Main Logo

Friday 5 February 2016

අමරතුංග මහතාගේ විශ්වය (2016 පෙබරවාරි 03 විදුසර ලිපිය)

අමරතුංග මහතාගේ විශ්වය

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා දැනුම සංස්කෘතියට සාපේක්‍ෂ බව පිළිගනියි. ඒ මහතා පසුගිය ජනවාරි 20 වැනි දා විදුසර පුවත්පතෙහි පළකළ  ලිපියෙන් ඒ බව සඳහන් කර ඇත. එහෙත් තමා එසේ කළ බව අමරතුංග මහතා නොදන්නේ යැයි සිතමි. 


අපි ඒ මහතාගේ ලිපියෙහි පළමු ඡෙදය මෙසේ උපුටා දක්වමු. එහෙත් අප එහි වෙනසක් කර ඇත. ඒ ඡෙදය අපි ඡෙද දෙකක් ලෙස ඉදිරිපත් කරමු. එසේ කරන්නේ අප කියන කාරණය පාඨකයාට හොඳින් ඒත්තු යෑම සඳහා ය. “අප සාකච්ජා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත පිළිබඳව විද්යාටවෙන් සහ දර්ශනයෙන් ගත හැකි කරුණු ය. අප ගේ මතවාදය වන්නේ ජීවිතයේ අරුත අප සඳහා සැකසුණු එකක්‌ නො ව විශ්වයේ ක්රිඡයාදාමය සඳහා සැකසුණු එකක්‌ විය හැකි බව ය. මා එසේ පවසන්නේ අප ගේ ව්ය්හය, ඤාණය, හැඟීම්, හැකියාව යන සියල්ල නිර්මාණය වී තිබෙන්නේ DNA, RNA ප්රොේටීන දියුණු කරමින් නිෂ්පාදනය කිරීම පණිස වන නිසා ය. මෙහි වෙන අරුතක්‌ තිබිය නොහැකි ය. මක්‌ නිසා ද ඒවා නිෂ්පාදනය කොට ඒවා ඉතිරි කොට අප මරණයට පත් වන හෙයිනි. මේ මතවාදය බටහිර මතවාදවලට කිසිසේත් ම සමාන නො වන්නේ ය.

එය මා විසින් නිර්මාණය කෙරෙන මතවාදයකි. බටහිර මතවාද යුදෙව් ක්රිටස්‌තියානි ධර්මය මත පදනම් වූ මතවාද වන්නේ ය. විශ්වය දෙවියන් විසින් නිර්මාණය කෙරී ඇත්තේ මිනිසා සඳහා බව එම ධර්මය පවසයි. මා ඉදිරිපත් කරන මතවාදය ඊට හාත්පසින් විරුද්ධ ය. මා පවසන්නේ මිනිසා නිර්මාණය වී ඇත්තේ විශ්වය සඳහා බව ය. මා ගේ මතවාදය බුදු දහමට පටහැනි නැත. බුදු දහම පවසන්නේ ජීවිතය අනිත්යව, දුක්‌ඛ, අනාත්ම බවයි. "මම ය මගේ ය" කියා දෙයක්‌ නැති බවයි. අපට අප ගේ ජීවිත අයිති නැත. මා පවසා ඇත්තේ විශ්වයට සේවය කිරීම පිණිස තෘෂ්ණාව විසින් මිනිසා වහලුන් සේ බැඳ තබනු ලැබ ඇති බවයි. ඉන් මිදෙන අන්දම බුදු දහම පෙන්වා දී ඇත. තෘෂ්ණාවෙන් අපට ඇති එලය කීම? ඉන් එලයක්‌ ලබන්නේ විශ්වය බව මා පෙන්වා දී ඇත. DNA, RNA ප්රොනටීන නිෂ්පාදනය අප විසින් ඉටු කෙරෙන සේවය නම් එම ද්රව්ය පිළිබඳ වැටහීමක්‌ නොමැති ව මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යා නොහැකි ය.”

