Main Logo

Friday 12 February 2016

ඊතලයෙන් බුදුදහම විකෘත කිරීම (2016 පෙබරවාරි 10 විදුසර ලිපිය)

ඊතලයෙන් බුදුදහම විකෘත කිරීම

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා පසුගිය පෙබරවාරි 03 වැනි දා ලිපියෙන් ද දැනුම සංස්කෘතියට සාපේක්‍ෂය යන අදහස ඉදිරිපත් කර ඇත. කවදත් කොතැනත් ඇත්තේ එකම විද්‍යාව යැයි කී අමරතුංග මහතා දැන් අඩුම තරමෙන් 2016 දී විද්‍යා දෙකක් ඇති බව පිළිගනියි. ඒ මහතාගේ පෙබරවාරි 03 වැනි දා ලිපියෙහි මෙසේ සඳහන් වෙයි. දීර්ඝ උපුටාදැක්වීම්වලින් තොරව අමරතුංග මහතා කියන දෙය පාඨකයාට ඒත්තු නො යයි. “ ජීවිතයේ අරුත පිළිබඳව අප මතවාදයක්‌ ඉදිරිපත් කොට ඇත. එය බුදු දහමට පටහැනි නො වන, බටහිර දර්ශනයට සම්පූර්ණයෙන් විරුද්ධ, මා ඉදිරිපත් කළ මතවාදයකි. බටහිර දර්ශනය පදනම් වී ඇත්තේ යුදෙව් ක්රිපස්‌තියානි දර්ශනය මත ය. එම දර්ශනයට අනුව විශ්වය දෙවියන් විසින් මවනු ලැබ ඇත්තේ මිනිසා ගේ ප්රරයෝජනය පිණිස ය. මා ගේ මතවාදයට අනුව මිනිසා නිර්මාණය වී ඇත්තේ විශ්වයට සේවය කිරීම සඳහා ය. මේ දෙක අතර ඇති පරස්‌පර විරුද්ධත්වය මනාව පැහැදිලි ය.”


සුපුරුදු පරිදි අමරතුංග මහතා ව්‍යාකූල අදහස් පවසයි. බටහිර දර්ශනය පදනම් වී ඇත්තේ යුදෙවු ක්‍රිස්තියානි දර්ශනය මත යැයි අමරතුංග මහතා කියයි. එක් දර්ශනයක් එහි උප දර්ශනයක් මත පදනම් වන්නේ කෙසේ ද යන්න ඒ මහතා සඳහන් කෙළේ නම් මැනවි. ඒ කෙසේ වෙතත් ඒ මහතා කියන්නේ බටහිර චින්තනය හා යුදෙවු ක්‍රිස්තියානි දර්ශනය අතර යම්සම්බන්ධතාවක් තිබෙන බවත් තම මතය බුදුදහමට පටහැණි නොවන බවත්, බටහිර දර්ශනයට සම්පූර්ණයෙන් විරුද්ධ බවත් ය. අඩුපාඩුකම් මැද වුව ද එසේ කීම ගැන අපි ඒ මහතාට ස්තුතිවන්ත වෙමු.

අමරතුංග මහතා කතාකරන්නේ ජීවිතයේ අරුත පිළිබඳ ව ය. ජීවිතයේ අරුත ජීවිතයේ අරමුණෙන් වෙනස් බව ඒ මහතා කියයි. ඒ මහතා ඒ බව කීමට පෙළඹුණේ වෙනත් ලියුම්කරුවකු ඒ බව කීමෙන් පසුව ය. බුදුදහමට අනුව ජීවිතයේ අරමුණ නිවන් අවබෝධ කිරීම ය. එහෙත් බුදුදහමෙහි ජීවිතයේ අරුතක් ගැන නොකියැවෙයි යනුවෙන් අමරතුංග මහතා සඳහන් කර ඇත. ඉහත කී ලිපියෙහි ම අමරතුංග මහතා මෙසේ සඳහන් කරයි. 

