Main Logo

Saturday 2 July 2011

කෝප්පයේ භෞතිකවාදී කෙප්පය

භෞතිකවාදයේ හෙවත් ද්‍රව්‍යවාදයේ පදනම වාස්තවිකත්වය නොවේ යැයි වාස්තවිකත්වය යනු විඥානවාදී සංකල්පයක් බව පෙන්වාදීමෙන් පසුව කිසිවකුට කිවහැකි ය. වාස්තවිකත්වය යන්න වස්තුව යන සංකල්පය මත පදනම් වී ඇති බවත් වස්තුව යනු පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන වියුක්ත සංකල්පයක් බවත් වටහාගත් භෞතිකවාදියකු ඇතැම් විට කියනු ඇත්තේ භෞතිකවාදයෙහි සඳහන්වන්නේ ඒ ඒ ද්‍රව්‍ය මිස සාධාරණ වස්තු නොවන බව ය. උදාහරණයක් ලෙස එවැනි භෞතිකවාදියකු තමා කතාකරන්නේ තමාට පෙනෙන කෝප්පයක් ගැන මිස ලෝකයේ ඇති ඉන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත කෝප්පයක් ගැන නොවන බව ය.

එහෙත් ප්‍රශ්නය වනුයේ අප සෑම විට ම පංචෙන්ද්‍රියන්ට ගෝචරවන කෝප්ප ගැන පමණක් කතා නො කිරීම ය. අපට අවශ්‍ය නම් ඇමරිකාවේ සුපිරි වෙළෙඳසලක විකිණීමට ඇති කෝප්පයක් ගැන කතාකළ හැකි ය. දැන් ප්‍රශ්නය වනුයේ එලෙස කෝප්පයක් ඇති බව අප දන්නේ කෙසේ ද යන්න ය. ඒ කෝප්පය අපේ පංචෙන්ද්‍රියන්ට ගෝචර නො වේ. පරිගණක තාෂණය යොදාගෙන ඇතැම් කෝප්ප අපට මෙරට සිට බැලිය හැකි ය. එහෙත් ඇමරිකාවේ තබා ලංකාවේ ද ඇති කෝප්ප සියල්ල අපට බලාගත හැකි නො වේ.

එසේ වුවත් එවැනි කෝප්ප ඇති බව අපි නිගමනය කරමු. හුදු ඉන්ද්‍රියානුභූතවාදයට අනුව නම් එසේ කළ හැකි නො වේ. ඉන්ද්‍රිය ගෝචර සංසිිද්්ධි හැරෙන්නට වෙනත් සංසිිද්ධි ඇති බව අප නිගමනය කරන්නේ කෙසේ ද? එය එක්තරා ආකාරයකින් ගතහොත් අභ්‍යුහනයකි. ලෝකයේ ඇත්තේ අප දැනටමත් පංචෙන්ද්‍රියන්ගේ ආධාරයෙන් නිරීක්‍ෂණය කර ඇති කෝප්ප පමණක් යැයි අපට කිවහැකි නො වේ. අප දැනට දැක නැති කෝප්පයක් වෙළෙඳසලකට ගියවිට හෝ වෙනත් අයකුගේ නිවසකට ගිය විට හෝ අපට දැකගත හැකි වෙයි.

එලෙස අපේ පංචෙන්ද්‍රිය ගෝචර කෝප්ප කුලකයට අවයව එකින් එක එකතු වන බැවින් අප මෙතෙක් නිරීක්‍ෂණය කර නොමැති කෝප්ප ද ඇති බව අපි නිගමනය කරමු. ඒ කෝප්ප එකක්වත් අප දැක නැත. එහෙත් එවැනි කෝප්ප ලෝකයේ ඇති බව අපි නිගමනය කරමු. අපේ පංචෙන්ද්‍රියන්ට ගෝචර නෙවන කෝප්ප ඇති බව භෞතිකවාදියාට පිළිගැනීමට සිදු වෙයි. අභ්‍යුහනය වියුත්ත ක්‍රියාවලියකි. ඒ කියාවලිය ඇත්තේ සිතෙහි ය. එය කිසිසේත්ම පංචෙන්ද්‍රිය ඇසුරෙන් ලබාගන්නා එකක් නො වේ.

