Main Logo

Sunday 29 December 2013

එඩේරුන් නැති සිංහල බැටළුවෝ


දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව ගැන ලියන ලිපි පෙළ කල්දැමීමට සිදු වී තිබෙන්නේ මැල්කම් රංජිත් කාදිනල්තුමා විසින් කරන ලද බවට පළවූ ප්‍රකාශයකට ප්‍රතිචාර දැක්වීම සඳහා ය. දකුණු අප්‍රිකාවේ ඩෙස්මන්ඩ් ටුටූ බිෂොප්වරයා ලංකාවට විරුද්ධව ප්‍රකාශයක් කළේ ඊනියා සංහිඳියාවකට නම් නො වේ. මැන්ඩෙලාගේ සංහිඳියාව අපි පසුව සාකච්ඡා කරමු.    

තමන් දේශපාලනයෙහි නොයෙදෙන්නේ යැයි කියන මැල්කම් රංජිත් කාදිනල්තුමා ද දෙමළ ප්‍රශ්නය විසඳීමට ඉදිරිපත්වීමට කැමැත්ත පළකර තිබෙනු දුටිමි. එතුමන් කියනු ඇත්තේ එය හුදෙක් රටේ සුබ සිද්ධියට කරන්නක් මිස දේශපාලන මැදිහත්වීමක් නොවන බව ය. සියළු දේශපාලනඥයන් කියන්නේ තමන් ජනතාවට රටට සේවය කරන බව ය. මෙරට සියළු ආගමික නායකයෝ දේශපාලනයෙහි යෙදෙති. එය සෘජු මැතිවරණ දේශපාලනයක් නොවිය හැකි ය. එහෙත් මැතිවරණවලදී ඡන්දය දිය යුතු ආකාරය ගැන ද ඇතැම් පූජකවරු කියා දෙති. කෙසේ වෙතත් කාදිනල්තුමාට අනුව මෙරට දෙමළ වාසභූමි ඇත. ඒ නිජභූමි නොවේ යැයි එතුමා කියනු ඇත. අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුමෙහි ද නිජභූමි ගැන නොකියැවිණි. එහි සඳහන් වූයේ ඊනියා ඓතිහාසික නිජභූමි ය. උතුරු හා නැගෙනහිර පළාත් එකතුකළේ ඒ සංකල්පය මුල්කර ගනිමිනි. අහිංසක ලෙස පෙනෙන සංකල්ප ජනතාවගේ ස්වාධිපත්‍යයට හා රටේ භෞමික අඛන්ඩතාවට එරෙහිව යොදාගත හැකි ය. මේ රටේ කිසිවකුටවත් වෙන්කෙරුණු වාසභූමි නැත. වාසයභූමිය යනු තමන් වාසය කරන ප්‍රදේශය යනු බොරු කතා ය. වාසභූමියට ඉන්දු ලංකා ගිවිසුමේ ඇත්තේ වෙනත් අරුතකි. දකුණ දෙමළ ජනයාට සැලකූ ආකාරය මෙන් ම ප්‍රභාකරන් ද වැරදි යැයි කාදිනල්තුමා කියයි. තමන් මධ්‍යස්ථ බව පෙන්වීමට කැමති අය මෙවැනි ප්‍රකාශ කරති.  දකුණ වැරදියට සලකා ඇත්තේ කෙසේ දැයි කාදිනල්තුමා පැහැදිලි කරන්නේ නම් මැනවි.  ඒ අතර එතුමන් කියා ඇත්තේ විවිධ ආණ්ඩු යටතේ සාකච්ඡා පැවතුණත් විසඳුමක් නොලැබුණේ දෙමළ නායකයන් සමග අවංකව සාකච්ඡා කිරීමට දේශපාලනඥයන්ට ධෛර්යයක් නොතිබුණු නිසා බව ය. එතුමන් කියා ඇති දෙයට අටුවා ටීකා අවශ්‍ය නො වේ. දේශපාලනඥයන්ට ඔය කියන ධෛර්යය නො ලැබුණේ සිංහලයන් නිසා ද? දෙමළ නායකයෝ අවංකව සාකච්ඡාවලට පැමිණියාහු ද? 

