Main Logo

Saturday 18 February 2017

සඳහිරු සෑ බුද්ධ පූජාව  


සඳහිරු සෑ බුද්ධ පූජාව



සඳහිරු සෑයේ නිධන් කර ඇති බුදුන් වහන්සේගේ ප්‍රතිමාව රත්තරන් ද නැත් ද කියන එක මට ප්‍රශ්නයක් නො වෙයි. පිළිම වහන්සේ ඝන රන් ද රත්තරන් ආලේප කරල ද ආදියත් මට ප්‍රශ්න නො වෙයි. ඒ රත්තරන් නම් හා එකී රත්තරන් ලැබුණේ රේගුවෙන් ද කියන එකත් මට ප්‍රශ්නයක් නො වෙයි. රත්තරන් රේගුවෙන් ලබා ගත්තේ නම් එයත් ප්‍රශ්නයක් නො වෙයි. රජය සෑයක නිදන් කිරීම සඳහා පිළිම වහන්සේ නමක් නිර්මාණය කිරීමට රේගුවෙන් රත්තරන් ලබා ගැනීම පාපයක් නො වෙයි. රේගුවේ රත්තරන් ජනතාවට අයිති බව ඇත්තයි. ඒත් බුදු පිළිම වහන්සේ නමක් තැනීමට විරුද්ධ වන්නේ කවුද?




ඒ රත්තරන් පරිහරණය කිරීමේ දී යම් නීති රීති මාලාවක් ඇති. ඒ කුමන නීති රීති මාලාවක් ද? සඳහිරු සෑය තැනීම පෞද්ගලික පරිහරණයක් නො වෙයි. මෙය ආණ්ඩුවේ කටයුත්තක් ද නො වෙයි. මෙය රජයේ  කටයුත්තක්. රජයක් ලෙස බෞද්ධ ප්‍රතිපත්ති අනුගමනය කර ඇත් ද කියා හාමුදූරුවරුන් සොයා බැලුවාට කමක් නැහැ. එහෙත් එලෙස සොයා බැලීම මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසයට අයත් වන්නේ  කෙසේ ද යන්න නම් ප්‍රශ්නයක්. රත්තරන් අයිති ජනතාව කොහේ හරි කියලා තියෙනවා ද සඳහිරු සෑයේ නිදන් කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ තැනීමට තම රත්තරන් යොදා ගැනීම වැරැද්දක් කියලා. මානව හිමිකම් අයිතිකාරයන් එසේ කියා තිබෙනවා ද?



මේ රත්තරන් පැමිණිල්ල ලැබුණේ කාගෙන් ද? සිංහල බෞද්ධ විරෝධියකුගෙන් ද? රත්තරන් අයිතිකාරයන් වූ ජනතාවට ඒ දැනගැනීම අවශ්‍යයයි. තොරතුරු දැන ගැනීම පනත යටතේ මේ තොරතුර ලබා ගැනීමට පුළුවන් ද කියලා මා දන්නේ නැහැ. අදාළ පනත තවම මා කියවා නැහැ. මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසය පැමිණිල්ලක් නැතිව ම තමන්ට ඇති වූ සැකයක් හෝ වෙනත් කරුණක් මත හෝ පදනම් ව විමර්ෂණය ඇරඹුවා ද? පරමාධිපත්‍යය ඇති ජනතාවට එය අනාවරණය කරනවා ද? පරමාධිපත්‍යය ඇත්තේ මූල්‍ය අපරාධ විමර්ෂණ කොට්ඨාසයට නො වෙයි.



