Main Logo

Friday 26 February 2016

බහුවචනයෙන් ඒකවචනයට (2016 පෙබරවාරි 24 විදුසර ලිපිය)

බහුවචනයෙන් ඒකවචනයට

ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා එක් පැත්තකින් තමා කලින් කියා ඇති කරුණු නිසා අමාරුවේ වැටී ඇත. අනෙක් පැත්තෙන් විසංවාද නොමැතිව, නිරවුල් ව කල්පනා කිරීමට නොහැකිව පරස්පර කතා කීමට ඒ මහතාට සිදු වී ඇත. අපි සුපුරුදු පරිදි ඒ මහතා ලියූ ලිපියක කොටසක් පසුව විචාරයට ලක්කරමු. එහෙත් පළමුව මෙරට උගතුන්ගේ බුද්ධිමය දරිද්‍රතාව පිළිබඳ කෙටියෙන් වුවත් සඳහන් කළ යුතු ය.

මෙරට සිංහල උගත්තු, විශේෂයෙන් ම සිංහල බෞද්ධ උගත්තු එක්වර දෙපැත්තකට යන වාහන දෙකක ගමන්කිරීමට තැත්කරති. මූලික වශයෙන් සිංහල බෞද්ධ උගතුන්ට බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ඇති වියුක්ත බව දිරවා ගත නො හැකි ය. ඔවුන්ට පැහැදිලිව නිරවුල් ව ඇරිස්ටෝටලීය න්‍යාය (logic) යොදාගත නො හැකි ය. බටහිර දැනුම වියුක්ත චින්තනයෙහි පදනම් ව ඇරිස්ටෝටලීය න්‍යාය ගුරුකොට ගනියි. සිංහල බෞද්ධ උගත්තු අංක එකේ අනුකාරකයෝ වෙති. ඔවුන්ට ප්‍රවාද නිර්මාණය කිරීමට නො හැකි ය. ඔවුන්ට කළ හැක්කේ බටහිර මතවාදයක්ින් යමක් අපෝහනය (deduce) කිරීම පමණකි. එහෙත් බොහෝ විට එය ද හරියාකාරව කරගත නො හැකි ය. 

බුදුදහම ඇරිස්ටෝටලීය න්‍යාය ගුරුකොට නො ගනියි.  එබැවින් සිංහල බෞද්ධ සංස්කෘතියෙහි හැදුණු වැඩුණු අයට ඒ න්‍යාය උපයෝගී කරගනිමින් තර්ක කිරීමට නො හැකි ය. එමෙන් ම බුදුදහම වියුක්ත චින්තනය සමග නො පෑහෙයි. සිංහල බෞද්ධ උගතුන්ට බටහිර විද්‍යාවේ ප්‍රවාද නිර්මාණය කිරීම ඉතා අසීරු ය. තවමත් කිසිවකු එවැනි නිර්මාණයක් කර නැත. ඒ බටහිර විද්‍යාව ලංකාවේ ඉගැන්වීම අරඹා අවුරුදු එකසිය පනහක් පමණ ගෙවී යෑමෙන් පසුව ය. 

බටහිර විද්‍යාව හා ගණිතය ඒ ඒ ක්‍ෂෙත්‍රයෙහි එක් එක් තැනකින් ආරම්භ වෙයි. එහි උපකල්පන වෙයි. බටහිර දැනුමෙහි සත්‍යය යන්න නිර්වවවචනය නො වේ. එහෙත් ඔවුහු සත්‍යයක් ගැන කතා කරති. ඒ නිරපේක්‍ෂ සත්‍යයක් වීම මෙහි ඇති භයානක ම කරුණ ය. එහෙත් බටහිර ගණිතමය න්‍යායෙහි දැවැන්තයන් වූ ගර්ඩ්ල් හා ටාර්ස්කි වැන්නන්ට ද සත්‍යය යන්න පැහැදිලිව නිර්වචනය කිරීමට නොහැකි වී ඇත. බටහිර ගණිතයෙහි ඊනියා ප්‍රකාශ (statements) එක්කෝ සත්‍ය විය යුතු ය, නැත්නම් අසත්‍ය විය යුතු ය.  ඒ ප්‍රකාශයක් යන්නෙහි නිර්වචනය ලෙස ද ගතහැකි ය. උදාහරණයක් වශයෙන් ආයුබෝවන් යන්න ප්‍රකාශයක් නො වේ. ආයුබෝවන් යනු පැතුමකි. ආයු බොහෝ වේවා යනුවෙන් ද ඒ වාක්‍යයක් ලෙස ලිවිය හැකි ය. එය සත්‍යයක්වත් අසත්‍යයක්වත් නො වේ. එබැවින් ඒ වාක්‍යය ප්‍රකාශයක් නො වේ. වාක්‍යවලින් යම් උපකුලකයක් පමණක් ප්‍රකාශ වෙයි. ප්‍රකාශ සත්‍ය වෙයි. එහෙත් සත්‍යය යනු කුමක් ද? එයට බටහිර දැනුමෙහි පිළිතුරක් නැත.   