අද මෙරට විසඳීමට දෙමළ ප්‍රශ්නයක් නැත. ඒ බව ඉන්දු ලංකා ගිවිසුම හා පළාත් සභා ක්‍රියාත්මක වන ආකාරයෙන් ද පැහැදිලි වෙයි. මෙරට සිටින සියළු දෙමළ ජනයාට ඇතැයි කියන අසාධාරණයට විසඳුම විය යුත්තේ සියළු දෙමළ ජනයා විඳින ඊනියා අසාධාරණයට පිළියමක් මිසක් උතුරු හා නැගෙනහිර පළාත්වලට ඊනියා වාසභූමි සංකල්පය ඔස්සේ බලය බෙදීම නො වේ. ඇතැයි කියන ප්‍රශ්නය එකකි. දී ඇති විසඳුම තවත් එකකි. මෙය යන්නෙ කොහේ ද මල්ලෙ පොල් පිළිතුරකි. අද පළාත් සභා ක්‍රියාත්මක වන්නේ ඉන්දියාවට අවශ්‍ය ආකාරයට නොවන බව සිහින ලෝකයක ජීවත්වන වාසුදේව නානායක්කාර මහතාට ද මතක්කර දිය යුතු ය. තමන්ට අවශ්‍ය විසඳුම් ක්‍රියාත්මක කිරීමට නැති ප්‍රශ්න මැවීමට ගිය විට එවැනි තත්ත්ව උද්ගත වෙයි. අද මෙරට පළාත් සභා යනු එක්සේසත් රාජ්‍ය ව්‍යුහය තුළ ක්‍රියාත්මක වන ආයතන පමණකි. වත්මන් භාෂාවෙන් කියන්නේ නම් එක්සේසත් රාජ්‍යයක් යනු ඒකිය රාජ්‍ය ප්‍රභේදයකි. දෙමළ ජාතික සංධානය ඒ බව ද, පොදු රාජ්‍ය මණ්ඩල නායකත්ව රැස්වීමෙන් පසු ඉන්දියාවට කළහැකි බලපෑමක් නැති බව ද, වටහා ගත යුතු ය. කාදිනල්තුමා මැදිහත්වීමට උත්සාහ කරන්නේ ඒ නිසා විය හැකි ය. ජෙනීවා ගෝනිබිල්ලා පෙන්වා දෙමළ ජාතිවාදයේ මනදොළ පිනවීමට කටයුතු කළ නොහැක්කේ අද ආණ්ඩුව බැටළුහම්  පොරවාගත් වෘකයන් හඳුනන බැවිනි. 