“. ජීවිතයේ අරමුණු සහ ජීවිතයේ අරුත අප පටලවාගත යුතු නැත. මේවා ගැන ගැඹුරු ලෙස සාකච්ඡා කොට ඇත. බුදු දහම ජීවිතයේ අරමුණු ගැන පැහැදිලි විස්‌තරයක්‌ සපයා ඇත. ගිහි ජීවිතයේ අරමුණු, පැවිදි ජීවිතයේ අරමුණු, රජුන් ගේ අරමුණු සහ නොයෙකුත් රැකියාවල අරමුණු, බුදු දහම විස්‌තර කොට ඇත. එහෙත් බුදුදහම පවසන්නේ මේ අරමුණු සාක්‌ෂාත් කරගැනීමෙන් පමණක්‌ අපට දුකින් මිදිය නොහැකි බවයි. දුකින් මිදිය හැකි මාර්ගය බුදුන් පෙන්වා දී ඇත. එය නිවන් මාර්ගය වන්නේ ය. නිවන යනු ලෝකෝත්තර ධර්මයක්‌ නො වන්නේ ය. නිවන විසින් මිනිසා ලෝකොත්තර තත්ත්වයකට පත් කෙරෙන්නේ නැත. ලෝකෝත්තර තත්ත්වයන් අප ගේ භාෂාවෙන් පැහැදිලි කළ නොහැකි ය. ලෝකෝත්තර තත්ත්වයන් ගේ තිබිය යුතු ම ගුණාංගය අපට නොපැහැදිලි බව ය. නැති ව ම බැරි ගුණාංගය එය විස්‌තර කිරීමට නොහැකි බව ය. එහෙත් බුදු දහම කාටත් තේරෙන භාෂාවෙන් නිවන කුමක්‌ දැයි පහදා දී ඇත. නිවත ළඟා කරගැනීමට ප්රුඥාව පුහුණු කරගත යුතු ය. ඒ සඳහා සමාධිය අවශ්ය  ය. නිවන යනු ලෝභ, දොෂ, මෝහ යන අකුසල් නැති කර ගැනීම ය. ඒවායින් මිදුණු විට අප ගේ සිතේ දැවෙන ගින්න නිවී යන්නේ ය. නිවන යනුවෙන් බුදු දහමේ හැඳින්වෙන්නේ එය ය. අරිය පරියේෂණ සූත්ර ය මෙය පැහැදිලි කර දී ඇත. එම නිසා නිවන ජීවිතයේ අරමුණ කරගත හැකි ය. එය ජීවිතයේ අරුත විය නොහැකි ය. අප නිර්මාණය වී ඇත්තේ නිවන ලබාගැනීම පිණිස යෑයි කෙනකුට පැවසිය නොහැකි ය. අප නිර්මාණය වී ඇත්තේ විශ්වයට සේවය කිරීම පිණිස ය. තෘෂ්ණාව ඒ සඳහා අප වහලුන් සේ බැඳ තබා ඇත. ඉන් මිදීම නිවන ළඟා කරගැනීම ය. එය අප ගේ ජීවිත කාලයේ දී ළඟා කරගත හැකි ය.”

අමරතුංග මහතාට අනුව නිවන විසින් මිනිසා ලෝකෝත්තර තත්ත්වයකට පත් නො කෙරෙයි. ඒ කියමනෙහි වරදක් නැති වුවත් අමරතුංග මහතා එයින් කීමට අදහස් කරන්නේ කුමක් දැයි පැහැදිලි නැත.  මා යනුවෙන් කෙනකු නැති බව තේරුම් ගැනීම නිවන් අවබෝධය යැයි “මම” සිතමි. නිවන් අවබෝධවීමෙන් පසු උපදින තැනක්, භවයක්, උපතක් නැත. ඒ උච්ඡෙදවාදයක් ද නො වේ. අපේ මෝහය හේතුවෙන් අපි (මෙය ද වැරදි ව්‍යවහාරයකි. මා නැතිව අප කොහෙන් ද) මා යනුවෙන් කෙනකු ඇතැයි විශ්වාස කරමු. ලෝභ, ද්වේෂ, මෝහ මේ වැරදි “අවබෝධය” මත රඳා පවතියි. නිවන උච්ඡෙදයක් නොවන්නේ එහි ඇති යමක් නැති නොකරන නිසා ය. නැත්ත ඇත්ත ලෙස හඳුනාගැනීම වැරදි යැයි අවබෝධ කරගැනීමෙන් ඊනියා ඇත්තක් (පවතින්නක්) නැති නො වේ. නිවන ලෝකෝත්තර තත්ත්වයක් නොවන්නේ නිවන තත්ත්වයක්වත් නොවන බැවිනි. නිවන තැනක් හෝ තත්ත්වයක් හෝ වෙනත් යමක් හෝ නො වේ. සසර සැරිසරණ සත්ත්වයාගේ අරමුණ විය යුත්තේ නිවන් අවබෝධයයි. ඒ අවබෝධය පට්ටපල් බොරුවක් වූ බටහිර විද්‍යාව අවබෝධ කරගැනීම වැන්නක් නො වේ. බටහිර විද්‍යාව අවබෝධ වන්නේ ද නැති මිනිසකුට ය. නැති මිනිසා මිනිසකු ඇතැයි ගැනීම ම බොරුවකි. ඒ බොරුවෙහි සිට, බොරුව මත පදනම් වී පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාව අවබෝධ කරගත හැකි ය. එහෙත් නිවන් අවබෝධය එවැනි පට්ටපල් බොරුවක් හෝ බොරුවක් හෝ අවබෝධ කරගැනීම නොව, බොරුව බොරුවක් බව අවබෝධ කරගැනීම ය. 

සසර සැරිසරණ සත්ත්වයනට නිවන ජීවිතයේ නොව සසරෙහි ම අරමුණ විය යුතු ය. ඇතැම් භවවල එවැනි අරමුණක් ඇතිකර ගැනීමට ද නොහැකි ය. මිනිසත් භවයෙහි වැදගත් කම ඇත්තේත් බුද්ධොත්පාදකාලයක මිනිස් භවයක් ලැබීමේ වැඩි වැදගත්කමක් ඇත්තෙත්් ඒ අරමුණ සාක්‍ෂාත් කර ගැනීම කෙසේ වෙතත් එහි දී අඩුම තරමෙන් අරමුණ ඇතිකර ගැනීමට හැකි බැවිනි. ඇතැමුන්ට ඒ සාක්‍ෂාත් කරගැනීමට ද හැකි ය. කෙසේ වෙතත් ඒ අරුතෙන් ජීවිතයේ (සසරෙ) අරමුණ නිවන යැයි කිව හැකි ය. 

මේ අරමුණ සාක්‍ෂාත් කරගන්නේ කෙසේ දැයි බුදුදහමෙහි පැහැදිලි වෙයි. එහෙත් ජීවිතයේ අරුත කුමක් ද? ඉහත සඳහන් ඡෙදයට අනුව ජීවිතයේ අරුත නිවන යැයි කිව නො හැකි ය. අමරතුංග මහතාට අනුව නිවන ජීවිතයේ අරුත යැයි කිසිවකුට කිව නො හැකි ය. ඒ මහතාගේ වචනවලින් ම ඒ මෙසේ ය. “අප නිර්මාණය වී ඇත්තේ නිවන ලබාගැනීම පිණිස යෑයි කෙනකුට පැවසිය නොහැකි ය. අප නිර්මාණය වී ඇත්තේ විශ්වයට සේවය කිරීම පිණිස ය. තෘෂ්ණාව ඒ සඳහා අප වහලුන් සේ බැඳ තබා ඇත. ඉන් මිදීම නිවන ළඟා කරගැනීම ය.”