මේ ගැටළුව බුදුදහමෙහි නැත. එහි නිරපේක්‍ෂ සත්‍යයක් නැත. අපි අවිද්‍යාව නිසා දැනුම සංස්කරණය කරමු. පෘථග්ජනයන්ගේ සියලු දැනුම් මුසා ය. අපට කුඩා කල පාසලේ දී හෝ පන්සලේ දී හෝ ඒ බවක් නූගැන්වෙයි. එහෙත් අපේ සිත්වල අවිද්‍යාව යනුවෙන් යමක් කැරකෙයි. අවිද්‍යාව යනු කුමක් දැයි කුඩා කල නොව මුළු ජීවිතයේ දී ම අසන පිරිස ඉතා අල්පයක් විය හැකි ය. ප්‍රශ්නවල මුලට යෑමට ද බුදුදහමෙන් අනුබල නො ලැබෙයි. එබැවින් අවිජ්ජා පච්චයා සංඛාරා යන්න මුලට ගොස් තේරුම් ගැනීමට ද අපට එතරම් වුවමනාවක් නැත. 

එහෙත් බටහිර විද්‍යාව එසේ නො වේ. ප්‍රශ්නවල මුලට යෑමට අපට උගන්වයි. එහෙත් ඔවුහු එක්තරා තැනකින් එහාට නො යති. එය ෆණිතයේ නම් ස්වසිද්ධි (axioms) හෙවත් ප්‍රත්‍යක්‍ෂ විය හැකි ය. ඒවා ස්වයං ව ම සත්‍ය (self  evident truth) බවක් එයින් කියැවෙයි. එහෙත් මේ ප්‍රකාශයක් ද? එය සත්‍ය ද? මෙහි ගැටළුවක් ඇති බව පැහැදිලි ය. එහෙත් බටහිරයෝ එතැනින් එහාට නො යති. කෙතරම් මුලට යැමට තැත් කළ ද ඔවුන්ට දෙවියන් වහන්සේගෙන් ඔබ්බට යෑමට නො හැකි ය. බටහිර යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මෙහි හිර වී ඇත. මුලට යෑමට යැයි ඔවුන් කියන්නේ දෙවියන් වහන්සේ ළඟට ගොස් එහි නැවතීමට ය.  

මා කතා කරන්නේ චින්තනය ගැන ය. ආගම ගැන නො වේ. ආගම් ද ඇතිවන්නේ යම්කිසි චින්තනයක ය. දෙවියන් වහන්සේ යන්න ඇතිවිය හැක්කේ මූලක් ඇති චින්තනයක ය. යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි මෙන් ම ඉස්ලාම් චින්තනයෙහි ද මුලක් ඇත. එනම් ආරම්භයක් ඇත. ඔවුන්ට ඒ ආරම්භයෙන් එහාට යා නො හැකි ය. (අමරතුංග මහතාගේ කතාවට ද ආරම්භයක් ඇති බව අපි කීවෙමු.) එපමණක් නොව වෛදික චින්තනයෙහි ද ආරම්භයක් ඇත. එය ඉහත සඳහන් චින්තනවලින් තරමක් වෙනස් වුවත් ආරම්භයක් වෙයි. එහි බ්‍රහ්මන් කෙනකු ඇතිවන්නේ එබැවිනි. එහෙත් බ්‍රහ්මන් හා යුදෙවු ක්‍රිස්තයානි දෙවියන් වූ යෙහෝවා මෙන් ම අල්ලා දෙවියන් අතර වෙනසක් වෙයි. අල්ලා හා යෙහෝවා දෙවිවරුන් දෙදෙනකු නැත.  ඇත්තේ එකම දෙවි කෙනෙකි. ඔහු ලෝකය (විශ්වය) මවා වෙන් ව සිටියිි. වෙනත් වචනවලින් කියන්නේ නම් දෙවියන් හා දෙවියන් මැවූ ලෝකය දෙකකි. එහෙත් බ්‍රහ්මන් තමා මැවූ ලෝකයෙන් වෙන් නො වේ. අද්වෛත වේදාන්ත දර්ශනයෙහි මෙය පැහැදිලි ව කියැවෙයි. බ්‍රහ්මන් ද ලෝකය ද එකකි යනුවෙන් කීම ද වැරදි ය. බ්‍රහ්මන් හා ලෝකය යනුවෙන් දෙකකින් පටන් ගැනීම ම වැරදි ය.

