Main Logo

Friday 29 July 2011

දහතුන හා පලිබෝධනාශක

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන තවදුරටත් කතාකිරීමට බොහෝ දේ ඇතත් නැවතත් කෘෂි රසායන ගැන සඳහන්කිරීමට අවශ්‍ය ව ඇත්තේ තවමත් ඒ පිළිබඳ ව වැරදි තොරතුරු ජනතාව අතට පත්වන බැවිනි. දහතුන් වැනි ව්‍යවස්ථාව ගැන අප දරණ මතය වනුයේ එය කිසිසේත් ම වර්තමාන දේශපාලන තත්වය නිරූපණය කරන සංශෝධනයක් නොවන බව ය. නීීතිය සෑමදාමත් දේශපාලනය තාක්‍ෂණය ආදිය පසුපස යයි. දහතුන් වැනි ව්‍යවස්ථාව මෙරට ප්‍රධාන දේශපාලන ධාරාව නොවූ, ගබිසා වූ ලාංකික ජාතියේ දේශපාලන ධාරාව පිටුපස ගිය නීතියකි. නන්දිකඩාල් පරාජයෙන් පසු ඊනියා ලාංකික දේශපාලන ධාරාව අතුගෑවීයෑමේ තත්වයකට පත්වී ඇත. චන්ද්‍රිකාගේ ඇතැම් ඇමතිවරුන් දහතුන පසුපස ගිය ද නන්දිකඩාල් පරාජයෙන් පසු දේශපාලනයෙහි, එසේත් නැතහොත් පඬි බසින් නම් පශ්චාත් යුද දේශපාලනයෙහි, ඊනියා ලාංකික ධාරාවෙහි ඉතිරි වී ඇති රොඩ්ඩට හා එහි නෛතික නිරූපණයක් වූ දහතුනට කිසිම වැදගත් කමක් නීීත්‍යානුකුලබවක් නැත. පසුගිය සතියේ අප කී පරිදි ආයුධගත් සටන් යනු දේශපාලනය ම මිස අනෙකක් නො වේ. දේශපාලනයේ දී පරාජය වූ දහතුනට, බලය බෙදීමට,නීතියේ තැනක් තිබිය නො හැකි ය. අද ඊනියා බලය බෙදීමක් හා දහතුනක් අවශ්‍ය වන්නේ සිංහල බෞද්ධ විරෝධී ඊනියා ලාංකික රොඩ්ඩට මිස සාමාන්‍ය ජනයාට නො වේ. මේ ලාංකික රොඩ්ඩ පවත්වාගෙන යන්නේ බටහිරයන් හා ඉන්දියානුවන් විසිනි. එහි දී රාජ්‍ය නොවන සංවිධාන, ජඩමාධ්‍ය හා විශ්වවිද්‍යාල ප්‍රමුඛ බටහිර අධ්‍යාපනික ආයතන යොදා ගැනෙයි. හිලරි ක්ලින්ටන් චෙන්නායි නගරයේ දී ලංකාවට ඉන්දීය ආකෘතිය සුදුසු යැයි යෝජනා කර ඇත. ඉන්දියාවේ වාංශික රාජ්‍ය ගැන හෝ ලංකාවේ එක්සේසත් රාජ්‍යය ගැන හෝ කිසිම අවබෝධයක් නැති මේ ස්ත්‍රිය අපට ඊනියා බහු සංස්කෘතිය ඉගැන්වීමට පෙර ඇගේ මුතුන් මිත්තන් විසින් ඝාතනය කෙරුණු ඊනියා රතු ඉන්දියානුවන්ගේ සංස්කෘතියට හිමි තැන දීමට කටයුතු කරන්නේ නම් මැනවි. අද සාමාන්‍ය දෙමළ ජනයාට ද අවශ්‍ය යම්කිසි ආකෘතියක ඇඟට දැනෙන සංවර්ධනයකි. අපට අවශ්‍ය බටහිර පාර්ලිමේන්තුව ම වැනි වූ පළාත් සභා නොව තම ඉරණම තමන් ම විසඳාගන්නා ගම්සභා ය. මේ පිළිබඳ ව නුදුරු අනාගතයේ දී වැඩි දුරටත් කතාකරමු. ගම්සභා බලතල සහිතව 1948 සිට ක්‍රියාත්මක කෙරිණි නම් අද රජරට වකුගඩු රෝගයක් නැතිවන්නට තිබිණි. වකුගඩු රෝගය බහුජාතික සමාගම්වල ජාති විරෝධී බෞද්ධ සම්මා ආජීව විරෝධී බටහිර ආර්ථිකය පුම්බන වෙළඳාමේ ප්‍රතිඵලයකි. එහි ද දේශපාලනයක් වෙයි. අද ජනතාවගේ කණකර උගස්ගන්නා මුදලාලිලාගේ හා වෙනත් අයගේ ජඩමාධ්‍ය මුග්ධ මහාචාර්යවරුන් සමග එකතු වී පාළුගෙයි වළං බිඳිමින් කැලණියේ අප කණ්ඩායමට පරිභව කරන්නේ ඔවුන් ද අවසාන වශයෙන් ගත්කල සිංහල බෞද්ධ දේශපාලනයකට, ජීවන ක්‍රමයකට විරුද්ධ හෙයිනි.