අමරතුංග මහතා ඉතා පැහැදිලි ව ම නිර්මාණයක් ගැන කියයි. අමරතුංග මහතා තම මතය බටහිර මතයෙන් වෙනස් බව පැවසීමට මහත් උත්සාහයක් දරයි. ඒ ගැන අප ඒ මහතාට ස්තුතිවන්ත වන්නේ එමගින්, ඉහත සඳහන් කෙරී ඇති පරිදි ඒ මහතා තමාගේ වචනවලින් විවිධ දර්ශන මත පදනම් වූ මතවාද ගැන කියන බැවිනි. ඒ මහතා එසේ කීවත් ඒ මහතා කරන්නේ වෙනත් දෙයකි. ඔහුට බටහිර යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙන් මිදීමට නොහැකි වී ඇත. අමරතුංග මහතාට චින්තනය යන සංකල්පය නැත. ඔහුට අමරසේකර මහතාගේ ඉතා ලිහිල් එමෙන් ම අවුල් අදහසක් වූ ජාතික චින්තනය යන්න නම් ඇත. එහෙත් ජාතික චින්තනය සංයුක්ත හෝ වියුක්ත හෝ සංකල්පයක්වත් පඤ්ඤත්තියක්වත් නො වේ. පඤ්ඤත්තියකට හොඳම උදාහරණය කාලය යන්න ය. අවකාශය යන්න ද පඤ්ඤත්තියකි. අයින්ස්ටයින් (මින්කොව්ස්කි) ඒ පඤ්ඤත්ති දෙකම ඒකාබද්ධ කර අවකාශ - කාලය යන පඤ්ඤත්තිය සූත්‍රගත කෙළේ ය. 

චින්තනය යන සංකල්පය නොතිබීම හේතුවෙන් අමරතුංග මහතාගේ චින්තනය අවුල් වී ඇත. ඒ මහතා තම මතවාදය බටහිර දර්ශනයට විරුද්ධ යැයි කියයි. එහෙත් ඒ මහතා ද යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වෙයි. අප නිර්මාණය වී ඇත යන සංකල්පය අමරතුංග මහතාට ලැබෙන්නේ යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙනි. ඒ සංකල්පය මුස්ලිම් මෙන් ම වෛදික චින්තනවල ද ඇත. එහෙත් අමරතුංග මහතා පදනම් වන්නේ යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත ය.  අප වෙනත් චින්තනයකින් කිසිවක් නොගත යුතු යැයි මෙයින් නො කියැවෙයි. අප වෙනත් චින්තන පදනම් කරගනිමින් වෙනත් සංස්කෘතීන්ට සාපේක්‍ෂව සංස්කරණය වූ සංකල්ප හා ප්‍රවාද හැකිනම් හා අවශ්‍ය නම් අපේ සංස්කෘතියට සාපේක්‍ෂව අවශෝෂණය කරගත යුතු ය. මේ බව අවුරුදු තිහකට පෙර ලියැවුණු මගේ ලෝකයෙහි ද, ඒ වචනවලින් ම නොවූවත්, සඳහන් වෙයි. එහෙත් අමරතුංග මහතා කරන්නේ එවැනි අවශෝ’ෂණයක් නො වේ. ඔහු ඉතා නග්නව යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ සංකල්ප හා ප්‍රවාද අනුකරණය කරයි. එහි වඩාත් ම හාස්‍යොත්පාදක  කරුණ නම් අමරතුංග මහතා තමා බටහිර දර්ශනයට විරුද්ධ මතවාදයක් ඉදිරිපත් කරන්නේ යැයි පැවසීම ය. “

විවිධ දර්ශන (චින්තන) මත පදනම් වූ දැනුම් (මතවාද) ඇති බව පිළිගැනීම පිළිබඳ ව අප අමරතුංග මහතාට ස්තුතිවනත වන අතර ඔහුගේ අනුකාරකත්වය විවේචනය කරමු.  අමරතුංග මහතාගේ අනුකාරකත්වයට තවත් උදාහරණයක් ඔහුගේ ඉහත සඳහන් ලිපියෙහි ම පහත සඳහන් කොටසෙන් දැක්වෙයි. අමරතුංග මහතාට ඇත්තේ යුදෙවු ක්‍රිස්තියානි සංකල්ප ය. අපි අදාළ කොටස විශ්ලේෂණය කරමු.

