Main Logo

Tuesday 19 July 2011

පළාත් සභා අවශ්‍ය කාහට ද?

අවුරුදු දෙකකට පෙර ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මගපෙන්වීම යටතේ අපේ රණවිරුවෝ ප්‍රභාකරන් හා ඔහුගේ ත්‍රස්තවාදය පැරදවූහ. බොහෝ දෙනා නොදනිතත් එහි දී මතු බුදුවන මෛත්‍රී බෝසතාණන් වහන්සේ (නාථ දෙවියන්) හා මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ අගසව් තනතුරකට පත්වීමට නියම ව ඇති විපස්සක දෙවියන් (මෙතුමන්ගේ බුද්ධිය හා දැනුම හමුවේ අයින්ස්ටයින් නිව්ටන් ආකිමිඩීස් ත්‍රිත්වය හිරු දුටු කදෝපැණියන් මෙනි. මම ඒ තිදෙනා ගැඹරෙන් ද විපස්සක දෙවියන් යම් පමණකින් ද හදාරා ඇත්තෙමි. ඒ පිළිබඳ විස්තර පසුව ලියමි) ප්‍රධාන සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගේ ද සහාය ලැබිණි. එහෙත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වය නොවන්නට ඒ කිසිවක් සිදු නොවන්නට තිබිණි. රණවිරුවන් ජීවිත පරිතා්‍යගයෙන් එසේ කළේ ඇයි? ජනාධිපතිතුමා බටහිර හා ඉන්දීය බලපෑම්වලට යටත් නොවී විවිධ තර්ජන ගර්ජන මධ්‍යයේ ඉන්ද්‍රඛීලයක් සේ නොසැළී දෙමළ ජාතිවාදයේ ත්‍රස්තවාදය පරාජය කළේ ඇයි? ඒ රටේ ස්වෛරීභාවය වෙනුවෙනි. එකල බටහිර ගැති ලිබරල්වාදී, මාක්ස්වාදී ආදී විවිධ වර්ගවල සියළු බුද්ධිමතුන් යැයි කියාගන්නා අය උපදෙස් දුන්නේ ප්‍රභාකරන් සමග සාකච්ඡා කරන ලෙස ය. අපි එදා ඒ පඬියන්ට විරුද්ධ වීමු. අප කියා සිටියේ ප්‍රභාකරන් පරාජය කළ යුතු බවත් ඔහු පරාජය කළ හැකි බවත් ය. මාවිල්ආරුවෙන් පසු සියල්ල වෙනස් වීමට පටන් ගත්තේ අපට අවශ්‍ය ආකාරයට ය.

ප්‍රභාකරන් පරාජය කළ යුතුව තිබූණේ ඇයි? ප්‍රභාකරන් යනු කවු ද? දැනට අවුරුදු විස්සකට පමණ පෙර ප්‍රභාකරන් ඔහුගේ සීයාලා බාප්පලා හා මස්සිනාලා නමින් පොතක් පළවිය. එහි ප්‍රභාකරන් යනු අහම්බෙන් පහළ වූ පුද්ගලයකු නොව මෙරට දෙමළ ජාතිවාදයේ එක් පුරුකක් පමණක් බව සංගත ව ප්‍රකාශ කෙරිණි. මෙරට දෙමළ ජාතිවාදය ඈරඹුණේ පනස්හයෙන් පසුවවත්, විශ්වවිද්‍යාල ප්‍රවේශයේ ඊනියා ප්‍රමිතිකරණයක් නිසාවත් (අද ද ප්‍රමිතිකරණ දෙකක් ක්‍රියාත්මක වෙයි. එකක් ඉසෙඩ් ලකුණ ඔස්සේ සිදුවන විෂයානුබද්ධ ප්‍රමිතිකරණයකි. අනෙක දිස්ත්‍රික් කෝටා හෙවත් දිස්ත්‍රික් කොටස යනුවෙන් ක්‍රියාත්මක වන ප්‍රදේශානුබද්ධ ප්‍රමිතිකරණයකි. මේ ප්‍රමිතිකරණ අද ක්‍රියාත්මක වන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වලට වාසිදායක ව ය. එදා ප්‍රමිතිකරණය මාධ්‍යානුබද්ධ ප්‍රමිතිකරණයක් විය. එහි කිසිදු වරදක් නොතිබිණි. අද එය නැවත ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නොවුණත් ෙසෙද්ධාන්තික වශයෙන් ගත්කල එහි දොසක් දැකිය හැක්කේ ප්‍රමිතිකරණය යනු කුමක් දැයි නොදත් සිංහල විරෝධී කසිකබල් සතිඅන්ත පුවත්පත් කතුවරයකුට හා වෙනත් එවැනි පඬියන්ට පමණකි) දෙමළ ජනයාට දෙමළ නිසා ම සිදුවූ ඊනියා අසාධාරණයක් නිසාවත්, ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවීමෙන් පසුව ඉන්දියා විරෝධී බටහිර ගැති විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසාවත් නො වේ. දෙමළ ජාතිවාදය ඇරඹුණේ ලන්දේසීන් මෙරටට දුම්කොළ වගාවට දකුණු ඉන්දියාවෙන් වෙල්ලාල නමින් හැඳින්වෙන කෘෂි කම්කරුවන් ආනයනය කිරීමෙන් පසුව ය. එදා සිට ලන්දේසීහුත් පසුව ඉංගිරිසිහුත් අද ඉංගිරිසින් හා ඇමරිකානුවන් ප්‍රධාන බටහිරයෝත් මුල දී වෙල්ලාලයන් තුළ හා පසුව දෙමළ ජනවර්ගය තුළ සිංහලයන්ට විරුද්ධව දෙමළ ජාතිවාදයක් ඇතිකර සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට විරුද්ධව, දෙමළ නායකයන් හා පසුව දෙමළ ජනයාත් මෙහෙයවූහ, මෙහෙයවති. ප්‍රභාකරන් යනු රාමනාදන්ලාගේ දේශපාලන මුණුබුරෙක් ද, චෙල්වනායගම්ලාගේ හා සම්බන්ධන්ලාගේ ඥාති පුත්‍රයෙක් ද, නීලන් තිරුචෙල්වම්ලාගේ මස්සිනා කෙනෙක් ද වෙයි. මේ දේශපාලනයෙහි මුල ඇත්තේ ඉංගිරිසින්ගේ මෙහෙයවීමෙන් මෙරට දේශපාලන නායකයා බවට පත්වීමට කටයුතු කළ රාමනාදන් ය. රාමනාදන්ගේ සිට ජී ජී පොන්නම්බලම් දක්වා ක්‍රියාත්මක වූයේ දෙමළ නායකයන් රටේ ද නායකයන් කරවීමේ දෙමළ ජාතිවාදී දේශපාලනයකි. ඉන් පසු චෙල්වනායගම්ගේ සිට අමිර්තලිංගම් හා දැන් සම්බන්ධන් දක්වා ක්‍රියාත්මක වන්නේ උතුරු හා නැගෙනහිර පළාත්වල වෙන ම දෙමළ රාජ්‍යයක් පිහිටුවීමේ දෙමළ බෙදුම්වාදී දේශපාලනය ය. ප්‍රභාකරන් එයට එකතු කළේ ජ වි පෙරමුණේ ත්‍රස්තවාදය ය. ඒ ත්‍රස්තවාදයට ද දෙමළ ජාතිවාදී අනෙක් දේශපාලන ක්‍රියාදාමයන්ට මෙන් ම ඉන්දියාවේ ද බටහිර ද සහාය ලැබිණි. ප්‍රභාකරන් හා සම්බන්ධන් අතර වෙනස ඇත්තේ ත්‍රස්තවාදයේ මිස දෙමළ ජාතිවාදයේ නො වේ ඔවුහු දෙදෙනා ම දෙමළ ජාතිවාදීහු වෙති.