සඳහිරු සෑය තනන්නේ රණවිරුවන් වෙනුවෙන් බුදුන් වහන්සේට කරණ පූජාවක් ලෙස. එසේ තැනීම ප්‍රශ්නයක් නොවෙයි කියා මේ රාජද්‍රෝහි ආණ්ඩුව කියාවි. එසේ නම් දැන් මේ විමර්ෂණය කරන්නේ කුමක් ද? මේ ආණ්ඩුව රාජද්‍රෝහී වන්නේ ජනතාවගේ පරමාධිපත්‍යයට හානි කීරීමෙන් හා ඒ පාවා දීමෙන්. බුදුන් වහන්සේට කරන පූජාවක දී සුද්දන්ගේ නීති රීති රෙගුලාසි ආදිය බලපානවා ද? මේ සිංහල බෞද්ධ විරෝධී රාජද්‍රෝහි ආණ්ඩුව බුද්ධ පූජාවත් සුද්දන්ගේ රෙගුලාසිවලට යටත් කරනවා. රාජ්‍ය නායකයා පොළොන්නරුවේ ගල් විහාරය අසළින් නිතර දෙවේලේ ගමන් කළ මෛත්‍රිපාල සිරිසේන!  ගල්විහාරය තැනීමේ දී සුද්දන්ගේ නීති රීති රෙගුලාසි ආදිය නොතිබීම කොතරම් වාසනාවක් ද?



එකල තිබුණේ ඒකීය රාජ්‍ය විශේෂයක් වූ එක්සත් රාජ්‍යයක්. කවුදෝ කසිකබල් පඬියකු මේ ළඟදී ඇසුවාලු එකල ඒකීය රාජ්‍යයක් සංකල්ප තියෙන්න ෆෙඩරල් රාජ්‍ය සංකල්පයත් තිබුණා ද කියා! සංකල්ප නිර්මාණය කිරීමට ඊනියා අනෙකා අවශ්‍ය නොවන බව බටහිරින් සංකල්ප ඇහිඳ ගන්නා පඬියන් දන්නේ නැහැ. අනෙකා සංකල්පයේ මුල ප්‍රධාන අනෙකා වූ දෙවියන් වහන්සේ. අනෙකා ගලා එන්නේ දෙවියන් වහන්සේගෙන්. මිනිසා ද ඇතුළු සියල්ල මැවුවේ දෙවියන් වහන්සේ කියන එක බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ මූලික ලක්‍ෂණයක්. මා තැනෙන්නේ අනෙකාගෙන් කියන එක තවත් පට්ටපල් බොරුවක් පමණයි. පඬියන් කරන්නේ අපට යුදෙවු ක්‍රිස්තියානි සංකල්ප පැටවීම පමණයි.



අප ලෝකයට ඉපදෙන්නේ අනෙකකු සමග නො වෙයි. අම්මා අපේ අනෙකා ද නො වෙයි. අපට හරකුන් වූ අනෙකුන් ලැබෙන්නේ කලක් ගොස් පඬියන් දැන ගැනීමෙන් පසුව. එක්සේසත් රාජ්‍යය කියන සංකල්පය බොහොම පැරණි එකක් බව පඬියන් නොදන්නේ සියලු සංකල්ප අප ස්වාමීන් වූ බටහිරයන්ගෙන් ම ලැබිය යුතු ය යන්න අනුගමනය කිරීමෙන්. එදා එක්සේසත් රාජ්‍ය ඒකීය වන්නේ කෙසේ දැයි මා පැහැදිලි කර ඇති. අපේ ඇහෙන් ඒකීය රාජ්‍යය යනු කුමක් ද කියා විස්තර කරන  ලිපි මෙන් ම ශ්‍රව්‍ය දෘශ්ටි පට ද තිබෙනවා.