බටහිර චින්තනය සම්බන්ධයෙන් අපි ඉහත සඳහන් කළ කරුණ සඳහා ගණිතයෙන් උදාහරණයක් ගනිමු.  එහි යම් ක්‍ෂෙත්‍රයක ඇති ස්වසිද්ධි ඒ ක්‍ෂෙත්‍රයෙහි ආරම්භය වෙයි. ස්වසිද්ධිවලින් නිගමනය කෙරෙන දේ, ප්‍රමේය ආදීය ස්වසිද්ධිවලින් වෙන් වී සිටින ප්‍රකාශ වෙයි. එහෙත් ඒ එතරම් ම සරල නො වේ. ගර්ඩ්ල්ගේ ප්‍රවාදවලින් කියැවෙන්නේ ගණිතයෙහි යම් ක්‍ෂෙත්‍රයක ස්වසිද්ධිවලින් නිගමනය කළ නොහැකි ප්‍රකාශ, එනම් සත්‍ය ඇති බව ය. වෙනත් අයුරකින් කිවහොත් ගණිතයෙහි යම් ක්‍ෂෙත්‍රයක සත්‍ය ප්‍රකාශ එහි ස්වසිද්ධිවලට ඌනනය කළ නො හැකි ය. 

අපි දැන් අශෝක අමරතුංග මහතාගේ පසුගිය පෙබරවාරි 17 වැනි දා පළ වූ ලිපියට යමු. එහි ආරම්භයෙහි මෙසේ සඳහන් වෙයි. “අප සාකච්ඡා කරමින් සිටින්නේ ජීවිතයේ අරුත පිළිබඳ විද්යාකවෙන් සහ දර්ශනයෙන් ලබාගත හැකි කරුණු ය. කවදත් කොතැනත් තිබුණේ එකම විද්යාතව යන්න පෙන්වා දුන් අප තැත් කරන්නේ බටහිර මතවාද පරාද කිරීමට ය. බටහිර විද්යාිව යනුවෙන් විද්යාාවක්‌ තිබිය නොහැකි බව පෙන්වා දුන් අප තැත් කරන්නේ බටහිර මතවාදයක්‌ වන දෙවියන් විශ්වය මැව්වේ මිනිසා ගේ ප්රායෝජනය පිණිස යන්න බොරුවක්‌ බව පෙන්වා දීමට ය. ඊට විරුද්ධ මතය වන මිනිසා නිර්මාණය වී ඇත්තේ විශ්වයේ ප්රුයෝජනයට බව අපගේ මතවාදයේ පදනම වන්නේ ය. ජීවිතයේ අරමුණු කියා දුන් බුදුහු ජීවිතයේ අරුත කියා නුදුන් සේක. නිවන ජීවිතයේ අරමුණ මිස අරුත නො වේ. විශ්වය පිළිබඳ ප්රසශ්නවලට පිළිතුරු සැපයීමට බුදුන් උනන්දු වුයේ නැත. උන්වහන්සේ පවසා සිටියේ ඒ ගැන සිතනවාට වඩා අවශ්ය් වන්නේ අපේ ශරීරයට ඇතුළු වූ තෘෂ්ණාව, ක්රෝඋධය, මෝඩකම නමැති විස පෙවූ ඊතලය ගලවා දැමීම බව ය. එම ඊතලය විද්දේ කවුද? එය සෑදුවේ කවුද? යනාදි වශයෙන් ප්ර ශ්න නො ඇසිය යුතු ය. එහෙත් ජීවිතයේ අරුත සාකච්ඡා කිරීමේ දී විශ්වය පිළිබඳ ප්රයශ්නය සාකච්ඡා කළ යුතු ව ඇත. බුදුන්වහන්සේට මේ ප්රේශ්න වටිනාකමින් අඩු බව පෙනී ගියේ ය. මිනිසා ගේ දුක නැති කරගැනීම ඊට වඩා වටිනා බව උන්වහන්සේ සිතූ සේක. තෘෂ්ණාව දුකට හේතුව බව බුදුහු පැවසූ හ. තෘෂ්ණාව විසින් මිනිසා වහලකු ලෙස විශ්වයට සේවය කිරීමට බැඳ තබා ඇති බව අපි පවසමු. ඉන් මිදෙන අන්දම නිවන් මාර්ගය වන්නේ ය. නිවන ජීවිතයේ අරුත නො වන්නේ ය. නිවන තෘෂ්ණාව නමැති මිනිසා ගේ මානසික බන්ධනය නැති කරන්නේ ය. අවශ්යන නම් එය අප ගේ උතුම් වූ අරමුණ කරගත හැකි ය. අප කළ යුත්තේ එය ය. එහෙත් පෘථග්ජන අප කරන්නේ තෘෂ්ණාවේ පෙලඹවීම නිසා නව මතවාද සොයා යැම ය.”