වාස්තවිකත්වය යන වියුක්ත සංකල්පය නොපිළිගත්ත ද අපට නොපෙනෙන අප කිසි දිනෙක අතපත ගා බලා නැති රස බලා නැති ගඳ සුවඳ බලා නැති කෝප්ප ඇති බව පිළිගැනීමට අපට සිදුවෙයි. එවැනි කෝප්ප ලෝකයේ ඇතැයි භෞතිකවාදියා කියනු ඇත. එහෙත් භෞතිකවාදියා එවැනි කෝප්ප පංචෙන්ද්‍රිය ඇසුරෙන් නො දනියි. ඔහු ඒ බව දන්නේ මනසින් පමණකි. මනසින් පමණක් දන්නා, එනම් පංචෙන්ද්‍රිය ගෝචර නොවන කෝප්ප ඔහු අභ්‍යුහනයෙන්, එනම් මනසේ ඇතිවන ක්‍රියාවලියකින් පමණක් දැනගනියි. එවිට භෞතිකවාදියාගේ කෝප්ප විඥානවාදී  නොවන්නේ ද? භෞතිකවාදීන්ට හුදු පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම්වලින් පමණක් ලෝකය තේරුම් ගත නො හැකි ය.

අප ඉදිරිපිට ඇති කෝප්ප, මේස, පුටු කිහිපයක් පමණක් පදනම් කරගනිමින් මුළු ලෝකයම එවැනි ද්‍රව්‍යවලින් සෑදී ඇතැයි නිගමනය කිරීම තරම් ඊනියා විඥානවාදී ක්‍රියාවලියක් තවත් නැත. ඊනියා සැබෑ භෞතිකවාදියකු හෝ ද්‍රව්‍යවාදියකු හෝ තමන්ගේ පංචෙන්ද්‍රියන්ට පමණක් හසුවන ද්‍රව්‍යවලට පමණක් සීමාවිය යුතු ය. එහෙත් එසේ කරන භෞතිකවාදියකු ගැන දැනගැනීමට නැත. ඉන්ද්‍රිනුභූතවාදයේ පුරෝගාමියකු වූ අර්නස්ට් මාක් විද්වතා භෞතික විද්‍යාව පංචෙන්ද්‍රියට ගෝචර වන සංකල්ප මගින් පමණක් තේරුම්කර දිය යුතු යැයි කලකට පෙර කියා සිටියේ මේ ගැටලුව ගැන යම් අවබෝධයකින් යුක්තව ය.

එහෙත් බටහිර භෞතික විද්‍යාඥයෝ ඔහුට සවන් නුදුන්හ. ඔවුහු දිගින් දිගට ම පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන ඊනියා අවස්ථිති සමුද්දේශ රාමු, පරමාණු, ඉලෙක්ට්‍රෝන ආදිය තම පද්ධතියෙහි රඳවා ගත්හ. ඒ බටහිර භෞතික විද්‍යාඥයන්ට මනසෙහි පමණක් ඇතිවන සංකල්ප නැතිව බැරි හෙයිනි. ඉලෙක්ට්‍රෝන ආදිය භෞතික වස්තූන් යැයි භෞතිකවාදීන් කියන්නේ කිනම් පදනමකින් ද? එහෙත් භෞතිකවාදීන්ට හෙවත් ද්‍රව්‍යවාදීන්ට පිළිතුරු දිය නොහැකි ප්‍රශ්න එපමණ යැයි කිසිවකු වරදවා තේරුම් ගත යුතු නො වේ.

අපට ඇසට පෙනෙන කෝප්පය මනසෙන් තොරව පංචෙන්ද්‍රියන්ගෙන් පමණක් දැනගත හැකි සමතා කවු ද? එපමණක් නොව කෝප්පයේ භෞතිකවාදී කතාව පංචෙන්ද්‍රියන් සම්බන්ධයෙන් වුව ද සම්පුර්ණ ද? කෝප්පයේ භෞතිකවාදී පැවැත්ම කෙප්පයක් නොවන්නේ ද? කෝප්පයට තද බවක් ඇත්තේ නිරීක්‍ෂකයාගෙන් තොරව ද? අපට වඩා ශක්තිමත් හස්තයක් තිබිණි නම් අපට අතින් ම කෝප්පය පොඩිකිරීමට හැකිවන්නට තිබිණි. අප ඊනියා වස්තුවකට ඇතැයි කියන ගුණ අපේ පංචෙන්ද්‍රිය මත රඳා පවතින බව පැහැදිලි ය. ඒ සඳහා ඇති උදාහරණවල කෙළවරක් නැත.  