“බුදුන් වහන්සේ විශ්වයේ ජීවත් වී නිවන නමැති මානසික තත්ත්වය ප්ර ත්යනක්‌ෂ කොට පිරිනිවන් පෑ ඓතිභාසික මනුෂ්යසයෙක්‌ වූ සේක. බුදුන් ලෝකෝත්තර තත්ත්වයට නඟා සිටුවීමට තැත් කළ අය වූයේ මහායානය ප්රුගුණ කරන්නට තැත් කළ අය ය. මහායානය යනු ප්රතධාන වශයෙන් හින්දු ආගමේ ආභාෂය බලහත්කාරයෙන් බුදු දහමට ඇතුළු කොට විකෘති කරගත් දහමකි. ඉන් සිදු වූයේ බුදුන් වහන්සේ විෂ්ණු දෙවියන් ගේ අවතාරයක්‌ බවට පත් වීම ය. තව ද අවිද්යාසව, මිථ්යා ව බුදු දහම තුළට ඇතුළු වීම ය. බුදුන් විශ්වයේ අරුත පහදා නුදුන් සේක. ඒ ගැන සිතනවාට වඩා ශරීරයට ඇතුළු වී ඇති වස පෙවූ ඊතලයක්‌ වන තෘෂ්ණාව උගුල්ලා ගන්නට ක්රි යා කරන මෙන් උන්වහන්සේ අවවාද කළ සේක. අප ගේ මතවාදය බුදු දහමට කිසිසේත් පටහැනි නො වන්නේ ය.”

බුදුන්වහන්සේ ලෝකොත්තර පුද්ගලයකු නොවූ සේක. උන්වහන්සේ ඓතිහාසික මනුෂ්‍යයෙකි යන්න යුදෙවු ක්‍රිස්තියානි සංකල්පයකි. මෙහි ඓතිහාසික යන්න යොදන්නේ ඉතිහාසයෙහි ජීවත් වීය යන අරුත ගෙන දීමට ය. මේ බටහිර කතුවරුන් ඉදිරිපත් කරන ලද අදහසකි. සිදුහත් කුමරුට ඉතිහාසයක් ඇත. ඔහු කපිලවස්තු පුරයෙහි උපත ලැබී ය.  එහෙත් බුදුන් වහන්සේගේ පරම්පරාව කුමක් ද? ඒ ඉහත වැඩ විසූ බුදුන් වහන්සේලාගේ පරපුරයි. අනෙක් අතට තථාගතයන් වහන්සේ ගැන බුදුන් වහන්සේ දේශනා කර ඇති කරුණුවලින් අපට ගම්‍යවන්නේ කුමක් ද? සිදුහත් කුමරු බුදුවීමෙන් පසු උන්වහන්සේ විස්තර කිරීමට මනු’ෂ්‍යයෙකි යන්න ප්‍රමාණවත් නො වේ. එයින් කියැවෙන්නේ උන්වහනසේ ලෝකෝත්තර දෙවියකු හෝ බ්‍රහ්මයකු හෝ බවට පත්කිරීම නො වේ. නිවන් අවබෝධ කරගැනීමෙන් පසු තථාගත වූ උන්වහන්සේ චතුස්කෝටික න්‍යායට හසුවන සංකල්පවලින් විස්තර කළ හැකි නො වේ. අමරතුංග මහතා තථාගතයන් වහන්සේ යනු කවුරුන් දැයි ත්‍රිපිටකයෙන් කරුණු උපුටා විස්තර කරන්නේ ද? එහි කොතැනකවත් බුදුන් වහන්සේ ඓතිහාසික මනුෂ්‍යයකු යැයි සඳහන් කර ඇත් ද?

කෙසේ වෙතත් අමරතුංග මහතාට අනුව බුදුන් වහන්සේ ජීවිතයේ අරුත පහදා දී නැත. එහෙත් දැන් අමරතුංග මහතා බුදුදහම පදනම් කරගනිමින් ජීවිතයේ අරුත තේරුම් කිරීමට ඉදිරිපත් වී ඇත. අප කෙතරම් වාසනාවන්ත විය යුතු ද?  අප ජීවත්වන්නේ අමරතුංගොත්පාද කාලයක ය. ඒ කෙසේ වුවත් බුදුන් වහන්සේ දේශනා කර නොමැති ජීවිිතයේ අරුත යන්න අමරතුංග මහතා අහුලාගෙන ඇත්තේ යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙනි. ජීවිතයේ අරුත කුමක් ද යන ප්‍රශ්නය නැගෙන්නේ ම ඒ චින්තනයහි ය. 

