Main Logo

Sunday 7 March 2021

පාස්කු ප්‍රහාරය හා දින පනස් දෙකේ ආණ්ඩුව වැට්ටවීම

 

පාස්කු ප්‍රහාරය හා දින පනස් දෙකේ ආණ්ඩුව වැට්ටවීම

 

පාස්කු ප්‍රහාරය ගැන වඩාත් ම කණස්සල්ලට පත් ව ඉන්නේ කාදිනල්තුමා වෙන්න පුළුවන්. ඒක එහෙම නම් වරදකුත් නැහැ. එතුමා මෙරට කතෝලික ජනයාගේ ප්‍රධානියා. එතුමා කතා කරන්නේ මෙරට කතෝලික ජනතාව වෙනුවෙන් කියල හිතමු. ඒත් මට ප්‍රශ්නයක් තියෙනවා. මේ ප්‍රහාරය කතෝලික ජනයාට පමණක් එල්ල කළ ප්‍රහාරයක් ලෙස  සලකන්නෙ ඇයි? මීට ඉහත කොටි සංවිධානය දළදා මාළිගාවට පහර දුන්නා. අරන්තලාවෙ භික්‍ෂූන් වහන්සේ ඝාතනය කළා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසළ මිනී මැරුවා.  මට මතක නැහැ ඒ කිසිවක් බෞද්ධයනට පමණක් එල්ල කළ ප්‍රහාර ලෙස සැලකුවා කියා.

 

ඒ විතරක් නොවෙයි ඒ දවස්වල හැමෝම වගේ කතා කෙළෙ කොටින්ගෙ සාධාරණ සටන ගැන. දෙමළ ජනයාගේ ඊනියා ප්‍රශ්නය ගැන. දෙමළ ජනයාට වී ඇති ඊනියා අසාධාරණකම් ගැන. කිසිම ආගමික නායකයකු, භික්‍ෂූන් වහන්සේවත්, කොටි ප්‍රහාර බෞද්ධයන්ට එරෙහි ව කළ ප්‍රහාර ලෙස සැලකුවෙ නැහැ. පඬි නැට්ටකුට කියන්න පුළුවන් කොටි සටන් කෙළේ බෞද්ධයනට එරෙහි ව නොව අඩු තරමෙන් සිංහලයන්ටවත් එරෙහි ව නොව සිංහල ආණ්ඩුවට විරුද්ධ ව කියා.

 

ඒත් ඒ ඊනියා සිංහල ආණ්ඩු අතර ජේ ආර් ගෙ ආණ්ඩුව, ප්‍රේමදාසගෙ ආණ්ඩුව, චන්ද්‍රිකාගෙ ආණ්ඩුව තිබුණා. ඒ කවුරුන්වත් එකී ආණ්ඩු සිංහල ආණ්ඩු කියා පිළිගනීවි ද? චන්ද්‍රිකා ලංකාවට ආනයනය කෙරුණෙ වික්ටර් අයිවන්, රාජිත සේනාරත්න වැනි අය කියල ඒ ඒ අය හිතන් ඉන්නව ඇති. ඒත් චන්ද්‍රිකා කියන්නෙ මෙරට එංගලන්ත නියෝජිතවරිය. ඉංගිරිසින් ඇය මෙරටට එහෙන් අපනයන කෙරුවෙ ඊනියා සිංහල ආණ්ඩුවක් පිහිටුවන්න නො වෙයි. ප්‍රභාකරන්ට රටෙන් කොටසක් ලියල දෙන්න.

 

ඒ බව මෙරට ජනතාව දැන ගත්තෙ තරමක් කල් ගිහිල්ල. පසුව  රනිල්  කොටි සමග ඊනියා සටන් විරාම  ගිවිසුමකුත් අත්සන් කළා. ඒ ඊනියා සිංහල ආණ්ඩු වැඩ කළෙ සිංහලයන්ට විරුද්ධ ව. ඒත් 2009ට පෙර මෙරට ජාතික ව්‍යාපාරය ශක්තිමත්. ජාතික ව්‍යාපාරයට පුළුවන් වුණා ඊනියා සිංහල ආණ්ඩුවල සිංහල විරෝධී සැලැස්ම පරාජය කරන්න. ඒ ජාතික ව්‍යාපාරය තමයි 2005 දි මහින්ද රාජපක්‍ෂ බලයට පත් කෙළෙත්. 2009 නන්දිකඩාල් ජයග්‍රහණය තෙක් ම ජාතික ව්‍යාපාරය ශක්තිමත් ව තිබුණා. ඉන් පසු මහින්ද රාජපක්‍ෂ ජාතික ව්‍යාපාරය තමන් යටතට ගත්තා. ඉන් පසු ජාතික ව්‍යාපාරයේ ගමන් මග වෙන ම සාකච්ඡා කරන්න ඕන.