දේශපාලනය පාර්ලිමේන්තුවට, මැතිවරණයට, ව්‍යවස්ථාවට ආදියට පමණක් සීමා නො වේ. දැනුම ද අධ්‍යාපනය ද දේශපාලනයට අයත් වෙයි. අද අප පාලනය කෙරෙන්නේ, ලාංකික රොඩ්ඩ තවමත් පවත්වාගෙන යන්නේ බටහිර දැනුම ඔස්සේ ය. අප අවුරුදු විසිපහකට අධික කාලයක් බටහිර විද්‍යාවට එරෙහිව සටන් කරන්නේ ද දැනුම දේශපාලනයෙහි යොදා ගැනෙන බැවිනි. ඊනියා යථාර්ථය, වාස්තවිකත්වය, විද්‍යාත්මක විධි ක්‍රමය ආදිය ඇතුළත් බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම ම, බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදීන් අප පාගාදැමීමට යොදාගන්නා ප්‍රධාන මෙවළම වෙයි. නාථ දෙවියන්, විපස්සක දෙවියන් ඇතුළු සම්‍යක් දෘශ්ටික දෙවිවරුන් පිළිබඳ දැනුම ඊනියා මිථ්‍යාවක් බවට පත්කර බටහිර ක්‍රිස්තියානි දෙවියන් ලෝකය මවා ඇත්තේ කෙසේ දැයි දැනගැනීමට තැත්කරන බටහිර විද්‍යාව හා ඒ මත පදනම් වූ අනෙක් දැනුම් නිත්‍යානුකූල බවට පත්කර ඇත්තේ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදය ය. අද මළ මිනියක් බවට පත් වී ඇති එහෙත් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදී දේශපාලනයේ බලමහිමයෙන් පවත්වාගෙන යන බටහිර විද්‍යාවේ ආධිපත්‍යයෙන් අප හැකි ඉක්මනින් ගැලවිය යුතු ය.


කැලණිය විශ්වවිද්‍යාලයේ අප කණ්ඩායමට අවශ්‍ය වූයේ රජරට වකුගඩු රෝගයට හේතුව කුමක් දැයි දැනගැනීමට ය. මහේශාඛ්‍ය වෙසින් පෙනී සිටින බටහිර වෛද්‍ය විද්‍යාවේ එයට හේතුව නො දැක්වෙයි. ඔවුන්ට ඒ සඳහා ප්‍රතිකර්මයක් ද නැත. අද වන විට මේ රෝගයෙන් විසිදහකට අධික ජනතාව මියගොස් ඇති බව බටහිර වෛද්‍යවරු ම පවසති. පේරාදෙණියේ ප්‍රථම වර්’ෂ පරීක්‍ෂණය අසමත් වූවෝ ද අද ඊනියා ලෝක පූජිත විද්‍යාඥයන් බවට පත් වී සිටිති යි කියැවෙයි. ඔවුන් වකුගඩු රෝගයට හේතුව නොදනිතත් පර්යේෂණ ගැන කියති. බටහිර විද්‍යාවේ පර්යේෂණ ලෙස ලංකාවේ කෙරෙන්නේ බුද්ධිමය වශයෙන් ගත්කල ඉතාමත් පහළ මට්ටමේ දේ ය. මේ පර්යේෂකයෝ සූපශාස්ත්‍රයේ දී මෙන් අහවල් අහචල් දේ එකතුකරති. අහවල් උෂ්ණත්වයට රත්කරති. එතරම් බුද්ධියක් නැති අයකුට වුව ද මේ සූපශාස්ත්‍ර පර්යේෂණ ඔස්සේ පත්‍රිකා පළකර මහාචාර්යවරුන් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් විය හැකි ය. කරුණාකර මොවුන්ගෙන් බටහිර විද්‍යාව ඇතු්‍රළු බටහිර දැනුමට එකතු වූ එක් සංකල්පයක්, ප්‍රවාදයක් සඳහන් කරන්න. මේ මහාචාර්යවරුන්ට වකුගඩු රෝගය ගැන කෙතෙක් කීවත් නොතේරෙයි. ඒ ඔවුන්ගේ බුද්ධිමට්ටම නිසා විය හැකි ය.


