Main Logo

Sunday 22 December 2013

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව - 1


වෙනත් අය නොපිළිගන්නා මත මා ප්‍රසිද්ධියේ පළකරන බවට ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා විදුසර පුවත්පත මගින් චෝදනා කරනමුත් මට දැනුම් නිර්මාණ ප්‍රකාශ නොකර සිටිය නො හැකි ය. මගේ ප්‍රධාන කාර්යය දැනුම නිර්මාණය කිරීම ය. සියළු දැනුම් බොරු ය. බටහිර විද්‍යාව පට්ටපල් බොරු ය. මා නිර්මාණය කරන දැනුම් ද බොරු ය. මගේ නිර්මාණ සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂ ය. සමහරවිට එය ආත්මවාදී අශෝක බුදුදහමට හා සංස්කෘතියට පටහැණි විය හැකි ය. අශෝක අමරතුංග, කපිල පීරිස් ආදීහු එවිට අවි අමෝරා ගෙන මට විරුද්ධව සටන් වදිති. ඔවුන්ට අනුව ඔවුහු පාරිශුද්ධ ථෙරවාදයෙහි ආරක්‍ෂකයෝ ය. එහෙත් ඔවුහු දෙරණ නාලිකාවේ හෙළවංශය මගින් රාවණගේ පැවැත්ම වෙනුවට බුදුන්වහන්සේගේ නැවැත්ම පිළිගැනීමෙන් හෙළයේ වර්ධනයට හානි වූ බව කියමින් බුදුදහමට නිගාකරන සූරිය ගුණසේකර වැන්නන්ට එරෙහිව කිසිවක් නො කියති. එමෙන් ම ඔවුහු විවිධාකාරයෙන් බටහිර විද්‍යාව ආරක්‍ෂා කරති. අශෝක අමරතුංග මහතා බටහිර විද්‍යාවක් ඇත් ද නැත් ද යන්නවත් නො දනියි. එහෙත් ඔහු එය ආරක්‍ෂා කරයි. කපිල පීරිස් මහතා රේ විජේවර්ධන මහතාගේ විද්‍යාව ආරක්‍ෂා කරයි. කැනඩාවේ වාසය කරන මහාචාර්යවරයකු වූ චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතා මා පාරභෞතික තර්කනයක යෙදෙන්නේ යයි කියයි. ඔහු දැන් කෘෂිරසායනික වකුගඩු රෝගය(කෘවරෝ)ට හේතුව ආසනික් නොව පොහොර වැඩියෙන් යොදාගැනීමත් එහි ඇති ඇතැම් රසායනික සංඝටක මහවැලි නදිය මගින් රජරට පෙදෙස්වලට ගෙනයෑමත් යැයි කියයි. එහෙත් මහවැලියෙන් වතුර නොලබන පෙදෙස්වලත් කෘවරෝ  පැතිරී ඇත. මේ තිදෙනාම දෙමළ ජාතිවාදයට විරුද්ධ යැයි සිතමි. එහෙත් වෙනත් බොහෝ කරුණුවලින් ඔවුහු බටහිරට සේවය කරති. ඔවුන්ට ප්‍රශ්නය වී ඇත්තේ මා සිංහල බෞද්ධ සංස්කෘතියෙහි දැනුම නිර්මාණය කිරීම ය.  මේ අතර බටහිර පඬියකු දැනුම විසින් මිනිසා වහලකු වීමට නුසුදුස්සකු බවට පත්කරයි යනුවෙන් කියා ඇත. මේ පඬියා දැනුම යනුවෙන් අදහස් කරන්නේ කුමක් දැයි කියා නැත. දැනුම අවිද්‍යාව හේතුකොටගෙන (විජ්ජාචරණ නොවීමෙන්) ඒ ඒ චින්තනයෙහි නිර්මාණය (සංස්කරණය) කෙරෙන අතර සංස්කෘතියට, පංචෙන්ද්‍රියයන්ට හා මනසට සාපේක්‍ෂ වෙයි. විජ්ජාචරණ සම්පන්නවූ බුදුන්වහන්සේ දැනුම නිර්මාණය නොකළහ. අනෙක් සියල්ලෝ ම යම් යම් දැනුම් නිර්මාණය කරති. නිර්මාණය කෙරෙන සියළු දැනුම් බොරු ය. මා විසින් නිර්මාණය කෙරෙන දැනුම ද බොරු ය. මා සිංහල බෞද්ධ චින්තනය පදනම් කරගනිමින් සිංහල බෞද්ධ සංස්කෘතියට සාපේක්‍ෂව දැනුම නිර්මාණය කරන්නේ එසේ නොකළහොත් අප බටහිරයන්ගේ හා වෙනත් අයගේ බොරු දැනුම්වලට යටවන බැවිනි. අපට සරිලන්නේ අපේ බොරු (දැනුම) මිස බටහිරයන්ගේ බොරු (දැනුම) නො වේ. මෙහි දී මගේ මතකයට එන්නේ කලකට පෙර මැතිවරණයක දී ඡන්දාපේක්‍ෂකයන් දෙදෙනකු සම්බන්ධයෙන් ඌත් වලා, මූත් වලා, ගමේ වලා අපට හොඳා යනුවෙන් කෙරී ඇතැයි කියන ප්‍රකාශය ය. ඉහත සඳහන් පඬියාගේ පඬිකතාව උද්ධෘතයක් ලෙස ඉදිරිපත් කරන මෙරට සිටින පුහු නිවට උගතුන් නොදන්නේ බටහිර දැනුම විසින් අප බටහිරයන්ගේ වහලුන් බවට පත්කෙරී ඇති බව ය.  