අප බොහෝ විට කියා ඇති පරිදි අපට නොපෙනන වර්ණ වෙනත් සතුන්ට පෙනෙයි. අප අද අධොරක්ත, පාරජම්බුල ආදී වශයෙන් නම්කර ඇති කිරණ අපේ ඇස්වලට දර්ශනය විණි නම් අප ඒවාට යම් වර්ණයක් දීමට තිබිණි. අපට නොඇසෙන ශබිද බල්ලන්ට ඇසෙයි. අපේ පංචෙන්ද්‍රියන්ගේ සීමාකාරීත්වය එබඳු ය. අප නිරීක්‍ෂණය කරන ලෝකය අපේ පංචෙන්ද්‍රියන්ට සාපේක්‍ෂ ය. අද ඇතැම් පඬියන් දෙවියන් නැතැයි කියන්නේ ඔවුන් පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන බව පවසමිනි. එහෙත් ඒ පඬියෝ ම පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන ඉලෙක්ට්‍රෝන ද ගුරුත්වාකර්ෂණ බලය ද වෙනත් දේ ද ඇතැයි පිළිගනිති. ඒ ගුරුත්වාකර්ෂණ බලයක් නැතැයි අයින්ස්ටයින් විද්වතා කියා තිබිය දී ය.

බාහිර වස්තු යැයි කියැවෙන වස්තුවලින් අපට, එනම් නිරීක්‍ෂකයන්ට, සංජානන ලැබෙන්නේ යැයි භෞතිකවාදීහු කියති. නිරීක්‍ෂකයන් සිටියත් නැතත් වස්තු තිබෙන බවත් සංජානන නිකුත් කරන බවත් ඔවුහු විශ්වාස කරති. එහෙත් ඒ බව ඔවුන් දන්නේ කෙසේ ද? අප කලින් ද කියා ඇති පරිදි එය පෞද්ගලික නිරීක්‍ෂණවලින් වියුක්තියට යෑමක් පමණකි. කිසිම නිරීක්‍ෂකයකු නැති විට සිදුවන්නේ කුමක් දැයි නිරීක්‍ෂණය කිරීමට කිසිවකු නැත. එසේ නම් නිරීක්‍ෂකයන් නැතිවිට කුමක් සිදුවේ ද යන්න දැනගත හැක්කේ පංචෙන්ද්‍රිය ගෝචර පරීක්‍ෂණ හෝ නිරීක්‍ෂණ හෝ යොදාගෙන නොව හුදෙක් මනස යොදගෙන කරන උපකල්පනවලින් හා තර්කයෙන් පැමිණෙන නිගමනවලින් පමණකි. එයටත් වඩා විඥානවාදී ක්‍රියාවලියක් තවත් ඇද්ද? 

ඊනියා වාස්තවිකවාදී භෞතිකවාදීන් උපකල්පනය කරන තවත් කරුණක් නම් සංජානන සංකල්පවලින් ස්වායත්ත බව ය. සංජානන පංචෙන්ද්‍රියන්ගෙන් ස්වායත්ත වන්නේ යැයි කියන භෞතිකවාදීහු ඒවා මනසෙන් ද ස්වායත්ත යැයි කියති. සංජානන නිරීක්‍ෂකයන්ගෙන් ස්වායත්ත බව දැනගැනීමට භෞතිකවාදී ක්‍රමයක් භෞතිකවාදීන්ට නැත්තේ නිරීක්‍ෂකයකු නොමැති කල සිදුවන්නේ කුමක් දැයි දැනගැනීමට ක්‍රමයක් නොමැති බැවිනි. කලින් ද කියා ඇති පරිදි නිල්බව (බලඋඉසහනඑසස) යන්න නිරීක්‍ෂකයාගේ පංචෙන්ද්‍රියන්ගෙන් ස්වායත්ත නො වේ. බර්ට්‍රන්ඩ් රසල් විද්වතා වැනි බොහෝ බටහිර දාර්ශනිකයන් ඒ එසේ යැයි පිළිගත්ත ද අපේ ඇස් නිල්බව යන්නට හැරෙන්නට වෙනත් සංඛ්‍යාතිවලට ප්‍රතිචාර දැක්වී නම් අපට ඊනියා නිල්බව නැතිවීමට තිබිණි. එහෙත් යම් කිසිවකු නැවතත් කියනු ඇත්තේ නිල්බව ඇසට නොපෙනුනත් ඒ සංඛ්‍යාතිය ඇති විකිරණ ඇති බව ය. එහෙත් ප්‍රශ්නය වනුයේ කිසිවකු නැතිව ඒ බව දැනගන්නේ කෙසේ ද යන්න ය.