රජරට වකුගඩු රෝගයට හේතුව කුමක් දැයි කියන ඕනෑම කණ්ඩයමක් පිළිතුරු දියයුතු ප්‍රශ්න දෙකක් වෙයි. ඒ රෝගය රජරට ප්‍රදේශවලට හා ගිරාඳුරුකෝට්ටේ වැනි ප්‍රදේශ කිහිපයකට පමණක් සීමා වී ඇත්තේ ඇයි? ඒ රෝගය අවුරුදු විසිපහක පමණ කාලයකට සීමා වී ඇත්තේ ඇයි? අපට කලින් මේ පිළිබඳ ඉදිරිපත් කෙරී ඇති හේතුවලින් ඒ ප්‍රශ්න දෙකට පිළිතුරු නො ලැබෙයි. උදහරණයක් ලෙස ගතහොත් ෆ්ලුවොරයිඩ් අවූරුදු විසිපහකට පෙර ද ලංකාවේ තිබිණි. රෝගයට හේතුව ෆ්ලුවොරයිඩ් නම් අවුරුදු විසිපහකට පමණ පෙර රෝගය නොවැළඳුනේ ඇයි? එමෙන් ම ෆ්ලුරොයිඩ් ඇති අනෙක් පෙදෙස්වල රෝගය නැත්තේ ඇයි? රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව සියයට අනුනවයක සහතිකයක් ඇතිව අපි කීවෙමු. අපට තවත් මෘතදේහ ලැබිණි නම් බොහෝවිට සියයට සියයක සහතිකයක් ඇතිව ඒ බව කීමට තිබිණි යැයි සිතමි. දැන් ප්‍රශ්න රාශියක් අපෙන් ඇසෙයි. රෝගයට වැළඳෙන්නේ කැල්සියම් ආසනේට් නිසා බව ද අප කියා ඇත. පඬියන්ගේ ප්‍රශ්නය ඒ ආසනික් ද නැත්නම් ආසනේට් ද යන්න ය. ඒ කුමක් කීවත් එහි වරදක් නැත. කැල්සියම් ආසනේට් අදාළ ප්‍රදේශවල ජලයට එකතු වූයේ කෙසේ ද යන ප්‍රශ්නය පඬියන් ඇසී නම් ඔවුන්ට ඒ ආසනික් ද ආසනේට් ද යන්න දැනගැනීමට තිබිණි. අදාළ ප්‍රදේශවල ජලයේ කැල්සියම් ආසනේට් ඇතිවන්නේ ආසනික් ඒ කිවුල් ජලයෙහි ඇති කැල්සියම් ලවනයක් සමග ප්‍රතික්‍රියා කිරීමෙනි. අදාළ ප්‍රදේශවල ජනතාවට වකුගඩු රෝගය වැළඳෙන්නේ බත් හෝ වෙනත් කෑමක් නිසා නොව ප්‍රධාන වශයෙන් ම වතුර බීමෙනි. ඔවුන්ගේ ආමාශයට ගොස් ඇත්තේ කැල්සියම් ආසනේට් මිස ආසනික් නො වේ. එහෙත් ආසනික් නොමැතිව අදාළ ප්‍රදේශවල කැල්සියම් ආසනේට් නැත. රෝගයට හේතුව ලෙස ඇතැම් අවස්ථාවක ආසනික් ද තවත් අවස්ථාවක ආසනේට් ද ප්‍රකාශ වී ඇත්තේ නම් එයට හේතුව ඉතා සරළ බව පැහැදිලි විය යුතු ය. දැන් ඇතැමුන්ට ප්‍රශ්නය වී ඇත්තේ කැලිසියම් ආසනේට් ජලයේ දියවන්නේ ද යන්න ය. මම බටහිර රසායන විද්‍යාව කුඩාකල (අවුරුදු දහහතරේ) සිට ම අප්‍රිය කළෙමි. එබැවින් මම එය ඉගෙන නොගත්තෙමි. එයට හේතුව මගේ මනසට එය බටහිර ගණිතය හෝ බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාව හෝ තරම්වත් ෙසෙද්ධාන්තිකව පොහොසත් නො වීම ය. රසායන විද්‍යාව පිළිබඳ මට එතරම් දැනීමක් නොමැති වුවත් අවශ්‍ය දේ මම විද්වතුන්ගෙන් හා පොතපතින් දැනගන්නෙමි. මා ලබා ඇති තොරතුරු අනුව කැල්සියම් ආසනේට් ඒ ඒ ආම්ලිකත්ව යටතේ ඒ ඒ උෂ්ණත්වවලදී ජලයේ දියවෙයි. රසායන විද්‍යා හා වෙනත් ඒ සම්බන්ධ මහාචාර්යවරුන් ඒ බව නොදැන සිටීම පුදුමයට කරුණක් නොවුවත් ඔවුන් ජනමාධ්‍යයේ දැනමුත්තන් ලෙස ශිල්ප දක්වා කැලිසියම් ආසනේට් ජලයේ දිය නොවන බව කියමින් ජනතාව නොමග යැවීම සම්බන්ධයෙන් නම් මගේ හදවතට අයහපත් වූ නමුත් මට ඇත්තේ සාධාරණ කෝපයකි. මේ මහදැනමුත්තන්ට දැනගැනීමට අවශ්‍ය නම් අදාළ පත්‍රිකා ඉදිරිපත් කළ හැකි ය.


