Main Logo

Sunday 1 December 2013

අයවැය, වකුගඩුව, දෙමළ ප්‍රශ්නය හා එංගලන්තය – 2


එන පොට හොඳ නැත. නැවතත් කොටි ත්‍රස්තවාදය හිස එසවීමේ අනතුරක් ඇත. දෙමළ එක්සත් සංධානයේ ශ්‍රීධරන් මන්ත්‍රීවරයා ප්‍රභාකරන් වීරයකු ලෙසත් ජාතියේ පියකු ලෙසත් ප්‍රකාශ කර ඇත. ඒ අතර ප්‍රේමචන්ද්‍රන් වැනි මන්ත්‍රීවරුන් ද වෙනත් අය ද ඊනියා මහාවිරු දිනය පැවැත්වීමට උත්සාහ ගෙන ඇත. ඒ අතර එංගලන්තයේ කොටි හිතවාදීන්ට කිසිදු බාධාවකින් තොරව ඊනියා මහාවිරු දින පැවැත්වීමට කැමරන් ඉඩ දී ඇත. ශ්‍රීධරන්ලා ප්‍රේමචන්ද්‍රන්ලා කියන කරන දේ පිළිබඳ ව දෙමළ ජාතික සංධානය වගකිව යුතු ය. ඔවුන්ගේ ප්‍රකාශ පක්‍ෂයේ මතය නොවේ යැයි කියා ඇඟ බේරාගැනීමට පක්‍ෂ නායකයන්ට ඉඩ දිය නොහැකි ය. පක්‍ෂය ශ්‍රීධරන්ලාට එරෙහිව ගන්නා විනය ක්‍රියා මාර්ගය කුමක් ද? කෙසේ වෙතත් තමා ඉගැන්වූ පාසලේ සිසුන්ට කොටි නායකයන් ගෙන්වා දේශන පවත්වා ඇති ශ්‍රීධරන් වැන්නන් තමන් හයවැනි සංශෝධනයට අනුව දී ඇති දිවුරුම කඩකිරීම පිළිබඳ ව ගතහැකි නෛතික ක්‍රියාමාර්ගයක් වේ ද? එසේ ගතහොත් ශ්‍රීධරන් විරයකු වේය කියා නිශ්ශබ්ද වීම තව තවත් ශ්‍රීධරන්ලා බිහිකිරීමට මග සලසනු ඇත. ඩෙල්ෆ්ට් දුපතේ ඊපිඩීපි සංවිධානයේ ප්‍රාදේශීය සභා සභාපතිවරයකු ඝාතනය කිරීම එක්කෝ කොටින්ගේ වැඩකි. නැත්නම් විදේශීය ඔත්තු සේවාවක් මැදිහත් වීමෙන් කෙරුණකි. ඇතැම් විට ඒ දෙකමත් විය හැකි ය. දුරෙයිඅප්පා ඝතනයෙන් ඇරඹි ආකාරයේ තවත් ඝාතන රැල්ලක් ඇතිවීමට ඉඩ දිය යුතු නො වේ. ශ්‍රීධරන්ට විරුද්ධව ක්‍රියාකළහොත් එංගලන්තය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය රැකීම පිලිබඳ තමන්ට සුපුරුදු ආකාරයට කන්දඋඩ දේශනා පවත්වනු ඇත. එහෙත් අප එංගලන්තය ගැන එතරම් කරදර විය යුතු ද? අප කළ යුත්තේ අපේ මිත්‍ර රටවල් අතර එංගලන්තය තනිකිරීමට වැඩ පිළිවෙළක් සකස්කිරීම ය. දැනටමත් ඇතැම් රටවලට එංගලන්තය ගෙන යන ශ්‍රී ලංකා විරෝධී සිංහල විරෝධී වැඩපිළිවෙළ ගැන අවබෝධයක් ලැබී ඇත. ලංකාවේ දෙමළ ප්‍රශ්නය ඇතිකළේත් පවත්වාගෙන යන්නේත් එංගලන්තය බව තවමත් බොහෝ දෙනකුට නොවැටහෙන්නේ මාධ්‍යය කුමක් වුවත් ඔවුන් ලබා ඇති තකතීරු ඉංගිරිසි (බටහිර) අධ්‍යාපනය හේතුකොටගෙන ය.

