Main Logo

Friday 29 July 2011

සිංහල බෞද්ධ විද්‍යාවකට විරුද්ධ කැලණි මහැදුරෝ

මේ ඉතාමත් අසිරිමත් කාලයකි. අප අවුරුදු විසිපහකට වැඩි කාලයක් තිස්සේ සාකච්ඡා කළ ඇතැම් කරුණු තවදුරටත් නොසලකා හැරීමට පඬියන්ට නොහැකි වී ඇත. ඔවුහු විවිධ ප්‍රකාශ කරති. විවිධ ප්‍රකාශන ජනමාධ්‍යවලට නිකුත් කරති. මහැදුරෝ අපට විරුද්ධව කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාට ලිපි යවති. ඒ ලිපි මගින් ඔවුන් ඉල්ලා සිටින්නේ කුමක් ද යන්න පැහැදිලි ය. කඩිගුලක් ඇවිස්සූ කලක මෙන් පඬියන් ක්‍රියාකරන්නේ ඇයි?

ඉතා පැහැදිලිව බටහිර විද්‍යාවේ ආධිපත්‍යයට දැනෙන තරමට පහර වැදී ඇත. බටහිර විද්‍යාවට හා ඒ මත යැපෙන අනෙක් බටහිර දැනුම් පද්ධතිවලට තවදුරටත් ඉවසා සිටිය නො හැකි ය. නාථ දේවාලවල කපු මහතුන් කෙසේ වෙතත් බටහිර දැනුමේ කපුවෝ පරළ වී දුවති, පනිති. මෙහෙමත් පහරක් මෙතරම් ඉක්මනින් සිංහල බුද්ධාගමෙන් බටහිර යුදෙව් ක්‍රිස්තියානි විද්‍යාවට වැදේවි යැයි ඔවුන් සිහිනෙන්වත් සිතන්නට නැත. සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් වූ දැනුමක් රජරට වකුගඩු රෝගය පිළිබඳ ව නිර්මාණය කරගැනීමට හැකිවීම අද බටහිර විද්‍යාඥයන්ට දිරවාගත නො හැකි ය. ඔවුන්ගේ ආධිපත්‍යය බිඳ වැටීම ඇරඹී ඇති බව ඔවුන්ට වැටහෙනු නොදනුමාන ය.

මේ අසිරිමත් කාලයක් නිසා ම පිළිවෙළකට ලිපි ලිවීමේ අපහසුවක් වෙයි. අපි ගිය සතියේ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ ප්‍රකාශනයකට පිළිතුරු ලිවීම ඇරඹුවෙමු. එහෙත් එය මේ සතියේ අත්හිටුවීමට සිදු වී ඇත. ලබන සතියේ එය නැවතත් ලිවීමට බලාපොරොත්තු වෙමි. එයට හේතුව කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ආචාර්යවරුන් පිරිසක් (ඔවුන් අතර ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් හා මහාචාර්යවරුන් ද සිටින බව පැවසිය යුත්තේ එසේ නොකළහොත් ඇතැමුන්ට එය මදි පුංචිකමක් වීමට ඉඩ ඇති බැවිනි. මේ ඊනියා විදග්ධයන්ට කිසි විටෙකවත් එසේ මදි පුංචිකමක් නොකළ යුතු ය.) තමන් එම විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාට යැවූ ලිපියක් ජනමාධ්‍යයට ද නිකුත් කෙරී පසුගිය 13 වැනි දා විදුසර පුවත්පතේ පළ වූ බැවින් එයට පිළිතුරක් ලිවීමට සිදවීම ය.