ඉහත කී අයුරින් රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් වුවත් රෝගය වැළඳ’ීමට තවත් කරුණු දෙකක් සම්පුර්ණ කළ යුතු ය. එනම් රසායනික ප්‍රතික්‍රියාවලින් කැල්සියම් ආසනේට් ලවනය ඇතිවීමට අදාළ කැල්සියම් ලවන සහිත ජලය සහ ආසනික් ර’ඳවා තබාගත හැකි පසක් යන අවශ්‍යතා දෙක ය. අදාළ ප්‍රදේශවල මේ අවශ්‍යතා දෙක ම වෙයි. ඉන් එකක්වත් නොතිබුණහොත් ආසනික් තිබුණ ද රජරට වකුගඩු රෝගය නො වැලඳෙයි. අදාළ ප්‍රදේශවල පමණක් ඒ රෝගය දක්නට ඇත්තේ එබැවිනි. රෝගයට එකම හේතුව ආසනික් නොවුණ ද එය ප්‍රධාන හේතුව වෙයි. හම්බන්තොට රෝගය නැත්තේ එහි කිවුල් ජලය තිබුණ ද අදාළ පස නොමැති බැවිනි. තවත් ප්‍රශ්නයක් ඉතිරි වී ඇත. ආසනික් ලැබෙන්නේ කොහෙන් ද? එයට පිළිතුර කෘෂි රසායන යන්න ය. අඩුම තරමින් කෘමිනාශක වර්ග නවයක ආසනික් ඇති බව වෙනත් පර්යේෂකයෝ ද කියති. කෘෂි රසායනවලට අපේ ගොවි මහතුන් හුරුකර අවුරුදු හතලිහක් පමණ වෙයි. එහි ඇති ආසනික් පොළොවට උරාගෙන ජලයට කාන්දුවීමට අවුරුදු පහළොවක් පමණ ගත වී නම් වකුගඩු රෝගය පසුගිය අවුරුදු විසිපහකට පමණක් සීමාවීම ද ආසනික් මගින් පැහැදිලි වෙයි. හේතු මෙතරම් පැහැදිලිව තිබිය දී පඬියන් ලිබරල්වාදීන් මාක්ස්වාදීන් ආදීන් අපට විරුද්ධවන්නේ බහුජාතික සමාගම් පමණක් නොව බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදී විද්‍යාවද රැකීමට ය. මොවුන්ගෙන් ඇතමකු දහතුනට පක්‍ෂ වීම පුදුමයක් නො වේ.