Main Logo

Sunday 8 December 2013

කැමරන්ලාගේ හා සම්බන්ධන්ලාගේ සෙප්පඩවිජ්ජා


බොහෝ උගතුන්ට අනුව ලබන මාර්තුවේ දී අපට ජෙනීවාහිදී එල්ලවන ඊනියා මානව අයිතිවාසිකම් චෝදනාවලට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයකි. ඒ සඳහා ඔවුහූ විවිධ විසඳුම් ඉදිරිපත් කරති. එහෙත් මෙහිදී ද සුපුරුදු ආකාරයෙන් ම උගත්තු ප්‍රශ්නයේ මුලට නො යති. අපට විරුද්ධව ඊනියා (මා ඊනියා යන වචනය යෙදීම ඇතැම් පඬියන්ට ප්‍රශ්නයක් විය හැකි ය. යම් වචනයක් එසේ නොවන යමක් සඳහා යොදන විට ඊනියා යන්න යෙදිය යුතු ය. එසේත් නැතහොත් ඒ වචනය කොටු කොමා තුළ ලිවිය යුතු ය) මානව අයිතිවාසිකම් චෝදනා එල්ල කරන්නේ එංගලන්තයේ අවශ්‍යතාවයට ය. එංගලන්තය එහි දී කැනඩාවේ, ඇමරිකාවේ හා බටහිර යුරෝපීය රටවල ආධාරය ලබාගනියි. එහෙත් ඒ ඇතැම් රටවල් අද එදා තරම් ඒ වෙනුවෙන් සෑදී පෑදී නැති බව පැහැදිලි ය. එංගලන්තය ක්‍රියා කරන්නේ ලංකාව තරම් මානව අයිතිවාසිකම් කඩ කළ වෙනත් රටක් නැති අයුරෙන් ය. එහෙත් එංගලන්තය ම කඩකරන මානව අයිතිවාසිකම් ගැන කෙතරම් කතාකළ හැකි ද? අද එංගලන්තයේ ජීවත්වෙමින් ලංකාවට විරුද්ධව වෙබ් අඩවි පවත්වාගෙන අඩව් අල්ලන ඊනියා දේශපාලන රැකවල් ලැබූවන්ට ඒ රටෙහි ජාතික පුවත්පතක ලිපියක් පළකරගත හැකි ද? බීබීසියේ අගුපිළේ ඇති සංදේශය නමැති වැඩ සටහන අද මෙහෙයවන්නේ සිංහල දන්නා අයකු ද නැත්නම් සුද්දකු ද? බීබීසිය තමන් වෙනුවෙන් දාසකම් කළ සිංහල දත් ඇතැමුන් පවා අද ඉවත්කර ඇත්තේ ඔවුන් ලංකාණ්ඩුව සමග සම්බන්ධකම් පවත්වා ඇත යන චෝදනාව මත ය. ඒ වෙනුවට ඔවුන් සුද්දකු පත්කර ඇත්තේ සුද්දා ලංකාණ්ඩුව සමග සම්බන්ධකම් නොපවත්වාවිය යන උපකල්පනය මත ද? ලංකාණ්ඩුව ද තමන්ට විරුද්ධව ලියන කියන බොහෝ ජඩමාධ්‍ය ආයතනවලට ජඩමාධ්‍යවේදීන්ට කිනම් හේතුවක් නිසා වුව ආධාර කරයි. රජයේ දැන්වීම් මත ද පදනම්වන මෙරට සතිඅන්ත ජඩමාධ්‍ය කෙතෙක් වේ ද? අවශ්‍ය නම් එය ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය ලෙස ද අර්ථකථනය කළ හැකි ය.  