එහෙත් එයට කලින් සරසවියෙන් පිටමං වී යනු මුරුගා යන මැයෙන් ලියැ වී ඇති ලිපියට ද පිළිතුරක් දිය යුතු ය. මේ ලිපියේ මුරුගා යනුවෙන් කියැවෙන්නේ කවුද යන්න පැහැදිලි නැත. මුරුගා කවුරුන් වුවත් එනමින් මෙහි දී සංකේතවත් වන්නේ නාථ දෙවියන් විය හැකි ය. කොටන්දෙනිය මහතා පමණක් නොව ගීත රචක මහාචාර්යවරුන් ද පිටමං කිරීමට සූදානම් වන්නේ මිථ්‍යා ලෙස හැඳින්වෙන බෞද්ධයන්ගේ හෝ හින්දුන්ගේ හෝ දෙවියන් මිස ක්‍රිස්තියානි කතෝලික යුදෙව් ඉස්ලාම් දෙවියන් නො වේ. ඒ පසුව කී ආගම්වල ඇත්තේ විවිධ ස්වරූප ගත්ත ද එකම දෙවි කෙනෙකි. මේ දෙවියන් පළවා හැරීමට කිසිම භෞතිකවාදියකු, හේතුවාදියකු, මහාචාර්යවරයකු උත්සාහ නොගන්නේ ඒ දෙවියන් මිථ්‍යාවක් නොවන බැවින් ද? මේ ඊනියා යථාර්ථවාදීන්ට අවශ්‍ය දැන හෝ නොදැන හෝ හින්දු බෞද්ධ දෙවිවරුන් පන්නා දමා යෙහෝවා - අල්ලා දෙවියන් තව තවත් ස්ථාපිත කිරීම ය.

බටහිර විද්‍යාව යනු යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය පසුබිම් කරගත් විද්‍යාවකි. රුවන් සිල්වා මහතා සඳහන් කර ඇති ආකාරයට නිව්ටන් විද්වතාට අවශ්‍ය වූයේ යුදෙව් ක්‍රිස්තියානි දෙවියන් විසින් මවන ලද ලෝකය දැන ගැනීමට ය. මුළු මහත් බටහිර විද්‍යාව ම පරණ තෙස්තමේන්තුවේ උත්පත්ති කතාවෙහි (Genesis) අඩංගු වෙයි. සමාජ විද්‍යාව මාක්ස්වාදය ආදිය පරණ තෙස්තමේන්තුවේ නික්ම යෑම (Exodus) යන්නෙහි දැකගත හැකි ය. මේ යෙහෝවා දෙවියන් පදනම් කරගත් බටහිර විද්‍යාවට එරෙහි ව අප කරන අරගලය හමුවේ මාක්ස්වාදීහු ද ධනවාදීහු ද එකසේ බියවී සිටිති. ඊනියා යථාර්ථයේ පදනමේ ඇත්තේ මේ ලෝක නිර්මාපක දෙවියන් ය. අද බටහිර විද්‍යාව මහ ඉහළින් කතාකරන මහා පිපිරුම යනු එක් මොහොතක සිදුවන විශ්ව නිර්මාණය මිස අනෙකක් නො වේ. මෝසස්ගේ පොරොන්දු දේශය හා මාක්ස්ගේ සමාජවාදය යනු හරය වශයෙන් ගත්කල දෙකක් නොව එකකි. විශ්වය යම් දිනක නිර්මාණය වූවක් නොව අගක් මුලක් නැති විකාශයක් සහිත වූවක් ලෙස බෞද්ධයෝ පිළිගනිති.

