Main Logo

Wednesday 24 February 2016

කතානායකගේ හිසරදය

කතානායකගේ හිසරදය

විපක්‍ෂ මන්ත්‍රීවරුන් වර්ගකිරීම කතානායකට හිසරදයක් වී ඇති බව පෙනෙයි. එයට හේතුව ඔහු මැතිවරණ කොමසාරිස්ගේ කාර්යය අතට ගැනීම ය. අපි මෙය කතානායකගේ පාපය යන ලිපිය යටතේ ද සාකච්ඡා කෙළෙමු. මෙහි දී කෙරෙන්නේ එය තවදුරටත් වර්ධනය කිරීමකි. ස්ථාවර නියෝහ අංක 23 (2) යටතේ ඇතැම් අවස්ථාවක පිළිගත් පක්‍ෂයක නායකයකුට පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න ඇසිය හැකි ය. කතානායකවරයා ලංකාවේ නීතිය අනුව පිළිගත් පක්‍ෂ යනු මොනවාදැයි නොදන්නා බව පැහැදිලි ය.


පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් පත්වන්නේ යම් යම් පක්‍ෂවල (සංධාන ද ඇතුළු) හෝ කණ්ඩායම්වල හෝ නියෝජිතයන් ලෙස ය. එසේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කවුරුන්දැයි නම් කෙරෙන්නේ මැතිවරණ කොමසාරිස් විසිනි. යම්කිසි අයුරකින් මන්ත්‍රීවරයකු පක්‍ෂයකින් අස්වුවහොත් හෝ නෙරපා හැරියේ නම් හෝ අදාළ පක්‍ෂයේ ලේකම්වරයා මැතිවරණ කොමසාර්ස්ට දැන්වීමෙන් පසු සුදුසු ක්‍රියා මාර්ග ගනු ලැබේ.

අප කලින් ද සඳහන් කළ පරිදි පාර්ලදමේන්තුවේ දී මන්ත්‍රීවරුන් කණ්ඩායම්වලට වර්ගකිරීම ඒ ඒ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය අන්දමට සිදුකළ හැකි ය. මන්ත්‍රී කණ්ඩායමකට එක්වී ඔවුන් එක් කණ්ඩායමක් ලෙස ක්‍රියාකරන බවට කතානායකට දැන්වීමෙන් පසු ඔවුන්ට කණ්ඩායමක් ලෙස ක්‍රියාකිරීමට නොහැකි යැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ ස්ථාවර නියෝගවල සඳහන් නො වේ. ඔවුන් හුදෙක් තමන් මැතිවරණයේ දී තරග කළ පක්‍ෂයේ (සංධානයේ) හෝ කණ්ඩායමේ හෝ සාමාජිකයන් ලෙස කටයුතු කළ යුතු බවට සඳහනක් ඒ කිසිම ලේඛනයක නැත. ඒකාබද්ධ විපක්‍ෂයට කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් හෝ ස්ථාවර නියෝගවලින් හෝ කිසිම බාධාවක් නැත. කතානායකවරයා ඒ වළක්වන්නේ කිනම් ලේඛනයක කිනම් වගන්තියක් යටතේ ද?

යම් අයකු දේශපාලන සංධානයක මන්ත්‍රි කෙනකු වූ පමණින් ඔහුට තම පක්‍ෂයේ සාමාජිකත්වය අහෝසි නො වේ. ලංකාවේ පිළිගත් පක්‍ෂවල ලැයිස්තුවක් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ඇත. එලෙස පිළිගත් පක්‍ෂයක කණ්ඩායමක් ද පාර්ලිමේන්තුවේ පක්‍ෂ කණ්ඩායමක් වෙයි. මන්ත්‍රීවරයා තම පක්‍ෂයේ සාමාජිකයකු ලෙස ක්‍රියාකිරීම මැතීිවරණ කොමසාර්ස්ට හෝ කතානායකවරයාට හෝ අදාළ සංධානයේ ලේකම්ට හෝ නැවැත්විය නො හැකි ය. පාර්ලිමේන්තුවට සංධානයකින් පත් වූ පමණින් මන්ත්‍රීවරයකුට තම දේශපාලන පක්‍ෂ කණ්ඩායම අහිමි නො වේ. එබැවින් ම අදාළ දේශපාලන පක්‍ෂයේ  පාර්ලිමේන්තු කණ්ඩායමට වෙන ම කණ්ඩායමක් ලෙස ක්‍රියාකිරීමට අයිතියක් ඇත. ඒ නිසා ම එකී කණ්ඩායමේ නායකයාට පාර්ලිමේන්තුවෙහි පක්‍ෂ නායකයකුට හිමි තැන ලැබෙයි. එබැවින් එවැනි පක්‍ෂ කණ්ඩායම්වල නායකයන්ට, ඒ පක්‍ෂ පිළිගත් දේශපාලන පක්‍ෂ නම්, ස්ථාවර නියෝග 23(2) යටතේ හිමි අයිතිවාසිකම් තිබිය යුතු ය.

කතානායකවරයා මෙහි දී පිළිගත් දේශපාලන පක්‍ෂයක් හා මන්ත්‍රීවරයකු තේරී පත්වී ඇති දේශපාලන සංධානය පටළවා ගත යුතු නො වේ.  ඒ දෙක දෙකකි. ඇතැම් මන්ත්‍රීවරයකු සංධානයේ ද දේශපාලන පක්‍ෂයක ද කටයුතු කරනු ඇත. මන්ත්‍රීවරයකු යම් යම් නිර්ණායක යටතේ පත්කිරීම මැතිවරණ කොමසාරිස්ගේ කාර්යයකි. මන්ත්‍රීවරයා සංධානයකින් පත් වූ පමණින් ඔහුට තම (පිළිගත්) දේශපාලන පක්‍ෂයේ සාමාජිකයකු ලෙස පාර්ලිමේන්තුවේ හා ඉන් පිටත කටයුතු කිරීමේ අයිතිය අහිමි නො වේ. සංධානයේ මන්ත්‍රිවරුන් වුව ද ඔවුන්ට තම දේශපාලන පක්‍ෂවල පාර්ලිමේන්තු කණ්ඩායම්වල නායකයන් හා සාමාජිකයන් ලෙස කටයුතු කිරීමට ඇති අයිතිය කිසිවකුටවත් පැහැරගත නො හැකි ය.

නලින් ද සිල්වා්්

2016 පෙබරවාරි 24