වකුගඩු රෝගය සම්බන්ධයෙන් ආණ්ඩුව උපදෙස් ලබාගන්නේ ඉංගිරිසි අධ්‍යාපනයක් ලබාගත්තවුන්ගෙනි. ඔවුන්ට අනුව කටයුතු කරන ආණ්ඩුව බටහිර වෛද්‍ය විද්‍යාවට අනවශ්‍ය ආකාරයෙන් මුදල් වියදම් කරන්නේ එයට කෘෂිරසායනික වකුගඩු රෝගයට ප්‍රතිකාරකිරීමට නොව එයට හේතුව කීමටවත් නොහැකි විට ය. මෙම රෝගයට පිළියම් ඇති පාරම්පරික වෛද්‍යවරුන් තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැපයීමට දේශීය සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කළ යුතු ය. කොටින් පැරදවීමට නොහැකි යැයි කීවෝ ද ඊනියා යුද විශේෂඥයන් වූ ඉංගිරිසි උගත්තු ය. දෙමළ ප්‍රශ්නයට හේතුව එංගලන්තය බව නොදකින්නෝ ද ඔවුහුම ය. ගැමි වහරින් නොදෝකින් මේ උගතුන් යැයි කීම හැර වෙනත් දෙයක් කීමට අපට නැත. දෙමළ ප්‍රශ්නයේ ආරම්භය 1956 1972 1983 ආදී වශයෙන් කීමට මේ උගත්තු පෙළඹෙති. ඒ ඔවුන්ට සුද්දන් කියා දී ඇති ආකාරයට ය. එහෙත් ප්‍රශ්නයේ ආරම්භය දහනවවැනි සියවසේ මුලට දිව යයි. ඊනියා දේශ හිතෛෂිහු ද ඇමරිකන් කුමන්ත්‍රණ මගින් ප්‍රශ්නය වැරදියට අර්ථකථනය කරමින් ඒ අතර ආණ්ඩුවට ද බැණවදිමින් එහෙත් කිසිම විසඳුමක් ඉදිරිපත් නොකරමින් බයිලා පුවත්පත් නිවේදන නිකුත්කරමින් පුවත්පත් සාකච්ඡා පවත්වමින් කාලය ගත කරති. අද උගතුන් නැවතත් කියන්නේ සිංහලයන්ගෙන් දෙමළ ජනයාට විශාල අසාධාරණයක් සිදු වී ඇති බවත් එබැවින් යම්කිසිවක් දෙමළ ජනයාට දිය යුතු බවත් ය. මෙය පට්ටපල් බොරුවකි.  මානුෂික මෙහෙයුම් පැවති කාලයේදීත් ඔවුන් කීවේ මෙහෙයහුම් නවතා බලය බෙදා දී ප්‍රශ්නය විසඳිය යුතු බව ය. 