ඒ විශේලේ’ණය කිරීමට පළමුව යමක් කිවයුතු ය. මා මේ ලිපි ලියන්නේ කරුණු දෙකක් පෙරදැරි කරගෙන ය. පළමුවෙන් ම මා දකින පරිදි අද අප පාලනය වන්නේ බටහිර දැනුමෙනි. අපේ ව්‍යවස්ථාවේ සිට සියළු අණ පණත් බටහිර නීති රීති හා සම්ප්‍රදාය මත සකස් වෙයි. බටහිර දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව, මානව විද්‍යාව, සමාජ විද්‍යාව ඇතුළු සමාජයීය විද්‍යාවන් අප කෙරෙහි දක්වන බලපෑම අති විශාල ය. ඒ දැනුම ගැන අප කෙරෙහි විශ්වාසයක් ඇති කරනු ලැබ ඇත්තේ භෞතික විද්‍යාව වැනි බටහිර විද්‍යා ඔස්සේ ය. බටහිර විද්‍යාව වැඩ ගැනීම අතින් සාර්ථක වී ඇති බැවින් ඒ සත්‍ය යැයි සිතීමට සාමාන්‍ය උගතුන් මෙන් ම ඊනියා විශේෂඥයන් ද පොළඹවනු ලැබ ඇති බව පැහැදිලි ය. එහෙත් යම් සංකල්පයක් හෝ ප්‍රවාදයක් මගින් වැඩගත හැකි ය යන්නෙන් එහි ඊනියා සත්‍යතාවක් ගැන නො කියැවෙයි. මා යන සංකල්පයෙන් අපි කෙතරම් වැඩ ගන්නෙමු ද? මේ වාක්‍යයෙහි ද මා යන්නෙහි බහු වචනය වන අප යන්න උක්තය ලෙසී යෙදී ඇත. එහෙත් මා යන්නෙන් කෙතරම් වැඩ ගත්ත ද, එය බොරුවක් බව අපි දනිමු. අඩු තරමෙන් බෞද්ධයෝ දනිති. එහෙත් මා යන සංකල්පය නොමැතිව මට සිතන්නටවත්, මේ ලිපිය ලිවීමටවත් නො හැකි ය. මා නැත, එහෙත් මා නම් සංකල්පය නොමැතිව මට කිසි වැඩක් කරගත නො හැකි ය. මා යන්න වැඩගත හැකිය යන තේරුමෙන් ඉතාමත් සාර්ථක ය. එහෙත් මා යන්න බොරුවකි.

ඉහත සඳහන් කරුණු තේරුම් ගැනීමට ඇතැම් විට අයින්ස්ටයින්ට හෝ වෙනත් කීර්තිමත් බටහිර විද්‍යාඥයකුට හෝ නොහැකි වීමට ඉඩ ඇත. ඒ ඔවුන්ගේ චින්තනය යුදෙවු ක්‍රිස්තියානි මිස සිංහල බෞද්ධ නොවන නිසා ය. එහි පුදුම වීමට තරම් දෙයක් නැත. එහෙත් මේ කරුණ අවබෝධ කරගැනීමට සිංහල බෞද්ධ උගතුනට ද නොහැකි බව මම අත්දැකීමෙන් දනිමි. එසේ වීමට හේතුවක් ඇත. අපේ උගතුන්ගේ මනස් යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙන් අවුල් කෙරී ඇත. ඔවුහු ගන්ධබ්බයෝ වෙති. ඔවුහු යුදෙවු ක්‍රිස්තියානි චින්තනයටවත් සිංහල බෞද්ධ චින්තනයටවත් අයත් නො වෙති. ඔවුන්ට බටහිර විද්‍යාව ඇතැම් විට ඉගෙනීමට හැකි වුවත් ඒ පදනම් කරගනිමින් සංකල්ප, ප්‍රවාද ආදිය නිර්මාණය කිරීමට නො හැකි ය. 

බටහිර විද්‍යාවෙන් අප වැඩගන්නා බව පැහැදිලි ය. එහෙත් එපමණකින් බටහිර විද්‍යාව සත්‍ය යැයි නිගමනය කිරීමට නො හැකි ය. එසේ නම් බටහිර විද්‍යාවටත් වඩා සාර්ථක වූ මා යන සංකල්පය ද නිවැරදි විය යුතු ය. එහෙත් මා යන්න බොරුවක් බව අපි දනිමු. බටහිර විද්‍යාවෙන් වැඩ ගැනීමට හැකි වුව ද ඒ පට්ටපල් බොරුවකි. මා යන්න අඩුම තරමෙන් අපේ සිත්වලට දැනෙන්නේ යැයි කිවහැකි ය. එහෙත් බටහිර විද්‍යාවේ සංකල්ප දැනෙන්නේ කුමකට ද? බටහිර විද්‍යාවේ ප්‍රවාද වියුූක්ත වන අතර ඒ සංස්කරණය කෙරී ඇත්තේ බොරු වූ සංයුක්ත නිරීක්‍ෂණ තේරුම් ගැනීම සඳහා ය. බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි මා කියන්නේ එබැවිනි. 