යක්‍ෂ දේව සංකල්ප ප්‍රකෘතිය තේරුම් ගැනීමට නොහැකිවූවන්ගේ ප්‍රාථමික ගණයේ විශ්වාස යැයි කොටන්දෙනිය මහතා දන්නේ කෙසේ ද? ඒ වත්මන් බටහිර යුදෙව් ක්‍රිස්තියානි දැනුමෙහි යෙහෝවා නොවන අනෙක් දෙවියන් ගැන කියැවෙන කතාවකි. බටහිරයන්ටත් බයිබලයටත් අවශ්‍ය යෙහෝවා දෙවියන් පමණක් තබාගෙන අනෙක් සියළු දෙවියන් නැති කිරීම ය. කොටන්දෙනිය මහතා ඊනියා යථාර්ථවාදී බෞද්ධයකු විය හැකි ය. බුදුන් වහන්සේ ද දෙවියන් පෙරේතයන් ආදීන් ගැන දේශනා කර ඇත්තේ ඊනියා ප්‍රකෘතියක් තේරුම් ගැනීමට නො හැකිව ද? විශ්වයේ ප්‍රාණීන් ලෙස ඇත්තේ ද්‍යශ්‍යමාන මිනිසුන් හා තිරිසනුන් පමණක් යැයි කොටන්දෙනිය මහතා විශ්වාස කරන බවක් පෙනෙයි. එය විශ්වාසයක් නොව ඊනියා යථාර්ථයක් යැයි කිසියම් වූ යථාර්ථවාදියකුට පෙන්වා දිය හැකි ද? මා පසුගිය සති කිහිපයේ විදුසර පුවත්පතට ලියූ ලිපි කියැවී නම් කොටන්දෙනිය මහතාට කසිකබල් භෞතිකවාදය (ද්‍රව්‍යවාදය) යනු කුමක්දැයි දැනගැනීමට තිබුණි. ඊනියා භෞතිකවාදය යනු විඥානවාදයක් පමණක් බව ඒ ලිපිවල පැහැදිලි කෙරී ඇත. කිසියම් කසිකබල් මාක්ස්වාදී ගුරුකුලයකින් දැනගන්නා ලදැයි සිතිය හැකි විඥානවාදය වැනි වචන ටිකක් කටගාගත් පමණින් කොටන්දෙනිය මහතාට බෞද්ධ දෙවියන්ගේ පැවැත්ම නැතැයි කිව නො හැකි ය. බුදුන්වහන්සේගෙන් ධර්මය ඇසූ දෙවියන් උන්වහන්සේගේ මනෝ භ්‍රාන්තීන් ද? කොටන්දෙනිය මහතා වැන්නන්ට ප්‍රශ්නය වී ඇත්තේ සිත යනු කුමක් දැයි යම්තමින්වත් තේරුම්ගත නොහැකි වීම ය. සිත ද ඊනියා භෞතිකයට ම ඌනනය කළ හැකි යැයි ඌනිතවාදීුහු සිතති. ඌනිතවාදයට මරු පහරක් ගඩ්ල් ප්‍රමේයයෙන් වුව ද එල්ලවන බව කොටන්දෙනිය මහතා නොදන්නා සේ ය.

භාවනාවෙන් මොළයේ පමණක් නොව හෝමෝනවල ද වෙනත් තැන්වල ද යම් යම් වෙනස්කම් ඇතිකළ හැකි ය. එහෙත් කොටන්දෙනිය මහතා වැන්නන් නොදන්නා කරුණ නම් මොළය යනු සිත නොවන බව ය. සිත මොළයට ඌනනය කිරීමට තැත්කිරීම බටහිර ඌනිතවාදී මනෝ විශ්ලේෂකයන්, මනෝ වෛද්‍යවරුන් ආදීන් ගේ තවත් අසාර්ථක වූ මනෝමය ව්‍යාපෘතියක් පමණ ය. කොටන්දෙනිය මහතාගේ මනෝ භ්‍රාන්තිවලට අනුව නිවන ද මනෝ භ්‍රාන්තියක් වෙයි. කොටන්දෙනිය මහතා කරුණු කොතනින් අහුළාගත්ත ද බටහිර විද්‍යාවට අවශ්‍ය නිවන ද තවත් මනෝභ්‍රාන්තියක් බවට පත්කිරීම බව නම් පැහැදිලි ය.