එංගලන්තය මෙතරම් කෑ ගසන්නේ එහි ඇති දෙමළ ඡන්ද නිසා ය යන්න උගතුන් සුද්දන් අනුව කියන අදහස ය. එංගලන්තයේ සිටින මුස්ලිම් ජනගහනය ලංකාවෙන් ගිය  දෙමළ ජනගහහනයට වැඩි ය. එහෙත් මුස්ලිම් ඡන්ද ගැනීමට කියා එංගලන්තය පලස්තීනයට හෝ අල් ක්වේඩාවට හෝ පක්‍ෂව කතා නො කරයි. එංගලන්තයට අපේ ඇති ගැති බවෙන් නිදහස්වන තුරු අපට මෙරට දෙමළ ප්‍රශ්නය විසඳාගත නොහැක්කේ ප්‍රශ්නය පටන්ගත්තේත් පවත්වාගෙන යන්නේත් එංගලන්තය බැවිනි. අද කැමරන්ට අවශ්‍ය නැවතත් කොටි ත්‍රස්තවාදය මෙරට ඇති කිරීම ය. ඔහු පැමිණියේ ද ඒ සඳහා ය. ඒ අතර කොටින් පරාජය කිරීමේ වරදට රාජපක්‍ෂවරුන් දංගෙඩියට යැවීමට ය. එංගලන්තයට අද එහි දී නෝර්වේ හෝ වෙනත් රටක් හෝ යොදාගත නොහැකි ය. එබැවින් ආණ්ඩු පක්‍ෂයේ කැමරන් මෙන් ම විරුද්ධ පක්‍ෂයේ මිලිබෑන්ඩ්ලා ද ප්‍රශ්නයට සෘජුව ම මැදිහත් වෙති. මෙහෙයුම්වල අවසාන සති දෙකේ දී  සිදු වු ඝාතන පිළිබඳ සෙවීමට කොමිසමක් පත්කළ යුතු යැයි එංගලන්තය කියයි. එහෙත් ඒ සඳහා තවත් එකදු කොමිසමක්වත් පත්කළ යුතු නැත. දැනටමත් ආණ්ඩුව උගත් පාඩම් කොමිසමේ වාර්තාවේ නිර්දේශ රාශියක් ක්‍රියාත්මක කර ඇත. මේ කොමිසමේ සාමාජිකයකු මගේ සාක්‍ෂිය අවසානයේ දී මා කියන දේ තර්කාකනුකූල නමුත් දෙමළ ජනයාට යමක් දිය යුතු බව කීවේ ය. ජනාධිපති ලේකම්තුමා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සොයා බලයි. දැනටමත් අතුරුදහන් වූවන් සම්බන්ධයෙන් පියවර ගැනීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇත. ඒ අතර සංගණන හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුව ආබාධිතයන් හා අතුරුදහන් අයගේ සංගණනයක් පවත්වයි. ඒ කුමක් වුවත් ආණ්ඩුව උගත් පාඩම් කොමිසමේ සියළු නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බැඳී නැත. ඒ වාර්තාව ආණ්ඩුවේ වාර්තාවක් නොව ආණ්ඩුව විසින් පත්කරන ලද කමිටුවක වාර්තාවකි. ආණ්ඩුව ක්‍රියාත්මක කළ යුත්තේ ආණ්ඩුව පිළිගන්නා නිර්දේශ පමණකි. ආණ්ඩුව යුද්ධ අපරාධ නොකළ බවටත් ඊනියා සමූලඝාතන නොවූ බවටත් හොඳම සහතිකය දී ඇත්තේ දෙමළ ජනයා ය. කොටින් දෙමළ ජනයා ලක්‍ෂ තුනකට අධික සංඛ්‍යාවක් මිනිස් පළිහක් ලෙස යොදා ගනිමින් සිටිය දී ඒ ජනයා මරණයෙන් ගැලවීමට පැමිණියේ හමුදාව සිටි දෙසට ය. ඔවුන් එසේ එද්දී ඔවුන්ට වෙඩි තබන ලද්දේ කොටින් විසිනි. අපට කැමරන්ගෙන් අසන්නට ඇත්තේ එක් ප්‍රශ්නයකි. මිනිසුන් දුව යන්නේ ඝාතකයන් දෙසට ද? නැතහොත් ඝාතකයන්ගෙන් ඉවතට ද? මිනිස් පළිහ හමුදාව වෙතට දිව ආවේ හමුදාව ඔවුන් නොමරණ බවට ඔවුන්ට සහතිකයක්, විශ්වාසයක් තිබුණු බැවිනි. ඔවුන් කොටින්ගෙන් ඉවතට දිව ගියේ මරණයෙන් ගැලවීමට ය. ඝාතකයා කවු ද යන ප්‍රශ්නයට දෙමළ ජනයා අවුරුදු හතරකට පෙර පිළිතුරු දී ඇති බැවින් කැමරන්ගේ කීමට අප තවත් පරීක්‍ෂණ පැවැත්විය  යුතු නො වේ. ලෝකයේ පැවති යුද්ධවල දී එවැන්නක් සිදු වී ඇත්තේ කොහේ ද? යුදෙවුවන් ජර්මන් හමුදාව වෙතට දිව ආවේ නැත. කතෝලික අයිරිෂ් ජාතිකයන් ඇංග්ලිකන් ඉංගිරිසි හමුදාව වෙතට පැන ආවේ නැත. හැරත් අවසාන සති දෙකේ දී හමුදාව 40,000ක් මරාදැමී යැයි කියමු. ඒ දිනකට තුන්දාහක් පමණ පිරිසකි. ඒ මළකඳන් වැළලුවේ කවු ද? කැමරන් ද? එයින් නිකුත් වූ දුගඳ දැනුණේ කාට ද? නවී පිල්ලේට ද? අප මේ බටහිර පට්ටපල් බොරු කතන්දරවලින් මුළා විය යුතු නැත. 


නලින් ද සිල්වා

2013-12-01