බටහිර විද්‍යාවේ දේශපාලන ආධිපත්‍ය මගින් අපි පීඩාවට පත්කෙරෙමු. බටහිර විද්‍යාව සත්‍ය යැයි අපට උගන්වනු ලැබුවත් නැතත් එසේ සිතීමට ප්‍රවණාතාවක් ඇත. එමගින් බටහිර සමාජයීය විද්‍යාවන් ද සත්‍ය යැයි සිතීමට අපි පෙළඹෙමු. ඒ අනුව අපි බටහිර ආධිපත්‍යයට යටවෙමු. ඒ ආධිපත්‍යය හේතුවෙන් අද අපට සීමිත නිදහසක් වත් නැත. අප තේරුම් ගත යුතුව ඇත්තේ නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණය යොදා ගනිමින් හඳට රොකට්ටු යැවිය හැකි අන්දමින් ඒ සාර්ථක වුවත් ඒ පට්ටපල් බොරුවක්, බොරු කතන්දරයක් පමණක් බව ය. බටහිර විද්‍යාව ඇතුළු දැනුම පට්ටපල් බොරු බව කීමට ද මේ ලිපි ලියැවෙයි. අපේ නිදහස ප්‍රධාන වශයෙන් සිතීමට ඇති නිදහස විය යුතු ය. පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාව මත අප රැඳිය යුතු නො වේ. 

මෙයින් කියැවෙන්නේ අප බටහිර විද්‍යාව යොදා නොගත යුතු බව නො වේ. අවශ්‍ය තැන ඒ යොදාගැනීම පමණක් නොව හැකිනම් හා අවශ්‍යතාවක් ඇත්නම් ඒ සිංහල බෙ ෟද්ධ සංස්කෘතියට අවශෝෂණය කර ගැනීමට ද අප උනන්දු විය යුතු ය. එහෙත් අපේ උගතුන්ට එවැන්නක් කිරීමට නො හැකි ය. සාමාන්‍ය පෙළ පංතියේ සිට, විශේෂයෙන් ම උසස් පෙළ පංතියේ සිට අධ්‍යාපනයෙන් අප මනස් සකස් කෙරෙන්නේ බටහිර දැනුම ඉදිරියේ දණ ගසා ඒ අනුකරණය කිරීමට ය. උසස් පෙළ  පංතිවල ඉගෙන ගත් අති මහත් බහුතරය අනුකාරකයෝ පමණක් ම වෙති!

බටහිර විද්‍යාව පට්ටපල් බොරු නම් අපට ඇති විකල්පය කුමක් ද? ඒ අන් කිසිවක් නොව අපේ සම්ප්‍රදාය මත දැනුම නිර්මාණය කිරීම ය. අපේ සම්ප්‍රදායේ දැනුම ප්‍රත්‍යක්‍ෂ විය යුතු ය. ප්‍රත්‍යක්‍ෂ ද බොරු වුවත් අප නිවන් අවබෝධ කරගන්නා තෙක් අපට ප්‍රත්‍යක්‍ෂ  යොදා ගැනීමට සිදුවෙයි. ප්‍රත්‍යක්‍ෂ එක්කෝ පංචෙන්ද්‍රියන් ආශ්‍රයෙන් මනස විසින් සකස් කෙරෙයි . නැත්නම් පංචෙන්ද්‍රියවල සහාය නොමැති ව ම මනස විසින් සකස් කෙරෙයි. එහි දී මනස වර්ධනය කර ගැනීම අත්‍යවශ්‍ය වෙයි. භාවනා කිරීම් යෝග අභ්‍යාසවල යෙදීම් ආදියෙන් ඒ කරගත හැකි ය. 