අමරතුංග මහතා මේ දීර්ඝ ඡෙදයෙන් කියන්නේ කුමක් ද? අමරතුංග මහතාගේ ක්‍රමයක් තිබේ. ඔහු යමක් ගැන සඳහන් කරයි. ඇතැම් විට දිර්ඝ වශයෙන් සඳහන් කරයි. එහෙත් ඒ කියන්න සනාථ නො කරයි. එසේ සනාථ කිරීම සඳහා සාක්‍ෂි ගෙන හැර නො දක්වයි. එහෙත් පසුව තමා ඒ පෙන්වූ බව වෙනත් ලිපියක සඳහන් කරයි. ඔහු කවදත් කොතැනත් තිබුණේ එකම විද්‍යාව බව සඳහන් කර ඇත. ඔහුගේ එක් ලිපියක මාතෘකාව වූයේ ද එය ය. එහෙත් ඔහු ඒ බව කිසි දිනෙක සනාථ කර නැත, පෙන්වා දී නැත. දැන් ඔහු කියන්නේ තමා ඒ බව පෙන්වා දී ඇති බව ය. මිනිසුන් සැමදාමත් නිරීක්‍ෂණය කර ඇති බව කීමෙන් කවදත් කොතැනත් තිබුණේ එකම විද්‍යාවක් යැයි සනාථ නො වේ.  

මිනිසුන් නිරීක්‍ෂණය කර ගන්නා ක්‍රියා මාර්ග පිළිබඳ වෙනසක් වෙයි. අනෙක් අතට නිරීක්‍ෂණය කිරීම ද එකම ආකාරයකින් සිදු නො වේ. තමන් නිරීක්‍ෂණය කිරීමට තෝරා ගන්නේ කුමක් ද? ඒ කුමන අරමුණකින් තෝරා ගන්නේ ද? නිරීක්‍ෂණයට පසුබිම් වූයේ කුමක් ද ආදි ප්‍රශ්න රාශියක් නිරීක්‍ෂණයෙහි දී ම පැන නගී. අමරතුංග මහතාට මේ එකක්වත් ප්‍රශ්න නො වේ. ඔහු හුදු නිරීක්‍ෂණය යන්න සැමට ම පොදු වේ යන්න මත පදනම් වෙයි. නිරීක්‍ෂණ ද අවසාන වශයෙන් ගත්කල චින්තනය මත පදනම් වන අතර සංස්කෘතියට සාපේක්‍ෂ වෙයි. 