 

මට අවශ්‍ය වුණෙ කිසිවකු 2009ට කලින් කොටි ප්‍රහාර බෞද්ධයනට, සිංහලයන්ට එරෙහි ව කළ ප්‍රහාර ලෙස හඳුනා නොගත් බව කීමටයි. බොහෝ ආගමික නායකයන් කොටි සමග සාකච්ඡා කළා. අර කෙනත් ප්‍රනාන්දු බිෂොප්ෂොප්වරයා ප්‍රභාකරන්ගෙ මානුෂිකත්වය ගැන සහතික ලබා දුන්නා. ඒ කාලෙ මනුසත් දෙරණ තිබුණෙ නැහැ. බිෂොප්වරයාට මනුසත් අරණක් හදන්න අමතක වෙන්න ඇති. ඇතැම් භික්‍ෂූන් වහන්සෙත් වෙනත් ආගමික නායකයනුත් 2001 තරම කාලයේදී සාම පණිවුඩ අරගෙන කොටි නායකයන් හමුවීමට ගියා. පූජ්‍ය කුඹුරුගමුවේ වජිර හිමියන් හා මැල්කම් රංජිත් බිෂොප්තුමා ද ඒ අතර සිටියා.

 

ඒ දිනවලවත් අදවත් අප කිහිප දෙනකු හැරෙන්න කොටි සංවිධානය පිටුපස ඉන්නෙ කවුද කියා ඇහුවෙ නැහැ, අහන්නෙ නැහැ. දෙමළ ජාතිවාදය පිටුපස ඉන්න එංගලන්තය හා ඉන්දියාව හඳුනා නොගෙන කිසි දිනෙක ජෙනීවා විගඩම නවත්තන්න බැහැ. නේස්බි සාමි අපට පක්‍ෂ වේවි. ඒත් සාමිලා, බිෂොප්ලා හා ආච්බිෂොප්ලා ගණනාවක් ම අපට විරුද්ධයි. ඔවුන් විරුද්ධ සිංහල බෞද්ධ සංස්කෘතියටයි. එංගලන්තය හා ඉන්දියාව පැළඳගෙන ඇති වෙස්මුහුණු ගලවන්නෙ නැතිව ජෙනීවා විගඩම නවත්තන්න බැහැ.

 

අප පිළිගන්නවා එදා මහා බැංකුවට එල්ල කළ ප්‍රහාරය, මරදාන දුම්රියපොළ අසළ ප්‍රහාරය, ඩී එස් සේනානායක විදුහලේ සිසුන් පිරිසක් ඝාතනය කරමින් කළ ප්‍රහාරය සහ තවත් දුම්රිය ප්‍රහාර වළක්වන්න කිසිම ආණ්ඩුවකටවත් බුද්ධි අංශවලටවත් බැරි වුණ බව. එහෙත් ඒ සඳහා විවිධ හේතු තිබුණා. මෛත්‍රිපාල සිරිසේන බුෂ්ට සැප්තැම්බර් 11 ප්‍රහාරය වළක්වන්න බැරි වුණ එක ගැනයි කතාව. ඒකත් ඇත්ත. බුෂ්ට බැරි නම් සිරිසේනට පුළුවන් ද?

 

පාස්කු ප්‍රහාරය සිදු වුණෙ මේ ආණ්ඩුව කාලෙ නොවෙයි. එය ඊනියා යහපාලන ආණ්ඩුව කාලෙ සිද්ධවුණේ. ඔය පාස්කු කොමිසම පත් කෙළෙත් සිරිසේන. පාස්කු ප්‍රහාරය වළක්වගන්න තිබුණා. ඒක අර කලින් කී කොටි ප්‍රහාර වගේ නො වෙයි. අනෙක් අතට පාස්කු ප්‍රහාරය පිටුපස දෙමළ ජාතිවාදය පිටුපස වගේ ම ජාත්‍යන්තර බලවේග ඉන්නවා. අප එහි දී ප්‍රධාන වශයෙන් කියන්නෙ බෝන් අගේන් ගැන.  අප කියන දේ පඬිනැට්ටන් පිළිගන්නෙ නැහැ. අඩු තරමෙන් අප කියනවා කොටි ප්‍රහාර පිටුපස වගේ ම පාස්කු ප්‍රහාරය පිටුපසත් විවිධ ජාත්‍යන්තර බලවේග ඉන්න බව. ප්‍රභාකරන් මෙන් ම සහාරාන් ද අවසානයේ දී ඉත්තන් පමණයි. එකකු ඉත්තකු වී අනෙකා මහාවිර් වන්නේ නැහැ. අපි ඒ බලවේග සියල්ල හඳුනාගනිමු.

