගෙන ඒමට කටයුතු කළා. ඒ වගේමයි බොහෝ ඊනියා යුග පෙරළිකාරයන්. අද ඔවුන් සියල්ලන්ට තේරිලා ඇති ඔවුන් කළ වරදේ තරම. අද ඔවුන් සියල්ලන් ම කළ යුත්තේ වහාම රනිල් ඉවත් කිරීම. අද මෛත්‍රිපාල කණ්ඩායමත් මහින්ද කණ්ඩායමත් එකිනෙකාට චෝදනා කර ගන්නවා ශ්‍රී ල නි පක්‍ෂය කැඩීම පිළිබඳවත් රනිල් සමග ඩීල් (ගණු දෙනු) දැමීම පිළිබඳවත්. ඒ චෝදනා කොහොම වුණත් අද රනිල් බලයේ තබා ගෙන ඉන්නේ මෛත්‍රිපාල හා මහින්දයි. මෛත්‍රිපාල ඇහැළෙපොළට ඇඳීම මගින් රටටත් ජාතියටත් ආගමටත් ද්‍රෝහි වුණා. ඒත් අද ඔහුට ඒ වරද නිවැරදි කර ගැනීමට සහාය දිය යුතුයි. ඒ සහාය නොදෙන්නේ නම් මහින්ද කරන්නේත් අපරාධයක්. ඒ රනිල් බලයේ තබා ගැනීම මගින්. මෛත්‍රිපාල චන්ද්‍රිකාගේ කීමට පක්‍ෂ සංවිධායකයන් අස් කිරීම මගින් කරන්නේත් ඒ සහාය ලබා ගැනීමට ඇති ඉඩ ඇහිරීමක්. ඔහුත් කරන්නේ අපරාධයක්. මේ සියල්ලෙන් බැට කන්නේ සිංහලයන්. විශේෂයෙන් ම සිංහල බෞද්ධයන්.  



වෙසක් උත්සවය බෞද්ධයන්ගෙන් පැහැර ගත් බටහිරයන් රනිල් ලවා තව තවත් දේ කර ගනීවි. ඔහු අගමැති ධුරයේ තබා ගැනීම සිංහලයන්ට ද්‍රෝහි වීමක්. මහින්ද හා මෛත්‍රිපාල ඒ ද්‍රෝහිත්වය පරාජය කිරීමට එක් විය යුතුයි. මොන වැරදි තිබුණත් එකිනෙකාට චෝදනා නොකර එක්විය යුතුයි. අප මහින්ද අගමැති කරමු යැයි කීවේ ද්‍රෝහී යහපාලනය බිහි වූ මුල් යුගයේ දීමයි. අද ඒ සඳහා හෝ වෙනත් සුදුසු අගමැතිවරයකු පත් කිරීම සඳහා හෝ ඉඩක් ලැබෙමින් පවතිනවා.







මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org



නලින් ද සිල්වා



2017 අප්‍රේල් 30