ඒ සඳහා මෙරට අද කිසිවක් නො කෙරෙයි. පංති කාමරය හොඳ සංකල්පයක් නොවූවත් අඩුම තරමෙන් ඒ යොදා ගනිමින් දිනකට යම් කාල පරිච්ඡෙදයක් භාවනානුයෝගීව සිටීමට දරුවන්ට නියම කළ හැකි ය. අපේ ම වූ වෙනත් අධ්‍යාපන ක්‍රමයක් ඇති කරන තෙක් අපට පංති කාමරය හා යුදෙවු ක්‍රිස්තියානි පාසල (විශ්වවිද්‍යාලය ද) යොදා ගැනීමට සිදුවෙයි.  මනස දියුණු කළ පැරණි සෘෂින් මෙන් කළ ආකාරයට දැනුම සකස් කර ගැනීමට අපට තවත් බොහෝ කාලයක් ගත වනු ඇත. එකල එසේ දැනුම ලබාගෙන මෙරට සිංහල වෙදකම මෙන් ම සිංහල ගොවිකම ද සිංහල නයිදෙකම ද (ඉංජිනේරු ශිල්පය, ඊනියා තාක්‍ෂණය ආදිය) වර්ධනය කෙරී ඇති බව පෙනී යයි. එපමණක් නොව පැරණි වෛදික සමාජය කොපර්නිකස්ට බොහෝ කලකට පෙර පොළොව හිරු වටා භ්‍රමණය වන බව මනසින් දැක ඇත. කොපර්නිකස් ද ඒ බව දැනගෙන ඇත්තේ අරාබීන් මගින් වෛදිකයන්ගෙනි. පොළොව හිරු වටා යන බව දැනගැනීමට කොපර්නිකස් යොදාගත් ඊනියා විධික්‍රමය කුමක් ද? 

එහෙත් අපට අපේ ම වූ දැනුමක් අපේ ම වූ චින්තනයක් මත පදනම් වෙමින් මනස වර්ධනය කරගනිමින් සංස්කරණය කරගැනීමට තව බොහෝකල් ගත වනු ඇත. අප එතෙක් බටහිර දැනුමේ ආධිපත්‍යයට යට වී සිටිය යුතු ද? කිසිසේත් ම නැත. අපට බටහිරයන්ගේ හැන්දෙන් ම බටහිරයන්ට බෙදිය හැකි ය. ප්‍රවාද සංස්කරණය කිරීම අපේ ක්‍රමය නොවූවත් අප තාවකාලික ව වුවත් අපේ ප්‍රවාද සංස්කරණය කර ගත යුතු ය. එහෙත් ඒ කළ යුත්තේ යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වීමෙන් නොව සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වීමෙනි. මේ ලිපි පෙළ ආරම්භ කෙරුණේ අපේ ප්‍රවාද යනුවෙන් බව වැඩිහිටි පාඨකයනට මතක ඇත. අද ද ලිපි පෙළෙහි එක් අරමුණක් වනුයේ අපේ චින්තනය මත පදනම් වූ අපේ ප්‍රවාද සංස්කරණය කරගැනීම ය. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් ය යන්න ද එසේ සකස් කෙරුණු අපේ ප්‍රවාදයකි. ඒ සිංහල බෞද්ධ චින්තනය හා සංස්කෘතිය මත පදනම් වෙයි. සංයුක්ත සංකල්ප බොරු බව අප කියන්නේ සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වෙමිනි. බොරු වූ සංයුක්ත නිරීක්‍ෂණ තේරුම් කිරීම සඳහා ගොතන වියුක්ත කතන්දර පට්ටපල් බොරු යැයි අපි කියමු. 