අඩුම තරමින් බුද්ධ පූජාවක දී අපට සුද්දන්ගේ නීති රීති රෙගුලාසිවලින් ගැලවෙන්න බැරි නම් අප ලබා ඇතැයි කියන නිදහස කුමක් ද? පන්සලේ බුද්ධ පූජාවටත් පොලීසිය පනීවි ද? ප්‍රාදේශීය සභාවක් ප්‍රදේශයේ පන්සලක බුද්ධ පූජාවක් පැවැත්වීමේ දී අවශ්‍ය පූජා භාණ්ඩ ලබා ගැනීමට ටෙන්ඩර් පටිපාටිය අනුගමනය කළ යුතු ද? අපට දැන ගැනීම සඳහා රනිල්ගේ ආණ්ඩුව ඒ රෙගුලාසි අපට පවසනවා ද? මේ රටේ සාමාන්‍ය ජනයා දන්නා රනිල් නොදන්නා බුද්ධ නීතියක් තියෙනවා. එය රෝම ලන්දේසි නීතියට යට කරන්න කාටවත් බැහැ. පඬියන් මෙරට අනාගමික රාජ්‍යයක් කරන්න යැයි කියන්නේ බුද්ධ නීතියත් බුද්ධ ශාසනයත් බටහිර ක්‍රිස්තියානි රෝම ලන්දේසි නීතියට යට කිරීමටයි. ලෝකයේ බලවත් රාජ්‍ය කිසිවක් අනාගමික නැහැ. ඒ සියල්ල යම් ප්‍රභේදයක ක්‍රිස්තියානි රාජ්‍ය. මේ පඬියන් කියන ඊනියා විසංයෝජනයක් නො වෙයි!



එහෙත් සඳහිරු සෑය ගැන මට වෙනත් ප්‍රශ්නයක් තියෙනවා. මේ සෑය රටේ වෙනත් සියලු සෑය වගේ ම බුද්ධ පූජාවක්. ගැමුණු රජු මිරිසවැටිය තැනෙවුවේ යම් කිසි විශේෂිත කරුණක් මුල් කරගෙන. ගාමිණී දිසානායක කොත්මලේ මහවැලි සෑය ඉදිකිරීමට මුල් වුනේත්  යම් කිසි විශේෂ සිද්ධියක් මුල් කරගෙන. ඒ සම්බන්ධයෙන් මුදල් වෙන් කෙරුණේ කෙසේ දැයි අප දන්නේ නැහැ. දැනගැනීමට වුවමනාවකුත් නැහැ. දේවානම්පිය තිස්ස රජු ථූපාරාමය කරවීමට මුදල් හා ශ්‍රමය ලබා ගත්තේ කෙසේ දැයි එකල සිටි සිංහලයන්වත් අද සිටින සිංහලයන්වත් ප්‍රශ්න කරනවා ද?



සඳහිරු සෑයත් විශේෂිත කරුණක් නිසා කෙරෙන බුද්ධ පූජාවක්. ඒ රණවිරුවන් වෙනුවෙන් කෙරෙන්නක්. අනුරාධපුරය අපට තවත් පැරණි රාජධානියක් නො වෙයි. යාපහුවට හරි දඹදෙණියට හරි ගිහින් නැති අයත් අනුරාධපුරේ යනවා. එය වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම පූජනීය නගරයක්. එමෙන් ම පූජා නගරයක්. එය බුද්ධ ශාසනයට පූජා කළ නගරයක්. මේ මුළු රටමත් බුද්ධ ශාසනයට නව වරක් පූජා කර තිබෙනවා. මා හිතන ආකාරයට වැඩි වශයෙන් ම එසේ පූජා කර ඇත්තේ අනුරාධපුරයේ දී.  එසේ වුනත් අප රට දෙමළ ත්‍රස්තවාදයෙන් හා දෙමළ ජාතිවාදයෙන් මුදා ගත් රණවිරුවන් වෙනුවෙන් කෙරෙන සඳහිරු සෑ බුද්ධ පූජාව අනුරාධපුරයේ දී නොව කිලිනොච්වියේ දී කෙළේ නම් හොඳය කියා සිතෙනවා. එය අර ඊනියා අදරණීය නිවේදකයන් කියන්නාක් මෙන් පුංචි සිතුවිල්ලක් කියා වරදවා වටහා ගන්න එපා.





මේ ලිපිිය ද තවත් ලිපි ද කාලය වෙබ් අඩවියෙන් කියවිය හැකි ය.



https://www1.kalaya.org

                         

නලින් ද සිල්වා



2017 පෙබරවාරි 18