නිගමන ගන්නා ආකාරය ඊටත් වඩා වෙනස්කම් වලට භාජනය වෙයි. නිරීක්‍ෂණ සැමවිට ම සංයුක්ත වෙයි. එනම් ඉන්ද්‍රිය ගෝචර වෙයි. ඒ පංචෙන්ද්‍රිය හා මනස සමග සම්බන්ධ වෙයි. ඇතැම් සංස්කෘතීන්හි මනස පමණක් උපයෝගී කරගෙන කෙරෙන නිරීක්‍ෂණ” ද වෙයි. ඒ නිරීක්‍ෂණ යම් ආකාරයකට මනස දියුණු කරගත් පුද්ගලයන් අතින් සිදු වේ. එවැන්නන් දැකිය හැක්කේ ඇතැම් සංස්කෘතිවල පමණ ය. බටහිර විද්‍යාව එවැනි නිරීක්‍ෂණ ප්‍රතික්‍ෂෙප කරයි.

කෙසේ වෙතත් සංයුක්ත නිරීක්‍ෂණ වලින් වියුක්ත සාධාරණීකරන ලබාගන්නා සංස්කෘතීන් හා චින්තන වෙයි. බටහිර විද්‍යාව එවැනි වියුක්ත සාධාරණීකරන මත පදනම් වෙයි. එහෙත් සිංහල බෞද්ධ චින්තනයෙහි සාධාරණීකරන නොමැත. බටහිර විද්‍යාවේ සාධාරණීකරනවලින් පසු ඒ තේරුම් ගැනීම සඳහා වියුක්ත කතන්දර ගොතනු ලැබෙයි. එහෙත් සිංහල බෞද්ධ චින්තනයෙහි එසේ සිදු නො වේ. 

අමරතුංග මහතා මේ සියල්ල අවබෝධ කරගෙන ඇතැයි නො සිතමි. එහෙත් ඒ මහතා ඒ ඒ දැනුම් පද්ධති අතර දැන් දැන් යම් වෙනස්කම් දකින බව පැහැදිලි ය. තමා බටහිර මතවාද පරාජය කිරීමට තැත් කරන බව ඒ මහතා කියයි. එහෙත් ඒ අතර කවදත් කොතැනත් තිබුනේ එකම විද්‍යාවක් යැයි නැවතත් කියයි. මේ අදහස් දෙක එකිනෙකට පරස්පර ය. අමරතුංග මහතා පෙබරවාරි 10 වැනි දා ලිපියෙන් මෙසේ කීවේ ය. “බටහිර මතවාද ඔවුන් ගේ දර්ශනය මත පදනම් වී ඇත. ඔවුන් ගේ දර්ශනය වන්නේ විශ්වය දෙවියන් විසින් මවනු ලැබ ඇත්තේ මිනිසා ගේ ප්රශයෝජනය පිණිස ය යන්න ය. ලෝකය, ඉර, හඳ, සතා සිව්පාවා ගහ කොළ මවා ඇත්තේ මිනිසාට සේවය කිරීමට ය. මා පවසා සිටින්නේ ඊට හාත්පසින් විරුද්ධ අදහසකි. මා පවසන්නේ මිනිසා සහ අනෙකුත් ජීවීන් විශ්වයට සේවයක්‌ කරන බව ය.”  

බටහිර මතවාද පරාජය කිරීමට යන අමරතුංග මහතාට බටහිරයන්ගේ දර්ශනය ද පරාජය කිරීමට සිදුවනු ඇත. ඒ අමරතුංග මහතා කියන පරිදි, ඔහුට අනුව බටහිර මතවාද ඔවුන්ගේ දර්ශනය මත පදනම් වී ඇති බැවිනි.  බටහිර දැනුමෙහි දෙවියන් වහන්සේ විශ්වය මවා ඇත්තේ මිනිසා සඳහා යැයි කියැවෙයි. අමරතුංග මහතා ඒ වෙනුවට මිනිසා හා අනෙක් ජීවීන් විශ්වයට සේවය කරන බවක් පවසයි. බටහිර මතවාද යනු කවරේ ද? ඒ බටහිර දැනුම මිස අන් කිසිවක් නො වේ. අමරතුංග මහතා කියන්නේ බටහිර දැනුම බටහිර දර්ශනය මත පදනම් වන බව ය. අප කියන්නේ බටහිර දැනුම බටහිර චින්තනය, එනම් යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වන බව ය. එහෙත් අපට ඒ වෙනස මෙහි දී අමතක කර දැමිය හැකි ය. 