අමරතුංග මහතා ඉහත සඳහන් පාඨයෙන් කියන්නේ කුමක් ද? මා දෙවැනි ඡෙදයක් ලෙස ඉදිරිපත් කර ඇති අමරතුංග මහතාගේ ලිපියෙහි කොටසෙහි මේ වාක්‍ය දෙස සිත (මනස) යොමු කරන්න. ඒ සඳහා වර්ධනය වූ මනසක්  අවශ්‍ය යැයි මම නො සිතමි. “බටහිර මතවාද යුදෙව් ක්රිමස්‌තියානි ධර්මය මත පදනම් වූ මතවාද වන්නේ ය. විශ්වය දෙවියන් විසින් නිර්මාණය කෙරී ඇත්තේ මිනිසා සඳහා බව එම ධර්මය පවසයි. මා ඉදිරිපත් කරන මතවාදය ඊට හාත්පසින් විරුද්ධ ය. මා පවසන්නේ මිනිසා නිර්මාණය වී ඇත්තේ විශ්වය සඳහා බව ය. මා ගේ මතවාදය බුදු දහමට පටහැනි නැත.” අමරතුංග මහතාගේ කට බොරු කීවත් දිව බොරු නොකියන බව පැහැදිලි ය. අඩුම තරමෙන් ඒ පිළිබඳ ව අපේ කෘතඥතාව ඒ මහතාට හිමි විය යුතු ය. 

අමරතුංග මහතාට අනුව බටහිර මතවාද යුදෙවු ක්‍රිස්තියානි ධර්මය මත පදනම් වෙයි. දැනුම සංස්කෘතියට සාපේක්‍ෂ ය යන්නෙන් අප මූලික ව කියා සිටින්නේ වෙනත් කරුණක් නො වේ. බටහිර මතවාදවලට බටහිර විද්‍යාව ද අයත් බව පැහැදිලි ය. අමරතුංග මහතා ම ඒ බව සනාථ කරයි. අමරතුංග මහතා බටහිර විද්‍යාවේ මතවාදයක් ලෙස විශ්වය දෙවියන් විසින් නිර්මාණය කෙරී ඇත්තේ මිනිසා සඳහා යැයි  කියයි. ඒ බව පැහැදිලි ය. යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි විශ්වය මවා (හෝ මැවී හෝ) ඇත්තේ මිනිසා සඳහා ය. අමරතුංග මහතා කියන බටහිර විද්‍යාව පදනම් වන්නේ යුදෙවු ක්‍රිස්තියානි ධර්මය මත ය. අප කියන්නේ ඒ යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වන බව ය.  

ඉන්පසු අමරතුංග මහතා පවසන්නේ තම මතය බුදුදහමට පටහැණි නැති බව ය. එය පටහැණි ද නැද්ද යන්න සාකච්ඡා කිරීම අපි පසුවට කල් තබමු. මෙහි  වැදගත් කරුණ වන්නේ අමරතුංග මහතාගේ මතය බුදුදහමට පටහැණි ද නැද්ද යන්න නො වේ. අමරතුංග මහතා ජීවිතයේ ඊනියා අරුත පිළිබඳ තමාගේ ම වූ මතවාදයක් ඉදිරිපත් කරන බව ද එය බුදුදහමට පටහැණි නැති බව ද කියයි. බටහිර මතවාදය යුදෙවු ක්‍රිස්තියානි ධර්මය මත පදනම් වන්නේ යැයි කියන අමරතුංග මහතා තම මතය බුදුදහමට එකඟ වන්නේ යැයි කියයි. පටහැණි නොවීම යන්නෙන් සාමාන්‍යයෙන් ඇරිස්ටෝටලීය න්‍යාය අනුව නිගමනය වන්නේ එකඟ වන බව ය. අමරතුංග මහතාගේ මතය බුදුදහමට එකඟ වුවත් නැතත් අමරතුංග මහතා තම මතය බුදුදහමට එකඟ වන්නේ යැයි පැවසීම වැදගත් ය. 

තම මතය බුදුදහමට පටහැණි නො වේ යැයි කීමෙන් හා බටහිර මතවාදය යුදෙවු ක්‍රිස්තියානි ධර්මය මත පදනම් වේ යැයි කීමෙන් අමරතුංග මහතා කෙලින් ම නොකිව්ව ද කියන්නේ තම මතය බුදුදහම මත පදනම් වන බව ය. අපට එය වැදගත් ය. අමරතුංග මහතා කියන්නේ විවිධ ධර්ම මත පදනම් වී විවිධ දැනුම් ගොඩ නැගෙන බව ය. අපි දැනුම් කෙලින් ම යුදෙවු ක්‍රිස්තියානි ධර්මය හෝ වෙනත් ධර්මයක් හෝ මත පදනම් වන්නේ යැයි නො කියමු. අප කියා සිටින්නේ දැනුම ඒ ඒ චින්තනය මත පදනම් ව ඒ ඒ සංස්කෘතියට සාපේක්‍ෂව නිර්මාණය වන බව ය. අමරතුංග මහතා අපටත් වඩා ඈතට ගොස් දැනුම සෘජුව ම ධර්මය මත පදනම් වනනේ යැයි කියයි. මෙතරම් ඉක්මනට අමරතුංග මහතා දැනුමෙහි සාපේක්‍ෂ බව පිළිගනීවි යැයි මම බලාපොරොත්තු නො වූයෙමි. 