දෙමළ ජාතිවාදයට ඉන්දියාවේ ඇති සම්බන්ධය අපට පෙනෙන්නට පටන්ගත්තේ ඉන්දිරා ගාන්ධිගේ කාලයේදී වූ පමණින් දෙමළ ජාතිවාදය හා ත්‍රස්තවාදය ජේ ආර්ගේ ඇමරිකන් ගැති විදේශ ප්‍රතිපත්තියට විරුද්ධව ඉන්දියාව විසින් අරඹන ලද්දක් යැයි නිගමනය කිරීම වැරදි ය. අප ප්‍රශ්න මැදින් අල්ලාගත යුතු නො වේ. මෙරට ප්‍රශ්නය සිංහලයන්ට එරෙහිව ක්‍රියාත්මක වන දෙමළ ජාතිවාදය ය. එය අවුරුදු දෙසියයකට ආසන්න කාලයක් පවතින ප්‍රශ්නයකි. ප්‍රශ්නය විසඳිය හැක්කේ දෙමළ ජාතිවාදය සහමුළින් ම පරාජය කිරීමෙනි. ප්‍රභාකරන්ගේ දෙමළ ත්‍රස්තවාදය යනු දෙමළ ජාතිවාදයේ ම එක් ප්‍රකාශනයක් පමණකි. එයට පමණක් නොව සමස්ත දෙමළ ජාතිවාදයට ම බටහිර් හා ඉන්දියාවේ සහාය ලැබෙයි. අප විසින් පරාජය කෙරුණේ දෙමළ ත්‍රස්තවාදය ය. ඒ සමග ත්‍රස්තවාදයේ දේශපාලනය වූ දෙමළ ජාතිවාදී දේශපාලනය ද පරාජය කෙරිණි. ඒ අතර අප විසින් දෙමළ ජාතිවාදය න්‍යායාත්මකව ද පරාජය කෙරී ඇත. එහෙත් දෙමළ ජාතිවාදය දේශපාලනික ව තවමත් අතථ්‍ය ව ව්‍යාජ ව ක්‍රියාත්මක වෙයි. එසේ ක්‍රියාත්මක වන්නේ බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ ආධාරයෙනි. සාමාන්‍ය දෙමළ ජනයාට අද ඊළමක් හෝ පළාත් සභා හෝ අවශ්‍ය නො වේ. එහෙත් සම්බන්ධන්ලා බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ අනුග්‍රහයෙන් දේශපාලනය කරති. ප්‍රභාකරන් බලාපොරොත්තු වූ ඊනියා විසඳුම හා චෙල්වනායගම් බලාපොරොත්තු වූ හා සම්බන්ධන් බලාපොරොත්තුවන ඊනියා විසඳුම අතර වෙනසක් නැත. ඒ විසඳුම් වෙනම රාජ්‍යයක් පිහිටුවීම මිස අනෙකක් නො වේ. බටහිරයන් දෙමළ නායකයන්ගෙන් බලාපොරොත්තු වන්නේ මේ නො වෙනස් විසඳුම ය. වෙනස වූයේ චෙල්වනායගම්ගේ මිනිසුන් ප්‍රකෝප කරන ඊනියා අවිහිංසා සත්‍යග්‍රහ සහ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය අතර ය. පඬියන් බටහිරයන් හා ඉන්දියානුවන් ආණ්ඩුවට ප්‍රභාකරන් සමග සාකච්ඡා කිරීමට යැයි කීවේ ක්‍රමයෙන් මේ විසඳුම ලබා දීමට ය. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය ඒ විසඳුම ලබාගැනීම සඳහා යොදාගත් බිල්ලා විය. බිල්ලා පෙන්වා කුඩා ළමුන් බය කරන්නාක් මෙන් ප්‍රභාකරන් පෙන්වා ඊනියා සාකච්ඡා හරහා ඊළාම ලබාදීම ඉහත කී කාගේ කාගේත් උපක්‍රමය විය. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය යනු ප්‍රභාකරන් පෙන්වා අපේ ඉතිහාසයට හෝ වර්තමානයට හෝ නොගැලපෙන ඉන්දීය මාදිලියේ ඊනියා විසඳූමක් විය. එය අප මත බලහත්කාරයෙන් පටවනු ලැබූවකි. ඇතැම් පළාත් සභා මන්ත්‍රීවරුන් හා චන්ද්‍ර්‍රිකාගේ ඇමතිවරුන් එයට කැමති වුව ද එය ව්‍යවස්ථාවට ඇතුළත් වනතාක් ඒ ඔස්සේ ඊළමක් දීමට දෙමළ ජාතිවාදීන් හා ඔවුන් පිටුපස සිටින බටහිරයන් හා ඉන්දියානුවන් කටයුතු කරනු ඇත. මෙහි දී ප්‍රභාකරන්ගේ සීයලා පොතෙන් මුල්වරට අනාවරණය කෙරුණු චෙල්වනායගම්ගේ දැන් ටිකක් පසුව හුඟක් යන ප්‍රතිපත්තිය අවධාරණය කළ යුතු ය. අද පොලිස් බලතල හා ඉඩම් බලතල පළාත් සභාවලට ඉල්ලන්නේ දහතුන ඔස්සේ බව අමතක කළ යුතු නො වේ.