දකුණු අප්‍රිකාව හා ලංකාව අතර සමානකම් බොහෝ ය. එහෙත් ඒ දෙමළ ජාතික සංධානයේ සුමන්තිරන්ලා කියන ආකාරයෙන් නො වේ. අනෙක් අයගේ මතය නොවුණත්, අමරතුංග මහතා කුමක් කීවත්, මම දකුණු අප්‍රිකාව හා ලංකාව පිළිබඳ මගේ දැනුම ප්‍රකාශ කරමි.  ලෝකයේ රෝම ලන්දේසි නීතිය ක්‍රියාත්මක වන්නේ ලංකාවේ හා දකුණු අප්‍රිකාවේ ය. ලන්දෙසින් අද දකුණු ඉන්දියාව යනුවෙන් හැඳින්වෙන ප්‍රදේශයෙන් වෙල්ලාලයන් කෘෂිකාර්මික කම්කරුවන් ලෙස ගෙනගොස් ඇත්තේ දකුණු අප්‍රිකාවට හා ලංකාවට ය. දකුණු අප්‍රිකාවේ වර්ණභේද රාජ්‍යයක් ගොඩනැගීමට මුල්වූයේ ඒ රට ආක්‍රමණය කළවුන් අතර බහුතරය වූ ලන්දේසින් ය. දකුණු අප්‍රිකාවේ කතාකරන බස අෆ්‍රිකාන් යනුවෙන් හැඳින්වෙයි. එය ලන්දේසි භාෂාවෙන් බිඳී ඇති අතර කලක් කුස්සි ලන්දේසි යනුවෙන් අවඥා සහගතව හැඳින්විණි. ලංකාවේ දෙමළ ප්‍රශ්නය ඇතිවූයේ ලන්දේසීන් මෙරටට වෙල්ලායන් ගෙන ඒම නිසා ය. අද උතුරු පළාතේ දෙමළ ජනගහණය (සංස්කෘතිය) අවුරුදු තුන්සිය පනහකට පෙර මෙරටට ගෙනෙන ලද වෙල්ලාලයන්ගෙන් පැවත එයි. ලන්දේසීන්ගේ හා පසුව ඉංගිරිසින්ගේ අනුග්‍රහය ලත් වෙල්ලාලයෝ පෘතුගීසීන් හා ලන්දේසීන් ලංකාවට පැමිණෙන විටත් එහි සිටි බහුතරය වූ සිංහලයන් දෙමළ සමාජයේ ඊනියා පහත්කුල ජනයා ලෙස අවශෝෂණය කරගත්හ. මෙරට විශ්වවිද්‍යාලයක ඉතිහාසය නමින් බටහිර බොරු උගන්වන කසිකබල් ඉතිහාසඥයකුට නොතේරෙන කරුණ නම් විවිධ කාලවල දී අද දකුණු ඉන්දියාව නමින් හැඳින්වෙන ප්‍රදේශවලින් රටේ අනෙක් පළාත්වලට ස්වේච්ඡාවෙන් සංක්‍රමණය වූවන් (ලන්දේසීන් ආනයනය කළවුන් නොව) තම මුල් සංස්කෘතිය ඉවත ලා, ඇතැම්විට තම සංස්කෘතියෙන් සුළු කොටසක් එකතුකරමින් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය වූ බව ය. සිංහල සමාජය හා දෙමළ සමාජය අතර ඇති මේ වෙනස ද තේරුම් නොගෙන මෙරට දෙමළ ප්‍රශ්නයට විසඳුම් සෙවිය නො හැකි ය. දකුණු අප්‍රිකාවේ ද ශ්‍රී ලංකාවේ ද ප්‍රශ්නය ජනගහනයෙන් සුළුතරය බලයෙන් වෙනත් කරුණුවලින් බහුතරය බවට පත්වීම ය. හිරෙන් නිදහස්වීමේ දී සුද්දන් සමග එකඟතාවකට පත්වී ඇති මැන්ඩෙලා හා වර්ණභේදවාදී සුදු පාලකයන් අතර ඇතිවී තිබෙන ඊනියා සංහිඳියාවේ ප්‍රතිඵලය ලෙස දකුණු අප්‍රිකාවේ නිදහසින් පසුව ද ආර්ථික වශයෙන් බලතල ඇති බහුතරය සුද්දන් මිස ජනගහනයෙන් බහුතරය වූ කල්ලෝ නො වෙති. සුද්දන් මැන්ඩෙලාට මෙතරම් ගරුකරන්නේ මැන්ඩෙලාගේ යහපත්කමට ද? සුදු පාලකයන් යහපත්කමට සැලකුවේ කවදා ද? සුද්දන් ගාන්ධිට හා මැන්ඩෙලාට මෙන් අනගාරික ධර්මපාලතුමාට ගරුකරන්නේ නැත්තේ ඇයි? මෙරට පඬියන් මැන්ඩෙලා අගයමින් ධර්මපාලතුමාට පහරදෙන්නේ ඇයි? අපට අවශ්‍යවන්නේ දකුණු අප්‍රිකා අච්චුවේ සංහිඳියාවක් නො වේ. 