බෞද්ධයන්ගේ ජීවිතයට අරමුණක් මිස අරුතක් නැත. බුදුන් වහන්සේ අරුතක් ගැන දේශනා කර නැත්තේ අර කෝකටත් තෛලය වූ ඊතලයේ කතාව නිසා නො වේ. අමරතුංග මහතා තම පඹගාලෙන් ගොඩ ඒම සඳහා ඉතා දරුණු ලෙස බුදුදහම විකෘති කරයි. ඒ මහතාට අනුව  “බුදුන් විශ්වයේ අරුත පහදා නුදුන් සේක. ඒ ගැන සිතනවාට වඩා ශරීරයට ඇතුළු වී ඇති වස පෙවූ ඊතලයක්‌ වන තෘෂ්ණාව උගුල්ලා ගන්නට ක්රිායා කරන මෙන් උන්වහන්සේ අවවාද කළ සේක. අප ගේ මතවාදය බුදු දහමට කිසිසේත් පටහැනි නො වන්නේ ය.” 

බුදුන් වහන්සේ ඉහත සඳහන් කරුණු දේශනා කර ඇත්තේ කොතැනක ද? කෙසේ වෙතත් අමරතුංග මහතා තම සුපුරුදු අසංගත පිළිවෙත අනුගමනය කරමින් ජීවිතයේ අරුත යන්නෙන් විශ්වයේ අරුතට මාරු වී ඇත. බුදුන් වහන්සේ පහදා නුදුන්නේ ජීවිතයේ අරුත ද? එසේත් නැත්නම් විශ්වයේ අරුත ද? අමරතුංග මහතාට අනුව ඒ දෙකක් ද? නැත්නම් එකක් ද? අමරතුංග මහතා කරුණාකර ඒ බව පැහැදිලි කර දෙන්නේ නම් මැනවි.

අපි අමරතුංග මහතාගේ ප්‍රකාශය බුදුන් වහන්සේ ජීවිතයේ අරුත පහදා නුදුන්සේක ලෙස ගනිමු. එයින් කියැවෙන්නේ ජීවිතයේ අරුතක් ඇති බවත් එහෙත් බුදුන් වහන්සේ ඒ පහදා නුදුන් බවත් ය යනුවෙන් විශ්වාස කරන ලෙසට අමරතුංග මහතා අපට සෘජුව ම නොවූවත් වක්‍ර ව කියයි. බුදුන් වහන්සේ ඒ ගැන, එනම් ජීවිතයේ අරුත ගැන සිතනවාට වඩා ශරීරයට ඇතුළු වී ඇති වස පෙවූ ඊතලයක් වන ත්‍යෂ්ණාව උගුල්ලා දැමීමට ක්‍රියා කරන මෙන් අවවාද කර ඇතැයි අමරතුංග මහතා කියයි. මෙලෙස බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ කොහේ ද? එනම් ජීවිතයේ අරුත ගැන නොසිතා ඊතලය ඉවත් කිරීමට බුදුන් වහනසේ දේශනා කර ඇත්තේ කොහේ ද? අමරතුංග මහතා ඉතා පැහැදිලිව ම තම මතය සනාථ කිරීමේ අරමුණෙන් බුදුදහම විකෘත කරයි. එසේ කර තම මතය බුදුදහමට කිසිසේත් පටහැණි නොවන්නේ යැයි ද කියයි. අපි අමරතුංග මහතාගේ විකෘත කිරීම මොහොතකට පසෙකට දමමු. අමරතුංග මහතා කියන ආකාරයට බුදුන් වහන්සේ ජීවිතයේ අරුත ගැන නොසිතා ඊතලය ඉවත් කිරීමට දේශනා කර ඇත්නම් අමරතුංග මහතා උන්වහන්සේට පටහැණිව ජීවිතයේ අරුත සොයන්නේ කුමක් නිසා ද? 

නලින් ද සිල්වා

2016 පෙබරවාරි 08