කැලණිය විශ්වවිද්‍යාලයේ ඇතැම් ආචාර්යවරුන්ට ද අවශ්‍ය මතු බුදුවන නාථ දෙවියන් හා විපස්සක දෙවියන් වැනි සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන් පන්නා දමා යුදෙව් ක්‍රිස්තියානි යෙහෝවා දෙවියන්ගේ විද්‍යාව (බටහිර විද්‍යාව) ඒ දෙවියන් ද සමගින් රැකගැනීම ය. අද කැලණියේ ද ලිබරල්වාදීහු හා මාක්ස්වාදීහු බෞද්ධයනට එරෙහිව අත්වැල් බැඳගෙන සිටිති. මොවුන් නිව්ටන්ගේ යුදෙව් ක්‍රිස්තියානි දේවවාදී විද්‍යාව ආරක්‍ෂා කරන අතර මතු බුදුවන මෛත්‍රී බෝසතාණන්වහන්සේගේ (නාථ දෙවියන්) හා විපස්සක දෙවියන්ගේ විද්‍යාව ප්‍රතික්‍ෂෙප කරති. මොවුන් ඇතැමකු විද්‍යාලංකාර යන නමට අකමැති ය. ඔවුහු විද්‍යාලංකාරයේ බෞද්ධ උරුමය මකා දැමීමට කටයුතු කරති.

අපට එරෙහිව චෝදනා සහිත ලිපිය උපකුලපතිතුමාට යැවූ ඊනියා බුද්ධිමත්තු 1967 බිහි වූ විද්‍යා පීඨය වසර පනහකට අධික කාලයක් තිස්සේ ඉමහත් පරිශ්‍රමයෙන් ගොඩනගාගත් කීර්තිනාමයක් පිළිබඳ ව සඳහන් කරති. 1967 දී බිහි වී නම් විද්‍යා පීඨයට තවමත් වසර පනහක් ගෙවී නැති බව විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පමණක් නොව පාසල් සිසුහු ද දනිති. එහෙත් ඇතැම් මහාචාර්යවරු ඒ බව නොදන්නා බව ඔවුන්ගේ නිවේදනයෙන් (ලිපියෙන්) පැහැදිලි වෙයි. අනෙක් අතට මේ ගොඩනගා ගත්තේ යැයි කියන කීර්තිය කුමක් ද? මේ අයගෙන් එක් අයෙක්වත් ඔවුන් ඉතා උසස් ලෙස සලකන නේචර් සඟරාවේ හෝ සයන්ස් සඟරාවේ හෝ පත්‍රිකා පළකර ඇත් ද? ඔවුන් බිහිකර ඇති නව සංකල්පයක්, ප්‍රවාදයක් ප්‍රමේයයක් වේ ද? මේ විද්‍යාඥයෝ හුදෙක් තාක්‍ෂණික ශිල්පීහු පමණක් වෙති. ඔවුන් දන්නේ සූපශාස්ත්‍ර විද්‍යාවකි. බටහිර පොතට අනුව අම්ලයක්, භෂ්මයක් එකතුකිරීම යම් උෂ්ණත්වයකට රත්කිරීම ආදිය හැරෙන්නට ඔවුන් දන්නා විද්‍යාත්මක විධික්‍රමය කුමක් ද? ඊනියා සාම්‍ය සමාලෝචන ගැන මනෝජ් රත්නායක මහතා ජූලි 13 වැනි දා විදුසරට ලියා ඇති ලිපිය කියවීමෙන් ඔවුන්ට බොහෝ දේ ඉගෙන ගත හැකි ය. නේචර් සයන්ස් යන ප්‍රධාන සඟරාවල පළවන පත්‍රිකාවලින් ද සියයට තිහක් පමණ අවුරුදු කිහිපයක දී වැරදි යැයි නිගමනය වන බව ඔවුහු නො දනිති. අනෙක් අතට ඊනියා විද්‍යා පර්යේෂණ ප්‍රතිඵල විද්‍යා සඟරාවක පළකළ යුතු බවට නීතියක් ඇත්තේ කෙහේ ද? අද මේ ඇදුරන් හා මහැදුරන් තැත්කරන්නේ කැලණිය සරසවියට ලැබිය යුතු ගෞරවය නැතිකිරීමට ය.