එහෙත් අමරතුංග මහතා ඉදිරිපත් කරන්නේ ද යුදෙවු ක්‍රිස්තියානි චින්තනය (ධර්මය නොවේ) මත පදනම් වූ දැනුමක් යැයි අපි කියමු. ඒ මහතාට අනුව මිනිසා විශ්වයට සේවය කිරීම සඳහා තණ්හාව විසින් වහළුන් මෙන් බැඳ දමනු ලැබ ඇත. බටහිර මතවාදයට අනුව විශ්වය මවා ඇත්තේ මිනිසාට සේවය කිරීම ය. අමරතුංග මහතා ඉදිරිපත් කරන ප්‍රවාදය ඒ මහතාගේ නව මතයක් නො වේ. එය බුදුදහම මත පදනම් වී නැති අතර ඒ බුදුදහමට විරුද්ධ වෙයි. අපි ඒ පසුව විභාග කරමු. එහෙත් දැනට කීමට ඇත්තේ අමරතුංග මහතාගේ ජීවිතයේ අරුත මෙන් ම බටහිර මතවාදය ද ඊනියා සේවය කිරීමක් ගැන කියන බව ය. 

බටහිර මතවාද කලක් චින්තනය අනුව පමණක් නොව සංකලපීය ව හා දැනුම අනුව ද මානව කේන්ද්‍රිය විය.  හිරු ඇතුළු ග්‍රහවස්තු වාස්තවික ව නිරපේක්‍ෂ ව පොළොව වටා යන්නේ යැයි බටහිරයෝ විශ්වාස කළහ. එහෙත් වෛදිකයන්ගේ දැනුම අනුව යමින් කොපර්නිකස් හා බටහිරයන් පසුව කියා සිටියේ පොළොව හිරු වටා යන බව ය. එහෙත් ඔවුහු සූර්යය ප්‍රධාන තැනක ලා සැලකූහ. ඉන්පසු ක්‍ෂිරපථ මන්දාකිණිය විශ්වයේ කේන්ද්‍රය ලෙස සැලකූහ. අද විශ්වයේ කේන්ද්‍රයක් ගැන ඔවුහු කතා නො කරති. එහෙත් විශ්වය මෙලෙස නිර්මාණය වී ඇත්තේ මිනිසාට ඒ නිරීක්‍ෂණය කිරීමට හැකිවන අයුරින් යැයි ඔවුහු කියති. අඩු තරමෙන් ඔවුන්ගෙන් කොටසක් එසේ කියති. එය අන්කිසිවක්   නොව නැවතත් මානවකේන්ද්‍රිය අදහසකි. මේ අදහස් බටහිර මිනිසා කේන්ද්‍රකොට ඇතැයි කීම නිවැරදි ය. බටහිර විද්‍යාවේ මායිම් අවශ්‍යතා මානව කේන්ද්‍රිය වෙයි. අනෙක් අතට ඊනියා මහා පිපුරුමේ මවන්නකු (දෙවියන් වහන්සේ) නැති වුවත් මැවීමක්, පටන්ගැනීමක් ඇත. ඒ මැවුම්කරුවකු නැතිව වුව ද කෙරෙන මැවීමකි. ඊනියා බහු විශ්වවල (multiverse) ද පටන්ගැනීමක් (ආරම්භයක්) වක්‍ර ව කියැවෙයි. බටහිර විද්‍යාවට මැවීමෙන් වෙන්විය නො හැකි ය. අමරතුංග මහතාගේ මතවාදයෙහි ද ආරම්භයක් ඇත.    

නලින් ද සිල්වා

2016 පෙබරවාරි 01