මෙරටට ලන්දේසීන් විසින් ආනයනය කරනු ලැබූ වෙල්ලාල කෘෂිකාර්මික කම්කරුවෝ වෛදික සංස්කෘතිය අනුව ඔවුන්ගේ මව්රටෙහි දී (එනම් නිජභූමියෙහි දී) ශුද්‍රයෝ වූහ. මෙරටට ආනයනය කරනු ලැබූ ඔවුහු යාපන අර්ධද්වීපයෙහි ද සුළුතරයක් වූහ. බහුතරය වූයේ සිංහලයන් ය. එයට පෘතුගීසි ජාතික බ්ලෝඩියස් සාක්‍ෂි දරයි. එහෙත් වැඩිකල් නොගොස් දකුණු අප්‍රිකාවේ ලන්දේසීන් ප්‍රධාන සුළුතර සුද්දන් යටත්විජිතවාදී අවි බලයෙන් බහුතර කල්ලන් මර්දනය කර බලවතුන් වූ අයුරෙන් දෙමළ වෙල්ලාලයෝ යටත්විජිතවාදී ලන්දේසීන්ගේ අනුග්‍රහයෙන් හා අනුබලයෙන් යාපනයේ සිංහල බෞද්ධයන් (දෙමළ බෞද්ධයන් සිටියේ සිංහල බෞද්ධ විරෝධී පඬියන්ගේ හිස් හිස්වල ය.) අභිබවා තම සංස්කෘතික ආධිපත්‍යය පිහිටුවූහ.  තම මුල් බිමෙහි දී ශුද්‍රයන් වූ වෙල්ලාලයෝ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයෙහි බලමහිමයෙන් යාපන අර්ධද්වීපයෙහි දී මහේශාඛ්‍ය කුලය බවට පත්වී සිංහලයන් අඩුකුල ජනතාවක් ලෙස දමළ සංස්කෘතියට අවශෝෂණය කළහ. එය පළමු බලහත්කාරය විය. සුළුතරයක් බහුතරය බවට පත්කිරීමේ ක්‍රියාදාමයේ මුල්පියවර විය. (මතු සම්බන්ධයි)


නලින් ද සිල්වා

2013-12-22