මා බටහිර විද්‍යාත්නක ක්‍රමයට අභියොාග කරන්නේ අද ඊයේ නොව අවුරුදු විසිපහක පමණ කාලයක සිට ය. ඒ බව කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ආචාර්යවරුන් නොදැන සිටියේ නම් එයට හේතුව ඔවුන්ගේ මුග්ධකම ය. ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක් ලෝකයේ නැති බවත් එය හුදෙක් බටහිර විද්‍යාව දැනුම් පද්ධතියක් ලෙස අනෙක් දැනුම් පද්ධතීන්ට වඩා උසස් ය, නිවැරදි ය සත්‍යයට ආසන්නය ආදී බේගල් පතුරවා ලෝකයට ම තම මතය බලයෙන් දීමට යොදාගන්නා ආයුධයක් පමණක් බවත් මා ප්‍රකාශ කර ඇත්තේ වරක් දෙවරක් නො වේ. බටහිර විද්‍යාව ඇත්ත ද බොරු ද යන්නක් එයින් නො කියැවෙයි. බටහිර විද්‍යාව ද තවත් දැනුම් පද්ධතියක් පමණක් බවත් බටහිර විද්‍යාඥයන් කරන්නේ ද අනෙක් බොහෝ අය මෙන් ම ප්‍රශ්නවලට පිලිතුරු ලෙස සංගත කතන්දර ගෙතීම (විද්‍යා කතන්දර පොත කියවන්න) පමණක් බවත් අප ප්‍රකාශ කර ඇත. බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙනස්වන්නේ එය පදනම් වූ සංස්කෘතියෙන් හා චින්තනයෙනි. බටහිර විද්‍යාව යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය හා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වෙයි. අපේ විද්‍යාව සිංහල බෞද්ධ සංස්කෘතිය හා චින්තනය මත පදනම් වෙයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ඇතැම් ගුරුවරු නමින් බෞද්ධ වුවත් සිංහල බෞද්ධ විද්‍යාවක් බිහිකිරීමට විරුද්ධ වෙති. ඔවුහු විද්‍යාලංකාර නමට ද ඒ සම්ප්‍රදායට ද විරුද්ධ වෙති. නො සංසිඳෙන හීනමානයක් ඇති මොවුන්ට අවශ්‍ය බටහිර ජීවන ක්‍රමය අනුකරණය කරමින් අබෞද්ධ මාවතකට විද්‍යාලංකාරය ඇද දැමීම ය. අපි එයට මහාවිහාරයේ අභයගිරියේ හා මෙරට සිංහල බෞද්ධ ජනතාවගේ නාමයෙන් ඉඩ නො දෙමු. මොවුන් අද කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාට පැමිණිලි කරන්නේ අපට විරුද්ධව දඬුවම් කරවීමට ය. ඔවුන් කෙතරම් කුහකයන් දැයි කිවහොත් අපේ පර්යේෂණ ප්‍රතිඵල පුවත්පත්වලට නිකුත්කිරීම ගැන චෝදනා කරමින් අපට විරුද්ධ ව උපකුලපතිතුමාට ඉදිරිපත් කර ඇති චෝදනා පත්‍රය ජනමාධ්‍යයට නිකුත්කිරීමට පියවර ගෙන ඇත.

අද පොදු මහජනතාව කැලණිය විශ්වවිද්‍යාලය කෙරෙහි ඇතිකරගෙන ඇත්තේ ගෞරවණිය ආකල්පයකි. පළමු වරට සුද්දාගේ පොතට අනුව පරිධියේ බෙලෙක් තහඩුවලට තට්ටු කරන කසිකබල් සූපශාස්ත්‍ර පර්යේෂණ නොව සුද්දාගේ පොතේ නැති එහෙත් විපස්සක දෙවියන් දෙන හෝඩුවා අනුව කෙරෙන ගවේෂණයක අපි නිරත වෙමු. විපස්සක දෙවියෝ මේ අඳ බාලයන්ට පමණක් නොව ආකිමිඩීස්, නිව්ටන් අයින්ස්ටයින් ආදීන්ට ද වඩා කල්ප ලක්‍ෂ ගණනකින් ඉදිරියෙන් සිටිති. අපි අපේ වැඩ පටන් ගත්තා පමණක් බව ඊනියා විද්‍යාත්මක අඳ බාලයන්ට දැනුම් දෙමු.