අද ඇතැමුනට අවශ්‍ය වී ඇත්තේ ජෙනීවා සාකච්ඡා සඳහ දහතුනට පක්‍ෂ අය යැවීම ය. පසුගිය අවුරුද්දේ ලංකාවට විරුද්ධව යෝජනාව සම්මත කරගත හැකි වූයේත් ඉන් පෙර නොහැකි වූයේත් එකල සහභාගි වූ අයගේ දක්‍ෂතාව නිසා යැයි ඔවුහු කියති. එහෙත් එයට පෙර අප දිනුවේ නම් එයට හේතුව අප ඉන්දියාවට හා බටහිරට අවශ්‍ය ආකාරයට ක්‍රියා කිරීම ය. විශේෂයෙන් ම ඉන්දියාවට අවශ්‍ය ආකාරයට පොරොන්දු දීම ය. එහෙත් ඉන්දියාව පසුගිය වසර වනවිට දැනසිටි කරුණ නම් අප ඉන්දියාවේ පදයට නැටීමට සූදානම් නැති බව ය. ඉන්දියාව බටහිරයන් සමග එකතු වී ජෙනීවාහි දී අප පරාජයට පත්කළේ එබැවිනි. එසේ පැරදීම අපට ප්‍රශ්නයක් නො වේ. එය අපේ ආත්මාභිමානයට හේතුවකි. ජෙනීවාහි දී ජයග්‍රහණය කිරීම සඳහා අප ජනතාවගේ ස්වාධිපත්‍යය හා රටේ භෞමික අඛණ්ඩතාව පාවා දිය යුතු නො වේ. අප කළ යුත්තේ බටහිරට පක්‍ෂ නොමැති රටවල සමග විශේෂ සම්බන්ධතා ඇති කරගෙන ජෙනීවාහි දී එංගලන්තය, ඇමරිකාව ආදී රටවල් පරාජය කිරීම ය. ඇමරිකාව ඉන්දියාවට සලකන ආකාරය පසුගිය දා ඇමරිකාවේ ඉන්දීය තානාපති නිලධාරිනියක සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්නයෙහි දී පැහැදිලි විය. යම්කිසි දවසක ඇමරිකාව ඉන්දියාවේ දෙමළ ජනයාගේ මානව අයිතිවාසිකම් ගැන යයි කියමින් ජෙනීවාහිදී ඉන්දියාවට විරුද්ධව යෝජනා සම්මත කිරීමට ක්‍රියා කිරීමට ඉඩ ඇත. බටහිරයන්ට අද ඉන්දියාව අවශ්‍ය වන්නේ පකිස්ථානයට හා චීනයට විරුද්ධ ව යොදා ගැනීමට මිස වෙනත් කරුණකට නො වේ. 

කෙසේ වෙතත් කාදිනල්තුමා මැදිහත් වීමට සූදානම්වන්නේ කිනම් ප්‍රශ්නයක් විසඳීමට දැයි  නිශ්චිත ව පැහැදිලි කරන්නේ නම් මැනවි. පසුගිය කාලයේ කතෝලික සභාවේ ඇතැම් බිෂොප්වරුන් කොටින්ට උඩගෙඩි දුන්නේ හුදෙක් ජීවිත බය නිසා ම යැයි අපි විශ්වාස නො කරමු. සවුන්ද්‍රනායගම්, ජෝසෆ් එමෑනුවෙල් ආදී බිෂොප්වරුන් කොටින්ට පක්‍ෂව ක්‍රියා කළ ආකාරය අපි දුටුවෙමු. අද ද එමෑනුවෙල් බිෂොප්වරයා පිටරට සිට කොටින්ට පක්‍ෂව ප්‍රචාරක කටයුතුවල නිරත වෙයි. ඒ කිසි ලෙසකින්වත් ජීවිත භය නිසා කෙරේන්නක් නො වේ. රායප්පු ජෝසෆ් බිෂොප්තුමා මරියතුමියගේ ප්‍රතිමාව ද කොටින්ට දීමට කටයුතු කළේ ය. ලංකා සභාවේ කෙනත් ප්‍රනාන්දු බිෂොප්වරයා ප්‍රභාකරන් මානව හිතවාදී පුද්ගලයකු ලෙස හැඳින්වී ය. බටහිරයන්ගේ භාෂාවෙන් කියන්නේ නම් ඇත්තේ කළු බැටළුවන් පමණක් නො වේ. කළු එඬේරු ද සිටිති. මෙහි කළු යන්න බටහිරයන් යොදන්නේ ද කලුබවට කරන අපහාසයක් ලෙස ය. ඒ කෙසේ වෙතත් සිංහල කතෝලිකයෝ ද සිංහල ක්‍රිස්තියානි භක්තිකයෝ ද සිටිති. ඔවුහු ද බටහිර සංකල්පයට අනුව බැටළුවෝ වෙති. අද ඔවුන්ට එඬේරුන් නැත් ද? 


නලින් ද සිල්වා

2013-12-29