අප අමතක නොකළ යුතු ප්‍රධානම කරුණ නම් දෙමළ ජාතික සංධානය තවමත් වඩුකොඩේ සම්මුතිය අත්හැර නැති බව ය. දෙමළ ජාතිවාදයේ සන්ධිස්ථානයක් වූ 1976 වඩුකොඩේ සම්මේලනයේ දී සම්මත කරගන්නා ලද සම්මුතියෙන් ඊළාමක් පිහිටුවීම අනුමත කෙරී ඇත. අපි සම්බන්ධන් ප්‍රමුඛ දෙමළ ජාතික සංධානයට වඩුකොඩේ සම්මුතිය අවලංගු කරන ලෙසට අභියෝග කරමු. එසේ නොකරනතාක් අපට ඔවුන් ඊළාම්වාදීන් ලෙස සැලකීමට සිදුවනු ඇත. එසේ නොකරනතාක් සම්බන්ධන් හා ප්‍රභාකරන් අතර ප්‍රතිපත්තිමය වශයෙන් වෙනසක් නැත. ක්‍රියා මාර්ග අතර ද පැහැදිලි වෙනසක් නැත්තේ ප්‍රභාකරන් හා ත්‍රස්තවාදීන් සම්බන්ධන්ලාට අපේ කොල්ලන් වූ නිසාත් සම්බන්ධන්ලාගේ පූර්ණ අනුග්‍රහය ප්‍රශාකරන්ට ලැබුණු නිසාත් ය. එබැවින් සම්බන්ධන් වහාම ප්‍රභාකරන්ගේ මිනීමරු ත්‍රස්තවාදය ද හෙළා දැක ප්‍රකාශයක් නිකුත් කළ යුතු ය. කෙසේ වෙතත් යුද්ධය හෝ ආයුධ සන්නද්ධ සටන් හෝ යනු දේශපාලනය ම මිස අනෙකක් නො වේ. අප විසින් පරාජය කරනු ලැබුයේ දෙමළ ත්‍රස්තවාදය පමණක් නො වේ. ත්‍රස්තවාදය පෙනී සිටියේ යම් දේශපාලනයක් වෙනුවෙන් ද හමුදා මෙහෙයුම් ජයග්‍රහණය සමග ඒ දේශපාලනය ද පරාජය කෙරිණි. අද හමුදා ජයග්‍රහණය සමග දෙමළ ජාතිවාදී දේශපාලනයේ විසඳුම් ද පරාජය වී ඇත. ඒ අරුතින් දහතුන්වැනි ව්‍යවස්ථාව ද දේශපාලනික ව පරාජය කෙරී ඇත. එහෙත් නෛතික තත්වය සෑමවිට ම දේශපාලනය සමග සමාන්තර ව ගමන් නො කරයි. නීතිය, දේශපාලනය තාක්‍ෂණය ආදිය පසුපස මිස ඉදිරියෙන් ගමන් නොකරයි. දහතුන දේශපාලනික ව පරාජය වී ඇති නමුත් එය නෛතික ව තවමත් ක්‍රියාත්මක වෙයි. අද කළ යුත්තේ වත්මන් දේශපාලනයට ගැලපෙන පරිදි නීතිය, මෙහි දී මූලික නීතිය හෙවත් ව්‍යවස්ථාව, වෙනස් කිරීම ය. රණවිරුවන් ප්‍රභාකරන් හා ත්‍රස්තවාදය පරාජය කළේ නැවතත් දෙමළ ජාතිවාදය සමග සාකචිඡා කිරීමට නො වේ. චර්චිල් හිට්ලර්ගේ ඝාතනයෙන් පසු ඉතිරි වී සිටි නට්සිවාදීින් සමග සාකච්ඡා ආරම්භ නො කළේ ය. ලෙනින් අත් අඩංගුවේ සිටි සාර් රජුගේ පවුල ඝාතනය කිරීමෙන් පසු සාර්ගේ දේශපාලන හිතවතුන් සමග සාකච්ඡා නො කළේ ය. ලෙනින් යුද්ධාධිකරණයට යැවිය යුතුව තිබුණි යැයි කියන මාක්ස්වාදියකු ද නැත. අද ඇත්තේ බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ අනුග්‍රහය ලබන සම්බන්ධන්ලාගේ අතථ්‍ය දෙමළ දේශපාලනයකි. අප සම්බන්ධන්ලාගේ දේශපාලනයට හසුවිය යුතු නො වේ. විසඳිය යුතු ව තිබූ ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක් තිබුණේ පඬියන්ගේ හිස් වූ හිස්වල පමණ ය. දෙමළ ජනයාට අද අවශ්‍ය පළාත් සභා, ඉඩම් හා පොලිස් බලතල නොව යම් මාදිලියක සංවර්ධනයකි. පළාත් සභා අවශ්‍ය වඩුකොඩේ සමමුතිය පිළිගත්තවුන් ට ය.