බටහිර මතවාද ගැන බහු වචනයෙන් සඳහන් කළ අමරතුංග මහතා අපේ අදහස කිට්ටුවට පැමිණියේ ය. අපි ඒ බව පෙබරවාරි 10 වැනි දා ලිපියෙන් පෙන්වා දුන්නෙමු. අමරතුංග මහතාට තම පරාජය දැන් වැටහී ඇත. එබැවින් ඒ මහතා තම පෙබරවාරි 17 වැනි දා ලිපියෙන් තම පරාජය වසා ගැනීමට තැත් කරයි. බටහිර මතවාද ගැන පෙබරවාරි 10 වැනි දා බහු වචනයෙන් කතා කළ අමරතුංග මහතා පෙබරවාරි 17 වැනි දා ලිපියෙන් මතවාදයක් යනුවෙන් ඒක වචනයෙන් කතා කරයි. එහෙත් ඒ මහතා එයින් එක් ඇත්තක් ද කියයි. එනම් ඒ මහතා තවමත් බටහිර දර්ශනයෙහි ම පදනම් වන බව ය. 

අමරතුංග මහතාගේ පසුගිය ලිපි තුනෙන් අවසාන වශයෙන් කියැවෙන්නේ මෙවැනි අදහස් කිහිපයකි. බටහිර මතවාද (බහුවචනයෙන්) බටහිර දර්ශනය මත පදනම් වෙයි. අද අමරතුංග මහතා තැත් කරන්නේ ඉන් එක් මතවාදයක් (ඒක වචනයෙන්) පමණක් පරාජය කිරීමට ය. ඒ බටහිර මතවාදයට අනුව දෙවියන් වහන්සේ විශ්වය මිනිසා වෙනුවෙන් මවා ඇත. දැන් අමරතුංග මහතා එකී මතවාදය (ඒක වචනයෙන්) බොරු බව කියා තම විකල්ප මතවාදය වූ මිනිසා විශ්වයට සේවය කිරීම සඳහා නිර්මාණය වී ඇති බව කියයි. අමරතුංග මහතාගේ අවුල් චින්තනය මෙයින් නිරවුල් ව පැහැදිලි වෙයි. 

අමරතුංග මහතාට මතවාදය කුමක් ද දර්ශනය කුමක් ද යන්න ගැන නිරවුල් අවබෝධයක් නෑත. දෙවියන් වහන්සේ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා විශ්වය මවා ඇතැයි යන්න මතවාදයක් ද එසේත් නැත්නම් දර්ශනයක් ද? බටහිර මතවාද බටහිර දර්ශනය මත පදනම් වී ඇතැයි අමරතුංග මහතා කියයි. අමරතුංග මහතාට අනුව දෙවියන් වහන්සේ මිනිසාගේ ප්‍රයෝජනය සඳහා විශ්වය මවා ඇතැයි යන්න බටහිර මතවාදයකි. ඒ මහතා අපට කරුණාකර ඒ මතවාදය පදනම් වී ඇත්තේ කිනම් දර්ශනයක් මත දැයි පවසන්නේ ද? අප එසේ අසන්නේ බටහිර මතවාද බටහිර දර්ශනය මත පදනම් වී ඇතැයි අමරතුංග මහතා ම කියන බැවිනි. අමරතුංග මහතාට නොතේරෙන චින්තනය වැනි සංකල්ප පැත්තකට දැමුව ද මේ ප්‍රශ්නයට පිළිතුරක් දීමට ඒ මහතා සමත් විය යුතු ය. ඒ පිළිතුරෙන් පසු අපි චින්තනයට එමු.  අමරතුංග මහතා නැවතත් ඊතලයේ කතාව ඇදගෙන ඇත. බුදුන් වහන්සේ ජීවිතයේ ඊනියා අරුතක් ගැන දේශනා කර නැත්තේ ඊනියා ඊතලයක කතාවක් නිසා බව ඇත්තේ කිනම් සූත්‍රයක ද? අමරතුංග මහතා ජීවිතයේ අරුතක් ගැන කියන්නේ බටහිර චින්තනය මත පදනම් වී මිස වෙනත් කරුණක් නිසා නො වේ. 

නලින් ද සිල්වා

2016 පෙබරවාරි 19