එංගලන්තයට ලංකාව සම්බන්ධයෙන් ඇත්තේ එකම එක ප්‍රශ්නයක් පමණකි. ඒ තමන්ගේ ආධාරය ලැබූ කොටි ත්‍රස්තවාදීන් පරාජය කරනු ලැබීම ය. මානුෂික මෙහෙයුම් අවසානයේ දී ප්‍රභාකරන් හා අනෙක් ත්‍රස්තවාදීන් බේරාගෙන බටහිරට ගෙනයෑම සඳහා නැවක් එවීමට එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල් සූදානම් විය. ඒ සඳහා කටයුතු කිරීමට විජය නම්බියාර් නමැත්තෙක් ලංකාවට පැමිණියේ ය. එහෙත් ජනාධිපතිතුමා ඒ සැලැස්මට මුළුමනින් ම විරුද්ධ වී ඇත. එසේ නොවන්නට අද ප්‍රභාකරන් බටහිර සිට ඊළමක් පිහිටුවන්නට තිබිණි. එසේ වී නම් ලංකාණ්ඩුවට විරුද්ධව ඊනියා මානව අයිතිවාසිකම් කඩකිරීමේ චෝදනා නැත. ශ්‍රියානි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත්කිරීම අද එංගලන්තයට ප්‍රශ්නයක් වී ඇත්තේ ප්‍රභාකරන්ට දිවි ගලවා ගැනීමට නොහැකිවීම නිසා මිස අධිකරණයේ ස්වාධීනත්වය නැතිවීමක් නිසා නො වේ. එංගලන්තය ප්‍රධාන වශයෙන් ම ඇමරිකාවේ ආධාරය ද ඇතිව ලංකාවට එරෙහිව ගෙනෙන චෝදනා කොටස් දෙකකට ගොනුකර ගත හැකි ය. පළමුවෙන් ම හා ප්‍රධාන වශයෙන් ම ඇත්තේ මානුෂික මෙහෙයුම්වල අවසන් සති දෙකෙහි දී සාමාන්‍ය වැසියන් හතළිස් දහසකට අධික පිරිසක් ඝාතනය කිරීම පිළිබඳ චෝදනාව ය. ඒ සමග අද උතුරේ සිවිල් පාලනයක් නොමැතිවීම, භාෂණ නිදහස නැතිවීම, හමුදා ඉවත් නොකිරීම ආදී උතුරේ ඊනියා මානව අයිතිවාසිකම් නැතිවීම පිළිබඳ චෝදනා වෙයි. දෙවනුව ඇත්තේ අධිකරණයේ ස්වාධීනත්වය නැතිකිරීම, ජනමාධ්‍යවේදීන් අතුරුදහන් වීමේ ප්‍රශ්නය ආදී උතුරු පළාතෙන් බාහිරව සිදු කෙරෙන්නේ යැයි කියන මානව අයිතිවාසිකම් කඩකිරීම් ය. පළමු වර්ගය නොවන්නට එංගලන්තයට දෙවැනි වර්ගය නැත. පළමුවැන්නේ ද මූලික ප්‍රශ්නය සිවිල් වැසියන් හතළිස් දහසකට අධික පිරිසක් ඝාතනය කරනු ලැබී යැයි පැවසීම ය. 

මේ හතළිස්දහස බටහිර දැනුමේ තවත් පට්ටපල් බොරුවක් පමණකි. පසුගිය  සතියේ පෙන්වා දුන් පරිදි එය දවසකට තුන්දහසක් පමණ පිරිසක් වෙයි. ඒ මිනී වැළලුවේ කවු ද? කොටි සංවිධානය ද? එංගලන්ත මහා කොමසාරිස් කාර්යාලය ද? මළ කඳන් වැළලුවේ නැතිනම් ඉන් හැමූ දුගඳක් ගැන අද වනතුරු නවී පිල්ලේටවත් වාර්තා වී නැත්තේ ඇයි? මේ හතළිස්දහස පිළිබඳ සංඛ්‍යාව ලබාගත්තේ කෙසේ ද? එය දරුස්මාන් වාර්තාවේ තිබූ පට්ටපල් බොරුවකින් ගලා එන්නකි. එය දරුස්මාන්ට ලබාදුන්නේ කවු ද? පැහැදිලිව ම එය බටහිරයන්ගේ සහාය ලැබූ දෙමළ ජාතිවාදීන් ලබා දී ඇති සංඛ්‍යාවකි. සම්බන්ධන් ඒ ගණනය කිරීම ගැන ඉඟියක් පසුගිය දා පාර්ලිමේන්තුවේ දී ලබා අදී තිබිණි. ඔවුන්ගේ උපකල්පනය අවසාන සති දෙකෙහි මිනිස් වළල්ලෙහි තුන්ලක්‍ෂ හැටදහසක් පමණ සිටි බව ය. ඉන් දෙලක්‍ෂ අසූදාහක් පමණ දිවිගලවා ගෙන පැමිණ ඇත. එවිට ඉතිරිය අසූදාහක් වෙයි. ඉන් හතළිස්දහසක් කොටි ත්‍රස්තවාදීන් වුවත් ඉතිරි සාමාන්‍ය වැසියන් හතළිස්දහසට සිදුවූයේ කුමක් ද යන ප්‍රශ්නය ඔහු අසයි. 