අනෙක් අතට සංකල්පයක් නොමැතිව සංජානනයක් හටගන්නේ කෙසේ ද? නිල්බව යන්න නිල්බව යන සංකල්පය සමග බැඳී ඇත. මිනිස් නිරීක්‍ෂකයන් හෝ වෙනත් විඥානයක් සහිත සත්වයකු ඊනියා බාහිර වස්තු ග්‍රහණය කරන්නේ යම් ඉන්ද්‍රිය ඔස්සේ හෝ එසේ නැතිව හෝ මනස උපයෝගී කරගනිමිනි. මනසක් නැතිව නිරීක්‍ෂකයකු සංජානනයක් ඇතිකර ගන්නේ කෙසේ ද? සිංහල බෞද්ධයනට මනසෙහි ප්‍රධානත්වය අමුතුවෙන් කියා දිය යුතු නො වේ. අමනුෂ්‍යයන්ට ද, තිරිසනුන්ට ද, මිනිසුන්ට ද, දෙවියන් ට ද, බඹුන්ට ද මනස් ඇත. පාරමී දම් පිරීමටවත්, කුසල් අකුසල් රැස්කිරීමටවත් මනසක් නොමැතිව නො හැකි ය. යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියෙහි මනස ඇත්තේ මිනිසුනට පමණ ය. එය ද දෙවියන් වහන්සේ විසින් දෙන ලද ඊනියා සදාකාලික ආත්මය සමග සම්බන්ධ ය.

සිංහල බෞද්ධයනට සත්වයන්ගේ මනස ප්‍රධාන ය. සිරුර නැතිව වුව ද සිත මිස කය නැති බඹලොව බ්‍රහ්මයෝ වෙති. සියලු සත්වයෝ සංකල්ප සංස්කරණය කරති. සංකල්ප යනු මනසේ නිර්මාණය කෙරෙන්නකි. අපට සංකල්ප අඩුම තරමෙන් දෙවර්ගයක් ඇති බව පෙනී යයි. පළමුවෙන් ඇත්තේ සංයුක්ත සංකල්ප ය. සංයුක්ත සංකල්ප ඇතිවන්නේ සංජානන සමගින් ය. අප පුටුව, මේසය ආදී වශයෙන් දකින්නේ සංකල්ප - සංජානන පොදියකි. මේසයක් හෝ පුටුවක් හෝ අපට දැකගත හැකි ය. එහි දී ඇස හා මනස එකතු වී මේසය යන දෘශ්‍යමානය ඇති කරයි. එසේත් නැතහොත් ස්පර්ශය හා මනස එකතු වී මේසයෙහි තදබව යන්න ඇතිකරයි. එලෙස පංචේන්ද්‍රිය හා මනස (මනස ද සිංහල බෞද්ධයනට ඉන්ද්‍රියකි) එකතු වී ඊනියා මේසයෙහි විවිධ ගුණ ඇතිකරයි. ඒ ගුණ නිරීක්‍ෂණය කරනු ලබන්නේ අප වැනි මනුෂ්‍ය නිරීක්‍ෂකයන් විසිනි. වෙනත් සත්ව වර්ගයන් වෙනත් නිරීක්‍ෂණයන් ලබාගනු නො අනුමාන ය. ඒ සියල්ලන්ට ම ලැබෙන්නේ සංයුක්ත සංකල්ප යැයි අපි කියමු. සංයුක්ත සංකල්පයක් යම්කිසි රූපයක්, තදබවක්, ගඳක් සුවඳක් ආදිය සමග බැඳී ඇත. කෙටියෙන් කිවහොත් සංයුක්ත සංකල්පයක් පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීමක් සමග බැඳී ඇත.

මේ සංයුක්ත සංකල්ප ද දෙවර්ගයකි.  එක් වර්ගයක් අපට සෘජුව පංචෙන්ද්‍රියන්ට ගෝචර වෙයි. අප දකින මේසය, පොල්ගස ආදිය එවැනි සෘජු පංචෙන්ද්‍රිය ගෝචර සංකල්ප වෙයි. ඒ අතර තවත් සංයුක්ත සංකල්ප වර්ගයක් සෘජුව ම පංචෙන්ද්‍රියන්ට ගෝචර නොවන එහෙත් රූප ගඳ සුවඳ ආදිය මනසෙන් මවාගත හැකි ගුණ සහිත වෙයි. ඒ මවාගැනීම අවශ්‍යයෙන් ම ඒ දුටු ආකාරයෙන් ම විය යුතු නො වේ. උදාහරණයක් ලෙස ගතහොත් ජීවිතයේ කිසිම දිනක ඇපල් ගසක් නොදුටුවකුට ඇපල් ගස ගැන සංකල්පයක් තිබිය හැකි ය. එසේ ඇපල් ගසක් නොදුටුවකු සිතෙහි මවාගන්නා ඇපල් ගස සාමාන්‍ය ඇපල් ගසකින් හාත්පසින් වෙනස් විය හැකි ය. එහෙත් එසේ මවාගන්නේ ද ඒ පුද්ගලයාගේ, එසේත් නැත්නම් ඒ පුද්ගලයාට සාපේක්‍ෂ ඇපල් ගසකි. සෑම සංකල්පයක් ම ඒ ඒ පුද්ගලයාට සාපේක්‍ෂ බැවින් මෙහි ගැටලුවක් පැන නො නගී.