 

පාස්කු ප්‍රහාරයට වග කියන්න ඕනෙ ජාත්‍යන්තර බලවේගවලට අමතරව ප්‍රධාන වශයෙන් ම යහපාලන ආණ්ඩුව. යහපාලන කිවුවත් මා කියන්නෙ ශ්‍රී ල නි ප හැරෙන්න රනිල් හා ආණ්ඩුව වග කියන්න ඕනෙ කියල. ඒ ආණ්ඩුවට සජිත්ල රවිලා චම්පකලා  විතරක් නොවෙයි අනුර රනිල්දාසල යටත්විජිත හේරත්ලත්  අයිති වෙනවා. ඔවුන් තමයි 2019 අප්‍රේල් වන විට ආණ්ඩු කෙරුවෙ.  මෛත්‍රිපාල නාමමාත්‍රික ජනාධිපතිවරයකු විතරයි.

 

රනිල් මෛත්‍රිපාල විරසකය 2017න් පමණ පස්සෙ දිගට ම වර්ධනය වුණා. රනිල් ජනාධිපති බලතල තමන් අතට ගත්තෙ දහනවය මගින්. මෛත්‍රිපාලට බලතල නොතිබුණා ම නොවෙයි. ඒත් පූජිතලා පිළිපැද්දෙ කාගෙ අණ ද? මේ සියල්ල මැද්දෙ මෛත්‍රිපාල තමන් 2014 දි ශ්‍රී ල නි පක්‍ෂය අත්හැර යමින් කළ වරදට යම් පමණක සමාවක් ගනිමින් 2018 ඔක්තෝම්බරයෙ රනිල් අගමැති කමෙන් ඉවත් කරල මහින්ද අගමැති කළා. එයට මෙරට බටහිර තානාපතිවරුුන් විරුද්ධ ව වැඩ කළ ආකාරය අප දුටුවා. ඒ දින පනස්දෙකේ ආණ්ඩුව එ ඒ අය එකතුවෙලා වැට්ටුව.

 

යම් හෙයකින් මෛත්‍රිපාල මහින්ද ආණ්ඩුව පවත්වා ගෙන යන්න ලැබුණ නම් පාස්කු ප්‍රහාරය වෙන්න ඉඩ තිබුණ ද? පඬි නැට්ටන් කියාවි එය අර ඊනියා උපන්‍යාසික (hypothetical) ප්‍රශ්නයක් කියලා. මා කියනවා මෛත්‍රිපාල මහින්ද ආණ්ඩුවක් තිබුණ නම් ගෝඨාභය රාජපක්‍ෂගෙ උපදෙසුත් එක්ක ක්‍රියත්මක වුණු බුද්ධි අංශ හා ආරක්‍ෂක අංශ යටතෙ පාස්කු ප්‍රහාරය වළක්ව ගන්න තිබුණ කියල. 2018 ඔක්තෝම්බරයෙ සිට 2019 අප්‍රේල් දක්වා මාස හයක් තිබුණා. දින පනස්දෙකෙ ආණ්ඩුව  යටත්විජිත හේරත්ගෙ විශ්වාස භංගෙන් පැරදුණ දවසෙ  මෙරට බටහිර යටත්විජිත තානාපතිවරු පාර්ලිමේන්තුවෙ අත්පොළොසන් දීළ ප්‍රසිද්ධියේ ම වියනා සම්මුතිය කැඩුව හැටි අමතක කරන්න එපා.

 

පාස්කු ප්‍රහාරය ගැන දඬුවම් දෙන්න ඕන මෛත්‍රිපාලට නොවෙයි රනිල් සජිත් කිරිඇල්ල රනිල්දාස සුමන්තිරන් වැනි අයට. අද සජිත්ල කිරිඇල්ලලා කතෝලික කාවින්දලා අප්පුහාමිලා උත්සාහ කරන්නෙ මෛත්‍රිපාල බිල්ලට දීල තමන් බේරෙන්න. ප්‍රහාරය සිදු වුණෙ ගෝඨාභය රාජපක්‍ෂගෙ ආණ්ඩුව කාලෙ වගේ මේ උන්දැලා කතා කරන්නෙ. ඔවුන් කතා කරන්නෙ මොන මුඛයෙන් ද කියල මා අහන්නෙ නැහැ. ඒක කවුරුත් දන්නවා. කාවින්දලාට අප්පුහාමිලාට ඔය කියන කතෝලික භක්තිය පාස්කු ප්‍රහාරය දා තිබුණෙ නැහැ. ආණ්ඩු පක්‍ෂය මෙයට වඩා හොඳින් සජිත්ල අනුරදාසලා අප්පුහාමිලට උත්තර දෙන්න ඕන. පාස්කු ප්‍රහාරයට දින පනස්දෙකේ ආණ්ඩුව වැට්ටවූ ජාත්‍යන්තර හා මෙරට විජාතික බලවේග වග කියන්න ඕන.