මේ ගණනය කිරීම පසුපස ඇත්තේ උපකල්පනයක් පමණකි. එනම් අවසාන සති දෙක ආරම්භයේ තුන්ලක්‍ෂ හැටදහසක් වන්නියේ නැගෙනහිර කොටසෙහි මුල්ලවයික්කාල් ප්‍රදේශයෙහි කොටු වී සිටි බව ය. අවශ්‍ය නම් එය හාරලක්‍ෂ හැටදහසක් දක්වා වැඩිකර ගැනීමට ද සම්බන්ධන්ලාට, කැමරන්ලාට, පිල්ලෙලාට හැකි ය. මියගිය කොටි සංඛ්‍යාව විසිදහසට අඩුකර ගැනීමට ද හැකි ය. එවිට මියගොස් ඇතැයි සිතිය හැකි සාමාන්‍ය දෙමළ ජනයා කෙතෙක් ද යන්න ගණනය කිරීම ඩොලර් ගණන් කර ඒ රුපියල් බවට හරවා ඇති ඕනෑම රාජ්‍ය නොවන ගැත්තකුට කළ හැකි ය. මේ දෙමළ ජාතිවාදීන් උපකල්පන මත පිහිටමින් කරන ගණනය කිරීම් මත මානව අයිතිවාසිකම් කඩවීම් ගැන කතාකිරීමට චැනල් 4 කණ්ඩායමට හා කැමරන්ට ඉඩ දී බලා සිටිමු ද? බටහිර දැනුම පට්ටපල් බොරු බවත් ව්‍යාජ විද්‍යාත්මක විධික්‍රමයක් මත පදනම් ව කෙරෙන සෙප්පඩවිජ්ජාවක් (යක්‍ෂ ගෝත්‍රික වචනයක් වන මෙය ඔවුන් යොදාගෙන ඇත්තේ වෙනත් අර්ථයකින් බව වර්ගපූර්ණිකාවේ සඳහන් වෙයි)  බවත් අපි කියමු. අද ආණ්ඩුව කළයුත්තේ මෙය සෙප්පඩවිජ්ජාවක් බව එංගලන්තය හා ඇමරිකාව හැර සෙසු ලෝකයට ඒත්තුගැන්වීමට කටයුතු කිරීම ය. සම්බන්ධන් පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළ ආකාරයට වයික්කාල් ප්‍රදේශයෙහි කොටින් ද සමග අසූදහසක් පමණ මියගොස් ඇත. ඒ දිනකට පන්දහස් පන්සියයකට වැඩි ප්‍රමාණයකි. ඒ මළකඳන්වලට සිදුවූයේ කුමක් දැයි සම්බන්ධන් පවසන්නේ ද? මේ බොරු සංඛ්‍යා ලේඛන පෙන්වා උතුරු පළාතෙන් හමුදාව ඉවත්කිරීමට කටයුතු කිරීමට කැමරන්ට හා සම්බන්ධන්ට ඉඩදිය යුතු නො වේ.   


නලින් ද සිල්වා

2013-12-08